පසුගිය ඔක්තෝබර් 25, 26 සහ 27 යන දිනවල “ඔර්නබ්” සුළි කුණාටු පද්ධතියේ වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇදහැලුණු තද මෝසම් වැසි සහ ප්‍රබල සුළං තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල විය. මෑත දිනවල ආසියානු කලාපයේ භූමිකම්පා කිහිපයක්ද නිරීක්ෂණය කළ හැකිය. කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති මෙවැනි පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනකින් දක්වා ඇත්තේ “භූමිකම්පා දෙකක් සමඟ සුනාමි අවධානමක්” යනුවෙනි. අදාළ සටහනෙහි වැඩිදුර තොරතුරු කිසිවක් අන්තර්ගත නොවේ. මේ සම්බන්ධයෙන් සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :


විමර්ෂණයට ලක් කළ ප්‍රකාශය : අප විසින් පරීක්ෂා කළේ, මෙරටට භූමිකම්පා දෙකක් සමඟ සුනාමි අවධානමක් පවතීද යන්නයි.
Fact Check (කරුණු පරීක්ෂා කිරීම) :
ඉහත සමාජ මාධ්‍ය සටහන ඔස්සේ “භූමිකම්පා දෙකක් සමග සුනාමි අවධානමක් අවධානයෙන් සිටින්න” යනුවෙන් දක්වා ඇති අතර, නිශ්චිතව විස්තරාත්මක තොරතුරක් දක්වා නොමැති බැවින් එම සන්දර්භය මෙරටට අදාළ එකක් ලෙස වටහා ගැනීම සිදු වේ. මෙරටට එවැනි භූමි කම්පා ද්විත්වයක් සහ සුනාමි අවදානමක් තිබේනම් අදාළ නිල මූලාශ්රයන් ඔස්සේ ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදු කර තිබිය යුතුයි. අප සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් මෙරටට කිසිදු සුනාමි හෝ භූමිකම්පා අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි. ප්‍රධාන ධාරාවේ කිසිදු විශ්වාසදායක මාධ්‍යයක් හෝ රජයේ නිල ආයතනයක්ද මෙවැනි පුවතක් වාර්තා කර නැත.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
දැනට දිවයිනේ පවතින්නේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් වන අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026.10.29 වන දින ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කෙසේ නමුත් එය සුනාමි අනතුරු ඇඟවිමක් නොවේ.

Department of Meteorology – Sri Lanka
ඉහත සටහන්හි “සම්පූර්ණ විස්තරය පළවෙනි කමෙන්ට් එකේ” යනුවෙන් සඳහන් කර තිබුනද එහි එවැනි නිශ්චිත තොරතුරක් අන්තර්ගත නොවේ. මෙලෙස දක්වන බොහෝ සටහන් විවිධ වෙබ් අඩවි ලිංක් (Links) ප්‍රවර්ධනය කර Like, Comments සහ Views ලබා ගැනීම අරමුණු කරගන්නා බව නිරීක්ෂණය කළ හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න
අප විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සම්බන්ධ කර ගනිමින් විමසීමක් සිදුකළ අතර, එහිදී ඔහු විසින් සඳහන් කළේ මේ මොහොත වන විට මෙරටට භූමිකම්පා හෝ සුනාමි අවදානමක් නොමැති බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි
අප විසින් මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක තුමා සම්බන්ධ කරගනිමින් විමසීමක් කළ අතර, එහිදී ඔහු විසින් ද සඳහන් කළේ මෙම හුවමාරු වන සටහන් අසත්‍ය බවත් ශ්‍රී ලංකාවට එවැනි භූමිකම්පා සහ සුනාමි අවදානමක් නොමැති බවත් ය.
ඔක්තෝබර් 24 වන දා භූමි කම්පා ද්විත්වයක් සහ ඒ අනුව නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමක් පිළිබඳව පැසිෆික් සාගරයේ වනුආටු දූපත් සමූහයට ආසන්න මුහුදු කලාපයෙන් වාර්තා වී තිබේ.
පැසිෆික් සාගරයේ පිහිටි වනුආටු (Vanuatu) දූපත් සමූහයට ආසන්න මුහුදු කලාපයේ 2026 ඔක්තෝබර් 24 වන දින රික්ටර් මාපක 7.2 ක සහ 6.9 ක ප්‍රබලත්වයෙන් යුතු නොගැඹුරු භූමිකම්පා මාලාවක් සිදුවී ඇත. ඇමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කළේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින්, වනුආටු හි සෝලා (Sola) ප්‍රදේශයට බටහිර දෙසින් මෙම භූකම්පන කේන්ද්‍රගත වී තිබූ බවයි. භූමිකම්පාවේ ප්රබලත්වයත් සමඟ ක්‍රියාත්මක වූ වනුආටු භූ-අන්තරායකර නිරීක්ෂණාගාරය (Vanuatu Geological Hazards Department) සහ පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (PTWC) මඟින් කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක සීමාවේ පිහිටි වෙරළබඩ කලාප සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජනතාවට උස් බිම් වෙත ඉවත් වන ලෙස උපදෙස් දෙන ලදී. කෙසේ වෙතත්, මුහුදු රළ මට්ටම්වල බරපතළ වෙනසක් වාර්තා නොවීම හේතුවෙන් පසුව එම සුනාමි අනතුරු ඇඟවීම් නිල වශයෙන් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගත් අතර, මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළවලට දැඩි බලපෑමක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැත. වැඩිදුර තොරතුරු මෙතනින් , මෙතනින් , මෙතනින් සහ මෙතනින්.
ඉහත සමාජ මාධ්‍ය සටහන්ද ඔක්තෝබර් 24 දින සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති අතර, ඒ හේතුවෙන් එම සටහන් ඔක්තෝබර් 24 වන දා භූමි කම්පා ද්විත්වයක් සහ ඒ අනුව නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමක් පිළිබඳව පැසිෆික් සාගරයේ වනුආටු දූපත් සමූහයට ආසන්න මුහුදු කලාපයෙන් වාර්තා වීමත් සමග නිර්මාණය කර එම සම්පූර්ණ සන්දර්භය නොමැතිව හුවමාරු කරගෙන ඇති සටහන් ලෙස හඳුනාගත හැකිය.
කෙසේ නමුත්, මෑත දිනවල ආසියානු කලාපයේ භූමිකම්පා කිහිපයක් නිරීක්ෂණය කළ හැකිය.
නැගෙනහිර ඉන්දුනීසියාවේ භූකම්පන දෙකක් අද (ඔක්තෝබර් 29)
නැගෙනහිර ඉන්දුනීසියාවේ මාලුකු සහ දකුණු පැපුවා මුහුදු කලාප කේන්ද්‍ර කරගනිමින් අද (ඔක්තෝබර් 29) උදෑසන රික්ටර් මාපකයේ 6.4 ක සහ 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් සිදුව තිබේ. ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා, භූ භෞතික විද්‍යා සහ දේශගුණ විද්‍යා නියෝජිතායතනය (BMKG) සඳහන් කරන්නේ, පළමු භූ කම්පනය උදෑසන 5:06 ට තනිම්බාර් දූපත් සමූහයේ ලාරත් (Larat) දූපතට වයඹ දෙසින් මුහුදේ කිලෝමීටර් 160 ක් ගැඹුරින් හටගත් අතර, දෙවැනි භූ කම්පනය පෙරවරු 10:26 ට බොවන් ඩිගොයෙල් (Boven Digoel) ප්‍රදේශයට ඊසාන දෙසින් කිලෝමීටර් 120 ක ගැඹුරකින් වාර්තා වූ බවයි. මෙම කම්පන තත්ත්වයන් හේතුවෙන් කලාප කිහිපයක වැසියන්ට මධ්‍යම ප්‍රමාණයේ සෙලවීම් අත්විඳීමට සිදුවුවද, ඉන් සුනාමි අවදානමක් හටගෙන නොමැති බව නිලධාරීහු සහතික කරති. එමෙන්ම, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ දේපළවලට බරපතළ හානි සිදුවීමක් වාර්තා වී නොමැති අතර, සිදුවිය හැකි පසුකම්පන පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ආපදා බලධාරීන් ඉල්ලා සිටී. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
ජපානයටත් භූ කම්පනයක්
එසේම 2026 ඔක්තෝබර් 29 වනදා අලුයම 12:07 ට (ශ්‍රී ලංකා වේලාවෙන් ඔක්තෝබර් 28 රාත්‍රී 8:37 ට) ජපානයේ චීබා (Chiba) ප්‍රාන්තයේ යොකොෂිබහිකාරි (Yokoshibahikari) නගරය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇත. භූගතව කිලෝමීටර් 52 ක් පමණ ගැඹුරින් පිහිටි පිලිපීන මුහුදු තැටිය සහ පැසිෆික් තැටිය අතර සන්දේශයේ (Plate Boundary) මෙම කම්පනය හටගෙන ඇති අතර, එය ජපාන භූ කම්පන තීව්‍රතා පරිමාණයේ (Shindo Scale) “පහළ 5” (Lower 5) මට්ටමේ ප්‍රබලත්වයක් ලෙස සටහන් විය. මෙම තත්ත්වය නිසා ටෝකියෝ අගනුවර, නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙන්ම ඉබරකි, ටොචිගි, සයිටමා සහ කනගාවා යන අවට ප්‍රාන්ත රැසකට තදින්ම වෙව්ලීම් දැනී ගියද, කිසිදු සුනාමි අනතුරක් මතු නොවන බව බලධාරීන් තහවුරු කළේය. භූ කම්පනයත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ජපාන රජය අග්‍රාමාත්‍ය කාර්යාලයේ තොරතුරු සම්බන්ධීකරණ අංශයක් පිහිටුවා නිරීක්ෂණ කටයුතු ඇරඹූ අතර, චීබා ප්‍රාන්ත පොලිසිය සහ සහන සේවා වාර්තා අනුව මේ දක්වා කිසිදු පුද්ගල ජීවිත හානියක් හෝ බරපතළ දේපල හානියක් සිදුවී නොමැත. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
2026 ඔක්තෝබර් 28 වනදා චීනයේ වයඹදිග කලාපයට භූ කම්පනයක්
මීට අමතරව 2026 ඔක්තෝබර් 28 වනදා චීනයේ වයඹදිග කලාපයට (Bole සහ Mazha ප්‍රදේශ ආශ්‍රිතව) ප්‍රබලත්වයෙන් මැග්නිටියුඩ් 4.5 ත් 5.1 ත් අතර අගයක් ගත් භූමිකම්පාවක් එල්ල වී ඇත. මෙම භූ කම්පනය එරට දේශීය වේලාවෙන් රාත්‍රී 8:40 ට පමණ පොළොව මතුපිට සිට කිලෝමීටර් 10 ක නොගැඹුරු මට්ටමක සිදුව තිබේ. මෙම ඊයේ සිදු වූ භූමිකම්පාවෙන් සැලකිය යුතු මට්ටමේ බරපතළ ජීවිත හානි හෝ විශාල දේපළ හානි මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නොමැත. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර (ඔක්තෝබර් 22 වනදා) චීනයේ ටිබෙට් (Xizang) කලාපයේ Nagqu නගරයේ සිදු වූ රික්ටර් මාපකයේ ඒකක 7.0 ක ප්‍රබල දරුණු භූමිකම්පාවෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් 76 දෙනෙකු තුවාල ලැබූ අතර, ඊයේ සිදු වූ කම්පනය එහි පසුකම්පන තත්ත්වයක් ද යන්න පිළිබඳව බලධාරීන් පරීක්ෂණ පවත්වයි. වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (GSMB) ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ එස්.එන්.බී. තල්දෙන
මෑත දිනවල ආසියානු කලාපයේ භූමිකම්පා කිහිපයක් වාර්තා වීම සම්බන්ධයෙන් අප විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (GSMB) ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ එස්.එන්.බී. තල්දෙන මහත්මියගෙන් විමසා සිටි අතර, එහිදී ඇය සඳහන් කළේ මෑත දිනවල ආසියානු කලාපයේ භූමිකම්පා බහුල ලෙස බැලූ බැල්මට පෙනුනද ලෝකය පුරා සාමාන්‍යයෙන් දිනපතා සහ වාර්ෂිකව මෙලෙස භූමිකම්පා සිදුවන බවයි. ජපානය, චීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල සිදුවූ භූමිකම්පාවලින් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති බවත්, එම ප්‍රදේශවල සිදුවන භූමිකම්පා වෙනස් භූතල මායිම්වල සිදුවන බැවින් ඒවා අතර කෙලින්ම එකිනෙකට සම්බන්ධයක්ද නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම, මෙම සිදුවීම් පිළිබඳව විශේෂ විශ්ලේෂණයක් කර නොමැති බැවින් යම් විශේෂිත ප්‍රවණතාවක් පිළිබඳව අනාවැකි පළ කිරීමට හැකියාවක් නොමැති බවද ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා
මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් සඳහන් කළේ, ලෝකයේ සිදුවන භූමිකම්පාවලින් 80%ක් පමණ පැසිෆික් සාගර කලාපයේ සිදුවන අතර, පෘථිවියේ භ්‍රමණය හේතුවෙන් එකම ප්‍රදේශයක එකම කාලසීමාවන් තුළ නැවත නැවත භූමිකම්පා සිදුවීමේ චක්‍රීය රටාවක් පවතින බවයි. කෙසේ වෙතත්, පැසිෆික් සාගරයේ සිදුවන කම්පනවලින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන අතර, මෙරටට බලපෑමක් එල්ල විය හැක්කේ නැගෙනහිරින් පිහිටි ඉන්දියන් සාගර කලාපයේ, එනම් ඉන්දුනීසියාවේ බටහිර මුහුදු තීරයේ හෝ අන්දමන් දූපත් ආශ්රිත නොගැඹුරු මුහුදු පතුලක රික්ටර් මාපකයේ 7 හෝ 8 වැනි ඉහළ ප්‍රබලත්වයකින් යුත් විශාල භූමිකම්පාවක් සිදුවුවහොත් පමණක් බවත්, එවැනි තත්ත්වයකදී පමණක් සුනාමි අවදානමක් මතුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, ශ්‍රී ලංකාවට දකුණින් සිදුවන කම්පන කිලෝමීටරයකට වඩා ගැඹුරු මුහුදේ සිදුවන බැවින් ඒවායින් සුනාමි තරංග හෝ විශාල බලපෑමක් ඇති නොවන අතර, බටහිර මුහුදේ පිහිටි සංක්‍රාන්ති විභේද ආශ්‍රිතව සිදුවිය හැකි සුළු කම්පනවලින්ද මෙරටට ඉහළ ප්‍රබලත්වයක බලපෑමක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එබැවින් ශ්‍රී ලංකාව අවධානයෙන් සිටිය යුත්තේ නැගෙනහිරින් පිහිටි ඉන්දුනීසියාව සහ අන්දමන් දූපත් කලාපයේ සිදුවන භූමිකම්පා පිළිබඳව බව මහාචාර්යවරයා අවධාරණය කළේය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසන් නිගමනය) :
සමාජ මාධ්‍ය ඔස්සේ “භූමිකම්පා දෙකක් සමඟ සුනාමි අවධානමක්” යනුවෙන් හුවමාරු වන සටහන් නොමග යවන සුළු සටහන් වේ. ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) හෝ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) මගින් මෙරටට කිසිදු භූමිකම්පා හෝ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. මෙම සමාජ මාධ්‍ය සටහන්, 2026 ඔක්තෝබර් 24 වන දින පැසිෆික් සාගරයේ වනුආටු (Vanuatu) දූපත් ආශ්‍රිතව සිදුවූ භූමිකම්පා ද්විත්වය හා ඒ අනුව නිකුත් කර පසුව අවලංගු කරන ලද සුනාමි අනතුරු ඇඟවීම පදනම් කරගනිමින්, නිසි සන්දර්භයකින් තොරව මෙරටට අදාළ එකක් ලෙස හැඟවෙන පරිදි හුවමාරු කරගෙන ඇති බව පැහැදිලි වේ. එමෙන්ම, මෑත දිනවල ජපානය, චීනය සහ ඉන්දුනීසියාව වැනි ආසියානු රටවල සිදුවූ භූමිකම්පා වෙනස් භූතල මායිම්වල සිදුවන බැවින් ඒවායින්ද ශ්‍රී ලංකාවට කිසිදු සෘජු බලපෑමක් නොමැත. එබැවින්, මෙරටට භූමිකම්පා දෙකක් සහ සුනාමි අවදානමක් පවතින බවට අඟවමින් හුවමාරු වන සටහන් නොමග යවන සුළු සටහන් වේ.


