දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය 2026 ඔක්තෝබර් 07 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම පසුබිම යටතේ, හෙල්පින් හම්බන්තොට ගිණුම ගැන ප්රකාශයක් ලබාදීමට CID වෙත පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද අත්අඩංගුවට ගෙන ඇතැයි දක්වන සටහනක් සමාජ මාධ්යවල සංසරණය වේ. මේ ගැන Factcrescendo විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහත දැක්වේ.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

ඒ අනුව, මෙහි සත්ය අසත්ය භාවය සොයා බැලීමට අපි කටයුතු කළෙමු.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය 2026 ඔක්තෝබර් 07 වන දින (බදාදා) CIABOC විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඇය සම්බන්ධ ‘සිරිලිය සවිය’ ආයතනයේ ගිණුමක සිදුවූ බවට කියන මුදල් අක්රමිකතාවක් මෙයට හේතුවයි. මේ ගැන ප්රධාන ධාරාවේ මාධ්ය වාර්තා කර ඇති ආකාරය මෙතනින්, මෙතනින් සහ මෙතනින් බලන්න.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව, හෙල්පින් හම්බන්තොට ගිණුම ගැන ප්රකාශයක් ලබාදීමට CID වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි සටහන් හුවමාරු වෙමින් පවතී.
එම සටහන, 2026.10.07 දින සිරස News 1st පළ කළ පුවතක් ලෙස News 1st ලාංඡනය සහිත පුවත් කාඩ්පතක ආකෘතියෙන් නිර්මාණය කර තිබෙනවා.
නිල පුවත් වාර්තා නොමැත
අප සිදු කළ පරීක්ෂාවේදී, මෙම සිදුවීම ගැන කිසිදු පුවත් වාර්තාවක් හෝ විශ්වාසදායක නිල මූලාශ්රයකින් කළ තහවුරු කිරීමක් හමු නොවීය. 2026.10.07 දින මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණි බවට ද කිසිදු පුවත් වාර්තාවක් නොමැත.
News 1st මෙම පුවත පළ කර නැත
එවැනි පුවතක් News 1st පළ කර තිබේදැයි අපි පරීක්ෂා කළෙමු. එහිදී පැහැදිලි වූයේ, News 1st ආයතනය ද එවැනි පුවතක් වාර්තා කර නොමැති බවයි.
පොලිස් මාධ්ය කොට්ඨාශය
මෙය තහවුරු කර ගැනීමට අපි පොලිස් මාධ්ය කොට්ඨාශයෙන් විමසුවෙමු. ඔවුන් තහවුරු කළේ, 2026.10.07 දින ප්රකාශයක් ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා CID වෙත පැමිණ නැති බවත්, ඔහුව අත්අඩංගුවට ගෙන නැති බවත්ය.
පොදුජන පෙරමුණේ මාධ්ය ප්රකාශක
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්ය ප්රකාශක සංජීව එදිරිමාන්න මහතාගෙන් ද අපි මේ ගැන විමසුවෙමු. හෙල්පින් හම්බන්තොට ගිණුම ගැන ප්රකාශයක් ලබාදීමට CID වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි හුවමාරු වන සටහන සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහු පැවසීය.
හිටපු මහින්ද රාජපක්ෂ මහතා සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පසුබිම
ඔහුට එරෙහිව මෙතෙක් සිදුවී ඇත්තේ විමර්ශන සම්බන්ධ පියවර මෙලෙසින් දැක්විය හැක. 2022 මැයි මාසයේ කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින්, 2022 මැයි 9 සිදුවීම් පිළිබඳ විමර්ශන හේතුවෙන් ඔහු ඇතුළු 17 දෙනෙකුට විදේශගමන තහනමක් පනවන ලදී. එම තහනම 2023 මැයි 17 වන දින ඉවත් කරන ලදී. ඊට අමතරව, 2022 මැයි 25 වන දින CID ප්රකාශයක් ද 2026 මැයි 12 වන දින CIABOC වෙත ප්රකාශයක් ද ඔහු ලබාදී ඇත. එම අවස්ථාවලදී ඔහු අත්අඩංගුවට ගෙන නැත. තහනම පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. නාමල් රාජපක්ෂ මහතා 2026 සැප්තැම්බර් 04 වන දින ශ්රී ලංකන් ගුවන් සේවයේ එයාර්බස් අල්ලස් විමර්ශනය යටතේ CIABOC විසින් අත්අඩංගුවට ගෙන, සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ් කරන ලදී (මෙතනින්). බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය 2026 ඔක්තෝබර් 07 වන දින CIABOC විසින් අත්අඩංගුවට ගනු ලැබීය (මෙතනින්).
රාජපක්ෂ පවුල සහ වෙනත් දේශපාලනඥයන් වටා අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ව්යාජ හා නොමඟ යවන සටහන් ගැන අප විමර්ශන කිහිපයක්ම මීට පෙර සිදුකර තිබෙනවා.
2025 ජුනි 30: ශිරන්ති රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට මහින්ද රාජපක්ෂ මල්වතු පාර්ශවයෙන් සහාය පැතූ බවට ව්යාජ සටහන් – මෙතනින්
2026 සැප්තැම්බර් 08: නාමල් රාජපක්ෂගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රාජපක්ෂ පවුලට දෙමළ දේශපාලන නායකයින්ගෙන් සහය ලැබෙන බවට ව්යාජ සටහන් – මෙතනින්
“හෙල්පින් හම්බන්තොට” (Helping Hambantota) විමර්ශන නතර කර ඇත්තේ වසර 20කට වැඩි කාලයකට පෙරයි.
2004 දෙසැම්බර් සුනාමි ව්යසනයෙන් විපතට පත් අයට සහන සැලසීමට, එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් “හෙල්පින් හම්බන්තොට” නමින් පුද්ගලික අරමුදලක් පිහිටුවන ලදී. රජයේ සුනාමි සහන අරමුදලෙන් රුපියල් මිලියන 83ක් මෙම පුද්ගලික අරමුදලට බැර කළ බවට 2005 වසරේදී එවකට එජාප පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා පැමිණිල්ලක් කළේය.
මේ සම්බන්ධයෙන් CID විසින් ආරම්භ කළ විමර්ශන නතර කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් (FR) පෙත්සමක් ඉදිරිපත් කළේය. එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් ශ්රේෂ්ඨාධිකරණය, චෝදනාව අසත්ය සහ දේශපාලන අරමුණක් ඇති ඒවා බව පවසමින් එම විමර්ශන අවලංගු කරන ලදී. පසුව මෙම තීන්දුව ගැන විවේචන ද එල්ල වී ඇත. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් CID විමර්ශන එතැනින් අවසන් වී තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හෙල්පින් හම්බන්තොට ගිණුම ගැන ප්රකාශයක් ලබාදීමට CID වෙත පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි හුවමාරු වන සටහන සම්පූර්ණයෙන්ම අසත්ය බවයි. 2026.10.07 දින ඔහු ප්රකාශයක් ලබාදීමට CID වෙත ගොස් ද නැත. පොලිස් මාධ්ය කොට්ඨාශය සහ පොදුජන පෙරමුණේ මාධ්ය ප්රකාශකයා ද මෙය තහවුරු කළහ. එදින CIABOC විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියයි.



