දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
1990 සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා ජපානයෙන් ගිලන්රථ සියයක් ශ්රී ලංකාවට ලැබුණු බව දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්ය අසත්යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“ජපාන ODA වැඩසටහන යටතේ ශ්රී ලංකාවේ 1990 සුව සැරිය පූර්ව රෝහල් හදිසි වෛද්ය සේවාව බලගැන්වීමට අති නවීන ගිලන්රථ 100 ක් පරිත්යාග කර ඇත.AED යන්ත්ර, ඔක්සිජන් සහ ශ්වසන ආධාරක, නවීන ජීවිත ආරක්ෂක මොනිටර් පද්ධති සහ GPS සන්නිවේදන තාක්ෂණයෙන් මෙම ගිලන්රථ සමන්විත වේ. දීර්ඝ කාලීන භාවිතය නිසා අලුත්වැඩියා අවශ්ය වූ රථ වෙනුවට මේවා යෙදවෙන අතර, වැඩි ප්රමාණයක් ග්රාමීය හා දුෂ්කර ප්රදේශ සඳහා වෙන් කෙරේ.” යනුවෙන් අදාළ වීඩියෝවෙහි දක්වා ඇත.



ඒ අනුව මෙහි සත්ය අසත්යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
1990 සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා නවීන ගිලන් රථ සියයක් ජපානය විසින් මෙරටට පරිත්යාග කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශය විසින් තහවුරු කර තිබිය යුතුයි. එසේම එවන් පරිත්යාගයක් මෙරටට ලැබී ඇත්නම් එය සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ සහ නිල විශ්වාසනීය මූලාශ්රයන් ඔස්සේ වාර්තාකර තිබිය යුතුය. අප විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී පැහැදිලි වූයේ එවැනි පරිත්යාගයක් සම්බන්ධයෙන් කිසිදු නිල විශ්වාසනීය මූලාශ්රයක් විසින් තහවුරු කර නොමැති බවයි.
එසේම, ජපානය විසින් සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා මෙරටට ගිලන් රථ සියයක් ලබාදීමේ සූදානමක් ඇති බවට ද කිසිදු නිල විශ්වාසනීය තහවුරු කිරීමක් වාර්තා වී නොමැත. මෙරට සෞඛ්ය ක්ෂේත්රයට ලැබෙන සියලුම ගිලන්රථ පරිත්යාගයන් සහ ටෙන්ඩර් පටිපාටි ලියාපදිංචි වන්නේ සෞඛ්ය අමාත්යාංශය යටතේය. අප විසින් සිදුකළ පරීක්ෂාවේ දී එවැනි ටෙන්ඩර් කැඳවීමක් සම්බන්ධයෙන් හෝ කිසිදු තහවුරු කිරීමක් දැකගන්නට ලැබුණේ නැහැ.
ඉන්දියාවෙන් ගිලන් රථ 100ක් ලබා දීමේ සූදානමක් ඇත.
සුවසැරිය ගිලන් රථ සේවාවට ගිලන් රථ සියයක් ලබාදීමට ඉන්දියානු රජය කටයුතු කරමින් සිටින බවට ප්රධාන ධාරාවේ මාධ්ය විසින් පුවත් වාර්තා කර ඇත. 2026 ජූලි 31 දින සුවසැරිය ගිලන් රථ සේවාවට වසර 10ක් පිරීම නිමිත්තෙන් ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ ද සහභාගීත්වයෙන් පැවති උත්සවයේදී සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා විසින් මේ සම්බන්ධයෙන් ප්රකාශ කර ඇත. ඉදිරියේදී ඉන්දීය රජයෙන් ලැබෙන තවත් ගිලන් රථ 100 ක් සහ ටාටා පදනම හරහා ලැබෙන ගිලන් රථ 50 ක් සමඟින් සුවසැරිය ගිලන් රථ බලඇණිය 470 දක්වා පුළුල් කිරීමට කටයුතු යොදා තිබෙන බව සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේද සටහනක් පළ කර ඇත. කෙසේ නමුත් මෙම ගිලන් රථ මේ වන විට මෙරටට ලැබී නොමැති අතර, ලබාදීමේ සූදානමක් ඇති බව සහ එම වැඩපිළිවෙළ අවසන් අදියරේ පවතින බව අමාත්යවරයා විසින් ප්රකාශ කර ඇත. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්
1990 සුවසැරිය සභාපති නිරෝෂන් රත්නායක මහතා
අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී 1990 සුවසැරිය පදනමේ සභාපති විශ්රාමික මේජර් නිරෝෂන් රත්නායක මහතා විසින් සඳහන් කළේ, ජපානයෙන් ශ්රී ලංකාවේ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ගිලන් රථ 100 ක් ලැබී ඇති බවට හුවමාරුවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්ය බවයි. ජපානයෙන් ශ්රී ලංකාවට සුව සැරිය ගිලන් රථ ලබාදීමක්, ලබාදීමේ සූදානමක් හෝ එකඟතාවයක් නොමැති බවයි ඔහු විසින් සඳහන් කළේ. කෙසේ නමුත් ඉන්දියානු රජයෙන් සුව සැරිය සේවාව සඳහා ගිලන් රථ 100 ක් සහ ටාටා පදනම හරහා ගිලන් රථ 50 ක් ලබාදීම සම්බන්ධයෙන් සූදානමක් පවතින බවත් ඔහු සඳහන් කළා. එම ගිලන් රථ ලබන වසරේ පමණ ලැබීමේ ඉඩක් පවතින බවත් ඔහු විසින් සඳහන් කළා. 2023 සිට සෞඛ්ය අමාත්යංශය ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව සිදුකරන සෞඛ්ය සේවා ප්රවර්ධන ව්යාපෘතියක් හරහා ගිලන් රථ 45 ක් ලබා ගැනීම සම්බන්ධයෙන්ද කටයුතු සිදු කර ඇති බවත්, කෙසේ නමුත්, ආරම්භයේ පටන් මේ වන තෙක් සුව සැරිය ගිලන් රථ සේවාව සඳහා ගිලන් රථ පරිත්යාග කර ඇත්තේ ඉන්දියානු රජය විසින් පමණක් බවත් ඔහු විසින් සඳහන් කළා. මේ වන විට සුව සැරිය ගිලන් රථ සේවාවෙහි ගිලන් රථ 319 ක් ක්ෂේත්රයේ පවතින බවත් ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කළා.
කෘත්රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක්
සුව සැරිය පදනම සඳහා ජපානයෙන් මෙරටට ගිලන් රථ සියයක් ලැබී ඇති බවට හුවමාරු වූ වීඩියෝවෙහි ගිලන් රථ ධාවනය වන දර්ශනද අන්තර්ගත වන අතර, අදාළ වීඩියෝව සම්පූර්ණයෙන් අස්වාභාවික භාවයකින් යුතු වන නමුත් ඇතැම් පරිශීලකයන් විසින් එම දර්ශන සැබෑ දර්ශන ලෙසද පිළිගෙන තිබුණි. ජපානයෙන් මෙරටට එවැනි ගිලන් රථ ලබාදීමක් සිදුවී නොමැති බැවින් අදාළ වීඩියෝවේ දැක්වෙන දර්ශන අප විසින් කෘත්රිම බුද්ධි අන්තර්ගත හඳුනාගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කිරීමට කටයුතු කළා. එහිදී අනාවරණය වූයේ අදාල වීඩියෝව කෘත්රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.


සුව සැරිය ගිලන් රථ සේවාව
2016 වසරේදී ඉන්දීය රජයේ ප්රදානයක් යටතේ ටාටා සන්ස් (පුද්ගලික) සමාගමෙන් ලබාගත් ගිලන් රථ 297ක් උපයෝගී කරගනිමින් “1990 සුව සැරිය පදනම” ආරම්භ කරන ලදී. ඒ අනුව, පූර්ව රෝහල් සත්කාර සහ හදිසි ප්රතිකාර ලබා දීම සඳහා ශ්රී ලංකා රජය විසින් ප්රදානය කරන ලද ගිලන් රථ 25ක් ඇතුළුව ගිලන් රථ 322ක් මේ සඳහා යොදවා ඇත. මේ වන විට එම ගිලන් රථ 322 න් 319 ක් ක්ෂේත්රයේ පවතී.
සුව සැරිය පදනමේ ඉලක්කයට අනුව, ගිලන් රථ 450ක් සහ උපස්ථ ගිලන් රථ 25ක් කඩිනමින් සේවාව සැපයීමට අවශ්ය වන අතර, දැනට ගිලන් රථ 150ක පමණ හිඟයක් පවතින බව හඳුනාගෙන ඇත. ඒ අනුව, ඉන්දියානු රජයේ ප්රධානයක් ලෙස ගිලන් රථ 100ක් සහ ටාටා සන්ස් (පුද්ගලික) සමාගම නොමිලේ ප්රදානයක් ලෙස ගිලන් රථ 50ක් ලබා දීමට එකඟ වී ඇති අතර, 2023 වසරේ සිට ආසියානු සංවර්ධන බැංකුව ප්රදානයක් ලෙස ගිලන් රථ 45ක් ලබා දීමට සාකච්ඡා සිදු වී ඇත. ඉන්දියාවෙන් ලබා දීමට එකඟ වී ඇති ගිලන් රථ “1990 සුව සැරිය පදනම” වෙත කඩිනමින් ලබා ගැනීම සඳහා අවශ්ය පියවර මේ වන විට ගනිමින් සිටී. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
Also read : සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අත්හිටුවලද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ජපානයෙන් ගිලන් රථ සියයක් මෙරටට පරිත්යාග කර ඇති බවට හුවමාරු වන සටහන් අසත්ය බවයි. ජපානයෙන් එවැනි පරිත්යාගයක් මෙරටට ලැබී හෝ ලැබීමේ සූදානමක් නොමැති බවට සුවසැරිය පදනමේ සභාපතිවරයා විසින් තහවුරු කර ඇත. කෙසේ නමුත් ඉන්දියානු රජයෙන් ගිලන් රථ 100ක් සහ ටාටා පදනම හරහා ගිලන් රථ 50 ක් මෙරටට ලබාදීමට එකඟතාවය පළකර ඇත. ඒ සම්බන්ධ කටයුතු අවසන් අදියරේ පවතින බවටද සෞඛ්ය අමාත්යවරයා විසින් ප්රකාශ කර ඇත.



