දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මෑතකදී දේශපාලන වේදිකාව මෙන්ම සමාජ මාධ්ය ජාල ද උණුසුම් කළ ප්රධාන මාතෘකාවක් බවට පත්වූයේ මෙරට 4G සහ 5G සන්නිවේදන ජාලයන්හි අනාගතය පිළිබඳවයි. රජය විසින් ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ග්රාමීය සන්නිවේදන කුළුණු ව්යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්රකාශක, අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සෘජුවම 5G තාක්ෂණය වෙත යා නොහැකි බවත්, ශක්තිමත් 4G ජාලයක් යනු 5G සඳහා වන මූලික පදනම බවත් ප්රකාශ කළේය (2026 සැප්තැම්බර් 22 වන දින වාර්තාව).
මෙම ප්රකාශයත් සමඟ විපක්ෂයේ සමහර දේශපාලනඥයන් සහ සමාජ මාධ්ය ක්රියාකාරීන්, ලෝකයම 5G තාක්ෂණය වැළඳගනිමින් සිටින යුගයක ශ්රී ලංකාව තවමත් 4G කුළුණු ඉදිකිරීමට මහජන මුදල් වැය කරන්නේ මන්දැයි ප්රශ්න කරන බව සමාජ මාධ්යවල සංසරණය වන පළ කිරීම්වලින් පෙනේ.
ලෝකය ඉදිරියට යද්දී අප පසුපසට යන්නේද? නැතහොත් මේ පිටුපස සැබෑ තාක්ෂණික හා ප්රායෝගික හේතු සාධක පවතීද? විදුලි සංදේශ ක්ෂේත්රයේ වසර 18ක ජාත්යන්තර පළපුරුද්දක් ඇති උපදේශක ඉංජිනේරුවරයෙකු වන මදූෂ රණවකගේ මහතාගේ අදහස් සහ නිල දත්ත ඇසුරින් අප මේ පිළිබඳව සොයා බැලුවෙමු.
5G ලංකාවේ නැද්ද?
ඇතැමුන් නොදන්නවා වුවද , ශ්රී ලංකාව තුළ 5G තාක්ෂණය දැනටමත් හඳුන්වා දී තිබෙනවා. 2025 දෙසැම්බර් මාසයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් මෙරට පැවැත්වූ පළමු වර්ණාවලි (Spectrum) වෙන්දේසියෙන් අනතුරුව, Dialog සහ SLT-Mobitel සමාගම් වෙත 5G වර්ණාවලිය නිල වශයෙන් ප්රදානය කරන ලදී (Ada Derana). ඒ අනුව Dialog සමාගම වාණිජ 5G සේවා ආරම්භ කර ඇති අතර, ඔවුන් පවසන පරිදි අඩවි (Sites) 220කට වැඩි ප්රමාණයකින් ආරම්භ වූ ජාලය පසුව අඩවි 800කට වැඩි ප්රමාණයක් දක්වා ව්යාප්ත වී තිබෙනවා.
SLT-Mobitel කොළඹ, මහනුවර, අනුරාධපුරය, ගාල්ල සහ යාපනය නගරවල පෙර-වාණිජ 5G ජාලයක් පවත්වාගෙන යයි (Operator Watch, 2026 ජූනි). 2018 දී දකුණු ආසියාවේ පළමු 5G පරීක්ෂණය සිදු කළ බව SLT-Mobitel පවසයි (SLT-Mobitel නිවේදනය). 2018 කාලවකවානුවේදී මෙරට සිදුවූයේ 5G තාක්ෂණික පරීක්ෂණ පමණක් වුව ද, අද වන විට එය යථාර්ථයක් බවට පත්ව ඇත.
ගමට 4G දෙන්නේ ඇයි?
“නගරයට 5G වුණාට ගමට හරියන්නේ 4G” යනුවෙන් සමාජයේ පවතින කතාව දෙස වඩාත් විද්යාත්මකව බැලිය යුතුය. ගම්බද ප්රදේශවල පවතින ප්රධානතම ගැටලුව වන්නේ අන්තර්ජාල වේගය (Speed) නොව, සංඥා ආවරණය (Coverage) දුර්වල වීමයි.
විශේෂඥ ඉංජිනේරු මදූෂ රණවකගේ මහතා පෙන්වා දෙන පරිදි, 5G තාක්ෂණය ක්රියාත්මක වන්නේ ඉහළ සංඛ්යාත (High Frequencies) මත බැවින්, එම සංඥාවලට ගමන් කළ හැක්කේ සාපේක්ෂව කෙටි දුරකි. ඔහු දක්වන උදාහරණයකට අනුව, යම් ග්රාමීය ප්රදේශයක් සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට 4G කුළුණු 4ක් ප්රමාණවත් වන තැනකට, 5G තාක්ෂණය යොදාගන්නේ නම් කුළුණු 8ක් හෝ ඊට වඩා වැඩි ප්රමාණයක් ඉදිකිරීමට සිදුවේ.
ඔහුගේ අදහසට අනුව, ග්රාමීය ප්රදේශවල ජනගහන ඝනත්වය සහ 5G පහසුකම් සහිත දුරකතන භාවිතය ඉතා අවම මට්ටමක පවතින පසුබිමක, අධික පිරිවැයක් දරමින් 5G කුළුණු ඉදිකිරීම ආර්ථික වශයෙන් ඵලදායී නොවේ. එය හරියට වාහන 10ක් හෝ 20ක් පමණක් ධාවනය වන ගමකට මංතීරු හතරක අධිවේගී මාර්ගයක් තැනීම වැනි සම්පත් නාස්තියකි. එබැවින් මුලින්ම 4G හරහා මුළු රටම ආවරණය කර, පසුව අවශ්යතාවය අනුව එම කුළුණුවලටම 5G ඇන්ටනා සවිකිරීම වඩාත් ප්රායෝගික ක්රමයක් යැයි ඔහු පෙන්වා දෙනවා.
“5G වෙත යාමට පෙර 4G අත්යවශ්යයි” යන කතාව ඒ අනුව තාක්ෂණිකව අර්ධ වශයෙන් පමණක් නිවැරදිය. පවතින 4G ජාලය මත 5G උපකරණ එකතු කරන Non-Standalone (NSA) ක්රමය 4G ජාලයේ සීමාවන්ට යටත් වන අතර, Standalone (SA) ක්රමයේදී 5G ජාලය 4G ජාලයෙන් වෙන්ව, තමන්ගේම 5G මධ්යම පද්ධතියක් සහිතව ගොඩනැගේ (බෙල්ජියමේ නියාමක ආයතනය BIPT).
නගරයේ තදබදයට 5G විසඳුමක්ද?
නගරබද ප්රදේශවල පවතින්නේ මීට වඩා වෙනස් ගැටලුවකි. එහි සංඥා තිබුණද, එකම අවස්ථාවක අධික පිරිසක් අන්තර්ජාලය භාවිතා කිරීම නිසා ජාල තදබදයක් (Congestion) හටගනී. විශේෂඥ ඉංජිනේරු මදූෂ රණවකගේ පැහැදිලි කරන පරිදි, මෙවැනි අවස්ථාවලදී සන්නිවේදන සමාගම් බොහෝ විට කරන්නේ නගරයේ පවතින 4G කුළුණටම 5G ඇන්ටනාවක් බද්ධ කිරීමයි.
එවිට 5G පහසුකම් සහිත දුරකතන භාවිතා කරන්නන් ස්වයංක්රීයව 5G “මංතීරුවට” යොමු කෙරේ. මේ හරහා 4G ජාලය මත පවතින බර අඩු වන (Offload වන) නිසා, 5G දුරකතනයක් නොමැති සාමාන්ය 4G පාරිභෝගිකයාටද වඩා හොඳ වේගයකින් අන්තර්ජාලය භාවිතා කිරීමේ අවස්ථාව උදා විය හැකිය.
ලෝකය 4G අතහැර දමා තිබේද?
බොහෝ දෙනා සිතන්නේ ලෝකයේ දියුණු රටවල් 4G තාක්ෂණය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි. නමුත් යථාර්ථය එය නොවේ. ඒ වගේම ඉන්දියාව, මාලදිවයින, භූතානය වැනි කලාපිය රටවල් ද 5G හඳුන්වා දී ඇතත්, 4G ජාලයන්ද ඒ සමඟම පවත්වාගෙන යනු ලබයි.
විශේෂඥ ඉංජිනේරු මදූෂ රණවකගේ ඇස්තමේන්තුවකට අනුව ලෝකය තුළ 4G තාක්ෂණය තවමත් වසර 20ක් පමණ ඉදිරියට පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ; මෙය නිශ්චිත දිනයක් නොව ඇස්තමේන්තුවකි. අද වන විට ලෝකයෙන් මෙන්ම ශ්රී ලංකාවෙන්ද ක්රමයෙන් ඉවත් වෙමින් පවතින්නේ 3G තාක්ෂණය බව ද මදුෂ පෙන්වා දෙනවා.
Dialog සමාගම 2022 දෙසැම්බරයේ නිවේදනය කළේ 2023 දී තම 3G දත්ත ජාලය වසා දමන බවත්, හඬ සේවා (Voice) සඳහා 2G ජාලය පවත්වාගෙන යන බවත්ය (Dialog නිවේදනය). ගම්බද ප්රදේශවල සරල බොත්තම් (Keypad) දුරකතන භාවිතා කරන ජනතාවටද එය අදාළ වේ.
4G සහ 5G අතර වෙනස
4G සහ 5G අතර වෙනස “වේගය වැඩිද අඩුද?” යන්නෙන් පමණක් පැහැදිලි කිරීමට නොහැක. දෙකෙන්ම බොහෝ දේ කළ හැකි නමුත්, 5G හි වේගය, ප්රතිචාර කාලය (latency), එකවර උපාංග විශාල ප්රමාණයක් සම්බන්ධ කිරීම වැනි හැකියාවන් වැඩි බැවින් නව ආකාරයේ භාවිතයන්ට එය පහසු වේ.
4G තාක්ෂණයෙන් කළ හැකි දේ :
අද අප දිනපතා සිදු කරන අන්තර්ජාල කටයුතු බොහොමයක් 4G මගින් පහසුවෙන් සිදු කළ හැකිය:
- වීඩියෝ නැරඹීම
- සමාජ මාධ්ය භාවිත කිරීම
- වීඩියෝ ඇමතුම් ලබා ගැනීම
- අන්තර්ජාලය හරහා රැස්වීම් සහ පන්තිවලට සහභාගි වීම
- අන්තර්ජාල බැංකු කටයුතු සහ මුදල් ගෙවීම්
- මාර්ග සිතියම් සහ ස්ථාන සොයාගැනීම
- අන්තර්ජාල ක්රීඩා කිරීම
- විශාල ගොනු බාගත කිරීම සහ යැවීම
- දුරකථනයෙන් වෙනත් උපකරණවලට අන්තර්ජාල පහසුකම් ලබාදීම
- ආරක්ෂිත කැමරා සහ විවිධ සංවේදක උපකරණ සම්බන්ධ කිරීම
5G තාක්ෂණයෙන් කළ හැකි දේ :
5G හි වැදගත්කම “YouTube වඩා වේගයෙන් නැරඹීම” පමණක් නොවේ. විශාල දත්ත ප්රමාණයක් ඉතා වේගයෙන් හුවමාරු කිරීම, ඉතා අඩු ප්රතිචාර කාලයක් අවශ්ය සේවා සහ එකවර උපාංග විශාල සංඛ්යාවක් සම්බන්ධ කිරීම වැනි දේ සඳහා 5G වඩාත් සුදුසු වේ.
- ඉතා විශාල ප්රමාණයේ දත්ත ඉක්මනින් හුවමාරු කිරීම
- ඉහළ ගුණාත්මක වීඩියෝ සජීවීව විකාශනය කිරීම
- අතථ්ය යථාර්ථ සහ වැඩිදියුණු කළ යථාර්ථ තාක්ෂණ භාවිතය
- කර්මාන්තශාලාවල රොබෝ යන්ත්ර සහ ස්වයංක්රීය උපකරණ පාලනය
- රියදුරෙකු නොමැති වාහන සහ මාර්ග පද්ධති අතර තොරතුරු හුවමාරුව
- රෝහල්වල දුරස්ථ වෛද්ය සේවා සඳහා උපකාර කිරීම
- නගරයක රථවාහන, වීදි ආලෝක, වාහන නැවැත්වීම සහ අනෙකුත් උපකරණ එකිනෙකට සම්බන්ධ කිරීම
- කෘෂිකර්මාන්තයේ පසෙහි තෙතමනය, උෂ්ණත්වය වැනි දේ මැන බලන සංවේදක භාවිත කිරීම
- එකම ප්රදේශයක උපකරණ සහ සංවේදක විශාල සංඛ්යාවක් එකවර සම්බන්ධ කිරීම
ඉහළ තාක්ෂණික රටවල් 5G භාවිත කරන්නේ මොනවාටද?
- චීනය – කර්මාන්තශාලා, වරාය සහ වෛද්ය සේවා
චීනයේ 5G භාවිතයේ දැකිය හැකි ක්ෂේත්ර අතර කර්මාන්තශාලා ස්වයංක්රීයකරණය ද වේ. GSMA වාර්තාවේ දැක්වෙන එක් උදාහරණයකට අනුව, වානේ කර්මාන්තශාලාවක ඉහළ උෂ්ණත්ව සහිත අවදානම් පරිසරයක උපකරණ එකිනෙක සම්බන්ධ කිරීමට සහ යන්ත්ර ස්වයංක්රීයව ක්රියාත්මක කිරීමට පෞද්ගලික 5G ජාලයක් භාවිත කෙරේ.
සාමාන්ය උදාහරණයක් ලෙස, කර්මාන්තශාලාවක කැමරා මගින් නිෂ්පාදන පරීක්ෂා කර එම තොරතුරු ඉතා වේගයෙන් පරිගණක පද්ධතියකට යැවිය හැකිය. එහිදී කෘත්රිම බුද්ධිය යොදාගෙන නිෂ්පාදනවල ඇති දෝෂ හඳුනාගත හැකිය. භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යන ස්වයංක්රීය රොබෝ වාහන සඳහාද 5G සම්බන්ධතාව භාවිත කළ හැකිය.
වරායන්හිදී දොඹකර සහ අනෙකුත් උපකරණ දුරස්ථව පාලනය කිරීම මෙන්ම ගබඩා කටයුතු වඩාත් ස්වයංක්රීය කිරීම සඳහාද 5G යොදාගෙන තිබේ. උදාහරණයක් ලෙස, චීනයේ Qingdao වරායේ 2018 අගභාගයේ සිදු කළ මාස හයක පරීක්ෂණයකදී, ස්වයංක්රීය නැව්-ගොඩබිම දොඹකරයක් 5G සම්බන්ධතාවක් හරහා පාලන මධ්යස්ථානයේ සිට ක්රියාත්මක කර කොන්ටේනරයක් ඔසවා ඇත (Ericsson, 2019).
GSMA වාර්තාවේ සෞඛ්ය ක්ෂේත්රයද 5G භාවිත කෙරෙන ක්ෂේත්රයක් ලෙස දක්වා ඇත.
- දකුණු කොරියාව – කර්මාන්තශාලා සහ නගර
දකුණු කොරියාවේ 5G තාක්ෂණය කර්මාන්තශාලා ස්වයංක්රීයකරණය, රියදුරෙකු නොමැති වාහන, නවීන නගර සේවා සහ ඩිජිටල් වෛද්ය සේවා වැනි ක්ෂේත්රවලට යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
කර්මාන්තශාලාවක කැමරාවකින් යම් නිෂ්පාදනයක දෝෂයක් හඳුනාගත් විට, එම තොරතුර ඉතා වේගයෙන් පද්ධතියට යවා කෘත්රිම බුද්ධිය මගින් එය විශ්ලේෂණය කළ හැකිය. ඉන්පසු අදාළ යන්ත්රය හෝ රොබෝ උපකරණය ඒ අනුව ක්රියාත්මක කළ හැකිය.
එමෙන්ම කර්මාන්තශාලාව තුළ භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යන ස්වයංක්රීය වාහන භාවිත කළ හැකිය. ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ ජාත්යන්තර වෙළෙඳ පරිපාලනයට අනුව, 2024 වන විට දකුණු කොරියාවේ ස්මාර්ට් කර්මාන්තශාලා 30,000ක් පමණ ක්රියාත්මක වන අතර, තොරතුරු තාක්ෂණය, 5G, සංවේදක වැනි තාක්ෂණවල දියුණුව නවීන නිෂ්පාදනයේ පිරිවැය අඩු කරන බව එහි සඳහන්ය.
- ජපානය – රොබෝ තාක්ෂණය සහ දුරස්ථ වෛද්ය සේවා
ජපානයේද 5G තාක්ෂණය රොබෝ උපකරණ සහ දුරස්ථ වෛද්ය සේවා සඳහා යොදා ගැනීම පිළිබඳ පර්යේෂණ සිදු කර තිබේ (hinotori ශල්යකර්ම රොබෝ පද්ධතිය 5G සමඟ භාවිතා කිරීම පිළිබඳ වසර පහක සත්යාපන අධ්යයනයක් ඒ අතර වේ).
උදාහරණයක් ලෙස, වෛද්යවරයා සහ ශල්යකර්ම සඳහා භාවිත කරන රොබෝ උපකරණය වෙනස් ස්ථානවල තිබියදීත්, ඉතා කෙටි ප්රතිචාර කාලයක් සහිත සම්බන්ධතාවක් මගින් තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ පරීක්ෂණ සිදු කර තිබේ.
කෙසේ වෙතත්, මෙවැනි කටයුතු සාමාන්ය ජංගම දුරකථන සම්බන්ධතාවයකින් ඕනෑම ස්ථානයකදී සිදු කළ හැකි බවක් එයින් අදහස් නොවේ. ඒ සඳහා විශේෂිත ජාල පහසුකම්, ආරක්ෂක ක්රම සහ නීතිමය අවශ්යතාද තිබේ.
රියදුරෙකු නොමැති වාහන
5G හි ඇති අඩු ප්රතිචාර කාලය නිසා වාහන සහ මාර්ග පද්ධති අතර වේගයෙන් තොරතුරු හුවමාරු කරගැනීමටද හැකියාව ලැබේ.
උදාහරණයක් ලෙස, ඉදිරියෙන් ගමන් කරන වාහනයක් හදිසි අනතුරක් හඳුනාගත් විට ඒ පිළිබඳ තොරතුර වේගයෙන් වෙනත් වාහනවලට හෝ මාර්ග පද්ධතියට යැවිය හැකිය. එමගින් අනෙකුත් වාහනවලටද අනතුර පිළිබඳ කලින් දැනුම් දිය හැකිය.
එසේ නම් 5G හි වැදගත්කම කුමක්ද?
මේ සියල්ලෙන් පැහැදිලි වන වැදගත් කරුණක් වන්නේ 5G යනු 4Gට වඩා වේගවත් ජංගම අන්තර්ජාල සම්බන්ධතාවක් පමණක් නොවන බවයි.
4G තාක්ෂණය මගින් මිනිසුන්ට වීඩියෝ නැරඹීම, සමාජ මාධ්ය භාවිතය, වීඩියෝ ඇමතුම්, අන්තර්ජාල බැංකු කටයුතු වැනි දෛනික කටයුතු පහසුවෙන් සිදු කළ හැකිය.
5G තාක්ෂණය මගින් එවැනි කටයුතු වඩාත් වේගයෙන් සිදු කිරීමට අමතරව, මිනිසුන් පමණක් නොව යන්ත්ර, රොබෝ උපකරණ, වාහන, කැමරා සහ විවිධ සංවේදක වැනි උපකරණ විශාල සංඛ්යාවක් එකිනෙකට සම්බන්ධ කර ඒවා අතර වේගයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට අවශ්ය පදනමක් ලබා දිය හැකිය.
ඒ නිසා ශ්රී ලංකාව වැනි රටක 5G පිළිබඳ සාකච්ඡා කිරීමේදී, දුරකතනයේ අන්තර්ජාල වේගය පමණක් නොව, කර්මාන්ත, වරාය, රෝහල්, ප්රවාහනය, කෘෂිකර්මාන්තය සහ නවීන නගර සේවා සඳහා එම තාක්ෂණයෙන් ප්රයෝජන ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් වේ.
5G නිසා Data ඉක්මනින් අවසන් වෙනවාද?
සමාජයේ පවතින තවත් මතයක් වන්නේ 5G භාවිතා කිරීමේදී Data පැකේජ ඉක්මනින් අවසන් වන බවයි. තාක්ෂණිකව බලන කල, ඔබ මිලදී ගන්නා දත්ත ප්රමාණය (උදා: 10 GB) 4G වලින් භාවිතා කළ ද, 5G වලින් භාවිතා කළ ද, එක හා සමානය.
නමුත් 5G ජාලයකදී අන්තර්ජාල වේගය ඉතා ඉහළ බැවින්, යූටියුබ් (YouTube) හෝ ෆේස්බුක් (Facebook) වැනි මාධ්යවල වීඩියෝ දර්ශන, යෙදුමේ සැකසුම් අනුව, ඉහළ ගුණාත්මකභාවයකින් (High Resolution/4K) ප්රවාහය වීමට ඉඩ තිබේ. මේ හේතුවෙන් නොදැනුවත්වම වැඩි Data ප්රමාණයක් වැය වීමේ ඉඩකඩ පවතී..
අවසානයේදී, ශ්රී ලංකාවට තිබෙන ප්රශ්නය “4G ද 5G ද?” යන සරල තේරීමක් නොවේ.
ග්රාමීය ප්රදේශයක මුලින්ම අවශ්ය වන්නේ ස්ථාවර coverage එකක් නම්, එය ලබාදීමට වඩාත් වියදම් කාර්යක්ෂම තාක්ෂණය කුමක්දැයි බැලිය යුතුය. නගරයක පරිශීලකයන් විශාල සංඛ්යාවක් නිසා 4G ජාලය තදබදයට ලක් වේ නම්, 5G මඟින් එම තදබදය අඩු කළ හැකිදැයි බැලිය යුතුය. අනාගතයේදී කාර්මික, IoT හෝ low-latency සේවා සඳහා අවශ්යතාවක් ඇති වේ නම්, ඒ සඳහා 5G වැනි තාක්ෂණික යටිතල පහසුකම් සූදානම් කර තිබීමද වැදගත්ය.
ඒ අනුව “4G අවශ්ය නිසා 5G අවශ්ය නැත” යන්නත්, “ලෝකය 5G වෙත ගොස් ඇති නිසා 4G තවදුරටත් අවශ්ය නැත” යන්නත් දෙකම අතිශය සරල නිගමන වේ.
ශ්රී ලංකාවට අවශ්ය වන්නේ 4G සහ 5G අතරින් එකක් තෝරා ගැනීම නොව, රටේ විවිධ ප්රදේශ සහ විවිධ අවශ්යතා සඳහා නිවැරදි තාක්ෂණය නිවැරදි ආකාරයෙන් යෙදවීමයි.
සටහන: මෙම ලිපියේ තාක්ෂණික පැහැදිලි කිරීම් විශේෂඥයාගේ අදහස් වන අතර, කුළුණු 4ක්/8ක් සහ වසර 20ක් වැනි අගයන් ඔහුගේ නිදර්ශන / ඇස්තමේන්තු වේ.



