Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා පසුගිය 19 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස ඊයේ 23 දිවයිනට පැමිණියා. මෙම සමුළුව අතරතුර, අග්රාමාත්යවරිය ලෝකයේ ප්රමුඛ පෙළේ රාජ්ය නායකයින්, ජාත්යන්තර මූල්ය ආයතන ප්රධානීන් ද හමුවී තිබුණා. වාර්ෂිකව ශ්රී ලංකාවෙන් චොක්ලට් මෙට්රික් ටොන් 900ක් මිලදී ගැනීමට ස්විට්සර්ලන්තය කැමති වී ඇත යනුවෙන් සමාජ මාධ්ය සටහන සංසරණය වන්නේ, අග්රාමාත්යවරිය ප්රමුඛ දූත පිරිස ස්විට්සර්ලන්තයේදී ව්යාපාරික නායකයින් ද හමුවී සාකච්ඡා කළ බවට මාධ්ය වාර්තා කර ඇති පසුබිමකයි.
මූලිකවම අප IRI News ෆේස්බුක් පිටුවේ සමාජ මාධ්යයේ සංසරණය වන ආකාරයේ සටහනක් පළ කර තිබේදැයි පරීක්ෂා කර බැලූ අතර එහි එවැනි සටහනක් දැක ගන්නට නොතිබිණ. අග්රාමාත්යවරියගේ සංචාරයට අදාළව එහි පළ කර තිබුණේ, අග්රාමාත්ය හරිනි අමරසූරිය IMF ප්රධානී හමුවූ අවස්ථාව දැක්වෙන සටහනක් පමණි.
අග්රාමාත්යවරියගේ සංචාරයට අදාළව ප්රධාන ධාරාවේ මාධ්ය විසින් ද සමාජ මාධ්යයේ සඳහන් වන අකාරය පුවතක් පළ කර නොමැති බව අප සිදු කළ කරුණු පරීක්ෂාවෙදී තහවුරු විය.
ඒ අනුව මෙම සමාජ මාධ්ය සටහනේ සත්ය අසත්යතාව තවදුරටත් තහවුරු කර දැන ගැනීම සඳහා අප අග්රාමාත්ය හරිනි අමරසූරියගේ නිල සමාජ මාධ්ය ගිණුම් පරීක්ෂාවට ලක් කළා. අග්රාමාත්යවරියගේ නිල ෆේස්බුක් ගිණුමේ සමාජ මාධ්යයේ සංසරණය වන සටහනේ ඇති ඡායාරූපය ඇතුළු තවත් ඡායාරූප කිහිපයක් පළ කර තිබූ අතර ඒ, Hamilton Medical සහ Variosystems යන සමාගම් වල නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවන් දැක්වෙන ඡායාරූප බව සඳහන් කරමිනි.

Facebook | Archived Link
ඒ අනුව සමාජ මාධ්ය සටහන සඳහා පාදක වී ඇති ඡායාරූපය Hamilton Medical සමාගමේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ඡායාරූපයක් ද නැතිනම්, Variosystems සමාගම නිරීක්ෂණය කළ අවස්ථාවේ ඡායාරූපයක් ද සහ මෙම සමාගම් දෙකේ නිෂ්පාදනයන් මොනවාද යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා. අප සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ, Hamilton Medical යනු ස්විට්සර්ලන්තයේ පිහිටි වෛද්ය උපකරණ නිපැයුම් සමාගමක් බවත්, Variosystems යනු ස්විට්සර්ලන්තය මූලස්ථානය කරගත ගෝලීය විදුලි ඉලෙක්ට්රොනික සේවා සමාගමක් බවයි. Variosystems හි මෙහෙයුම් මධ්යස්ථානයක් ශ්රී ලංකාවේ ද ක්රියාත්මක වේ. ඒ අනුව මෙම මෙම සමාගම් දෙකම සමාජ මාධ්ය සටහනේ සඳහන් පරිදි චොකලට් නිෂ්පාදනයට අදාළ සමාගම් නොවන බව පැහැදිලියි.
අග්රාමාත්යවරියගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ ඡායාරූප කිහිපය නිරීක්ෂණය කිරීමේදී සමාජ මාධ්ය සටහන සඳහා යොදා ගෙන ඇති ඡායාරූපයේ සිටින විදෙස් ජාතිකයින් දෙදෙනා Variosystems සමාගමේ පුද්ගලයින් තහවුරු වන අතර ඒ අනුව සමාජ මාධ්ය සටහන සඳහා යොදා ගෙන ඇති ඡායාරූපය Variosystems සමාගම නිරීක්ෂණය කරන අවස්ථාවේ ඡායාරූපයක් බව පැහැදිලි වේ.

අග්රාමාත්ය මාධ්ය අංශය
සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන සටහන සම්බන්ධව අප අග්රාමාත්යවරියගේ මාධ්ය අංශයෙන් ද විමසීමක් සිදු කළ අතර ඔවුන් තහවුරු කළේ, එම ඡායාරූපය අග්රාමාත්යවරිය ඇතුළු දූත පිරිස Variosystems සමාගමේ නිරීක්ෂණය කරන අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් බවයි. සමාජ මාධ්ය සංසරණය වන ආකාරයේ චොකලට් මිලදී ගැනීමක් පිළිබඳ කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡා කිරීමක් සිදු කර නොමැති බවත් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන සටහන අසත්ය සටහනක් බවත් අග්රාමාත්යවරියගේ මාධ්ය ලේකම්වරිය කියා සිටියා.
ශ්රී ලංකා චොක්ලට් අපනයනය
ශ්රී ලංකාව චොක්ලට් සහ ඒ ආශ්රිත රසකැවිලි නිෂ්පාදන විදේශයන්හි අපනයනය කරනු ලබනවා. නමුත් අපනයන ප්රමාණයන් සහ අගයන් ආනයනයට සාපේක්ෂව කුඩා ප්රමාණයක් බව දත්ත වලින් පෙන්නුම් කෙරෙනවා.
මෑතකදී දැක්වෙන දත්ත වලට අනුව, 2023 දී ශ්රී ලංකාව ඩොලර් මිලියන 14.2 ක් පමණ වටිනා චොකලට් නිෂ්පාදන (HS 1806) අපනයනය කර තිබෙනවා.
මෙලෙසින් ප්රධාන වශයෙන් චොක්ලට් අපනයන සිදු කරන රටවල් වන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්යය ($3.57), හොංකොං ($3.32M), බංග්ලාදේශය ($2.92M), මාලදිවයින ($857k), සහ සවුදි අරාබිය ($719k) වේ.
2022 සහ 2023 අතර ශ්රී ලංකාවෙන් චොක්ලට් අපනයනය සඳහා වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළ වූයේථ එක්සත් අරාබි එමීර් රාජ්යය ($933k), හොංකොං ($672k), සහ මාලදිවයින ($564k)යි.
විශාල ගෝලීය නිෂ්පාදකයින් හා සසඳන විට ශ්රී ලංකාව සාමාන්ය පරිමාණයෙන් වුවද ජාත්යන්තර චොකලට් වෙළඳාමට සහභාගී වන බව මෙයින් තහවුරු වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
ශ්රී ලංකාව ස්විට්සර්ලන්තයට චොක්ලට් අපනයනය කරනවාද?
UN COMTRADE දත්ත වලට අනුව, 2024 දී ස්විට්සර්ලන්තයට ශ්රී ලංකාවේ සීනි රසකැවිලි, සුදු චොකලට් ආදිය ඇතුළුව සිදු කරන අපනයනය ඉතා කුඩා ප්රමාණයක් වේ. එය අමෙරිකානු ඩොලර් 55.78 දහසක් පමණ විය. මෙයින් අදහස් කරන්නේ ස්විට්සර්ලන්තය මේ වන විට ශ්රී ලංකාවේ චොකලට් අපනයනය සඳහා වන ප්රධාන රටක් නොවන බවයි. ශ්රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ප්රධාන වෙළඳාම චොක්ලට් නොව වෙනත් භාණ්ඩ එනම්, මැණික්, ඉලෙක්ට්රොනික උපකරණ ආදිය වේ. මේ පිළිබඳව තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපනයන වටිනාකම අනුව සලකා බලන විට ස්විට්සර්ලන්තය ශ්රී ලංකාවේ චොකලට් සැලකිය යුතු ආනයනකරුවෙකු නොවේ. කෙසේ වෙතත් ආනයනික චොකලට් නිෂ්පාදන සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය ශ්රී ලංකාවට ප්රධාන ආනයනයකරුවෙකු වේ. ශ්රී ලංකාව 2023 දී ස්විට්සර්ලන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3.54 ක් පමණ වටිනා චොකලට් සහ කොකෝවා නිෂ්පාදන ආනයනය කර ඇත. මේ සම්බන්ධ තොරතුරු මෙතනින්.