Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    චන්ද්‍රයා මතුපිට “අභිරහස් කුළුණක්” ඇතැයි පැතිරෙන සටහන අසත්‍යයි!

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-05
    9 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චන්ද්‍රයාගේ පෘථිවියට නොපෙනෙන පැත්තේ අත්භූත කුළුණක් ඇති බවත්, එහි ඡායාරූපයක් නිකුත් වූ බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබේ. මේ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    චන්ද්‍රයාගේ පෘථිවියට නොපෙනෙන පැත්තේ අත්භූත කුළුණක් ඇති බවත්, එහි ඡායාරූපයක් නිකුත් වූ බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබේ. මේ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ”සඳේ, පෘතුවියට නොපෙනන පැත්තේ අත්භූත කුලුණක් තිබෙන බව සහ එහි ඡායාරූපයක් නිකුත් වුන බවට රාවයක් පැතිරෙනවා . ඊයේ රෑ China වල Chang’e Mission එකේ Data එකෙන් සහ NASA එකේ LRO Survey Data එකෙන් Photo එකක් Leak වෙලා තියෙනවා කියල ඔයාල සමහරවිට දකින්න ඇති. මේ ඡායාරූපයේ, සඳේ අපිට නොපෙනෙන පැත්තේ 44.2°S 179.1°E Coordinates වල මීටර් 200කට වඩා උස, හරියට ඇන්ටෙනා එකක් වගේ කළුපාට කුලුණක් දකින්නට තිබෙන බව තමයි සමාජ මාධ්‍ය වල සංසරණය වෙන්නේ. 2004 වසරේ සිට සඳේ මෙවැනි කුලුණක් තිබෙන බවට අවස්ථා කීපයකදී කතාබහට ලක්වුනා. Classified Document එකක මේ ව්‍යුහය ගැන “STRUCTURE IS NOT NATURAL” කියලා සඳහන් වෙලා තියෙනවා කියලත් කියනවා. Photo එක Leak වුණාට පස්සේ පැය කීපයකින් China National Space Agency එක Original File එක Delete කරා කියල සඳහන් වුනත්, එහෙම එකක් තිබ්බනම් ඒක හැමතැනින්ම ඩිලිට් කරන එක පොසිබල් නෑ හැබැයි. මේ සිදුවීමත් එක්ක මේක Aliens ලාගේ Old Base එකක්ද? නැත්තම් අපිට කලින් සඳට ගිය වෙනම ශිෂ්ඨාචාරයක් විසින් එකක් හදපු එකක්ද? වගේ අදහස් කීපයකුත් කීපදෙනෙක් සටහන් කරලා තිබ්බා. 1960 ඉඳන් කතාවෙන Black Knight Satellite එක වගේම මේකත් අවුරුදු දහස් ගාණක් තිස්සේ එතන තියෙනවා කියලා සමහරු කියනවා. කොහොමවුනත් 2004 සිට කතාවෙන මේ කුලුණ ගැන NASA එකෙන් කවදාවත්ම Officially නිවේදනය කරලා නෑ. ඒ වගේම ඊයෙ Leak වුනා කියන ඡායාරූපය ගැනත් එයාලා මුකුත්ම කියලා නෑ. ඉතින් මේකගැන විශ්වාසදායක වාර්තාවක් නැතුව කාටවත් මේක ඇත්ත හෝ බොරු කියලා නිශ්චිත තීරනයකට එන්න බෑ!” යනුවෙන් එහි දක්වා තිබේ.

    චන්ද්‍රයා මතුපිට අභිරහස් කුළුණක් ඇතැයි පවසමින් අඳුරු පසුබිමක රූපයක් සහිතව පළ වූ සටහනේ තිර රූපය

    එම සටහනට එක් කර ඇති අදහස් දැක්වීමක (comment) ද පහත රූපය දක්වා ඇත. එහි “ZOND-3 (Soviet Moon Probe – 1965)” යනුවෙන් සඳහන් වේ.

    සඳ මතුපිට ඡායාරූපයක් ලෙස සඳහන් Zond-3 ගවේෂණ යානයේ රූපය සහිත ෆේස්බුක් අදහස් දැක්වීමක තිර රූපය

    Facebook |Archived Link

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප විසින් කටයුතු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    සටහනේ දක්වා ඇති රූපය LRO දත්තවලින් ගත් ඡායාරූපයක් නොවේ

    සටහනේ මුල් රූපය “LRO SURVEY DATA” යනුවෙන් නම් කර ඇතත්, එහි දැක්වෙන්නේ ඇන්ටෙනා සහ ඩිෂ් සහිත උස ව්‍යුහයක්, එහි පාමුල NASA ලාංඡනය සහිත රෝවර් (rover) යානයක් සහ “CLASSIFIED – EYES ONLY” මුද්‍රාවක් සහිත භූමි මට්ටමේ දසුනකි. LRO යානය චන්ද්‍රයා වටා කක්ෂයේ ගමන් කරමින් ඉහළ සිට ඡායාරූප ගන්නා බැවින්, එයට එවැනි භූමි මට්ටමේ දසුනක් ලබා ගැනීමට නොහැක. රූපයේ පහළ කොටසේ “UXCHARCOAL” යනුවෙන් නිර්මාතෘ නාමයක් පමණක් සඳහන් වන අතර, එය නාසා ආයතනය හෝ වෙනත් නිල ආයතනයක් නිකුත් කළ රූපයක් බවට කිසිදු සාක්ෂියක් නොමැත. අපගේ දෘශ්‍ය නිරීක්ෂණයට අනුව එය ඡායාරූපයක් නොව ඩිජිටල් ලෙස නිර්මාණය කළ චිත්‍රයකට සමානය.

    NASA සහ චීන නිල දත්තවල එවැනි කුළුණක් වාර්තා වී නැත

    ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි සඳහන් වන්නේ, චන්ද්‍රයා මතුපිට මීටර් 200කට වඩා උස කුළුණක් සහිත ඡායාරූපයක් මෑතකදී නිකුත් වී, පසුව එය ඉවත් කර ඇති බවයි. එවැනි ඡායාරූපයක් නිකුත් කර ඉවත් කර තිබේ නම්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය හෝ වෙනත් විශ්වාසදායක මූලාශ්‍ර වාර්තා කර තිබිය යුතුය. එහෙත් එවැනි ඡායාරූපයක් මෑතකදී නිකුත් වූ බවට කිසිදු නිල මූලාශ්‍රයක සඳහනක් අපට හමු නොවීය. සටහනේ කතුවරයා ද ඊට සාක්ෂියක් දක්වා නැත.

    නාසා ආයතනය සඳ මතුපිට අධ්‍යයනය සඳහා යොදවා ඇති Lunar Reconnaissance Orbiter (LRO) යානයේ කැමරාවෙන් (LROC) ලබා ගන්නා ඡායාරූප සහ දත්ත, පර්‍යේෂකයන්ට සහ මහජනතාවට පරීක්ෂා කිරීම සඳහා LROC Featured Image Archive සහ LROC Planetary Data System (PDS) දත්ත ගබඩාව හරහා විවෘතව ලබා දී ඇත.

    LROC හි Wide Angle Camera (WAC) මඟින් චන්ද්‍රයාගේ මුළු පෘෂ්ඨයම පික්සලයකට මීටර් 100ක විභේදනයෙන් ආවරණය වන ගෝලීය මොසෙයික් සිතියමක් සකසා ඇත. එම දත්ත ඇසුරින් නිර්මාණය කළ GLD100 භූලක්ෂණ (උස) සිතියම චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන් 98.2%ක් ආවරණය කරයි. ඊට අමතරව Narrow Angle Camera (NAC) මඟින් මීටර් මට්ටමේ විභේදනයෙන් විශාල ප්‍රදේශ ඡායාරූපගත කර ඇත. අප සොයා බැලූ මෙම දත්ත සහ ඒවා පිළිබඳ වාර්තා අතර, පෘථිවියට නොපෙනෙන කොටස ඇතුළුව, මීටර් 200කට වඩා උස කිසිදු කෘත්‍රිම කුළුණක් හෝ අස්වාභාවික ව්‍යුහයක් පිළිබඳ සඳහනක් හමු නොවීය.

    චීනයේ Chang’e 4 යානය 2019 ජනවාරි 3 වන දින චන්ද්‍රයාගේ පෘථිවියට නොපෙනෙන පැත්තේ ගොඩබැසීමට සමත් වූ ප්‍රථම යානය විය. Chang’e 6 යානය 2024 ජුනි 1 වන දින එම පැත්තේ Apollo basin ප්‍රදේශයේ ගොඩබැස, පෘථිවියට නොපෙනෙන පැත්තෙන් සාම්පල ලබාගත් ප්‍රථම මෙහෙයුම බවට පත් විය (වැඩිදුර). Chang’e 4 ලැන්ඩරයේ සහ Yutu-2 රෝවරයේ ඡායාරූප සහ විද්‍යාත්මක දත්ත 2020 ජනවාරි මාසයේ සිට ප්‍රසිද්ධියේ ලබා දී ඇති අතර, China National Space Agency (CNSA) ද මෙම මෙහෙයුම් පිළිබඳ නිල තොරතුරු ප්‍රකාශයට පත් කරයි. මෙම දත්ත අතරද එවැනි කුළුණක් තිබූ බවට වාර්තාවක් අපට හමු නොවීය.

    යම් හෙයකින් සඳ මතුපිට මීටර් 200කට වඩා උස කෘත්‍රිම ව්‍යුහයක් හමු වුවහොත්, එය කිසිදු ආයතනයකට රහසිගතව සඟවා තැබීමට හෝ එකවරම අන්තර්ජාලයෙන් මකා දැමීමට ඉතා අපහසුය. ලොව පුරා සිටින ස්වාධීන තාරකා විද්‍යාඥයන් සහ ආධුනිකයන් ද මෙම දත්ත නිරන්තරයෙන් විශ්ලේෂණය කරන බැවින්, එවැනි සොයාගැනීමක් ගෝලීය විද්‍යාත්මක සංවාදයකට ලක් වනු ඇත.

    කුළුණ ඇතැයි කියන ස්ථානය Chang’e 4 ගොඩබැස් ප්‍රදේශයට ආසන්නය

    සටහනේ සඳහන් 44.2°S 179.1°E ඛණ්ඩාංක ඇත්තේ චන්ද්‍රයාගේ පෘථිවියට කිසි විටෙකත් නොපෙනෙන පැත්තේය. චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන් පෘථිවියේ සිට දැකිය හැක්කේ (libration නිසා විවිධ අවස්ථාවල) 59%ක් පමණි (Far side of the Moon). එබැවින් එම ප්‍රදේශයේ ව්‍යුහයක් පෘථිවියේ සිට නිරීක්ෂණය කළ නොහැකි අතර, අපගේ නිගමනය රඳා පවතින්නේ LRO සහ Chang’e දත්ත මතය.

    එම ඛණ්ඩාංක Von Kármán ආවාටය (44°27′S 176°15′E, විෂ්කම්භය කිලෝමීටර් 186ක් පමණ) තුළ පිහිටයි. 2019 ජනවාරි 3 වන දින Chang’e 4 ලැන්ඩරය ගොඩබැස්සේ එම ආවාටය තුළ 45.457°S 177.589°E ස්ථානයේය. එම ස්ථානය LRO හි NAC කැමරාවෙන් පික්සලයකට සෙන්ටිමීටර් 80ක විභේදනයෙන් ඡායාරූපගත කර ඇත. සටහනේ සඳහන් ඛණ්ඩාංකවල සිට Chang’e 4 ගොඩබැස් ස්ථානයට ඇති දුර කිලෝමීටර් 50ක් පමණ බව අපගේ ගණනයෙන් පැහැදිලි විය. එවැනි ප්‍රදේශයක මීටර් 200කට වඩා උස ව්‍යුහයක් තිබුණේ නම් එය මෙම නිරීක්ෂණවල පෙනෙන්නට තිබිය යුතුය; එහෙත් එවැන්නක් කිසිදු මූලාශ්‍රයක සඳහන් වී නැත.

    සඳේ මෙවැනි අස්වාභාවික කුළුණු තිබේ යැයි කියන කතාබහ අන්තර්ජාලයේ මීට පෙරද වරින් වර මතුවී ඇත

    ඉහත සටහනෙහි අදහස් දැක්වීමක් ලෙස දක්වා ඇති ඡායාරූපය කුමක්ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ, චන්ද්‍රයා මතුපිට කුළුණක් ඇති බව ප්‍රචාරය කිරීම සඳහා එම ඡායාරූපය කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ යොදා ගෙන ඇති බවයි. සටහනේ දක්වා ඇති පරිදි එය, 1965 ජූලි 20 වන දින සෝවියට් සංගමයේ Zond 3 අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ පෘථිවියට නොපෙනෙන කොටස අසලින් ගමන් කරන විට ගත් ඡායාරූපයකි. පිටසක්වල ජීවීන් පිළිබඳ විශ්වාස කරන ඇතැම් කණ්ඩායම් සහ සමාජ මාධ්‍ය ගිණුම්, එහි චන්ද්‍රයාගේ කෙළවරින් ඉහළට මතු වී පෙනෙන කුඩා සලකුණ චන්ද්‍රයා මත ඇති අභිරහස් කුළුණක් හෝ පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් ලෙස කාලයක් පුරා හඳුන්වයි.

    Zond 3 යානය 1965 ජූලි 18 වන දින දියත් කෙරුණු අතර, ජූලි 20 වන දින චන්ද්‍රයාට කිලෝමීටර් 9,219ක් පමණ දුරින් ගමන් කළේය (Zond 3). එහි කැමරාවෙන් ගත් සේයාපට යානය තුළදීම ස්වයංක්‍රීයව සකසා, රේඩියෝ සංඥා මඟින් පෘථිවියට යැවීම සඳහා රේඛා වශයෙන් පරිලෝකනය කරන ලදී. සියලු රාමු රේඛා 67කින් යුත් අඩු විභේදන ආකාරයෙන් සම්ප්‍රේෂණය කළ අතර, තෝරාගත් රාමු රේඛා 1,100ක ඉහළ විභේදනයෙන් යළි සම්ප්‍රේෂණය කරන ලදී. එම රූපවල පෙනෙන කුඩාම විස්තර කිලෝමීටර් 5ක් පමණ විය Drew Ex Machina.

    සෝවියට් සංගමයේ Zond-3 යානයෙන් ලබාගත් ඡායාරූප රාමු ලෙස දක්වා ඇති සෝවියට් චන්ද්‍රික රූප සංරක්ෂණ පිටුව මෙතනින් (පහත රූපය). එහිදී සටහනේ දක්වා ඇති නිශ්චිත රූපයම එම රාමු අතර හඳුනා ගැනීමට නොමැත. එම පිටුවම සඳහන් කරන පරිදි, සෝවියට් අභ්‍යවකාශ රූප සඳහා ඡායාරූප ගැනීම, මුද්‍රණය සහ පරිලෝකනය යන සෑම අවස්ථාවකදීම noise ඇති වේ.

    Zond 3 යානය 1965 දී ගත් රාමු කිහිපයක් දැක්වෙන රූප සටහන

    Zond 3 රූපයේ “කුළුණ” ලෙස පෙනෙන සලකුණ කුළුණක් බවට සාක්ෂියක් නැත

    සටහනේ දක්වා ඇති රූපයට ගැළපෙන මුල් රාමුවක් අප හඳුනා ගත්තේ නැත. එබැවින් එය සංස්කරණය කළ රූපයක්ද, නැතහොත් මුල් රාමුවක කොටසක් විශාලනය කළ එකක්ද යන්න අපට තහවුරු කළ නොහැක. එසේ වුවද පහත කරුණු පැහැදිලිය.

    පළමුව, එම රූපවල විභේදනය කිලෝමීටර් 5ක් පමණ වන බැවින්, ඒවායේ පෙනෙන සලකුණක් සැබෑ ව්‍යුහයක් නම් එහි ප්‍රමාණය මීටර් 200ක් නොව කිලෝමීටර් ගණනක් විය යුතුය. එනම්, සටහනේ සඳහන් මීටර් 200ක කුළුණ සහ මෙම රූපයේ සලකුණ එකම දෙයක් විය නොහැක.

    දෙවනුව, චන්ද්‍රයාගේ කෙළවරේ (limb) දැකෙන එවැනි කුඩා සලකුණු, රූපගත කිරීම, පරිලෝකනය සහ රේඩියෝ සම්ප්‍රේෂණය අතරතුර ඇති වන noise හෝ ආවාටයක මායිමක සෙවණැල්ලක් වැනි සාමාන්‍ය හේතුවලින් ද ඇති විය හැකිය. මෙය නිශ්චිතව තහවුරු කිරීමට අපට නොහැකි වුවද, එය කුළුණක් බවට කිසිදු සාක්ෂියක් නොමැත.

    තෙවනුව, LRO හි ගෝලීය භූලක්ෂණ දත්තවල හෝ අප සොයා බැලූ වෙනත් නිරීක්ෂණවල එවැනි කිලෝමීටර් ප්‍රමාණයේ කුළුණක් වාර්තා වී නැත.

    සටහනේ සඳහන් අනෙකුත් කරුණු සඳහා සාක්ෂි නැත

    සටහනේ සඳහන් “STRUCTURE IS NOT NATURAL” යැයි සඳහන් රහස්‍ය ලේඛනය කුමක්ද, එය නිකුත් කළේ කවුරුන්ද යන්න සටහනේ දක්වා නැති අතර, එය හඳුනාගත හැකි කිසිදු මූලාශ්‍රයක් අපට හමු නොවීය. එසේම 2004 සිට මෙවැනි කුළුණක් ගැන කතාබහ වූ බව සටහනේ සඳහන් වුවද, ඒ සඳහා මූලාශ්‍රයක් දක්වා නැති අතර එවැනි 2004 වාර්තාවක් අපට හමු නොවීය.

    සටහනේ සඳහන් Black Knight Satellite කතාව චන්ද්‍රයා ගැන නොව, පෘථිවිය වටා කක්ෂයේ ඇතැයි කියන අභිරහස් වස්තුවක් ගැනය. 1960 දී TIME සඟරාව වාර්තා කළේ ඇමරිකානු නාවික හමුදාව හඳුනාගත් තද පැහැති වස්තුවක් ගැනය; එය පසුව Discoverer 8 චන්ද්‍රිකාවේ සුන්බුන් බව හඳුනාගෙන ඇත (Space.com). 1998 දී STS-88 මෙහෙයුමේදී ගත් ඡායාරූපයක පෙනුණේ ද, අභ්‍යවකාශ ගමනකදී අහිමි වූ තාප ආවරණ බ්ලැන්කට්ටුවකි (Snopes). ඒ අනුව එය චන්ද්‍රයා මත කුළුණක් ඇති බවට සාක්ෂියක් නොවේ.

    2016 දී පැතිරුණු කුළුණු කතාවද සෙවණැල්ලක් හෝ ආවාට මායිමක් ලෙස පැහැදිලි කර ඇත

    2016 වසරේ ද චන්ද්‍රයා මතුපිට ඡායාරූපයක අස්වාභාවික කුළුණක් ඇති බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබිණි. ෆින්ලන්තයේ UFO ගවේෂකයෙකු වන Mark Sawalha එය සැතපුම් 3.6ක් පමණ (කිලෝමීටර් 5.9ක් පමණ) උස “ඇන්ටෙනාවක්” ලෙස හඳුන්වා දුන්නේ 1967 දී ගත් නාසා ඡායාරූපයක් ඇසුරිනි (HNGN). UFO පිළිබඳ ග්‍රන්ථ රචකයෙකු වන Nigel Watson එය කඳු බෑවුමක සෙවණැල්ලක් විය හැකි බව පැවසූ අතර, චන්ද්‍රයා පිළිබඳ විශේෂඥයෙකු එය විශාල ආවාටයක් තුළ ඇති කුඩා ආවාටයක මායිමක් බවට පැහැදිලි කළ බව Daily Mail වාර්තා කළේය.

    ඒ හා සමාන තවත් සිද්ධියක් නම්, Richard Hoagland විසින් “සැතපුමක් උස කුළුණක්” ලෙස හඳුන්වා දුන් “The Shard” ය. LiveScience වාර්තා කරන පරිදි, මුල් Lunar Orbiter 3 ඡායාරූපයේ තිබුණේ ක්ෂිතිජය අසල කුඩා ආලෝක ලප්පක් පමණක් වන අතර, contrast වෙනස් කිරීම සහ smoothing වැනි ඩිජිටල් සැකසුම් හේතුවෙන් එය ව්‍යුහයක් ලෙස පෙනුණි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ, චන්ද්‍රයාගේ පෘථිවියට නොපෙනෙන පැත්තේ 44.2°S 179.1°E ඛණ්ඩාංකවල මීටර් 200කට වඩා උස කුළුණක් ඇති බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන සටහන අසත්‍ය බවයි. සටහනේ දක්වා ඇති රූපය ඡායාරූපයක් නොව ඩිජිටල් ලෙස නිර්මාණය කළ චිත්‍රයකට සමානය; LRO යානයට එවැනි භූමි මට්ටමේ දසුනක් ලබා ගැනීමටද නොහැක. නාසා ආයතනයේ LROC දත්ත සහ Chang’e 4 මෙහෙයුමේ ප්‍රසිද්ධියේ ලබා දී ඇති දත්ත අතර එවැනි කුළුණක් වාර්තා වී නැති අතර, ඡායාරූපයක් නිකුත් කර ඉවත් කළ බවට කිසිදු නිල හෝ මාධ්‍ය වාර්තාවක් අපට හමු නොවීය. සටහනේ අදහස් දැක්වීමේ ඇති Zond 3 රූපය 1965 දී ගත් අඩු විභේදන රූපයක් වන අතර, එහි කෙළවරේ පෙනෙන කුඩා සලකුණ කුළුණක් බවට සාක්ෂියක් නැත. එසේම “රහස්‍ය ලේඛනය”, “2004 කතාබහ” සහ Black Knight Satellite යන කරුණු සඳහා විශ්වාසදායක මූලාශ්‍ර නොමැත. චන්ද්‍රයා මතුපිට කුළුණු ඇතැයි පෙර පැතිරුණු කතා (2016 සිද්ධිය, “The Shard” ආදිය) ද සෙවණැලි, ඡායාරූප දෝෂ හෝ ඩිජිටල් වෙනස් කිරීම් ලෙස පැහැදිලි කර ඇත. ඒ අනුව මෙම සටහන අසත්‍ය බව තහවුරු වේ.

    Result Stamp

    Title: චන්ද්‍රයා මතුපිට “අභිරහස් කුළුණක්” ඇතැයි පැතිරෙන සටහන අසත්‍යයි!

    Fact Check By: B.P Hansani

    Result: False

    WhatsApp හරහා ලැබෙන වීඩියෝ සහ රූප සත්‍යාපනය කරගැනීමට සහ අපගේ WhatsApp විකාශනයට සම්බන්ධ වීමට නම සහ භාෂාව එවන ලෙස දැනුම් දෙන සටහන
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.