Update – 2026.10.01
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් 2026 සැප්තැම්බර් 30 වන දින මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි මාසික ඉන්ධන මිල සංශෝධනය සිදු කර ඇත. ඒ අනුව සංශෝධිත නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ.
ඉන්ධන මිල සංශෝධන සටහන
| ඉන්ධන වර්ගය | මිල වැඩි වූ ප්රමාණය | පැවති මිල (රු.) | නව මිල (රු.) |
| ලංකා පෙට්රල් ඔක්ටේන් 92 | රු. 15.00 කින් ඉහළට | 399.00 | 414.00 |
| ලංකා ඔටෝ ඩීසල් | රු. 10.00 කින් ඉහළට | 382.00 | 392.00 |
| ලංකා සුපිරි ඩීසල් | රු. 50.00 කින් ඉහළට | 478.00 | 528.00 |
| ලංකා පෙට්රල් ඔක්ටේන් 95 | මිල සංශෝධනයක් නැත | 475.00 | 475.00 |
| ලංකා භූමිතෙල් | මිල සංශෝධනයක් නැත | 285.00 | 285.00 |
මූලාශ්ර: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමගාමීව ලංකා IOC (LIOC) සහ සිනෝපෙක් සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
කෙසේ නමුත් මෙම ඉන්ධන මිල සංශෝධනය හමුවේ වුවද ඉහත සමාජ මාධ්ය සටහන තවදුරටත් අසත්ය සහ නොමග යවන සුළු වේ.
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ඉන්ධන මිළ ඉහළ ගොස් ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වි තිබේ. මෙහි සත්ය අසත්යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අධිකරණ ක්ෂේත්රයේ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස් සීමාවන් දීර්ඝ කිරීමට අදාළ 22 වන ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2026 සැප්තැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීම පැවැත්විණි. එහිදී තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත විය.
22 වන සංශෝධනය සම්මත වූ දිනයෙන් (2026 සැප්තැම්බර් 25) පසු මේ දක්වා (2026 සැප්තැම්බර් 30 දින දහවල) ශ්රී ලංකාවේ ඉන්ධන මිල වැඩි වී නොමැත.
ඉන්ධන මිල ඉහළ පහළ යෑම් සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු නිල විශ්වාසනීය මූලාශ්රයන් ඔස්සේ ද ජනතාව දැනුවත් කරනු ලබයි. කෙසේ නමුත් අදාළ සංශෝධනය සම්මත වීමෙන් පසු එනම් සැප්තැම්බර් 25 දිනෙන් පසු මේ දක්වා (2026 සැප්තැම්බර් 30 දින දහවල) ඉන්ධන මිල වැඩිවීමක් සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ හෝ නිල විශ්වාසනීය මූලාශ්රයන් ඔස්සේ කිසිදු වාර්තාවක් සිදුකර නොමැත.
හුවමාරුවන සටහන 2026 මැයි 02 වැනිදා සිදු කරන ලද මිල සංශෝධනයක් දැක්වෙන පැරණි වාර්තාවකි
ඉහත සටහනේ දක්වා ඇති ඉන්ධන මිල සටහන 2026 මැයි 02 වැනිදා ඉන්ධන මිල ඉහළ යෑම දැක්වෙන පැරණි වාර්තාවකි. මේ වන විට ක්රියාත්මක වන්නේ මෙම මිල ගනන් නොවන අතර මැයි 02 මිල ඉහළ යෑමෙන් පසු අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල සංශෝධනයන් සිදු විය.

මැයි 02 දින ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධ මාධ්ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
අවසන් වරට ඉන්ධන මිල ඉහළ යෑමක් වාර්තා වන්නේ මැයි 31 දින වන අතර, 2026 මැයි 31 න් පසුව මේ මොහොත දක්වා (2026 සැප්තැම්බර් 30 දින දහවල) ඉන්ධන මිල වැඩිවීමක් සිදු වී නොමැත.
ජූනි සහ අගෝස්තු මාසවලදී ඉන්ධන මිල පහළ යෑම් සිදු විය
මැයි 31 දිනෙන් පසුව මේ දක්වා මෙරට ඉන්ධන මිල ඉහළ යෑමක් සිදු නොවූ අතර ආසන්නතම මාසවල ඉන්ධන මිල පහළ යෑම් තත්ත්වයන් මෙසේය:
* 2026 ජූනි 29: ඔක්ටේන් 92 පෙට්රල් සහ ඔටෝ ඩීසල් මිල සැලකිය යුතු ලෙස අඩු කරන ලදී.
* 2026 අගෝස්තු 31: ඔක්ටේන් 95 පෙට්රල් රු. 20කින් සහ ඔක්ටේන් 92 පෙට්රල් රු. 15කින් පහත හෙලන ලද අතර ඩීසල් මිල වෙනස් නොවී පැවතුණි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.
මේ වන විට (2026 සැප්තැම්බර් 30 දින දහවල) ක්රියාත්මක සැබෑ ඉන්ධන මිල ගණන්
2026 අගෝස්තු 31 ඉන්ධන මිල පහත දැමීමෙන් පසු මේ වන විට (2026 සැප්තැම්බර් 30) ක්රියාත්මක සැබෑ ඉන්ධන මිල ගණන් පහතින්.
| ඉන්ධන වර්ගය | ලීටරයක මිල |
| ලංකා පෙට්රල් 92 ඔක්ටේන් (Lanka Petrol 92 Octane) | රු. 399.00 |
| ලංකා පෙට්රල් 95 ඔක්ටේන් යුරෝ 4 (Lanka Petrol 95 Octane Euro 4) | රු. 475.00 |
| ලංකා ඔටෝ ඩීසල් (Lanka Auto Diesel) | රු. 382.00 |
| ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 (Lanka Super Diesel 4 Star Euro 4) | රු. 478.00 |
| ලංකා භූමිතෙල් (Lanka Kerosene) | රු. 285.00 |
| ලංකා කාර්මික භූමිතෙල් (Lanka Industrial Kerosene) | රු. 434.00 |
| ලංකා ෆුවෙල් ඔයිල් සුපර් (Lanka Fuel Oil Super) | රු. 322.00 |
| ලංකා ෆුවෙල් ඔයිල් 1500 Sec. (අධික සල්ෆර්) (Lanka Fuel Oil 1500 Sec. High Sulphur) | රු. 322.00 |
| ලංකා ෆුවෙල් ඔයිල් 1500 Sec. (අඩු සල්ෆර්) (Lanka Fuel Oil 1500 Sec. Low Sulphur) | රු. 322.00 |
මූලාශ්රය- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO)
බලශක්ති අමාත්යාංශය
ඉන්ධන මිල යළි ඉහළ ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්යය ඔස්සේ හුවමාරු වන සටහන සම්බන්ධයෙන් අප විසින් බලශක්ති නියෝජ්ය අමාත්යවරයාගේ මාධ්ය ලේකම්වරයාගෙන්ද විමසීමක් කලා. එහිදී ඔහු සඳහන් කළේ සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන සටහන අසත්ය, පැරණි මිල සංශෝධනයක් දැක්වෙන සටහනක් බවත්, සැප්තැම්බර් 30 බදාදා දහවල වන විට එවැනි මිල සංශෝධනයක් සිදු කර නොමැති බවත් ය.
ඉදිරි මාස තුනට ඩීසල් සඳහා සහනාධාරයක්
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවට සිදුවන ආර්ථික පීඩනය වැළැක්වීම සඳහා මාස තුනක් සඳහා රුපියල් බිලියන 41ක ඩීසල් සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා ඇතුළු රජය තීරණය කර තිබේ. මෙම සහනාධාරය හේතුවෙන්, විශේෂයෙන්ම පොදු ප්රවාහනයට අත්යවශ්ය වන ඩීසල් මිල ඉහළ යාම වළක්වා ස්ථාවරව පවත්වා ගැනීමට රජය පියවර ගෙන ඇත. මේ සම්බන්ධ මාධ්ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ඔක්තෝබර් මාසයට අදාල ඉන්ධන මිල සංශෝධනය
අද (සැප්තැම්බර් 30) පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක සඳහන් කර ඇත්තේ, ඉදිරි දිනවල ඉන්ධන මිල සංශෝධනයක් ප්රකාශයට පත් කෙරෙන බවයි. එහිදී ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් ලබාදීමට රජය පියවර ගන්නා බව අමාත්යවරයා ප්රකාශ කර තිබේ. අමාත්යවරයාගේ ප්රකාශය මෙතනින්.
මෙම කරුණු පරීක්ෂණ වාර්තාව 2026 සැප්තැම්බර් 30 බදාදා දහවලේදී සිදුකරන ලද අතර, අද රාත්රියේ හෝ ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් ලිපියේ යාවත්කාලීන කිරීමක් කරන්නෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 22වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත සම්මත වීමෙන් පසු ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවට දක්වමින් හුවමාරු වන සටහන අසත්ය බවයි. එම සටහනෙහි දැක්වෙන්නේ පසුගිය මැයි මස 02 වන දා ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ සඳහන් වූ ඉන්ධන මිල ගණන් ය. මැයි 02 දිනෙන් පසු මැයි 31 ඉන්ධන මිල නැවත ඉහළ ගිය අතර, ජූනි 29 සහ අගෝස්තු 31 යන දිනවලදී ඉන්ධන මිල පහළ යෑම් සිදු විය. ඒ අනුව මේ වනවිට ක්රියාත්මක වන්නේ අගෝස්තු 31 දින සිදු වූ ඉන්ධන මිල පහළ යෑමෙන් පසු සටහන් වූ ඉන්ධන මිල ගණන් ය. මෙම කරුණු පරීක්ෂණ වාර්තාව 2026 සැප්තැම්බර් 30 බදාදා දිනයේ සිදුකරන ලද අතර, ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් ලිපියේ යාවත්කාලීන කිරීමක් කරන්නෙමු.



