Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනපති සහ විපක්ෂනායක අතර එකඟතාවක් ලෙස හුවමාරුවන සටහන් අසත්‍යයි!

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-27
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනපති සහ විපක්ෂනායක අතර එකඟතාවක් ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ක්‍රියාම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනපති සහ විපක්ෂනායක අතර එකඟතාවක් ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමෙන් වැලකී සිටීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇති බවත්, ඊට හේතුව ජනාධිපති අනුර කුමාර විසින් දූතයකු මගින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසට එවා ඇති දැනුම් දීමක් බවත් එහි දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප විසින් කටයුතු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook | Archived Link

    ඒ පිළිබඳව පළ වී තිබූ වෙබ් ලිපිය පහතින්.

    Web Link| Archived Link

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම සඳහා සහ අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමටත්, අගවිනිසුරුවරයෙකුගේ ධුර කාලය උපරිම වසර 6කට සීමා කිරීමටත් යෝජනා කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ විපක්ෂ නායකවරයා අතර එකඟතාවක් ඇති කරගත් බවට කිසිදු ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති මාධ්‍යයක හෝ නිල මූලාශ්‍රයක වාර්තා වී නොමැත.

    සමඟි ජන බලවේගය

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් විපක්ෂ නායක කාර්‍යාලය මගින් නිකුත් කර තිබේ. එම නිවේදනය සමඟි ජනබලවේගයේ නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ පළ කර ඇත.  එහි සඳහන් කර ඇත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කිසියම් රහසිගත එකඟතාවකට පැමිණ ඇති බවටත්, එම එකඟතාව හේතුවෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ගවලින් වැළකී සිටීමට තීරණය කර ඇති බවටත් Lanka Underground News වෙබ් අඩවිය විසින් පළ කර ඇති පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය, පදනම් විරහිත සහ ජනතාව නොමඟ යවන සුළු පුවතක් වන බවයි. 

    අදාළ පුවතෙහි සඳහන් කර ඇති පරිදි ජනාධිපතිවරයාගේ කිසියම් දූතයෙකු මාර්ගයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසියම් එකඟතාවක් හෝ දැනුම්දීමක් සිදු කර නොමැති බව එහි සඳහන්. එමෙන්ම, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන ඇති දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග නතර කිරීමට හෝ අත්හිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද එහි සඳහන් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින්. 

    Facebook

    එසේම අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදීද සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය විසින් සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍යය සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. 

    ජනාධිපති මාධ්‍ය අංශය

    අප විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළ අතර එහිදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද සඳහන් කළේ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා එවැනි කිසිඳු රහසිගත එකඟතාවයක් නොමැති බවයි. එසේ පලවී ඇති සමාජ මධ්‍ය සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද තහවුරු කළා.

    22 වැනි සංශෝධනය ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සිය ස්ථාවරය පැහැදිලි කර ඇත.

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තවේදී පවසා ඇත්තේ වත්මන් රජය යෝජනා කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම අධිකරණයේ නිදහසට, ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරක් බවයි. 

    සේවයේ නිරත විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම අධිකරණ ස්වාධීනත්වයට බලපාන බැවින්, ඒ සඳහා ජනතාවගේ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 දී ලබා දී ඇති විශේෂ තීන්දුවක් (2022 SD 64/71-2022) ඔහු ඉදිරිපත් කරයි. රජය බලහත්කාරයෙන් මෙය සිදු කිරීමට උත්සාහ කරන්නේ නම් ඊට ජනමත විචාරණයක් අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.

    මෙරට පවතින ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාණය ඉක්මන් කිරීමට විශ්‍රාම වයස දීර්ඝ කිරීම උපකාරී වන බවට රජය දක්වන මතය ඔහු බැහැර කරයි. මන්දයත්, එම නඩුවලින් අතිමහත් බහුතරයක් පවතින්නේ මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවල වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් ඊට කිසිදු බලපෑමක් සිදු නොවන බව ඔහු පෙන්වා දෙයි.

    රජයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම පිළිබඳව කිසිදු පිටුවක සඳහන් කර නොමැති බව පවසමින් ඔහු රජයේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරයි.

    විපක්ෂයේ අඛණ්ඩ විරෝධය

    අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2026 අගෝස්තු 18 වන දින මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගැසට් කරන ලදී. පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ දැඩි විරෝධතාවල නිරත වූ බව ප්‍රධාන මාධ්‍ය  පෙන්වා දී තිබේ. 

    මෙම සංශෝධනය හරහා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බවත්, ආණ්ඩුව තම අභිමතය පරිදි විනිසුරු කාලසීමා දීර්ඝ කිරීමට උත්සාහ කරන බවත් පවසමින් විපක්ෂය එය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළේය.

    යෝජිත විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය වර්තමානයේ ධුරය දරන ඇතැම් විනිසුරුවරුන්ට (විශේෂයෙන් වත්මන් අගවිනිසුරුවරයාට) සෘජුවම වාසිදායක වන අයුරින් සකස් කර ඇති බවත්, එයින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ බලතල බෙදීයාමේ මූලධර්මයට හානි වන බවත් විරෝධතාකරුවන් පෙන්වා දෙයි.විධායකයේ බලපෑම අධිකරණය මත තහවුරු කිරීමට එකඟතාවන් මේ හරහා මගපෑදෙන බවට විපක්ෂය සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් තර්ක කරයි. වැඩිදුර තොරතුරු මෙතනින්.

    මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් මූලික අයිතිවාසිකම් සහ විශේෂ පෙත්සම් 21කට අධික ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. විපක්ෂය පාර්ලිමේන්තුව තුළ මෙන්ම නීතිමය වශයෙන් දැඩි විරෝධතා එල්ල කළද, බාධක කොතෙක් තිබුණද නීතිමය සහ අධිකරණ ප්‍රතිසංස්කරණ සඳහා වන මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යන බව රජය සහ අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ප්‍රකාශ කර ඇත්තේ ජනතාවට අහිතකර කිසිදු තීරණයක් ගත් නොගන්නා අතර, නීතිය ක්‍රියාත්මක කිරීම වඩාත් කාර්යක්ෂම කිරීමට මෙම පියවර අත්‍යවශ්‍ය බවයි. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වාා දෙන්නේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනපති සහ විපක්ෂ නායක අතර එකඟතාවක් ඇති වී තිබෙන බවට හුවමාරු වන සටහන් අසත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය සහ ජනාධිපති මාධ්‍ය අංශය විසින් තහවුරු කර ඇත. යෝජිත විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය හරහා  ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන බවට විපක්ෂ නායකවරයා විසින් සිය ස්ථාවරය පාර්ලිමේන්තුවේදී පැහැදිලි කර ඇති අතර, අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ඒ හරහා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බව පවසමින් විපක්ෂය විසින් ඒ සඳහා දැඩි විරෝධයක්ද පළ කර ඇත.

    Result Stamp

    Title: 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනපති සහ විපක්ෂනායක අතර එකඟතාවක් ලෙස හුවමාරුවන සටහන් අසත්‍යයි!

    Fact Check By: B.P Hansani

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-08-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.