Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඥාණසාර හිමි නැවත සිරගත වූයේ ඇයි? සම්පූර්ණ කරුණු පැහැදිලි කිරීමක්!

    කරුණු පැහැදිලි කිරීම
    2026-10-17
    1 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පෙර රජයක් යටතේ හිමිව තිබූ ජනාධිපති සමාව අවලංගු වීම සහ උන්වහන්සේ නැවත සිරගතවීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් සමාජ මාධ්‍යය තුළ නිර්මාණය වී ඇති පසුබිමක, උන්වහන්සේ සිරගත ව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පෙර රජයක් යටතේ හිමිව තිබූ ජනාධිපති සමාව අවලංගු වීම සහ උන්වහන්සේ නැවත සිරගතවීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් සමාජ මාධ්‍යය තුළ නිර්මාණය වී ඇති පසුබිමක, උන්වහන්සේ සිරගත වූයේ කුමක් නිසාද යන්න සම්බන්ධයෙන් අපැහැදිලි සහ නොමග යවන සුළු ප්‍රකාශයන් හුවමාරු වෙමින් පවතී. ඒ අනුව ඥානසාර හිමියන් සිරගත වීමට බලපෑ හේතු සාධක සම්බන්ධයෙන් සොයා බලමින් අප විසින් සිදු කරන සම්පූර්ණ කරුණු පැහැදිලි කිරීම පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “රණවිරුවන් බේරගන්න කතා කළ නිසා සිරගෙට නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි” යනුවෙන් දක්වමින් උන්වහන්සේ වෙනුවෙන් පැවති පාගමන සම්බන්ධයෙන් සටහන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    ෆේස්බුක් සටහනක තිර රුවක්: ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා සාම පාගමනක් සංවිධානය කිරීම පිළිබඳ ප්‍රචාරක පත්‍රිකාව

    Facebook | Archived Link

    විමර්ෂණයට ලක් කළ ප්‍රකාශය : “රණවිරුවන් බේරගන්න කතා කළ නිසා සිරගෙට නියම වූ…” යනුවෙන් දක්වමින් උන්වහන්සේ වෙනුවෙන් පැවති පාගමන සම්බන්ධයෙන් සටහන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබේ. අප විසින් පරීක්ෂා කළේ, ඥානසාර හිමියන්ට සිරදඬුවම් ලැබීමට බලපෑ හේතුව කුමක්ද ? රණවිරුවන් වෙනුවෙන් කතා කළ පමණින් ඥාණසාර හිමි සිරගතව තිබේද ? යන්නයි. ඥානසාර හිමියන් සම්බන්ධ නඩුකරයන් සම්බන්ධයෙන් සොයා බලමින් ඒ සම්බන්ධ සම්පූර්ණ කරුණු පැහැදිලි කිරීමක්.

    Explainer (කරුණු පැහැදිලි කිරීම) :

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරදඬුවම් ලැබීමට බලපෑ ප්‍රධාන සිදුවීම් මාලාව, ඒවාට අදාළ නීතිමය පසුබිම මෙසේය,

    2010 වසරේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනය වන B 7417/10 නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වෙමින් පැවතිණි. මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් සැකපිට රිමාන්ඩ් කර සිටියහ. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්. නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ පුද්ගලයෙකු පැහැරගෙන යාම, රහසිගතව සිරකර තැබීම සහ මිනී මැරීමේ කුමන්ත්‍රණය යන චෝදනා යටතේ මෙලෙස හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකුට එරෙහිව නඩු පවරන ලදී. (මෙම නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා ද මෑතකදී (2026 ඔක්තෝබර් මස) අධිකරණය හමුවට කැඳවා තිබුණි). වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    2016 ජනවාරි 25 වන දා එම නඩුව විභාග වෙමින් පැවතියදී ඥානසාර හිමියන් අධිකරණ ශාලාවට පැමිණ තිබේ. නීතිමය වශයෙන් උන්වහන්සේ එම නඩුවේ පැමිණිලිකරුවෙකු, විත්තිකරුවෙකු හෝ සාක්ෂිකරුවෙකු නොවූ අතර, නඩුවට කිසිදු නීත්‍යානුකූල සම්බන්ධතාවක් නොතිබුණි. සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් රට වෙනුවෙන් සේවය කළ රණවිරුවන් බැවින් ඔවුන් වහාම නිදහස් කළ යුතු යැයි උන්වහන්සේ තර්ක කර තිබේ. විනිසුරුවරයාගෙන් කිසිදු පූර්ව අවසරයකින් තොරව, විවෘත අධිකරණය අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ, මෙම අධිකරණ නියෝග තමන් පිළි නොගන්නා බවත් රටේ පොදු නීතිය මෙලෙස ක්‍රියාත්මක නොවිය යුතු බවත්ය. එසේම ජ්‍යේෂ්ඨ රජයේ අධිනීතීඥ දිලීප පීරිස් මහතා “නපුංසක රාජ්‍ය නිලධාරියා” යනුවෙන් අපහාසාත්මක ලෙස අමතා තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    මෙම අත්තනෝමතික හැසිරීම සහ අධිකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල කිරීම හේතුවෙන්, එවකට සිටි හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල අභියාචනාධිකරණය වෙත යොමු කරන ලදී. හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද පැමිණිල්ලට අනුව, අභියාචනාධිකරණය හමුවේ ඥානසාර හිමියන්ට එරෙහිව CA (CC) 04/2016 යටතේ චෝදනා 4ක් ගොනු කෙරිණි.

    2018 අගෝස්තු 8 වන දා අභියාචනාධිකරණය විසින් උන්වහන්සේ මෙම සියලුම චෝදනාවලට වැරදිකරු බව තීන්දු කළේය. එහිදී චෝදනාවලට වෙන් වෙන්ව වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ අතර, ඒවා එකවර ගෙවී යා යුතු බැවින් වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අනුමත විය. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    ජනාධිපති සමාව ලැබීම සහ නිදහස් වීම (2019 මැයි)

    ඥානසාර හිමියන් මාස කිහිපයක් සිරදඬුවම් විඳීමෙන් පසු, 2019 මැයි 23 වන දා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ තමන්ට පැවරී ඇති බලතල අනුව උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දී නිදහස් කරන ලදී. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් 2019 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් (SC FR 256/19 සහ SC FR 257/19) ගොනු කරන ලදී.

    අධිකරණයට අපහාස කිරීම වැනි වරදකට සෘජුවම වැරදිකරු වූ අයෙකුට සාධාරණ හේතුවක් නොමැතිව ජනාධිපති සමාව දීම මඟින් අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බරපතළ ලෙස හෑල්ලුවට ලක්වන බව පෙත්සම්කරුවන් තර්ක ඉදිරිපත් කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සමාව අවලංගු කිරීම (2026 සැප්තැම්බර්)

    2026 සැප්තැම්බර් 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින් ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරයා නීතිමය පටිපාටියෙන් බැහැරව, මෙම සමාව ලබා දී ඇති බැවින් එය නීතිවිරෝධී සහ අවලංගු වන බවයි. ඒ අනුව ඥානසාර හිමියන්ට වසර 6ක සිරදඬුවමේ ඉතිරි කාලය ගෙවීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සිරගත කිරීමට නියෝග කෙරිණි. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    ජනාධිපති සමාව ලබාදීමේදී සිදුවූ නීතිමය දෝෂ (ශ්‍රේෂ්ඨාධිකරණ විග්‍රහය)

    2026 සැප්තැම්බර් 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ලබාදුන් පිටු 58ක නඩු තීන්දුව මඟින් හිටපු ජනාධිපතිවරයාගේ සමාව දීමේ ක්‍රියාවලිය තුළ තිබූ ප්‍රධාන දෝෂ මෙසේ පෙන්වා දුන්නේය.

    ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ තමන්ට ඇති බලය ස්වාධීනව, සාධාරණව සහ කරුණු සොයා බලා භාවිතා කර නොමැත. උන්වහන්සේට සමාව දිය යුත්තේ ඇයිද යන්න පිළිබඳව කිසිදු සාධාරණ හේතුවක් ලිඛිතව ඉදිරිපත් කර තිබුණේ නැත.ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරිය (නීති) විසින් සකස් කරන ලද කෙටි සටහනකට, කිසිදු සොයා බැලීමකින් තොරව ජනාධිපතිවරයා යාන්ත්‍රිකව අත්සන් තබා ඇත. නීතියෙන් තමන්ට පැවරුණු වගකීම සහ තීරණ ගැනීමේ බලය වෙනත් නිලධාරියෙකුගේ අභිමතයට යටත් කිරීම නීති විරෝධී බව උසාවිය තීන්දු කළේය. මෙවැනි සමාවක් ලබාදීමට පෙර අදාළ වරදෙන් පීඩාවට පත් වූ වින්දිත පාර්ශවයන්ගෙන් හෝ ඒ පිළිබඳව විමසීමක් කර නොමැති අතර, එය ස්වාභාවික යුක්ති ධර්මයට පටහැනි වේ. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති සමාව දීමේ බලය මහජනතාව වෙනුවෙන් රක්ෂිතව තබා ඇති විශ්වාසයක් මිස, පුද්ගලික දේශපාලන වුවමනාවන් මත හිතුමතේ භාවිතා කළ හැකි උපකරණයක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

    මෙම දෝෂ නිසා ඥානසාර හිමියන්ට දුන් සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති නීතිය ඉදිරියේ සැමට ඇති සමානත්වයේ අයිතිය උල්ලංඝනය කිරීමක් බව තීන්දු කර එය සහමුලින්ම අවලංගු කරන ලදී. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    හෝමාගම අධිකරණ සංකීර්ණය තුළදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට සාපරාධී ලෙස තර්ජනය කිරීම සහ අපහාස කිරීම සම්බන්ධ නඩුව

    “අධිකරණයට අපහාස කිරීමේ” නඩුවට අමතරව මෙම නඩුව ඥානසාර හිමියන්ට එරෙහිව වෙනම පවරන ලද නඩුකරයකි. 2016 ජනවාරි 25 වන දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ ඥානසාර හිමියන් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථාවේදී, උන්වහන්සේ එහි පැමිණ සිටි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැදී, අපහාසාත්මක ලෙස සාපරාධී තර්ජනයක් සිදු කළහ. මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්නැලිගොඩ මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හෝමාගම පොලිසිය මඟින් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම වෙනම නඩුව පවරන ලදී. 2018 ජූනි 14 දින නඩු විභාගයකින් පසු, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඥානසාර හිමියන් මෙම නඩුවට වැරදිකරු කරමින් මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් සහ රුපියල් 3,000ක දඩයක් නියම කරන ලදී. එමෙන්ම වින්දිත සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද නියෝග කෙරිණි. උන්වහන්සේ මෙම තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ අතර, ඒ හේතුවෙන් දින කිහිපයකින් ඇප මත නිදහස් වීමට අවස්ථාව ලැබුණි.

    නීතිමය වශයෙන් මෙම මාස 6ක සිරදඬුවම ගෙවී අවසන් වී නැතත්, දැනට එය ක්‍රියාත්මක නොවේ (එය අත්හිටුවා ඇත). මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය විභාග කළ හෝමාගම මහාධිකරණය විසින්, උන්වහන්සේ වැරදිකරු බවට දුන් තීන්දුව තහවුරු කළේය. එහෙත්, මහාධිකරණ විනිසුරුවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ මාස 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවම වසර 5ක කාලයකට අත්හිටුවීමට නියෝග කළේය. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    ඒ අනුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීමේ නඩුව වෙනම නඩුවක් වන අතර, ඊට ලැබුණු මාස 6ක සිරදඬුවම දැනට අධිකරණය විසින් අත්හිටුවා ඇත. ඥානසාර හිමියන් වර්තමානයේ (2026 ඔක්තෝබර් වන විට) බන්ධනාගාරගතව සිරදඬුවම් විඳින්නේ මීට අදාළව පැවරුණු අනෙක් නඩුව වන, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සමාව අවලංගු කරන ලද “අධිකරණයට අපහාස කිරීමේ” වසර 6ක සිරදඬුවම් නියෝගය ක්‍රියාත්මක වීම හේතුවෙනි.

    අධිකරණයට අපහාස කිරීම

    ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීම යනු අධිකරණයේ ස්වාධීනත්වය, ගෞරවය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ආරක්ෂා කිරීම සඳහා පනවා ඇති බරපතළ වරදකි. ශ්‍රී ලංකා නීතියට අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පහත පරිදි වේ.

    ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කිරීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ:

    • අධිකරණය තුළදී සිදුවන අපහාස : අධිකරණ ශාලාව තුළදීම විනිසුරුවරයෙකුට, නීතිඥයෙකුට හෝ සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීම, කෑකෝ ගැසීම හෝ නඩු විභාගයට බාධා කිරීම.

    • අධිකරණයෙන් පිටතදී සිදුවන අපහාස : මාධ්‍ය, සමාජ මාධ්‍ය හෝ ප්‍රසිද්ධ ප්‍රකාශ හරහා විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය ප්‍රශ්න කිරීම, තීන්දුවලට ද්වේෂසහගත ලෙස දෝෂාරෝපණය කිරීම, හෝ ක්‍රියාත්මක වෙමින් පවතින නඩුවක තීන්දුවට බලපෑම් කිරීම

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට තමන්ට කරනු ලබන අපහාසයන් සම්බන්ධයෙන් නඩු විභාග කර දඬුවම් පැමිණවීමේ උපරිම බලය පවරා ඇත.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තියේ පාඨයේ රූපයක්: ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට අපහාස කිරීමට දඬුවම් පැමිණවීමේ බලය පිළිබඳව

    • නව නීතිමය තත්ත්වය (2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත): මෑතක් වනතුරුම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ස්ථාවර ලිඛිත නීතියක් නොතිබුණු අතර, විනිසුරුවරුන්ට තමන්ට අවශ්‍ය පරිදි දඬුවම් නියම කිරීමේ අභිමතය තිබුණි. නමුත් 2024 වසරේදී සම්මත වූ නව පනත මඟින් අධිකරණයට අපහාස කිරීම යනු කුමක්ද යන්න පැහැදිලිව අර්ථ දක්වා, ඊට අදාළ දඬුවම් සහ විත්තිකරුවන්ට ඇති අයිතිවාසිකම් නීතිගත කර ඇත.

    2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනතට සහ සාමාන්‍ය නීතිමය ප්‍රතිපාදනවලට අනුව ලබාදිය හැකි දඬුවම් මෙසේය:

    • වරදේ ස්වභාවය අනුව විත්තිකරුට ලිහිල් හෝ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ හැකිය. (උදාහරණයක් ලෙස, මීට පෙර අධිකරණයට අපහාස කිරීමේ වරදට ඥානසාර හිමියන්ට වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද, රන්ජන් රාමනායක මහතාට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම විය).

    • දඩ මුදල් නියම කිරීම: සිරදඬුවමට අමතරව හෝ සිරදඬුවම වෙනුවට අධිකරණය මඟින් නියම කරනු ලබන නිශ්චිත දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

    • අවවාද කර මුදා හැරීම: වරදකරු අධිකරණයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින්නේ නම් සහ අධිකරණය එය පිළිගන්නේ නම්, දැඩි ලෙස අවවාද කර හෝ යහපත් කල්ක්‍රියාව පිළිබඳ ඇපකරයක් මත මුදා හැරීමට විනිසුරුවරුන්ට හැකියාව ඇත.

    ශ්‍රී ලංකාවේ ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සමාව දීමේ බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේය. 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ඕනෑම අධිකරණයකින් වැරදිකරුවෙකු කරනු ලැබූ ඕනෑම අයෙකු සම්බන්ධයෙන් පහත ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයාට බලය ඇත.

    • නියම කර ඇති දඬුවමකට පූර්ණ හෝ කොන්දේසි සහිත සමාවක් දීම.

    • දඬුවම ක්‍රියාත්මක කිරීම තාවකාලිකව කල් දැමීම.

    • දඬුවම ලිහිල් ආකාරයකට වෙනස් කිරීම.

    • දඬුවම මුළුමනින්ම හෝ ඉන් කොටසක් අත්හිටුවීම.

    අධිකරණයට අපහාස කිරීමේ වරද ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය මඟින් තීන්දු කරනු ලැබුවද, එයද ශ්‍රී ලංකාවේ අධිකරණයකින් ලබාදෙන දඬුවමක් බැවින් ව්‍යවස්ථාපිතව ඊට සමාව දීමේ හැකියාව පවතී.

    නමුත්, ඇතැම් අවස්ථාවල ජනාධිපති සමාව යනු “අසීමිත හෝ අත්තනෝමතික බලයක් නොවන බවත්”, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව (නීතිය ඉදිරියේ සැමට ඇති සමානතාව) උල්ලංඝනය නොකළ යුතු බවත් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සමාව ලබා දීම් අවලංගු කර තිබේ.

    උදා : දුමින්ද සිල්වා නඩුව (2024 ජනවාරි 17): හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිද්‍රප්‍රභා කරන ලදී. එහිදී අධිකරණය අවධාරණය කළේ නිසි නීතිමය පටිපාටියෙන් බැහැරව සහ පදනම් විරහිතව ලබා දෙන සමාවන් නීති විරෝධී වන බවයි.

    2019 වසරේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් (FR 183/2019) විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2026 සැප්තැම්බර් 10 වනදා ලබාදුන් ඓතිහාසික තීන්දුව මඟින් අධිකරණ අපහාස සම්බන්ධ ජනාධිපති සමාව පිළිබඳ නීතිය පැහැදිලි කර ඇත. වැඩිදුර තොරතුරු මෙතනින්.

    අධිකරණයට අපහාස කිරීමේ නීතිය පවතින්නේ විනිසුරුවරුන්ගේ පෞද්ගලික අභිමානය රැකීමට නොව, සමස්ත මහජනතාවගේ යුක්ති පසිඳලීමේ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටයි. ජනාධිපතිවරයෙකු හිතුවක්කාරී ලෙස එම වරදට සමාව දුනහොත් එයින් අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටේ.

    අධිකරණ අපහාසයකට සමාව දීමේදී අදාළ පුද්ගලයා අධිකරණය ඉදිරියේ තමන් කළ වරද පිළිගෙන කොන්දේසි විරහිතව සමාව අයැද තිබේද, සහ ඔහු නිදහස් කිරීම පොදු සමාජ යහපතට හේතු වේද යන්න ජනාධිපතිවරයා සොයා බැලිය යුතුය

    අධිකරණ අපහාසයකට සමාව දීමේදී අදාළ පුද්ගලයා අධිකරණය ඉදිරියේ තමන් කළ වරද පිළිගෙන කොන්දේසි විරහිතව සමාව අයැද තිබේද, සහ ඔහු නිදහස් කිරීම පොදු සමාජ යහපතට හේතු වේද යන්න ජනාධිපතිවරයා සොයා බැලිය යුතුය.

    අනුගමනය කළ යුතු අනිවාර්ය පටිපාටිය

    අධිකරණයට අපහාස කිරීමේ වරදක් සම්බන්ධයෙන් වුවද සමාව දීමේදී, ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ 34(1) වගන්තියේ දැක්වෙන ව්‍යතිරේකයන් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුය.

    1. නඩුව විභාග කළ විනිසුරුවරුන්ගේ වාර්තාවක් කැඳවීම.

    2. එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර උපදෙස් ලබා ගැනීම.

    3. අධිකරණ අමාත්‍යවරයාගේ නිල නිර්දේශය ලබා ගැනීම.

    මෙම ක්‍රියා පටිපාටියෙන් බැහැරව ලබා දෙන ජනාධිපති සමාව ව්‍යවස්ථා විරෝධී සහ ශුන්‍ය (Void) වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

    අප විසින් මෙම නීතිමය තත්වයන් සම්බන්ධයෙන් නීතීඥ හරීන්ද්‍ර බාණගල මහතාගෙන් ද විමසීමක් කළ අතර, ඔහු විසින් සිදු කළ පැහැදිලි කිරීම පහතින්.

    “ජනාධිපතිවරයාට සමාවදීම සම්බන්ධයෙන් හිමිව ඇත්තේ කොන්දේසි විරහිත අභිමතානුසාරී බලයක්. එනම් කිසිදු කොන්දේසියකට යටත් නොවී ඕනෑම ආකාරයක පූර්ණ සමාවක් ලබාදීමේ නෛතික හැකියාව ජනාධිපතිවරයා සතුයි. එලෙස තනි අභිමතය පරිදි තීරණය ගනු ලැබුවද, එය ක්‍රියාත්මක වන්නේ විධායක ක්‍රියාවලියක් ඇතුළෙයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය, බන්ධනාගාර අධිකාරිය, අධිකරණ අමාත්‍යාංශය සහ අදාළ නඩු තීන්දුව ලබාදුන් අධිකරණයෙන් වාර්තා කැඳවීමේ පටිපාටියක් අනුගමනය කෙරෙනවා. ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ලිඛිත නීතියක් කොහෙවත් සඳහන් වන්නේ නැහැ. කෙසේ වෙතත්, කාලානුරූපව යම්කිසි කාලසීමාවක් පුරා මුල් අවස්ථාවේ සිට මෙලෙස වාර්තා කැඳවීමේ සම්ප්‍රදායික ක්‍රමවේදයක් පවත්වාගෙන ඇවිත් තියෙනවා.

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොන්දේසි විරහිතව සමාව ලබාදුන් අවස්ථාවේදී, යම් පාර්ශ්වයක් අධිකරණ ක්‍රියාවලියකට යොමු වෙමින් කියා සිටියේ අදාළ ක්‍රියාපටිපාටියේ පැවති දෝෂයන් හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවයි. මෙහිදී ක්‍රියාපටිපාටියේ අවුලක් පවතී නම්, මූලික අයිතිවාසිකම් කඩ කරනු ලබන්නේ එම පටිපාටිය භාරව කටයුතු කරන නිලධාරීන් (උදාහරණයක් ලෙස අධිකරණ අමාත්‍යවරයා හෝ බන්ධනාගාර කොමසාරිස්වරයා) විසිනුයි. ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන්නේ තමන් සතු අභිමතානුසාරී බලය ක්‍රියාත්මක කිරීම පමණයි. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් එම ජනාධිපති සමාවදීමේ නියෝගය ඉවත් කරනු ලැබුවා. යම්කිසි නීතිමය නියෝගයක් අවලංගු කළ විට, අදාළ තත්ත්වය නැවත පූර්ව පැවති තත්ත්වයට (back to normal) පත්වෙනවා. එනම් එවැනි නියෝගයක් නොදුන්නා හා සමාන වන අතර, ඒ අනුව ඥානසාර හිමියන්ගේ දඬුවම නැවත ක්‍රියාත්මක විය යුතු වෙනවා.”

    ජනාධිපති සමාව හා බැඳුණු නෛතික තත්ත්වය සම්බන්ධයෙන් නීතීඥ හරීන්ද්‍ර බාණගල මහතා සමග විස්තරාත්මක Factcrescendo අප විසින් සිදු කළ සාකච්ඡාවක් පහතින්.

    <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/skKfdG1EMw8?si=3xBlrHak5mjsgMuN” title=”YouTube video player” frameborder=”0″ allow=”accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share” referrerpolicy=”strict-origin-when-cross-origin” allowfullscreen></iframe>

    YouTube

    ඒ අනුව අපගේ කරුණු පැහැදිලි කිරීමෙන් පෙන්වා දෙන්නේ, ඥාණසාර හිමියන් රණවිරුවන් වෙනුවෙන් කතා කළ පමණින් සිරදඬුවම් විඳින බව පැවසීම නොමග යවන සුළු බවයි. ඥානසාර හිමියන් හෝමාගම අධිකරණයේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්තඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි බුද්ධි අංශ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කළ බව සැබෑවකි. එහෙත්, නීත්‍යානුකූලව උන්වහන්සේ සිරගත වූයේ එම රණවිරුවන් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීම නිසා නොව, අධිකරණයක ස්වාධීනත්වයට හානි කරමින් විනිසුරුවරයෙකුට බලපෑම් කිරීම සහ රටේ පොදු නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙනි. පෙර පැවති රජයක් යටතේ උන්වහන්සේට ජනාධිපති සමාව ලැබුණද, එය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් සලකා බලමින්, ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු අනිවාර්‍ය ක්‍රියාපටිපාටියේ දෝෂ හේතුවෙන් මෙම ජනාධිපති සමාව දීමේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර තිබේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.