දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ජපානයෙන් ශ්රී ලංකාවට සුඛෝපභෝගී දුම්රිය කට්ටල දෙකක් ගෙන්වා ඇති බව දක්වමින් “News” යනුවෙන්ද සඳහන් කරන ලද සටහනක් පුවතක ආකාරයෙන් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබේ. සැබෑ ලෙසම මෑතකදී ශ්රී ලංකාවට ජපානයෙන් දුම්රිය කට්ටල ගෙන්වා ඇත්ද යන්න සොයා බලමින් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ජපානයෙන් ශ්රී ලංකාව වෙත මෑතකදී සුඛෝපභෝගී දුම්රිය කට්ටල ද්විත්වයක් ගෙන්වා ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ ජනතාව වෙත පුවත් වාර්තා කිරීම සිදුකරන අතර අප විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී පැහැදිලි වූයේ එවැනි කිසිදු පුවතක් නොමැති බවයි. එසේම ශ්රී ලංකා රජය, දුම්රිය දෙපාර්තමේන්තුව හෝ ජපාන තානාපති කාර්යාලය මඟින් මෑතකදී මෙවැනි සුඛෝපභෝගී දුම්රිය කට්ටල ලංකාවට පරිත්යාග කළ බවට හෝ මිලදී ගත් බවට කිසිදු නිල ප්රකාශයක් සිදු කර නොමැත.
අදාළ සටහනෙහි දක්වා ඇති දුම්රිය කට්ටලය සමීපව නිරීක්ෂණය කිරීමේදී එය නිල් පැහැති ශ්රී ලංකා දුම්රිය සේවයට අයත් Class S5 (Hitachi) වර්ගයේ දුම්රිය එන්ජිමක් බව හඳුනා ගත හැකිය. එහි අංකය 718 ලෙස දක්වා තිබේ.

එම අංකය ඔස්සේ අදාළ දුම්රිය කුමක්ද යන්න සම්බන්ධයෙන් අප විසින් සොයා බලන ලදී.
1970 දී ජපානයෙන් මෙරටට ගෙන්වන ලද දුම්රියක්
මෙහි ඡායාරූපයේ දක්වා ඇති Class S5 (අංක 718) දරන දුම්රිය 1970 දශකයේ ජපානයේ හිටාචි (Hitachi) සමාගමෙන් ලංකාවට ආනයනය කරන ලද පැරණි දුම්රියක් බව දක්වමින් සමාජ මාධ්ය තුළ දුම්රිය ඉතිහාසය සම්බන්ධව දක්වන සමූහ කිහිපයක එම දුම්රියේ ඡායාරූප සහිතව පල කර තිබේ. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

1970 දී ජපානයෙන් ලංකාවට ගෙන්වන ලද, දුම්රිය කට්ටල 2 ක් සහිත Class S5 (Hitachi) බලවේග දුම්රිය වර්ගය
මෙම දුම්රිය ජපානයේ හිටාචි (Hitachi) සමාගම විසින් 1969 දී නිෂ්පාදනය කර ශ්රී ලංකාවට ආනයනය කර ඇත. ශ්රී ලංකාවට ආනයනය කර ඇත්තේ මෙම වර්ගයේ දුම්රිය කට්ටල 2ක් පමණි. එක් දුම්රිය කට්ටලයක් බලවේග රථ 2කින් සහ මගී මැදිරි 3කින් (සමස්ත මැදිරි 5ක්) සමන්විත වේ. මෙහි සමස්ත මගී ධාරිතාව 100කි. මෙම දුම්රිය කැලණිවැලි මාර්ගය හැර ශ්රී ලංකාවේ අනෙකුත් සියලුම දුම්රිය මාර්ගවල (උඩරට මාර්ගය ඇතුළුව) ධාවනය කිරීමේ හැකියාව තිබී ඇති අතර, ප්රධාන වශයෙන්ම වෙන්කරගත් සංචාරක ගමන් සඳහාද භාවිත වී තිබේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
ජපානයෙන් මෙරටට දුම්රිය කට්ටල දෙකක් ලැබුණු බවට වයිරල් වූ ඡායාරුප සටහන් සඳහා පසුබිම් වී තිබු සටහන…
ජපානයෙන් මෙරටට දුම්රිය කට්ටල දෙකක් ලැබුණු බවට පලවුනු ඉහත සටහන සඳහා පසුබිම් වී ඇති සටහන මෙතනින්. අදාළ පසුබිම් සටහනෙහි ජපානයෙන් මෙරටට මෙම දුම්රිය කට්ටල දෙක ලැබී ඇත්තේ මෑතකදී නොව 1970 දශකයේ බව දක්වා ඇති අතර, එම පසුබිම් තොරතුරු නොමැතිව ‘News’ ලෙස දක්වමින් අදාළ දුම්රිය කට්ටල පිළිබඳව මෙම සටහන නිර්මාණය කර තිබේ. එලෙස පසුබිම් තොරතුරු නොමැති වීම සහ ‘News’ ලෙස දක්වා තිබීම නිසා මෙය මෑතකදී ලැබුණු දුම්රිය කට්ටල ද්විත්වයක් පිළිබඳ පුවතක් ලෙස නොමග යැවීමක් සිදු වේ.
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්ය ප්රකාශක
අප විසින් මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශකවරයාගෙන්ද විමසීමක් සිදු කළ අතරෙහිදී ඔහු විසින් ද සඳහන් කළේ මෑතකදී ජපානයෙන් දුම්රිය ගෙන්වීමක් සිදුකර නොමැති බවයි. සටහනෙහි ඡායාරූපයේ දැක්වෙන දුම්රිය 1970 දී මෙරටට ගෙන්වන ලද මේ වන විට ධාවනයෙන් ඉවත් කර තිබෙන දුම්රියක් බව ඔහු විසින්ද සඳහන් කළා.
ප්රවාහන සහ මහාමාර්ග අමාත්යංශය
අප විසින් මේ සම්බන්ධයෙන් ප්රවාහන සහ මහා මාර්ග අමාත්යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු විසින් ද සඳහන් කළේ මෑතක දී ජපානයෙන් මෙරටට දුම්රිය කට්ටල ගෙන්වීමක් සිදුකර නොමැති බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ, ජපානයෙන් ශ්රී ලංකාවට සුඛෝපභෝගී දුම්රිය කට්ටල දෙකක් ගෙන්වා ඇති බව දක්වමින් “News” යනුවෙන්ද සඳහන් කර පළ කර ඇති සමාජ මාධ්ය සටහන නොමග යවන සුළු බවයි. මෑතකදී ශ්රී ලංකාව වෙත එවැනි දුම්රිය කට්ටල ගෙන්වීමක් සිදුකර නොමැත. අදාළ සටහනෙහි ඡායාරූපයේ දැක්වෙන දුම්රිය 1970 දී ජපානයෙන් මෙරටට ගෙන්වන ලද Class S5 අංක 718 දරන දුම්රියයි. එය 1969 දී නිෂ්පාදනය කර ශ්රී ලංකාවට ආනයනය කර ඇත. මේ වන විට අදාල දුම්රිය ධාවනයෙන් ඉවත් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ද තහවුරු කර තිබේ.



