Update (06/10/26): ලෝක බැංකුව ශ්රී ලංකාවේ දරිද්රතා ඇස්තමේන්තු පහළට සංශෝධනය කර ඇත, එහෙත් දරිද්රතාව තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා ඉහළය.
2026 ඔක්තෝබර් 6 වන දින ලෝක බැංකුව ශ්රී ලංකා සංවර්ධන යාවත්කාලීනයේ (Sri Lanka Development Update, SLDU) 2026 ඔක්තෝබර් සංස්කරණය වන “From Recovery to Transformation” වාර්තාව ප්රකාශයට පත් කළේය. ඒ සමඟම ප්රවෘත්ති නිවේදනයක් සහ ශ්රී ලංකාවේ දරිද්රතා ඇස්තමේන්තු යාවත්කාලීන කිරීම පිළිබඳ නිතර අසන ප්රශ්න (FAQ) ලේඛනයක් ද නිකුත් කෙරිණි. එම FAQ ලේඛනයට අනුව ලෝක බැංකුව 2020 සිට 2024 දක්වා ශ්රී ලංකාවේ දරිද්රතා ඇස්තමේන්තු සංශෝධනය කර ඇති අතර, ඒ සමඟම 2025 සඳහා වන ඇස්තමේන්තුව සහ 2026 සිට 2028 දක්වා පුරෝකථනද වෙනස් වී ඇත. අපගේ මෙම කරුණු පරීක්ෂාව පදනම් වූයේ සමාජ මාධ්ය සටහන් උපුටා දැක්වූ 2026 අප්රේල් Macro Poverty Outlook (MPO) වාර්තාවටය. එබැවින් එහි අගයන් කිහිපයක් දැන් සංශෝධනය වී ඇත. එහෙත් නිගමනය වෙනස් නොවේ. එම සටහන් තවමත් නොමග යවන සුළුය. යාවත්කාලීන තොරතුරු මෙහි මුලින්ම දක්වා ඇති අතර, මුල් කරුණු පරීක්ෂාව ඊට පසුව දැක්වේ.
අඩු අගයන් ලැබී ඇත්තේ වඩා හොඳ ක්රමවේදයක් නිසාය, දුක්ඛිත තත්ත්වය අඩු වූ නිසා නොවේ
ශ්රී ලංකාවේ අවසන් නිල ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය (HIES) පවත්වා ඇත්තේ 2019 දී ය. එබැවින් ඉන් පසු කාලයේ ගෘහ ඒකකවල ආදායම් වෙනස් වූ ආකාරය පෙර ඇස්තමේන්තුවලදී අනුමාන කර තිබුණේ ජාතික ගිණුම් දත්ත මගිනි. නව ක්රමයේදී ගෘහ ඒකකවල සත්ය රැකියා, ශ්රම ආදායම් සහ ගෘහ සංයුතිය සටහන් කරන වාර්ෂික ශ්රම බල සමීක්ෂණය (Labor Force Survey, LFS) දත්ත භාවිත කෙරේ. සංශෝධිත ශ්රේණිය ජාත්යන්තර ආහාර ප්රතිපත්ති පර්යේෂණ ආයතනය (IFPRI) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) ඇතුළු ස්වාධීන ගෘහ ඒකක සමීක්ෂණ හතරකට එරෙහිව තහවුරු කර ඇති බව ලෝක බැංකුව පවසයි.
ඩොලර් 4.20 රේඛාවට අනුව ඇස්තමේන්තු කළ 2023 උච්චතම අගය 27.6% සිට 20.7% දක්වාත්, 2025 සඳහා ඇස්තමේන්තුව 22.1% සිට 16.9% දක්වාත් පහළ බසී. එහෙත් දරිද්රතාව ප්රතිශත ලක්ෂ්ය 7ක් පමණ අඩු වූ බව මින් අදහස් නොවන බව ලෝක බැංකුව පැහැදිලිව පවසයි. එම ආයතනයට අනුව ප්රායෝගික තත්ත්වය වෙනස් වී නැති අතර, දැන් එය වඩා නිවැරදිව මනිනු ලැබේ. 2019 පදනම් අගය 11.5% ලෙස නොවෙනස්ව පවතින අතර, අර්බුදය තුළ දරිද්රතාව ආසන්න වශයෙන් දෙගුණයක් වී මිලියන දෙකක පමණ පිරිසක් දරිද්රතාවයට ඇද වැටුණු බව ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකුවේ සංශෝධිත සහ පෙර දරිද්රතා ඇස්තමේන්තු, ඩොලර් 4.20 රේඛාව (2021 PPP), ප්රතිශතය (e = ඇස්තමේන්තු, f = පුරෝකථන)
| ශ්රේණිය | 2019 | 2022 | 2023 | 2024 | 2025e | 2026f | 2027f | 2028f |
| සංශෝධිත (LFS පදනම් කරගත්, 2026 ඔක්තෝබර්) | 11.5% | 18.4% | 20.7% | 18.4% | 16.9% | 15.8% | 14.8% | 14.0% |
| පෙර (2026 අප්රේල් MPO) | 11.5% | 23.1% | 27.6% | 25.0% | 22.1% | 20.1% | 19.5% | 18.9% |
මූලාශ්රය: ලෝක බැංකුව, FAQ: Updating Sri Lanka’s Poverty Estimates (2026 ඔක්තෝබර්)
ඩොලර් 8.30 රේඛාවට අනුව 2026 පුරෝකථනය දැන් 65.4% නොව 59.1% කි
සමාජ මාධ්ය සටහන්වල දක්වා තිබූ 65.4% අගය, අප්රේල් MPO වාර්තාවේ ඩොලර් 8.30 රේඛාවට අනුව 2026 සඳහා කළ පුරෝකථනයයි. සංශෝධිත ශ්රේණියට අනුව එම රේඛාවේ 2026 පුරෝකථනය 59.1% කි. 2023 සඳහා ඇස්තමේන්තුව 66.1% ක්ද, 2024 සඳහා 64.0% ක්ද, 2025 සඳහා 61.1% ක්ද වේ. ලෝක බැංකුවේ FAQ ලේඛනයට අනුව මෙම රේඛාවේදී ශ්රී ලාංකිකයන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුට ආසන්න ප්රමාණයක් දුප්පත් ය (“close to six in 10 Sri Lankans are poor”). එහෙත් එය “නව දරිද්රතා ඇස්තමේන්තුවක් නොව, වෙනස් මිනුම් දණ්ඩකි” (“not a new poverty estimate but a different yardstick”); එයින් පෙන්වන්නේ ඉහළ මැදි ආදායම් රටකට සාමාන්ය ජීවන මට්ටමට වඩා පහළින් සිටින ගෘහ ඒකක කොපමණ දැයි යන්නයි. ශ්රී ලංකාවේ ඉහළ මැදි ආදායම් තත්ත්වය තවමත් අලුත් බැවින් FAQ ලේඛනය මෙම රේඛාව “දැනට අභිලාෂී මිනුම් දණ්ඩක්” (“for now an aspirational benchmark”) ලෙස හඳුන්වයි.
ලෝක බැංකුවේ සංශෝධිත දරිද්රතා ඇස්තමේන්තු සහ පුරෝකථන, රේඛා තුනකට අනුව (2026 ඔක්තෝබර්), ප්රතිශතය
| දරිද්රතා රේඛාව (2021 PPP) | 2022 | 2023 | 2024 | 2025e | 2026f | 2027f | 2028f |
| ජාත්යන්තර (ඩොලර් 3.00/දිනකට) | 7.6% | 8.1% | 6.8% | 6.0% | 5.5% | 5.2% | 4.9% |
| පහළ මැදි ආදායම් (ඩොලර් 4.20/දිනකට) | 18.4% | 20.7% | 18.4% | 16.9% | 15.8% | 14.8% | 14.0% |
| ඉහළ මැදි ආදායම් (ඩොලර් 8.30/දිනකට) | 63.2% | 66.1% | 64.0% | 61.1% | 59.1% | 57.4% | 55.7% |
මූලාශ්රය: ලෝක බැංකුව, Sri Lanka Development Update (2026 ඔක්තෝබර්). ලෝක බැංකුව 2022 සිට 2024 දක්වා අගයන් ශ්රම බල සමීක්ෂණ දත්ත මත පදනම් වූ ඇස්තමේන්තු ලෙසත්, 2025 අගය nowcast ලෙසත්, 2026 සිට 2028 දක්වා අගයන් පුරෝකථන ලෙසත් හඳුන්වයි.
ආදායම් වර්ගීකරණය සහ දරිද්රතාව වෙනස් මිනුම් දෙකක් බව ලෝක බැංකුව පවසයි
FAQ ලේඛනයට අනුව ඉහළ මැදි ආදායම් වර්ගීකරණය සහ දරිද්රතා ඇස්තමේන්තු යනු “වෙනස් මිනුම් දෙකක් වන අතර ඒවා ප්රකෘතිමත් වීමේ තනි කතාවක් ලෙස එකට කියවිය යුතු නොවේ” (අපගේ පරිවර්තනය). ආදායම් වර්ගීකරණය පදනම් වන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI) මතය. එය රටේ සාමාන්ය අගයක් වන අතර, ලෝක බැංකුව පවසන පරිදි ආදායම බෙදී ඇති ආකාරය හෝ ප්රකෘතිමත් වීම වඩාත් අවදානමට ලක්විය හැකි පිරිස්වලට ළඟා වී තිබේද යන්න එයින් අදහස් වන්නේ නැහැ. මෙය පහත මහාචාර්ය වසන්ත අතුකෝරාලගේ ප්රකාශයට ගැළපේ.
ආර්ථිකය අර්බුදයට පෙර නිමැවුම් මට්ටමට පැමිණ ඇතත් ගෘහ ඒකකවල ජීවන තත්ත්වය පසුගාමීව පවතී
ප්රවෘත්ති නිවේදනයට අනුව ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර මට්ටමට ළඟා වී ඇත. 2026 පළමු භාගයේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 4.7% කින් ඉහළ ගොස් 2018 මට්ටමට පැමිණ ඇති අතර, ආර්ථිකය එකදිගටම කාර්තු දොළහක් වර්ධනය වී ඇත. 2026 සඳහා වර්ධන පුරෝකථනය අප්රේල් MPO වාර්තාවේ 3.6% සිට 4.4% දක්වා ඉහළ දමා ඇති අතර, 2027 සඳහා එය 4.2% කි. එහෙත් ප්රකෘතිමත් වීම “අසම්පූර්ණ සහ අසමාන” (“incomplete and uneven”) බව ලෝක බැංකුව පවසයි. ගෘහ ඒකකවල ආදායම් සහ ශ්රම වෙළෙඳපොළ ප්රතිඵල තවමත් පසුගාමී වන අතර, ඉහළ ගිය බලශක්ති සහ ආහාර මිල හේතුවෙන් උද්ධමනය මෑතක සිට ඉහළ ගොස් ඇත.
2025 දී දරිද්රතාව 16.9% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර 2019 දී එය 11.5% කි. 2028 වන විට එය 14.0% දක්වා පමණක් පහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් එය 2019 මට්ටමට වඩා ඉහළින් පවතී. 2026 දී ශ්රී ලාංකිකයන්ගෙන් පස්වෙන් දෙකක් “දුප්පත් හෝ දරිද්රතා රේඛාවෙන් 50%ක් ඇතුළත ජීවත් වන” බව (“either poor or live within 50 percent of the poverty line”) SLDU වාර්තාව පවසයි. ශ්රම බලකා සහභාගිත්ව අනුපාතය 2019 දී 52.3% සිට 2024 දී 47.4% දක්වා පහළ ගොස් 2025 දී 49.4% දක්වා පමණක් යථා තත්ත්වයට පැමිණ ඇත. FAQ ලේඛනයට අනුව වයස අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සාපේක්ෂව උස අඩු වීම (stunting) 2021 දී 7.4% සිට 2025 දී 10.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, බස්නාහිර පළාතෙන් පිටත දරිද්රතාව එහි ඇති මට්ටමට වඩා දෙකේ සිට තුන් ගුණයක් ඉහළය.
නිල මිණුම් දණ්ඩ තවමත් HIES ය, එහි ඊළඟ දත්ත නිකුත් වන දිනය මූලාශ්ර අනුව වෙනස් වේ
ලෝක බැංකුව පවසන්නේ නිල මිණුම් දණ්ඩ තවමත් ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් සකස් කරන HIES බවත්, තමන්ගේ ආකෘති පාදක ඇස්තමේන්තු “අතරමැදි” (interim) වන අතර නිල දත්තවලට ආදේශකයක් නොවන බවත්ය. ජාතික දරිද්රතා රේඛාවට අනුව ද ලෝක බැංකුව 2023 උච්චතම අගය 31.4% සිට 24.0% දක්වාත්, 2024 අගය 29.0% සිට 21.7% දක්වාත් සංශෝධනය කර ඇත. මේවා ආකෘති පාදක අගයන් ය. 2019 HIES මත පදනම් වූ අවසන් නිල ජාතික අගය 14.3% කි.
2025 HIES හි නිල දත්ත 2027 දී අපේක්ෂා කරන බව FAQ ලේඛනය සඳහන් කරයි. නමුත් 2026 ඔක්තෝබර් 1 වන දින යාවත්කාලීන කළ DCS ඉදිරි දත්ත නිකුත් කිරීමේ කැලැන්ඩරයේ 2025 HIES දරිද්රතා දර්ශක (Poverty Indicators) වෙබ් අඩවියේ පළ කිරීම 2026 දෙසැම්බර් 31 ලෙසත්, මුද්රිත ප්රකාශනය 2027 පෙබරවාරි 16 ලෙසත් දක්වා ඇත. මෙම කාලසීමා දෙක වෙනස් බැවින් පාඨකයන් DCS කැලැන්ඩරය නිරීක්ෂණය කළ යුතුය. 2026 නොවැම්බර් මාසයේ නිකුත් වනු ඇතැයි අපේක්ෂිත 2025 ශ්රම බල සමීක්ෂණ දත්ත භාවිතයෙන් ලෝක බැංකු ඇස්තමේන්තු යළිත් යාවත්කාලීන කෙරේ.
මෙම කරුණු පරීක්ෂාවේ වෙනස් වන්නේ කුමක්ද, වෙනස් නොවන්නේ කුමක්ද?
නිගමනය වන “නොමග යවන සුළුය” (Misleading) වෙනස් නොවේ. 65.4% යනු අප්රේල් MPO වාර්තාව පුරෝකථනය කළ අගය සහ සමාජ මාධ්ය සටහන් උපුටා දැක්වූ අගය වන බැවින් පහත කරුණු පරීක්ෂාව එය නිවැරදිව විස්තර කරයි. එහෙත් ඔක්තෝබර් යාවත්කාලීනයෙන් අගයන් සංශෝධනය වූ තැන්හි අප්රේල් ඇස්තමේන්තු අභිබවා ගොස් ඇති බව පාඨකයන් සැලකිය යුතුය: ඩොලර් 4.20 ශ්රේණිය (2023 දී 27.6% සිට 2026 දී 20.1% දක්වා යන්නේ 20.7% සිට 15.8% දක්වා වෙයි) සහ ඩොලර් 8.30 ශ්රේණිය (2023 දී 71.1% සිට 2026 දී 65.4% දක්වා යන්නේ 66.1% සිට 59.1% දක්වා වෙයි). ඩොලර් 4.20 රේඛාවේ 2019 පදනම් අගය 11.5%, 2026 ජූලි මාසයේ ඉහළ මැදි ආදායම් වර්ගීකරණය සහ 2025 ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,670 යන්න වෙනස් නොවේ.
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ලෝක බැංකු වාර්තාවකට අනුව ඉතිහාසයේ ප්රථම වරට ශ්රී ලංකාවේ දරිද්රතාවය 65% ක් බවට පත්ව ඇති බව දක්වමින් සටහන් මෑතකදී සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙහි සත්ය අසත්යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :



Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්රී ලංකාවේ දරිද්රතාවය ඉතිහාසයේ ප්රථම වරට 65% ක් බවට පත්ව ඇතැයි දක්වන ඉහත සමාජ මාධ්ය සටහන්වල, ඒ සඳහා පදනම් වූ මූලාශ්රය ලෙස ලෝක බැංකු වාර්තාවක්ද දක්වා තිබුණි. එය ලෝක බැංකුවේ Macro Poverty Outlook (MPO) වාර්තාවයි.
ඉහත වාර්තාව කුමක්ද, එහි අන්තර්ගත වන්නේ කුමක්ද යන්න පරීක්ෂා කරමින් ලෝක බැංකු නිල යාවත්කාලීන වාර්තා, දත්ත සහ අනෙකුත් නිල මූලාශ්ර ඔස්සේ මෙරට සමස්ත දරිද්රතාවය 65% බවට පත්ව ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
ශ්රී ලංකාවේ දරිද්රතා ප්රතිශතය (ලෝක බැංකුව)
ලෝක බැංකුවේ “Sri Lanka Development Update 2025” වාර්තාවට අනුව දිනකට එක් පුද්ගලයෙකු සඳහා ඇමෙරිකානු ඩොලර් 3.65ක (2017 PPP) දරිද්රතා සීමාවට අදාළව 2024 වසරේ ශ්රී ලංකාවේ දරිද්රතා අනුපාතය 24.5%ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එය 2019 මට්ටමට වඩා ආසන්න වශයෙන් දෙගුණයකි. (2021 PPP මිල පදනම් කරගත් 2026 MPO වාර්තාවේ, දිනකට ඩොලර් 4.20ක පහළ මැදි ආදායම් රේඛාවට අනුව 2024 සඳහා ඇස්තමේන්තුව 25.0% කි. මෙය වෙනත් PPP අගයන් මත පදනම් වූ, එකම සංකල්පයේ රේඛාවකි.)
ශ්රී ලංකාවේ දරිද්රතා ප්රතිශතය (දේශීය මූලාශ්ර)
ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් ප්රකාශිත දත්ත අනුව, ශ්රී ලංකාවේ 2019 ජාතික දරිද්රතා අනුපාතය 14.3%ක් විය. DCS විසින් අවසන් වරට නිල වශයෙන් දත්ත නිකුත් කරන ලද 2019 ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය (HIES 2019) මත පදනම්ව මෙම අගය ගණනය කර ඇත. 2025 HIES ට අදාළ දරිද්රතා දර්ශක, DCS හි නිකුත් කිරීමේ කාලසටහනට අනුව 2026 ඔක්තෝබර් 30 සිට දෙසැම්බර් 30 දක්වා කාලය තුළ ප්රකාශයට පත් කිරීමට නියමිතය. DCS ගණනය කළ 2026 ජූලි මාසයේ නිල දරිද්රතා රේඛාව පුද්ගලයෙකුට මසකට රුපියල් 17,679ක් වේ. එය මූලික අවශ්යතා සපුරා ගැනීමට අවශ්ය අවම වියදම දක්වන රේඛාවක් මිස දරිද්රතා ප්රතිශතයක් නොවේ.
2019 HIES පසු නිල දරිද්රතා දත්ත නිකුත් වී නොමැති බැවින්, ලෝක බැංකුවේ පසුකාලීන අගයන් සියල්ලම ඇස්තමේන්තු වේ. MPO වාර්තාවේ සඳහන් පරිදි සත්ය දත්ත ඇත්තේ 2019 සඳහා පමණි. 2020 සිට 2025 දක්වා අගයන් 2019 HIES පදනම් කරගත් ඇස්තමේන්තු වන අතර, 2026 සිට 2028 දක්වා අගයන් පුරෝකථන (forecast) වේ.
65% ලැබුණේ ලෝක බැංකුවේ 2026 අප්රේල් MPO වාර්තාවෙනි
ලෝක බැංකුව ශ්රී ලංකාවට අදාළ Macro Poverty Outlook (MPO) වාර්තාව 2026 අප්රේල් මාසයේදී ප්රකාශයට පත් කර ඇත. (එනම් ජූලි මාසයේදී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම් කිරීමටත් පෙර) ඉහත සමාජ මාධ්ය සටහන් තුළ මූලාශ්රය ලෙස දක්වා ඇත්තේද මෙම වාර්තාවයි.
MPO වාර්තාවේ ප්රධාන පුරෝකථනය දරිද්රතාව 20.1% දක්වා අඩු වීමයි
MPO වාර්තාවේ පුරෝකථන පාඨයේ ප්රධාන දර්ශකය ලෙස යොදා ඇත්තේ පහළ මැදි ආදායම් රේඛාවයි (දිනකට ඩොලර් 4.20, 2021 PPP). ඊට අනුව වාර්තාවේ සඳහන් වන්නේ “Poverty is projected to decline to 20.1 percent (US$4.20 per person per day, PPP) in 2026 but the pace of poverty reduction is expected to slow” යනුවෙනි. එනම් දරිද්රතාව අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, එම අඩුවීමේ වේගය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකාව නැවත ඉහළ මැදි ආදායම් රටක් වූයේ 2026 ජූලි මාසයේදීය
2019 වසරේ ජූලි මාසයේදී ප්රථම වතාවට ඉහළ මැදි ආදායම් කාණ්ඩයට පත් වූ ශ්රී ලංකාව, 2020 ජූලි මාසයේදී යළි පහළ මැදි ආදායම් කාණ්ඩයට පහත වැටුණි. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ලැබූ ප්රකෘතිමත් වීම, 2025 වසරේ 5.0% ක ආර්ථික වර්ධනය සහ ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI) ඉහළ යාම හේතුවෙන්, 2026 ජූලි 1 දින ලෝක බැංකු වර්ගීකරණයේදී ශ්රී ලංකාව නැවත වරක් ඉහළ මැදි ආදායම් ලබන රටවල් අතරට ඇතුළත් විය.
ලෝක බැංකුව දරිද්රතාව මනින්නේ රේඛා තුනකිනි
MPO වාර්තාවේ මෙරට දරිද්රතාව රේඛා තුනකට අනුව වෙන් වෙන්ව දක්වා ඇත. ලෝක බැංකුව 2025 ජූනි මාසයේ සිට 2021 මිල මට්ටම් (2021 PPP) පදනම් කරගත් නව ජාත්යන්තර දරිද්රතා රේඛා භාවිත කරයි. දිනකට ඩොලර් 3.00 යනු පහළ ආදායම් රටවල සාමාන්ය ජාතික දරිද්රතා රේඛාවයි. ඩොලර් 4.20 යනු පහළ මැදි ආදායම් රටවල්වලට අදාළ රේඛාවයි. ඩොලර් 8.30 යනු ඉහළ මැදි ආදායම් රටවල සාමාන්ය (typical) දරිද්රතා රේඛාවයි. මෙහි PPP ඩොලර් යනු වෙළඳපොළ විනිමය අනුපාතයෙන් ගණනය කළ ඩොලර් නොව, රටවල් අතර මිල මට්ටම් වෙනස් සැලකිල්ලට ගෙන සකසන ඒකකයකි.
ඊට අනුව 2026 වසර සඳහා පුරෝකථනය කර ඇති දරිද්රතා ප්රතිශතය, ඩොලර් 3.00 (2021 PPP) රේඛාවට අනුව 6.9% ක් ද, ඩොලර් 4.20 (2021 PPP) රේඛාවට අනුව 20.1% ක් ද, ඩොලර් 8.30 (2021 PPP) රේඛාවට අනුව 65.4% ක් ද වේ.
ලෝක බැංකු වාර්තාවට අනුව 2023 සිට 2028 දක්වා ශ්රී ලංකාවේ දරිද්රතා මට්ටම් තුනේ ඇස්තමේන්තු සහ පුරෝකථන (e = ඇස්තමේන්තු, f = පුරෝකථන)
| දරිද්රතා සීමාව (Poverty Line – 2021 PPP) | 2023e | 2024e | 2025e | 2026f | 2027f | 2028f |
|---|---|---|---|---|---|---|
| ජාත්යන්තර දරිද්රතා ප්රතිශතය ($3.00/දිනකට) | 10.8% | 9.3% | 7.9% | 6.9% | 6.5% | 6.2% |
| පහළ මැදි ආදායම් දරිද්රතා ප්රතිශතය ($4.20/දිනකට) | 27.6% | 25.0% | 22.1% | 20.1% | 19.5% | 18.9% |
| ඉහළ මැදි ආදායම් දරිද්රතා ප්රතිශතය ($8.30/දිනකට) | 71.1% | 69.3% | 66.7% | 65.4% | 64.5% | 63.4% |
මූලාශ්රය: ලෝක බැංකුව, Sri Lanka Macro Poverty Outlook (2026 අප්රේල්)
දර්ශක තුනෙහිම දරිද්රතාව පහළ යාමේ ප්රවණතාවයක් පෙන්වයි
ඉහත වගුවට අනුව, 2023 සිට ඉදිරියට සෑම රේඛාවකින්ම මෙරට දරිද්රතා අනුපාතය වසරින් වසර පහළ යනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. ඉහළ මැදි රේඛාවට අනුව එය 2023 දී 71.1%, 2024 දී 69.3% සහ 2025 දී 66.7% ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2026 සඳහා 65.4% ලෙස පුරෝකථනය කර ඇත. එනම් 65.4% යනු එම වාර්තාවේ පෙර වසරවල ඇස්තමේන්තුවලට වඩා අඩු අගයකි. එබැවින් ඉතිහාසයේ ප්රථම වරට 2026 දී දරිද්රතාව 65% වූ බවට කරන ප්රකාශය එම වාර්තාවේ දත්තවලින්ම ප්රතික්ෂේප වේ. එමෙන්ම එය නිරීක්ෂණය කළ අගයක් නොව, 2026 සඳහා වූ පුරෝකථනයකි. පහළ මැදි ආදායම් දරිද්රතා ප්රතිශතයට අදාලව 2023 වසරේදී ශ්රී ලංකාව 27.6% ක දරිද්රතා ප්රතිශතයක් පෙන්නුම් කර ඇති අතර එය 2026 වන විට 20.1% දක්වා පහළ ගොස් ඇත. (පුරෝකථනය)
ඩොලර් 8.30 රේඛාව ඉහළ මැදි ආදායම් රටවල සාමාන්ය දරිද්රතා මිනුමකි
ලෝක බැංකුවේ 2026 (FY27) වර්ගීකරණයට අනුව ඉහළ මැදි ආදායම් රටක් වීමට ඒක පුද්ගල දළ ජාතික ආදායම (Atlas GNI per capita) ඇමරිකානු ඩොලර් 4,636 සිට 14,375 දක්වා පරාසයක පැවතිය යුතුය. 2025 වසර සඳහා ශ්රී ලංකාවේ අගය ඩොලර් 4,670ක් වූ අතර, එය සීමාව ඉතා පටු පරතරයකින් (ඩොලර් 34 කින්) පසුකර ඇත. ලෝක බැංකුවද මෙය සඳහන් කරන්නේ රට “සීමාව පටු ලෙස ඉක්මවූ” අවස්ථාවක් ලෙසය. World Bank | Archived Link
ඉහළ මැදි ආදායම් රටවල් සඳහා ලෝක බැංකුව යොදා ගන්නා ඩොලර් 8.30 රේඛාව ඒ කාණ්ඩයේ සාමාන්ය දරිද්රතා රේඛාව වන අතර, එය ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,670ක් වන රටටත්, ඩොලර් 14,375 දක්වා ආදායමක් ඇති රටටත් සමානව අදාළ වේ. ඒ අනුව ඉහළ මැදි කාණ්ඩයේ පහළම කෙළවරේ පිහිටි ශ්රී ලංකාවට එම රේඛාව යෙදූ විට ඉහළ ප්රතිශතයක් ලැබීම පැහැදිලි කළ හැකිය. (මෙය ලෝක බැංකුවේ ප්රකාශයක් නොව, රේඛාව සහ ආදායම් පරාසය සැසඳීමෙන් ලැබෙන අර්ථකථනයකි.)
එසේ වුව ද, පහළ මැදි රේඛාවට අනුවද 2026 දී දරිද්රතාව 20.1% ක් වීම යනු ජනගහනයෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ තවමත් එම රේඛාවට පහළින් සිටින බවයි. දරිද්රතාව අඩු වෙමින් පවතින බව සත්ය වුවද, එය තවමත් ඉහළ මට්ටමක පවතින බවත්, අඩුවීමේ වේගය මන්දගාමී වනු ඇතැයි ලෝක බැංකුව අපේක්ෂා කරන බවත් නොසලකා හැරිය නොහැක. ආදායම් වර්ගීකරණය ඉහළ යාමෙන් පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය එවැනි වේගයෙන් වෙනස් නොවන බව පහත මහාචාර්යවරයාගේ ප්රකාශයෙන්ද පැහැදිලි වේ.
මහාචාර්ය වසන්ත අතුකෝරාල – ආර්ථික විද්යා අධ්යයන අංශය පේරාදෙණිය විශ්ව විද්යාලය
මේ පිළිබඳව අප විසින් සිදුකළ විමසීමේදී, ශ්රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වීම, ඉහළ සහ පහළ මැදි ආදායම් රටවල දරිද්රතාව මැනීමට යොදන රේඛා අතර වෙනස, සහ ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වූ සැනින් පුද්ගලයන්ගේ ආදායම ඉහළ නොයන බව පිළිබඳව මහාචාර්යවරයා විසින් සිදුකළ ප්රකාශය පහතින්.
“ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණේ යම් ආකාරයකට අපේ ඒක පුද්ගල ආදායම ගිය වසර තුළ අදාළ සීමාවට වඩා ඉහළ මට්ටමකට ගිහින් තිබුණු නිසා. ඉහළ මැදි ආදායම් ලබන රටවල සහ පහළ මැදි ආදායම් ලබන රටවල දරිද්රතාවය ගණනය කිරීමේ ක්රමවේදයන් එකිනෙකට වෙනස්. සාමාන්යයෙන් දිනකට ඩොලර් කීයක ආදායමක් ලබනවාද පුද්ගලයෙක් කියන නිර්ණායකයන් පදනම් කරගෙන තමයි ඒ ගණනය කිරීම් කරන්නේ. ඒක නිසා ලෝක බැංකුව විසින් ගණනය කරලා තියෙන දත්ත බොහෝවිට ද්විතීයික දත්ත පදනම් කරගෙන සිදුකරන ඒවා.
ලංකාවේ දරිද්රතාවය සාමාන්යයෙන් 21.5%ක වගේ මට්ටමක පැවැත්වෙනවා. ඒ 21.5% මට්ටම කියන එක අපි අර ඉහළ මැදි ආදායම් ලබපු රටකට ගියාට පස්සේ ක්ෂණිකව වෙනසක් වෙන්නේ නැහැ. මොකද දරිද්රතාවය මනින්නේ සහ ඉහළ/පහළ මැදි ආදායම් ලබන රටක්ද කියන එක තීරණය කරන්න භාවිතා කරන නිර්ණායකයන් එකිනෙකට වෙනස්.
රටක දරිද්රතාවය අඩු වෙන්න නම් කාලයක් තිස්සේ ආර්ථිකය තුළ වෙනස්වීම් සිද්ධ වෙන්න ඕනේ. ඒක ක්ෂණිකව අවුරුද්දකින් දෙකකින් විශාල වශයෙන් ඉහල පහළ දැමීමේ හැකියාවක් නැහැ. අපේ නාමික දේශීය නිෂ්පාදිතය ඉහළ නිසා ඒක පුද්ගල ආදායම ඉහළ ගිහින් අපි ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වුණා.
ඉහළ මැදි ආදායම් ලබන රටවල් සහ පහළ මැදි ආදායම් ලබන රටවල දරිද්රතාවය මනිනකොට භාවිතා කරන දිනක ඒක පුද්ගල ආදායමේ (USD) ලොකු වෙනසක් තියෙනවා. ඒත් ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වූ සැනින් පුද්ගලයන්ගේ ආදායම ඉහළ යාමක් සිදුවන්නේ නැහැ, ඒ සඳහා කාලයක් ගතවෙනවා.”
සංස්කාරක සටහන: මහාචාර්යවරයා සඳහන් කරන 21.5% යනු ආසන්න අගයකි. ලෝක බැංකු MPO වාර්තාවේ පහළ මැදි රේඛාවට අනුව එය 2025 දී 22.1% ක්ද 2026 පුරෝකථනය 20.1% ක්ද වේ. එමෙන්ම ලෝක බැංකු අගයන් ද්විතීයික දත්ත ලෙස නොව, 2019 HIES පදනම් කරගත් ඇස්තමේන්තු සහ පුරෝකථන (forecast) ලෙස හඳුනාගත යුතුය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ ප්රථම වරට ශ්රී ලංකාවේ දරිද්රතාවය 65% ක් වන බව දක්වමින් හුවමාරු වන සටහන් නොමග යවන සුළු බවයි. ලෝක බැංකුවේ 2026 අප්රේල් Macro Poverty Outlook වාර්තාවේ 65.4% යන අගයක් ඇත්තේ ඇත. එහෙත් එය ඉහළ මැදි ආදායම් රටවල් සඳහා වූ දිනකට ඩොලර් 8.30 (2021 PPP) රේඛාවට අනුව 2026 සඳහා කර ඇති පුරෝකථනයකි. එම වාර්තාවේම එම රේඛාවට අනුව 2023 දී 71.1%, 2024 දී 69.3% සහ 2025 දී 66.7% ලෙස ඇස්තමේන්තු කර ඇති බැවින්, 65.4% යනු ප්රථම වරට ලැබෙන අගයක් හෝ ඉහළම අගයක් නොවේ.
ලෝක බැංකු MPO වාර්තාවේ ප්රධාන දරිද්රතා දර්ශකය වන පහළ මැදි රේඛාවට (දිනකට ඩොලර් 4.20) අනුව දරිද්රතාව 2023 දී 27.6% සිට 2026 දී 20.1% දක්වා අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ශ්රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයට ඇතුළත් වූයේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,670ක් ලෙස, එම කාණ්ඩයේ සීමාව වන ඩොලර් 4,636ට වඩා ඩොලර් 34කින් පමණක් ඉහළින් වන අතර, එම කාණ්ඩයේ සාමාන්ය රේඛාව වන ඩොලර් 8.30 යෙදූ විට ඉහළ ප්රතිශතයක් පෙන්වීම ඒ අනුව පැහැදිලි කළ හැකිය.
එසේ වුව ද දරිද්රතාව තවමත් සැලකිය යුතු ඉහළ මට්ටමක පවතී. අවසන් නිල ජාතික අගය 2019 ට අයත් 14.3% වන අතර, 2025 HIES දරිද්රතා දර්ශක DCS හි කාලසටහනට අනුව 2026 අවසානයට පෙර නිකුත් කිරීමට නියමිතය. ලෝක බැංකු Macro Poverty Outlook වාර්තාව, ලෝක බැංකු ආදායම් වර්ගීකරණ දත්ත සහ DCS දත්ත මගින් මෙය තහවුරු වේ.



