දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජාත්යන්තර මට්ටමේ දස්කම් දැක්වූ මලල ක්රීඩිකාවක් වන ෆාතිමා සාෆියා යාමික් සම්බන්ධයෙන් ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් සිදුකළ ප්රකාශයක් ලෙස දක්වමින් සටහනක් සමාජ මාධ්ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණා. සාෆියා යාමික් ක්රීඩකාව ආසියානු ක්රීඩා තරගාවලියෙන් ඉවත් කළේ මුස්ලිම් සමාජය සහ එහි ආගමික නායකයන් එසේ කරන ලෙස ඉල්ලු නිසා යනුවෙන්, ක්රීඩා හා තරුණ කටයුතු අමාත්යවරයා ප්රකාශ කර ඇති බව හැඟවෙන ලෙස අදාළ සටහන නිර්මාණය කර තිබුණි. මෙහි සත්ය අසත්යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :


Facebook | Archived Link Facebook
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ෆාතිමා සාෆියා යාමික් යනු ශ්රී ලාංකික කෙටි දුර ධාවන ශූරියකි. ඇය ජාතික මට්ටමේ මෙන්ම ජාත්යන්තර මට්ටමේ ද දස්කම් දැක්වූ මලල ක්රීඩිකාවකි. ඉන්දියාවේ රාංචි හි පැවැත්වුණු 4 වන දකුණු ආසියානු ජ්යෙෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 3ක් දිනා ගනිමින් ඇය දක්ෂතා දක්වා තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
සාෆියා සම්බන්ධයෙන් ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ඉහත ආකාරයේ ප්රකාශයක් සිදු කර ඇත්නම් මේ සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේද වාර්තා වී තිබිය යුතුය. අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ කිසිදු නිල විශ්වාසනීය මූලාශ්රයක් විසින් ඉහත ආකාරයේ ප්රකාශයක් ක්රීඩා හා තරුණ කටයුතු අමාත්යවරයා විසින් සිදු කළ බවට වාර්තා කර නොමැති බවයි.
එසේම අප විසින් අමාත්යවරයාගේ ප්රකාශයන් පරීක්ෂා කරමින්ද එවැන්නක් පවසා තිබේද යන්න විමර්ශනය කළ අතර එහිදීද පැහැදිලි වූයේ අමාත්යවරයා විසින් මෙවැනි ප්රකාශයක් සිදුකර නොමැති බවයි.
දසත News හි පළවූ පුවතක් නොවේ; සෆියා යාමික් ද සටහන් ව්යාජ බවට පොස්ටුවක් පළකරයි
එසේම ඉහත සමාජ මාධ්ය සටහන ‘දසත ලංකා News’ ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ දසත News විසින් එවැන්නක් පළකර නොමැති බවයි.
දසත නිව්ස් නිල ලාංඡනය අවභාවිතා කරමින් සැකසූ ව්යාජ පෝස්ටුවක් බව තහවුරු කරමින් දසත News විසින් ද සටහනක් පලකර තිබුණි.
එසේම ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය සුනිල් කුමාර ගමගේ ද අදාළ සමාජ මාධ්ය සටහන අසත්ය බව දක්වමින් ‘අපි වසර දෙකකට කල වැඩ දැක බියවන සතුරු කඳවුරු අන්තිමට වැටෙන තැන.’ යන තේමාවෙන් මේ ගැන සටහනක් පල කර තිබු අතර, ක්රීඩිකා සාෆියා යාමික් විසින් ද එම සටහන් හුවමාරු කරගෙන තිබුණි.



Facebook | Facebook | Facebook
සටහන අසත්ය වුවද සාෆියා යාමික් ක්රීඩිකාවට ආසියානු ක්රීඩා තරඟාවලිය නියෝජනය කිරීමට අවස්ථාව නොලැබී තිබීම සැබෑවකි.
මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ සාෆියා යාමික් සම්බන්ධයෙන් ප්රධාන වශයෙන් කතාබහට ලක්වන මෙම ආන්දෝලනාත්මක තත්ත්වය නිර්මාණය වී ඇත්තේ ඇයව ආසියානු ක්රීඩා තරගාවලිය සඳහා තෝරා නොගැනීම හේතුවෙනි.
2026 ආසියානු ක්රීඩා තරගාවලිය (Asian Games Aichi-Nagoya 2026) සඳහා ශ්රී ලංකාව නියෝජනය කරන නිල ක්රීඩක සංචිතය සහ නාමලේඛනය ජාතික ඔලිම්පික් කමිටුව (NOC Sri Lanka) විසින් නිල වශයෙන් නිවේදනය කර ඇත. එම ලැයිස්තුව මෙතනින්.
නමුත්, දකුණු ආසියානු රන් පදක්කම් ලාභී සාෆියා යාමික් සහ අමාශා ද සිල්වා වැනි ප්රමුඛ කෙටි දුර ධාවන ශූරියන් මෙම නිල කාන්තා මලල ක්රීඩා සංචිතයට ඇතුළත් කර නොතිබීම නිසා සමාජ මාධ්ය තුළ විරෝධයක් මතුව ඇත. සාෆියා යාමික් නියෝජනය කරන කාන්තා මීටර් 100 සහ 200 ඉසව් සඳහා ආසියානු ක්රීඩා තරගාවලියේදී ශ්රී ලංකාවෙන් වෙනත් ක්රීඩිකාවකද ඉදිරිපත් කර නැත.
දකුණු ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් ත්රිත්වයක් දිනා දෙමින් රටට විශාල කීර්තියක් අත්කර දුන්, දකුණු ආසියාවේ වේගවත්ම ක්රීඩිකාව ලෙස සැලකෙන ඇයට ආසියානු මට්ටමේ තරගාවලියක් සඳහා නිසි අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ක්රීඩා බලධාරීන්, ක්රීඩා අමාත්යාංශය, තේරීම් කමිටු වෙත දෝෂ දර්ශන එල්ල වෙමින් පවතී.
මාධ්ය ලේකම්-ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය සුනිල් කුමාර ගමගේ
ඉහත සටහන අසත්ය බවට අමාත්යවරයාගේ ෆේස්බුක් පිටුවෙහි පල කරන ලද සටහන වෙත අදහස් දක්වමින්ද සමාජ මාධ්ය පරිශීලකයන් විමසා ඇත්තේ, අදාල ක්රීඩිකාව ආසියානු ක්රීඩා තරගාවලිය සඳහා තෝරා නොගත්තේ ඇයිද ? යන්නයි.
අප විසින් ඉහත සමාජ මාධ්ය සටහන සහ ඊට පසුබිම් වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ක්රීඩා හා තරුණ කටයුතු අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතාගේ මාධ්ය ලේකම්වරයාගෙන් විමසීමක් සිදු කළ අතර, සාෆියා යාමික් ක්රීඩිකාවට ආසියානු ක්රීඩා තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ, සාෆියා සහ තවත් ක්රීඩකයන් කිහිපදෙනෙකු ආසියානු ක්රීඩා තරඟ සඳහා තෝරාගෙන නොමැති බව සැබෑවක් බවත්, ආසියානු ක්රීඩා උළෙල වැනි ක්රීඩා තරඟාවලී සඳහා ක්රීඩක ක්රීඩිකාවන් තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ ශ්රී ලංකා මලල ක්රීඩා සංගමය විසින් නියම කරනු ලබන සුදුසුකම් ලැබීමේ තරග සහ නිර්ණායක මත පදනම්ව බවත්, යෞවන කටයුතු හා ක්රීඩා අමාත්යාංශයට, කැබිනට් අමාත්යවරයාට හෝ කිසිදු දේශපාලනඥයෙකුට ක්රීඩක ක්රීඩිකාවන් තෝරා ගැනීමට හෝ ඉවත් කිරීමට කිසිදු සම්බන්ධයක් හෝ බලතලයක් නොමැති බවයි.
මලල ක්රීඩා සංගමයෙන් එම තේරීම් සිදුකිරීමෙන් අනතුරුව අමාත්යවරයා වෙත පැමිණෙන්නේ එම තේරුණු ක්රීඩකයන්ගේ ලැයිස්තුව බවත් ඔහු සඳහන් කළා. ආසියානු ක්රීඩා තරගාවලිය සඳහා සිදුකළ තේරීම් වල ගැටළු තිබූ බැවින් එම තේරීම් සිදුකිරීමෙන් පසුව, තේරීම් කමිටුවේ සාමාජිකයන් ඉවත් වී ඇති බවද ඔහු විසින් සඳහන් කළා. එසේම පුද්ගලික රුචිකත්වය අනුව තේරීම් සිදු කර ඇති බවටත් ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කළා.
එසේම, මාධ්ය සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්යවරයා විසින් ප්රකාශ කර ඇත්තේ, ක්රීඩා අමාත්යංශයෙන් හෝ ඔලිම්පික් කමිටුවෙන් ක්රීඩකයන් තේරීම සඳහා බලපෑම් නොකරන බවයි.
තේරීම් කමිටු වල ඇති යම් යම් ගැටළු හේතුවෙන් ඇතැම් අවස්ථාවල ගැටළුකාරී තත්වයන් ඇති වන බවත් අමාත්යවරයා විසින් සඳහන් කර තිබේ. එවැනි ගැටලු කිහිපයක් හේතුවෙන් ආසියානු ක්රීඩා තරගාවලියේදී ක්රීඩකයන් කිහිප දෙනෙකු මගහැරී ඇති බවද එහි ඔහු විසින් සඳහන් කර තිබේ. ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කරන බවද ඔහු විසින් සඳහන් කරයි.
එසේම ආසියානු ක්රීඩා තරඟාවලිය ඇතුළු අනෙකුත් ක්රීඩා තරඟාවලි සඳහා ක්රීඩකයන් තෝරා ගැනීමේ ගැටලු සම්බන්ධයෙන් අමාත්යවරයා විසින් පසුගියදා සහභාගී වූ රූපවාහිනී සාකච්ඡා වැඩසටහනකදී ද අදහස් දක්වා තිබේ. එහිදී අමාත්යවරයා විසින් සඳහන් කර ඇත්තේ, ජාත්යන්තර තරගාවලියකට අවසාන ලැයිස්තුව යැවීමට ප්රථම මූලික ලැයිස්තුවක් යැවිය යුතු අතර, අවසන් දිනයෙන් පසු මූලික ලැයිස්තුවේ නැති අසාධාරණයට ලක්වූ ක්රීඩකයෙකු අවසාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට නොහැකි වන පරිදි පද්ධතිය සකස් වී ඇති බවයි. අමාත්යවරයා එම ලැයිස්තුවට අත්සන් කරන්නේද එම සීමාවලට යටත්ව බවත් ඔහු පවසයි.
ක්රීඩකයන් කිහිපදෙනෙකුට සිදු වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් අමාත්යාංශයට ගෙනැවිත් ප්රශ්න කරන විට තේරීම් කමිටුවට පිළිතුරු දීමට නොහැකි වූ බවත්, නීතිමය පියවර ගැනීමට පෙර පැන යාමට උත්සාහ කරන බවත්, අසාධාරණයට ලක්වූ ක්රීඩකයන් මානව හිමිකම් කොමිෂන් සභාවට සහ අධිකරණයට යාමට සූදානම් වන බවත් ඔහු ප්රකාශ කරයි. Youtube
ශ්රී ලංකා මලල ක්රීඩා සංගමයේ සභාපති – බිමල් විජේසිංහ මහතා
අප විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ශ්රී ලංකා මලල ක්රීඩා සංගමයේ සභාපති බිමල් විජේසිංහ මහතාගෙන් සිදුකළ ඉල්ලීමට අදාළව ඔහු විසින් අප වෙත පිළිතුරු යොමු කර තිබේ.
ඒ අනුව බිමල් විජේසිංහ මහතා විසින් සඳහන් කරන්නේ, ෆාතිමා ෂාෆියා 2025 වසරේදී විශාල දක්ෂතා දක්වා තිබුණද, 2026 වසරේදී ඇයට එම මට්ටමේ දක්ෂතා දැක්වීමට නොහැකි වී ඇති බවයි. ක්රීඩක ක්රීඩිකාවන් තෝරා ගැනීම නිශ්චිත නිර්ණායක මත පදනම්ව සිදු කරන බව සඳහන් කරන අතර මෙම වසරේ සියලු තේරීම් පදනම් වී ඇත්තේ 2026 වසරේ දැක්වූ දක්ෂතා මත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඇය ජාතික ශූරතාවලිය ජයග්රහණය කළද එම දක්ෂතාවය අදාළ සුදුසුකම් ලැබීමේ ප්රමිතියට ආසන්න නොවන බවත්, ඇය එම දක්ෂතාවය දැක්වීමට පෙර තරග සඳහා නාම යෝජනා කැඳවීම් ද අවසන් වී තිබූ බවත් ඔහු විසින් සඳහන් කර තිබේ. කාන්තා මීටර් 100 තරගය සඳහා වන ආසියානු ක්රීඩා සුදුසුකම් ලැබීමේ ප්රමිතිය තත්පර 11.40 ක් වන බවත්, ෂාෆියා 2025 වසරේදී දක්වා තිබුණේ තත්පර 11.51 ක දක්ෂතාවක් බවත් සඳහන් කරනු ලැබීය.
සංචිත තේරීමේ ක්රියාවලිය විස්තර කරමින් බිමල් විජේසිංහ මහතා සඳහන් කරන්නේ මැයි මස අග භාගයෙන් පසුව දක්ෂතා දැක්වූ කිසිදු ක්රීඩකයෙකු සංචිතයට ඇතුළත් කිරීමට නොහැකි වූ බවයි. වසර ආරම්භයේදී ක්රීඩකයන්ගේ පූර්ව වර්ෂයේ දක්ෂතා සලකා බැලුවද, පසුව කෙටි ලැයිස්තුව සකස් කිරීමේදී එක් එක් තරග සඳහා ඉදිරිපත් කළ මූලික නාම යෝජනාවලට අනුව මෙම වසරේ හොඳම දක්ෂතා දැක්වූවන් තෝරාගනු ලැබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකා මලල ක්රීඩා නිලධාරීන් විසින් මීටර් 4X100 මිශ්ර සහය දිවීමේ කණ්ඩායමට සාමාජිකයන් දෙදෙනෙකු සහ තවත් කේවල ඉසව් දෙකක් ඇතුළත් කිරීමට උත්සාහ කළද, සංවිධායකයින් විසින් එය ප්රතික්ෂේප කරනු ලැබූ බවද ඔහු දක්වා තිබේ.
මෙම තේරීම් ක්රියාවලිය ශ්රී ලංකා මලල ක්රීඩා සංගමය, ජාතික ක්රීඩා තේරීම් කමිටුව, ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ක්රීඩා අමාත්යාංශයේ නිලධාරීන්ගේ සාමූහික ප්රයත්නයක් බව පවසන බිමල් විජේසිංහ මහතා, කිසිදු ක්රීඩකයෙකුට අසාධාරණයක් කිරීමේ අභිප්රායක් නොතිබූ බවත්, ලැබී ඇති ඉඩප්රමාණය සහ කෝටා සීමාවන් තුළ කණ්ඩායම තේරීමට සිදුවූ බවත් වැඩිදුරටත් අවධානයට යොමුකර ඇත.
දකුණු ආසියානු තරගාවලියේදී කාන්තා මීටර් 100,200 ඉසව් ජයග්රහණය කළ සහ මුල් ස්ථාන අතරට පත් වූ කිසිඳු ක්රීඩිකාවක් 2026 ආසියානු ක්රීඩා උළෙලේ එම ඉසව් නියෝජනය නොකරයි.
2026 ආසියානු ක්රීඩා උළෙලේ (Aichi-Nagoya 2026) මලල ක්රීඩා ඉසව් සඳහා නිකුත් කර ඇති නිල ජාත්යන්තර ලැයිස්තු පරීක්ෂා කිරීමේදී කාන්තා මීටර් 100 ඉසව්ව සඳහා කිසිදු දකුණු ආසියානු ක්රීඩිකාවක් සහභාගී නොවන බව පැහැදිලි වේ.
එසේම, 2026 ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා මීටර් 200 ඉසව්ව සඳහා දකුණු ආසියානු කලාපයෙන් සහභාගී වන්නේ ඉන්දීය ක්රීඩිකාවන් දෙදෙනෙකු පමණි. කෙසේ නමුත් දකුණු ආසියානු ක්රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 200 ඉසව්වෙන් දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය දිනාගත් ඉන්දීය ක්රීඩකාවන් දෙදෙනාද ආසියානු ක්රීඩා තරගාවලියේ දී මෙම තරග ඉසව්වට සහභාගී නොවේ. මෙම තරඟය සඳහා සඳහා සමස්ත දකුණු ආසියාව සහ ඉන්දියාව නියෝජනය කරමින් සහභාගී වන ඉන්දියානු ක්රීඩිකාවන් දෙදෙනා දකුණු ආසියානු ක්රීඩා තරගාවලියේදී එම ඉසව්වෙන් ජයග්රහණය කළ ක්රීඩිකාවන්ද නොවේ.
දකුණු ආසියානු ජ්යෙෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලියේ (South Asian Senior Athletics Championships) නිල ප්රතිඵලවලට අනුව කාන්තා 100m සහ 200m කෙටිදුර ධාවන ඉසව්වල ප්රතිඵල මෙතනින්.
ඒ අනුව දකුණු ආසියානු තරගාවලියේදී කාන්තා මීටර් 100,200 ඉසව් ජයග්රහණය කළ සහ මුල් ස්ථාන අතරට පත් වූ කිසිඳු ක්රීඩිකාවක් 2026 ආසියානු ක්රීඩා උළෙලේ එම ඉසව් ද්විත්වය නියෝජනය නොකරන බව පැහැදිලි වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ශාෆියා යාමික් ක්රීඩිකාව ආසියානු ක්රීඩා තරගාවලියෙන් ඉවත් කළේ මුස්ලිම් සමාජය සහ එහි ආගමික නායකයන් එසේ කරන ලෙස ඉල්ලූ නිසා යනුවෙන් ක්රීඩා අමාත්යවරයා විසින් ප්රකාශ කර ඇති බව දක්වමින් හුවමාරු වන සටහන අසත්ය බවයි. අදාළ සටහන අසත්ය බවට ක්රීඩා අමාත්යංශය විසින් ද තහවුරු කර තිබේ.
කෙසේ වුවද කෙටි දුර ධාවන ශූරී සාෆියා යාමික් ක්රීඩකාවට ආසියානු ක්රීඩා තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව නොලැබී තිබීම සැබෑවකි. එසේම ඇය නියෝජනය කරන කාන්තා කෙටි දුර ධාවන ඉසවු සඳහා වෙනත් ක්රීඩකාවක්ද ඉදිරිපත් කර නොමැත.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ක්රීඩා අමාත්යාංශය විසින් සඳහන් කරන්නේ ක්රීඩකයන් තෝරා ගැනීමේ ක්රියාවලිය සඳහා අමාත්යවරයා හෝ අමාත්යංශය මැදිහත් නොවන බවයි. එය ශ්රී ලංකා මලල ක්රීඩා සංගමය විසින් නියම කරනු ලබන සුදුසුකම් ලැබීමේ තරග සහ නිර්ණායක මත පදනම්ව තේරීම් කමිටු විසින් සිදුකරන ක්රියාවලියක් බව පැහැදිලි කර තිබේ.
එසේම මේ සම්බන්ධයෙන් මාධ්ය සාකච්ඡා වලදී සහ රූපවාහිනී වැඩසටහන්වලදී අදහස් දක්වමින් අමාත්යවරයා විසින් ප්රකාශ කර තිබුණේ මෙවර ආසියානු ක්රීඩා තරගාවලියේ ක්රීඩකයන් තෝරා ගැනීමේදී තේරීම් කමිටුවලින් යම් යම් ගැටලු හේතුවෙන් ක්රීඩකයන් කිහිප දෙනෙකු මගහැරී ඇති බවයි.
එසේම දකුණු ආසියානු තරගාවලියේදී කාන්තා මීටර් 100,200 ඉසව් ජයග්රහණය කළ සහ මුල් ස්ථාන අතරට පත් වූ කිසිඳු ක්රීඩිකාවක් 2026 ආසියානු ක්රීඩා උළෙලේ එම ඉසව් නියෝජනය නොකරයි.
ශ්රී ලංකා මලල ක්රීඩා සංගමයේ සභාපති බිමල් විජේසිංහ මහතා සදහන් කරන්නේ, ෆාතිමා ෂාෆියා 2025 වසරේදී විශාල දක්ෂතා දක්වා තිබුණද, 2026 වසරේදී ඇයට එම මට්ටමේ දක්ෂතා දැක්වීමට නොහැකි වී ඇති බවයි. කාන්තා මීටර් 100 තරගය සඳහා වන ආසියානු ක්රීඩා සුදුසුකම් ලැබීමේ ප්රමිතිය තත්පර 11.40 ක් වන බවත්, ෂාෆියා 2025 වසරේදී දක්වා තිබුණේ තත්පර 11.51 ක දක්ෂතාවක්.
එමෙන් ම මැයි මස අග භාගයෙන් පසුව දක්ෂතා දැක්වූ කිසිදු ක්රීඩකයෙකු සංචිතයට ඇතුළත් කිරීමට නොහැකි වූ බව ත්, වසර ආරම්භයේදී ක්රීඩකයන්ගේ පූර්ව වර්ෂයේ දක්ෂතා සලකා බැලුවද, පසුව කෙටි ලැයිස්තුව සකස් කිරීමේදී එක් එක් තරග සඳහා ඉදිරිපත් කළ මූලික නාම යෝජනාවලට අනුව මෙම වසරේ හොඳම දක්ෂතා දැක්වූවන් තෝරාගනු ලැබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.



