Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වසරකට මුස්ලිම් දරු උපත් 385,000ක්, සිංහල ගබ්සා කිරීම් 750,000ක්? සමාජ මාධ්‍ය සටහන අසත්‍යයි!

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-12
    9 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනගහන සංයුතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට විවිධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් විවිධ අරමුණු සහිතව ව්‍යාජ සටහන් හුවමාරු වන ආකාරයක් දැකගත හැකිය. මේ එලෙස ප්‍රධාන වශය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ ජනගහන සංයුතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට විවිධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් විවිධ අරමුණු සහිතව ව්‍යාජ සටහන් හුවමාරු වන ආකාරයක් දැකගත හැකිය. මේ එලෙස ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් ජනවර්ග දෙක ඉලක්ක කර ගනිමින් පළ කරන ලද සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. මෙම සටහනේ සඳහන් මුස්ලිම් දරු උපත් 385,000 යනු නිල දත්තවල සඳහන් උපත් සංඛ්‍යාවට වඩා දළ වශයෙන් අට ගුණයකටත් වැඩි අගයකි (අපගේ ගණනය).

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ශ්‍රී ලංකාව වසරකට මුස්ලිම් දරු උපත් 385,000ක් සිදුවන බවටත්, සිංහල ගබ්සා කිරීම් 750,000 ක් බවත් ඒ අනුව එක සිංහල පවුලක ළමයි තුනට වඩා හැදුවේ නැතිනම්, 2060 වන විට මහජාතිය මුස්ලිම් බවට පත්වන බවත් සඳහන් කරමින් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් දරු උපත් 385,000ක් සහ සිංහල ගබ්සා කිරීම් 750,000ක් ලෙස දක්වන ෆේස්බුක් සටහන

    Facebook | Archived Link

    මෙම සටහනේ සඳහන් කරුණුවල සත්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තෙමු.

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙම සටහන මගින් දරු උපත්, ගබ්සා කිරීම් සහ ජනගහන වර්ධනය සම්බන්ධ සංඛ්‍යා ඉදිරිපත් කරමින්, සිංහල පවුල්වල දරුවන් තිදෙනෙකුට වඩා නොසිටිය හොත්, 2060 වන විට මෙරට ජනගහනයෙන් බහුතරය මුස්ලිම් ජනතාව වන බව ද සඳහන් කර තිබේ. එහෙත් මෙහි සංඛ්‍යා දත්ත ලබා ගත් නිල මූලාශ්‍රයක් පිළිබඳ සඳහන් කර නොමැත.

    වසරකට මුස්ලිම් දරු උපත් 385,000ක් සිදුවන බවට නිල දත්ත පදනමක් නැත

    රටේ ජනගහනය, ජන හා නිවාස සංගණන, දරු උපත්, මරණ, ආර්ථික හා සමාජ තත්ත්වයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නිල සංඛ්‍යා ලේඛන රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා වගකීම දරන ආයතනය වන්නේ, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. උපත් ලියාපදිංචි කෙරෙන්නේ සිවිල් ලියාපදිංචි පද්ධතිය ඔස්සේ වන අතර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මවගේ ජනවර්ගය අනුව උපත් වගු ද ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව අප මූලිකවම සමාජ මාධ්‍ය සටහනේ සඳහන් පරිදි වසරකට මුස්ලිම් දරු උපත් 385,000ක් සිදුව තිබේ දැයි, ගෙවී ගිය වසර කිහිපයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යාලේඛන දත්ත ඔස්සේ පරීක්ෂා කිරීමට පියවර ගත්තෙමු.

    සමාජ මාධ්‍ය සටහනේ වසරකට මෙරට මුස්ලිම් දරු උපත් 385,000ක් සිදුවන බව සඳහන්ව තිබුණ ද ගෙවුණු වසර 26ක (2000-2025) කාලයේ එක් වසරකදී හැර (2007-386,573) වෙනත් කිසිදු වසරකදී රටේ සමස්ත දරු උපත් සංඛ්‍යාව එනම්, සියලු ජන වර්ගවල දරු උපත් හෝ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අගය ඉක්මවා ගොස් නොමැත. ඒ අනුව වසරකට ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් දරු උපත් 385,000ක් සිදුවන බවට වන ප්‍රකාශය කිසිදු නිල දත්ත පදනම් කරගත් සාවද්‍ය ප්‍රකාශයකි. (2021 සිට 2025 දක්වා සංඛ්‍යා තාවකාලික වන අතර, 2025 දී සමස්ත උපත් 214,570කි.)

    වසර අනුව ශ්‍රී ලංකාවේ සජීවී උපත්, මරණ සහ විවාහ සංඛ්‍යා දැක්වෙන සංඛ්‍යාලේඛන වගුව

    මූලාශ්‍රය: මෙතනින්

    මේ අනුව 2015 වසරේ සිට 2025 දක්වා පසුගිය දශකයක කාලය තුළ වාර්තා වී ඇත්තේ, මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව (2018 දී සුළු වැඩිවීමක් හැර) අඛණ්ඩව පහත වැටීමේ ප්‍රවණතාවකි. 2015 දී 336,097ක් වූ උපත් සංඛ්‍යාව 2025 දී 214,570ක් (තාවකාලික) දක්වා අඩු වී ඇත. මේ අතර 2019 සිට 2025 දක්වා කාලයේදී එය 319,108 සිට 214,570 දක්වා, ආසන්න වශයෙන් 33%කින් පහළ ගොස් ඇති බවත් ඊට බලපා ඇති හේතු පිළිබඳවත් මාධ්‍ය කරුණු වාර්තා කර තිබිණි (මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්).

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිල වගුවලට අනුව, 2021 දී ලියාපදිංචි සජීවී උපත් 284,623න් සිංහල මවුවරුන්ට 197,318ක්, ශ්‍රී ලංකා මුවර් මවුවරුන්ට 37,822ක්, ශ්‍රී ලාංකික දෙමළ මවුවරුන්ට 35,530ක් සහ ඉන්දීය දෙමළ මවුවරුන්ට 12,669ක් ඇතුළත් වේ (මෙතනින්). 2018 දී ශ්‍රී ලංකා මුවර් මවුවරුන්ට ලියාපදිංචි වූ උපත් 46,618කි (සමස්ත උපත් 328,409න්; මෙතනින්). එනම්, සමාජ මාධ්‍ය සටහනේ සඳහන් 385,000 යනු මුස්ලිම් (මුවර්) ජනවර්ගයේ ලියාපදිංචි වාර්ෂික උපත් සංඛ්‍යාවට වඩා අට ගුණයකටත් වැඩි අගයකි (අපගේ ගණනය). මෙම වගු ජනවර්ගය අනුව සකස් කර ඇති අතර ආගම අනුව දත්ත ඇතුළත් නොවේ.

    සිංහල කාන්තාවන් වසරකට ගබ්සා කිරීම් 750,000ක් සිදු කරන බවට විශ්වාසදායක පදනමක් නැත

    ශ්‍රී ලංකාවේ ගබ්සාව නීතියෙන් සාමාන්‍යයෙන් තහනම් කර ඇති අතර, මවගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් සද්භාවයෙන් සිදුකරන ගබ්සාව ඊට අදාළ සීමිත ව්‍යතිරේකයකි. (දණ්ඩ නීති සංග්‍රහයේ 303 සහ 304 වගන්ති; විස්තර මෙතනින්). මෙවැනි තත්ත්වයක් මත ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන නීතිවිරෝධී සහ අනාරක්ෂිත ගබ්සා කිරීම් පිළිබඳ නිවැරදිම දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් නොමැත. කෙසේ වෙතත්, 2000 සිට 2025 දක්වා ගෙවුණු වසර 26 තුළ ශ්‍රී ලංකාවේ වාර්ෂික සමස්ත උපත් සංඛ්‍යාව 214,570ත් (2025) – 386,573ත් (2007) අතර පැවතුණු අතර, එය කිසිදු වසරක ලක්ෂ 5 ඉක්මවා නැත (මෙතනින්).

    එවැනි වටපිටාවක් තුළ එක් ජන කොටසක කාන්තාවන් පමණක් වසරකට ගබ්සා කිරීම් 750,000ක් සිදුකරන බව පැවසීම පදනම් විරහිත ප්‍රකාශයකි. සටහනේ සඳහන් ගබ්සා 750,000 යනු 2025 දී සියලු ජනවර්ගවල ලියාපදිංචි සමස්ත උපත් (214,570) මෙන් 3.5 ගුණයකටත්, 2021 දී සිංහල මවුවරුන්ට ලියාපදිංචි උපත් (197,318) මෙන් 3.8 ගුණයකටත් ආසන්න වේ (අපගේ ගණනය).

    එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) 2019 සැප්තැම්බරයේ ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති සාරාංශයක (මෙතනින්), 2000 වසරේ පර්‍යේෂණයක් පදනම් කරගෙන, දිනකට අනාරක්ෂිත ගබ්සා කිරීම් 650කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බව සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි 750,000ක් වැනි පදනම් විරහිත සහ අතිශයෝක්තියට නංවන ලද සංඛ්‍යාවක් කිසිදු නිල ජාතික හෝ වෛද්‍ය දත්ත වාර්තාවක සඳහන්ව නොමැත.

    එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරව සහ ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන සංවිධානයක් වන ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය (FPA) වැනි ආයතන විසින් ප්‍රකාශයට පත් කළ තොරතුරුවලට අනුව, ශ්‍රී ලංකාවේ දිනකට අනාරක්ෂිත ගබ්සා කිරීම් 650ක් පමණ සිදුවන බවට ඇස්තමේන්තු පළ වී තිබේ. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාව වර්තමාන තත්ත්වය නිරූපණය කරන නවතම දත්තයක් නොවේ. UNFPA විසින් 2019 දී පළ කළ ප්‍රතිපත්ති සාරාංශයක මෙම ඇස්තමේන්තුව 2000 වසරේ තොරතුරුවලට සම්බන්ධ කර දක්වා ඇති අතර, FPA විසින් 2023 දී පළ කළ වාර්තාවක 2016 දී සෞඛ්‍ය අමාත්‍යාංශය දිනකට ගබ්සා කිරීම් 658ක් සිදුවන බව වාර්තා කළේ යැයි සඳහන් වේ. එබැවින් මෙම සංඛ්‍යා වර්තමාන නිල සංඛ්‍යාලේඛන ලෙස සැලකිය නොහැකි ය. එම FPA වාර්තාවේම, 2009 වසරේ ප්‍රකාශනයක් උපුටා දක්වමින් වසරකට ගබ්සා කිරීම් 125,000ත් 175,000ත් අතර (දිනකට 700ක් පමණ) බව සඳහන් වන නමුත්, දිනකට 700ක් යනු වසරකට 255,500ක් පමණ වන බැවින් එම සංඛ්‍යා එකිනෙක නොගැළපේ (අපගේ ගණනය). තවද UNFPA ඇස්තමේන්තුව අනාරක්ෂිත ගබ්සා පිළිබඳ වන අතර, 2016 සංඛ්‍යාව සඳහන් වන්නේ ගබ්සා ලෙස ය; මේ දෙක එකම මිනුමක් ලෙස නොගත යුතු ය.

    මීට අමතරව, සමාජ මාධ්‍ය සටහනේ සඳහන් වසරකට ගබ්සා කිරීම් 750,000ක් සිදුවන බවට වන ප්‍රකාශය තහවුරු කරන විශ්වාසදායක නිල ජාතික දත්තයක් අපට හමු නොවීය. දිනකට ගබ්සා කිරීම් 650 – 658ක් සිදුවන බවට වූ පැරණි ඇස්තමේන්තුව වාර්ෂිකව ගණනය කළහොත් එය සෑම ජනවර්ගයක්ම නියෝජනය වන ආසන්න වශයෙන් 237,250 – 240,170ක් (අපගේ ගණනය) වේ. එහෙත් එය ද වර්තමාන වාර්ෂික සිදුවීම් සංඛ්‍යාවක් ලෙස තහවුරු කළ අගයක් නොව, පැරණි දෛනික ඇස්තමේන්තුව මත සිදු කළ ගණනයකි. විස්තර මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්

    ශ්‍රී ලංකාවේ නීතිය අනුව ගබ්සා කිරීම සීමා කර ඇති බැවින්, වාර්ෂිකව සිදුවන ගබ්සා කිරීම් සංඛ්‍යාව පිළිබඳ සම්පූර්ණ නිල ජාතික දත්ත ලබාගැනීම හැකියාවක් නොමැත. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකින් අප කළ විමසීම්වලදී ද අනාරක්ෂිත ගබ්සා කිරීම් පිළිබඳ නිල දත්ත තමන් සතුව නොමැති බව එම ආයතන විසින් ප්‍රකාශ කරනු ලැබී ය.

    තවද, සිංහල කාන්තාවන් වාර්ෂිකව ගබ්සා කිරීම් 750,000ක් සිදු කරන බවට සමාජ මාධ්‍ය සටහනේ සඳහන් ප්‍රකාශය සනාථ කිරීම සඳහා එය පළ කළ පුද්ගලයා කිසිදු නිල මූලාශ්‍රයක් හෝ විශ්වාසදායක සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඒ අනුව, සිංහල කාන්තාවන් වාර්ෂිකව ගබ්සා කිරීම් 750,000ක් සිදු කරන බවට සමාජ මාධ්‍ය සටහනේ සඳහන් ප්‍රකාශය තහවුරු කිරීමට තරම් සාක්ෂි නොමැත.

    එබැවින් ගබ්සා කිරීම් 750,000ක් යන්න නිල දත්තවලින් ප්‍රතික්ෂේප වූවක් නොව, කිසිදු පදනමක් නොමැති සහ අප දුටු ඉහළම ඇස්තමේන්තුවලට (වසරකට 240,000-255,000ක් පමණ) වඩා තුන් ගුණයකට ආසන්න අගයක් ලෙස අප ඇගයීමට ලක් කළෙමු.

    2060 වන විට මුස්ලිම් ජනතාව බහුතරය වන බවට වන ප්‍රකාශය සංගණන දත්තවලින් තහවුරු නොවේ

    2024 ජන හා නිවාස සංගණනය අවසන් වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21,781,800කි (සංගණන මොහොත: 2024 දෙසැම්බර් 19 වන දින 00:00 පැය; අවසන් වාර්තාව 2026 අප්‍රේල් 10 වන දින එළිදැක්විණි; මෙතනින්).

    එම වාර්තාවේ දැක්වෙන ජනවර්ග අනුව ජනගහන බෙදාහැරීම වන්නේ, සිංහල: 16,144,037ක් (74.12%), ශ්‍රී ලාංකික දෙමළ: 2,681,627ක් (12.31%), ශ්‍රී ලංකා මුවර්/මුස්ලිම්: 2,283,246ක් (10.48%) , ඉන්දීය දෙමළ/මලයහ තමිලර්: 600,360ක් (2.76%), වෙනත් ජනවර්ග: ඉතිරිය.

    2024 සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජනවාර්ගික කණ්ඩායම් අනුව ජනගහන බෙදීම දැක්වෙන වගුව

    මෙම සංඛ්‍යා ලේඛන අනුව 2024 සංගණනය පැවැත්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විශාලතම ජනවර්ගය සිංහල ජනවර්ගය වන අතර, එය සමස්ත ජනගහනයෙන් 74.12%ක් නියෝජනය කරයි. ශ්‍රී ලංකා මුවර්/මුස්ලිම් ජනවර්ගය සමස්ත ජනගහනයෙන් 10.48%ක් නියෝජනය කරයි. ආගම අනුව ඉස්ලාම් ආගම අදහන්නන් 10.7%ක් වේ. විස්තර මෙතනින් සහ මෙතනින්

    මෙම දත්ත වර්තමාන ජනවර්ග සංයුතිය පිළිබඳ වැදගත් පදනමක් සපයන නමුත්, අනාගත ජනගහන සංයුතිය නිශ්චිතව තීරණය කිරීමට පමණක් ඒවා ප්‍රමාණවත් නොවේ.

    සමාජ මාධ්‍ය සටහන මඟින් ඉදිරිපත් කරන තවත් කරුණක් වන්නේ සිංහල පවුල්වල දරුවන් තිදෙනකුට වඩා නොසිටියහොත් 2060 වන විට ශ්‍රී ලංකාවේ බහුතර ජනවර්ගය මුස්ලිම් බවට පත්වනු ඇති බවයි. එවැනි ජනගහන පුරෝකථනයක් විද්‍යාත්මකව තහවුරු කිරීමට එක් එක් ජනවර්ගයේ වයස් ව්‍යුහය, සරුභාව අනුපාත, මරණ අනුපාත, සංක්‍රමණය සහ කාලයත් සමඟ සිදුවන වෙනස්කම් ඇතුළු සාධක ගණනාවක් සැලකිල්ලට ගත යුතුව ඇත. විස්තර මෙතනින්.

    2024 සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ මුළු සරුභාව අනුපාතය (TFR) 1.3ක් වන අතර, එය ආදේශන මට්ටමට වඩා අඩු ය (මෙතනින්). එසේම, වාර්තාවේ පෙන්වා දෙන දත්ත අනුව, ජනවර්ග අනුව සරුභාවය මුස්ලිම් කාන්තාවන් අතර 2.0ක් ද සිංහල කාන්තාවන් අතර 1.2ක් ද වේ;

    අංශය, ජනවාර්ගිකත්වය සහ අධ්‍යාපන මට්ටම අනුව 2024 සමස්ත සශ්‍රීක බව අනුපාතය (TFR) දැක්වෙන තීරු ප්‍රස්තාරය

    එම වාර්තාවට අනුව 2012 සිට 2024 දක්වා මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 9.3%ක සිට 10.5%ක් දක්වා ද, සිංහල ප්‍රතිශතය 74.9%ක සිට 74.1%ක් දක්වා ද වෙනස් වී ඇත (මෙතනින්). එනම් මුස්ලිම් සරුභාවය සිංහල සරුභාවයට වඩා ඉහළ බවත්, මුස්ලිම් ජනගහන ප්‍රතිශතය ස්වල්පයකින් ඉහළ ගොස් ඇති බවත් සත්‍ය ය. එහෙත් 2024 දී සිංහල (74.1%) සහ මුස්ලිම් (10.5%) ප්‍රතිශත අතර පරතරය සියයට 63.6කි; 2012-2024 අතර මුස්ලිම් ප්‍රතිශතය ඉහළ ගියේ සියයට 1.2කින් පමණි. එම වේගයෙන්ම 2060 දක්වා රේඛීයව ඉදිරියට ගියත් එය 14.1%ක් පමණ වන බව සරල ගණනයකින් පෙනේ (අපගේ ගණනය; පුරෝකථනයක් නොවේ).

    2024 සංගණන දත්ත මඟින් එම අවස්ථාවේ පැවති ජනවර්ග සංයුතිය හඳුනාගත හැකි වුවද, සිංහල පවුල්වල දරුවන් තිදෙනකුට වඩා නොසිටීම හේතුවෙන් 2060 වන විට මුස්ලිම් ජනතාව බහුතරය වන බවට මෙම සටහනේ දක්වා ඇති නිගමනය තහවුරු නොවේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වසරකට මුස්ලිම් දරු උපත් 385,000ක් සිදුවන බවටත්, සිංහල ගබ්සා කිරීම් 750,000ක් බවත් ඒ අනුව එක සිංහල පවුලක ළමයි තුනට වඩා හැදුවේ නැතිනම්, 2060 වන විට මහජාතිය මුස්ලිම් බවට පත්වන බවටත් සඳහන් කරමින් පළ කර ඇති සටහන අසත්‍ය බවයි.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිල දත්තවලට අනුව ශ්‍රී ලංකා මුවර් මවුවරුන්ට ලියාපදිංචි වූ උපත් 2018 දී 46,618ක් ද 2021 දී 37,822ක් ද වන අතර, 2000-2025 අතර ශ්‍රී ලංකාවේ සමස්ත වාර්ෂික උපත් සංඛ්‍යාව 385,000 ඉක්මවූයේ 2007 දී පමණි. ගබ්සා කිරීම් 750,000ක් බවට නිල හෝ විශ්වාසදායක දත්තයක් නොමැති අතර, එය අප දුටු ඉහළම ඇස්තමේන්තුවලට වඩා තුන් ගුණයකට ආසන්න ය.

    2024 සංගණනයට අනුව ජනගහනයෙන් සිංහල 74.1%ක් ද ශ්‍රී ලංකා මුවර්/මුස්ලිම් 10.5%ක් ද වන බැවින්, සරුභාව වෙනස්කම් තිබුණ ද 2060 වන විට මුස්ලිම් ජනතාව බහුතරය වන බවට වන නිගමනය සංගණන දත්තවලින් තහවුරු නොවේ. අදාළ සංඛ්‍යා දත්ත සඳහා පදනම් වූ නිල මූලාශ්‍රයක් සටහනේ සඳහන් නොවේ. ජන වර්ග අතර බිය හා සැකය ඇති කිරීමට ඉඩ ඇති මෙවැනි සංඛ්‍යා බෙදාහැරීමට පෙර ඒවා නිල මූලාශ්‍රවලින් තහවුරු කරගැනීම වැදගත් ය.

    සටහන: දරු උපත් සංඛ්‍යා නිල සංඛ්‍යාලේඛන ඇසුරින් තහවුරු කර ඇත (2021 සිට 2025 දක්වා සංඛ්‍යා තාවකාලික ය). ගබ්සා සම්බන්ධ සංඛ්‍යා නිල වාර්ෂික සංඛ්‍යාලේඛන නොව පැරණි ඇස්තමේන්තු පමණි.

    Result Stamp

    Title: වසරකට මුස්ලිම් දරු උපත් 385,000ක්, සිංහල ගබ්සා කිරීම් 750,000ක්? සමාජ මාධ්‍ය සටහන අසත්‍යයි!

    Fact Check By: Sagarika Chathumali

    Result: False

    WhatsApp හරහා ලැබෙන වීඩියෝ සහ රූප සත්‍යාපනය කරගැනීමට සහ අපගේ WhatsApp විකාශනයට සම්බන්ධ වීමට නම සහ භාෂාව එවන ලෙස දැනුම් දෙන සටහන
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-10-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.