දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හලාවත දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති කටුනායක අධිවේගී මාර්ගය මෙරට ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය ලෙස දක්වමින් පුවත් සටහනක් ‘මව්රට’ නමැති වෙබ් පිටුවක් ඔස්සේ පළ කර ඇති ආකාරය හඳුනා ගැනීමට ලැබේ. සැබෑ ලෙසම ශ්රී ලංකාවේ ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය මෙම හලාවත දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති අධිවේගී මාර්ගය බවට නිල වශයෙන් තීරණය කර ඇත්ද යන්න සොයා බලමින් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“කටුනායක හයිවේ එක හලාවතටම අරන් යන්න අනුර තීන්දු කරයි. ඒ තමයි ලංකාවේ හදන අන්තිම හයිවේ එක” යනුවෙන් දක්වමින් එම පුවත් සටහන පළ කර තිබුණේ මෙලෙසින්. එසේම අදාළ පුවත් සටහනේ අන්තර්ගතයෙහි “වත්මන් ආණ්ඩුව යටතේ සිදු කරන අවසන් අධිවේගී මාර්ග සංවර්ධන ව්යාපෘතිය මෙය වනු ඇත” යනුවෙන්ද සඳහන් කර ඇත.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
කටුනායක සිට හලාවත දක්වා අධිවේගී මාර්ග පද්ධතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත්නම් සහ එය ශ්රී ලංකාවේ ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය ලෙස රජය විසින් තීරණය කර ඇත්නම් එය සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ මෙන්ම නිල විශ්වාසනීය මූලාශ්රයන් ඔස්සේ වාර්තා කර තිබිය යුතුය. ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ කටුනායක- හලාවත අධිවේගී මාර්ගය සහ තවත් අධිවේගී මාර්ග කිහිපයක ඉදිකිරීම් ඇරඹීමට සැලසුම් ඇති බවට රජය විසින් නිවේදනය කර ඇති බවත්, කටුනායක හලාවත අධිවේගී මාර්ගය මෙරට ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය බවට හෝ මෙම රජය විසින් ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය බවට කිසිදු මූලාශ්රයක් ඔස්සේ තහවුරු කර හෝ වාර්තාකර නොමැති බවත්ය.
කටුනායක අධිවේගී මාර්ගය හලාවත දක්වා දීර්ඝ කිරීමට ශක්යතා අධ්යයනයක් ආරම්භ කර තිබේ.
මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා විසින් 2026 සැප්තැම්බර් 8 වනදා පාර්ලිමේන්තුවේදී යෝජිත කටුනායක හලාවත අධිවේගී මාර්ගයේ සැලසුම් කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවට ප්රකාශ කළ බව දක්වමින් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ පුවත් වාර්තා කර තිබේ. කෙසේ නමුත්, අදාළ පුවත් වාර්තාවන් ඔස්සේ මෙය ශ්රී ලංකාවේ ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය හෝ වත්මන් රජය යටතේ ඉදිකරන අවසන් අධිවේගී මාර්ග ව්යාපෘතිය ලෙස හෝ දක්වා නොමැත. අදාළ ප්රධාන ධාරාවේ මාධ්ය වාර්තා ඔස්සේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, මෙයට අමතරව කුරුණෑගල – ගලේවෙල සහ කහතුඩුව – ඉංගිරිය යන අධිවේගී මාර්ග කොටස්වල ඉදිකිරීම් ද 2026 වසරේ නොවැම්බර් – දෙසැම්බර් මාසවලදී ආරම්භ කිරීමට රජය සූදානම් වන බවයි. මාධ්ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
සැප්තැම්බර් 08 වනදා පාර්ලිමේන්තු විවාදයේදී ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා අධිවේගී මාර්ග සම්බන්ධයෙන් සිදුකළ ප්රකාශය
“අධිවේගී මාර්ග කියන්නේ අති දැවැන්ත මුදල් අවශ්ය වෙන ව්යාපෘති. අපි අධිවේගී මාර්ග ගණනාවක් මේ වසර තුළ පටන් ගන්නවා. අපි පටන් ගන්නවා මේ නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේදී කුරුණෑගල ඉඳලා දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවෙල කොටස. ඒ වගේම අපි පටන් ගන්නවා කහතුඩුවේ ඉඳලා ඉංගිරිය අධිවේගී මාර්ගය මේ නොවැම්බර් නැත්නම් දෙසැම්බර්වල. ඒ වගේම අපිට ගරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා කටුනායක ඉඳලා හලාවත දක්වා අධිවේගී මාර්ගයක් හදන්න අවශ්ය කරන සැලසුම්කරණය පටන් ගන්න කියලා. අපි දැන් ආර්.ඩී.ඒ. එකට උපදෙස් දීලා තියෙනවා ෆීසිබිලිටි ස්ටඩි පටන් ගන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා කටුනායක ඉඳලා හලාවතට පොඩ්ඩක් එහාට තොඩුවාව පාලම කිට්ටුව වගේ ප්රදේශය දක්වා අධිවේගී මාර්ගය දික් කරන්න. ඒ වගේම අපි තවම අධ්යයනය කරන්න යෝජනා කරලා තිබෙනවා අනුරාධපුරය මුල් කරගත්තු අධිවේගී මාර්ග නෙට්වර්ක් එකක් පටන් ගන්න පුළුවන්ද කියලා. මොකද මේ හැම එකක්ම කවදා හරි කනෙක්ට් කරන්න වෙයි, නමුත් කොළඹ ඉඳලා කනෙක්ට් කරන්න හිතුවොත් අපිට සමහර ඒවා ආර්ථික වශයෙන් දරාගන්න අමාරුයි. කඩවත – මීරිගම කොටස අපි හදාගෙන යනවා. 2028 මැයි වෙනකොට කඩවත – මීරිගම ඉවර කරන්න පුළුවන්. අපි පොතුහැර – රඹුක්කන ඉවර කරනවා 2027 අප්රේල් වගේ වෙනකොට. තාර ප්රශ්නවලින් පොඩි ඩිලේ එකක් ආවා, නමුත් 2027 අප්රේල් වෙනකොට පොතුහැර – රඹුක්කන කොටස ඉවර කරන්න පුළුවන්. 2029 මැයි වෙනකොට අපි සම්පූර්ණයෙන්ම ඔය ඔක්කොම ඉවර කරනවා කුරුණෑගල – ගලේවෙල එක ඇරෙන්න. ඒකත් 2030ට කලින් ඉවර කරගන්න පුළුවන් කියලා හිතනවා.”
කටුනායක අධිවේගී මාර්ගය හලාවත දක්වා දීර්ඝ කිරීම මෙරට හෝ මෙම රජය යටතේ ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය ලෙස හෝ ඊට සමාන හැඟවීමක් වන කිසිදු ප්රකාශයක් අමාත්යවරයා විසින් සිදු කර නොමැත.
අධිවේගී මාර්ග සම්බන්ධයෙන් ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්රකාශයේ ඇතුළත් ප්රධාන කරුණු
- කටුනායක – හලාවත අධිවේගී මාර්ගය: ජනාධිපතිතුමාගේ උපදෙස් මත කටුනායක සිට හලාවත (තොඩුවාව පාලම ආසන්නය) දක්වා අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම සඳහා ශක්යතා අධ්යයනය ආරම්භ කර ඇත.
- කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගය (කුරුණෑගල – ගලේවෙල කොටස): නොවැම්බර් මාසයේදී ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතයි.
- කහතුඩුව – ඉංගිරිය අධිවේගී මාර්ගය: නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
- අනුරාධපුරය කේන්ද්ර කරගත් අධිවේගී මාර්ග ජාලය: අනුරාධපුරය මුල් කරගනිමින් අධිවේගී මාර්ග ජාලයක් ආරම්භ කිරීම පිළිබඳව අධ්යයනය කරමින් පවතී.
දැනට පවතින අධිවේගී මාර්ග ඉදිකිරීම් අවසන් කිරීමේ කාලරාමුව
- කඩවත – මීරිගම කොටස: 2028 මැයි මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
- පොතුහැර – රඹුක්කන කොටස: තාර හිඟය නිසා යම් ප්රමාදයක් සිදු වුවද, 2027 අප්රේල් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
සම්පූර්ණ ව්යාපෘති අවසන් කිරීම: කුරුණෑගල – ගලේවෙල කොටස හැර අනෙකුත් සියලු කොටස් 2029 මැයි වන විටත්, කුරුණෑගල – ගලේවෙල කොටස 2030 ට පෙර අවසන් කිරීමටත් සැලසුම් කර ඇත.
එම ප්රකාශය ඔස්සේ පැහැදිලි වන්නේ, කටුනායක හලාවත අධිවේගී මාර්ගය හැරුණු විට, අනුරාධපුරය කේන්ද්ර කරගත් අධිවේගී මාර්ග ජාලයක්, කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය (කුරුණෑගල – ගලේවෙල කොටස), කහතුඩුව ඉංගිරිය අධිවේගී මාර්ගය යන අධිවේගී මාර්ගවල ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සහ ඇතැම් ඉදිකිරීම් සඳහා ශක්යතා අධ්යයනයන් ආරම්භ කර ඇති බවයි.
එසේම මීට ඉහතදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කිසිදු විදේශ ණයක් ලබා ගැනීමකින් තොරව දේශීය මුදල් පමණක් යොදාගනිමින් අධිවේගී මාර්ග තුනක වැඩකටයුතු ලබන වසරේදී ආරම්භ කරන බවත්, මාර්ග දෙකක කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවටත් ප්රකාශ කර තිබේ. ඒ 2026 සැප්තැම්බර් 06 වන දින බුලත්සිංහල ප්රදේශයේ පැවැති ජන රැළියකදීය. ගලගෙදර – රඹුක්කන අධිවේගී මාර්ගය, ඉංගිරිය – කහතුඩුව අධිවේගී මාර්ගය කුරුණෑගල – ගලේවෙල අධිවේගී මාර්ගය එලෙස ඉදිකිරීම් සිදුකරන බවයි ජනපතිවරයා විසින් සඳහන් කර ඇත්තේ. වැඩිදුර තොරතුරු මෙතනින්.
ජනාධිපති මාධ්ය අංශය
රජය විසින් ඉදිකිරීම් සැලසුම් කිරීම සඳහා ශක්යතා අධ්යයනයන් ආරම්භ කර ඇති කටුනායක හලාවත අධිවේගී මාර්ගය මෙරට ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය බවට සහ මෙම රජය යටතේ ඉදිකරන අවසන් අධිවේගී මාර්ග ව්යාපෘතිය ලෙස හුවමාරු වන පුවත් සටහන සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා අප විසින් ජනාධිපති මාධ්ය අංශයෙන් විමසීමක් කළ අතර, එහිදී ඔවුන් විසින් සඳහන් කළේ එම අධිවේගී මාර්ග කොටස මෙරට ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය බවට හෝ මෙම රජය යටතේ ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය ලෙස තීරණය කර නොමැති බවයි. එසේ හුවමාරු වන පුවත් සටහන් අසත්ය බව ජනාධිපති මාධ්ය අංශය විසින් සඳහන් කළා.
ප්රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශය
අප විසින් හුවමාරු වන පුවත් සටහන සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා ප්රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතාගේ මාධ්ය ලේකම්වරයාගෙන්ද විමසීමක් කළා. එහිදී ඔහු විසින් සඳහන් කළේ, හුවමාරු වන පුවත් සටහනෙන් පවසන කරුණ අසත්ය බවයි. එසේම ඊයේ දින එනම් සැප්තැම්බර් 8 වනදා පාර්ලිමේන්තුවේදී අමාත්ය බිමල් රත්නායක මහතා විසින් පලමු වරට, ඉදිරියේදී ඉදිකිරීමට නියමිත අධිවේගී සංවර්ධන ව්යාපෘති පිළිබඳව පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බවත්, ඒ අනුව කටුනායක හලාවත අධිවේගී මාර්ග දීර්ඝ කිරීම සඳහා ශක්යතා අධ්යයනයන් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බව අමාත්යවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළ බවත් ඔහු විසින් සඳහන් කළා. එසේ වුවද එය මෙරට හෝ මෙම රජයේ අවසන් අධිවේගී සංවර්ධන ව්යාපෘතිය බවට තීරණය කර නොමැති බවයි ඔහු විසින් සඳහන් කළේ. එසේම මීට අමතරව තවදුරටත් අධිවේගී මාර්ග පද්ධතිය දීර්ඝ කිරීමේ සැලසුම් කිහිපයක් පිළිබඳවද අමාත්යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව මාධ්ය ලේකම්වරයා විසින් සඳහන් කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉදිකිරීමට සැලසුම් කර ඇති කටුනායක හලාවත අධිවේගී මාර්ග කොටස මෙරට ඉදිකරන අවසන් අධිවේගී මාර්ගය ලෙස සහ වත්මන් රජය යටතේ ඉදිකිරීමට නියමිත අවසන් අධිවේගී මාර්ග ව්යාපෘතිය ලෙස දක්වමින් පලකර තිබෙන පුවත් සටහන නොමග යවන සුළු බවයි. කටුනායක හලාවත අධිවේගී මාර්ග කොටසේ ශක්යතා අධ්යයනය ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරම්භ කර ඇති අතර, එසේ වුවද එය මෙරට අවසන් අධිවේගී මාර්ගයේ ලෙස හෝ වත්මන් රජයේ අවසන් අධිවේගී මාර්ග ව්යාපෘතිය ලෙස තීරණය කර නොමැති බව මහා මාර්ග අමාත්යංශය විසින් සහ ජනාධිපති මාධ්ය අංශය විසින් තහවුරු කර තිබේ.
එසේම ඊයේ දින එනම් සැප්තැම්බර් 8 වනදා පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් ප්රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා විසින් මෙම කටුනායක හලාවත අධිවේගී මාර්ග කොටස පිළිබඳව මෙන්ම තවත් අධිවේගී මාර්ග ඉදිකිරීම් සැලසුම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව කටුනායක හලාවත අධිවේගී මාර්ග කොටසේ ශක්යතා අධ්යයනය ආරම්භ කිරීම හැරුණු විට, අනුරාධපුරය කේන්ද්ර කරගත් අධිවේගී මාර්ග ජාලයක් ඉදි කිරීම් ආරම්භ කිරීම පිළිබඳවද අධ්යයනය කරමින් පවතී. එසේම කුරුණෑගල ගලේවෙල අධිවේගී මාර්ග කොටස නොවැම්බර් මාසයේදී ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර, කහතුඩුව ඉංගිරිය අධිවේගී මාර්ග කොටස නොවැම්බර් හෝ දෙසැම්බර් මාස වලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.



