දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සාදවල සහ මංගල උත්සවවල ජයමංගල ගාථා ගැයීමට සහ සංගීත වාදනය කිරීමට බලපත්රයක් අවශ්ය වන බව දක්වමින් සටහනක් මෑතකදී සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්ය අසත්යභාවය විමසා බලමින් Factcrescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :


Facebook | Archived Link Facebook
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය විසින් නව සංගීත බලපත්ර රෙගුලාසි ක්රමවේදයක් හඳුන්වා දී තිබේ. එම ක්රමවේදය ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක්ද පළ කර තිබේ. හඳුන්වා දී ඇති නව සංගීත බලපත්ර ක්රමවේදය මගින් වාණිජ ස්ථානවල සහ සංවිධානාත්මක උත්සවවලදී ගීත වාදනය කිරීම සඳහා බලපත්ර ගාස්තු අය කිරීමක් සිදු කරයි. 2026 සැප්තැම්බර් මස 15 වැනිදා සිට මෙම ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි නිල වශයෙන් බලාත්මක කර ක්රියාවට නැංවීම ආරම්භ වේ. එම ගැසට් නිවේදනය මෙතනින්.
ජයමංගල ගාථා සඳහා බලපත්ර අවශ්යයද ?
නිල ගැසට් නිවේදනය මඟින් බලපත්ර ගාස්තු පනවා ඇත්තේ වාණිජමය වශයෙන් භාවිත වන සහ හිමිකම් ආරක්ෂා කරන ලද සංගීත නිර්මාණ, ගීත සහ තනු වාදනය, ගායනය සඳහා පමණි. මංගල උත්සවවලදී ගැයෙන ආගමික, සාම්ප්රදායික ආශිර්වාද ගායනාවක් වන ජයමංගල ගාථා සඳහා කිසිදු බලපත්රයක් හෝ ගාස්තුවක් පනවා නොමැත.
නිල ගැසට් නිවේදනය මඟින් වාණිජමය වශයෙන් භාවිත වන සහ හිමිකම් ආරක්ෂා කරන ලද සංගීත නිර්මාණ, ගීත සහ තනු වාදනය, ගායනය සඳහා පනවා ඇති රුපියල් 20,000 සිට 125,000 දක්වා වන ගාස්තු අදාළ වන්නේ මංගල උත්සවයකදී සිංහල, හින්දි හෝ දෙමළ වාණිජ ගීත භාවිතය සහ අදාල උත්සවයට සහභාගී වන ජන සංඛ්යාව පදනම් කරගනිමිනි. එය ජයමංගල ගාථා වෙනුවෙන් පැනවූවක් නොවේ.
අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ ද පුවත් වාර්තාකර ඇති අතර, කිසිදු නිල විශ්වාසනීය පුවත් මූලාශ්රයක් මගින් ඉහත සටහනෙහි දක්වා ඇති ආකාරයෙන් ජයමංගල ගාථා ගායනා කිරීම සඳහා බලපත්රයක් අවශ්ය බවට හෝ ඒ සඳහා ගාස්තු අය කිරීමක් සිදුකරන බවට වාර්තා කර නොමැත. මේ සම්බන්ධ මාධ්ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
නිල ගැසට් නිවේදනය මඟින් ප්රධාන වශයෙන් කරුණු 4ක් නිවේදනය කර ඇත.
විවාහ මංගල්යයන්, පෞද්ගලික සාද, ආයතනික උත්සව, සුපිරි වෙළඳසැල්, බැංකු, හෝටල් සහ පොදු ප්රවාහන සේවා වැනි ස්ථානවල වාණිජමය වශයෙන් ගීත වාදනය කිරීමට පෙර ACPOSL සංගමයෙන් වලංගු බලපත්රයක් ලබාගත යුතුය.
උත්සවයට සහභාගී වන පිරිස පදනම් කරගෙන (උදා: මංගල සාද සඳහා රු. 20,000 සිට රු. 125,000 දක්වා) සහ වාණිජ ස්ථානවල වර්ග අඩි ප්රමාණය අනුව වාර්ෂිකව ගෙවිය යුතු නිශ්චිත ගාස්තු ලේඛනයක් හඳුන්වා දී තිබේ. මෙම බලපත්රය අදාළ වන්නේ දේශීය සංගීත නිර්මාණ සහ ජාත්යන්තර ගිවිසුම් මත නියෝජනය වන හින්දි හා දෙමළ සංගීතය සඳහා පමණකි.
උත්සවයකට දින 14කට පෙර බලපත්රය ලබාගත යුතු බවත්, හෝටල් සහ උත්සව ශාලා හිමියන් තම පරිශ්රයන් තුළ බලපත්ර රහිතව සංගීතය වාදනය කිරීමට ඉඩ නොදිය යුතු බවත්, එසේ වුවහොත් නීතිමය පියවර ගන්නා බවත් මෙහි අන්තර්ගත වේ.
බලපත්ර ක්රමවේදය ප්රකාශයට පත්වීමෙන් පසු ඇති වූ කතාබහ සහ විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ අදහස් සැලකිල්ලට ගනිමින් ගත් නව තීරණ
නව සංගීත බලපත්ර ක්රමවේදය ප්රකාශයට පත්වීමෙන් පසු ඇති වූ කතාබහ සහ ක්ෂේත්රයේ පාර්ශවයන්ගෙන් එල්ල වූ අදහස් සැලකිල්ලට ගනිමින්, ශ්රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය නව තීරණ කිහිපයක් දැනුම් දී ඇත.
බලපත්ර ක්රමවේදය අත්හිටුවා නැත
සමාජ මාධ්ය ඔස්සේ මෙම බලපත්ර ක්රමය අහෝසි කර ඇති බවට පැතිර යන කටකතා අසත්ය බව ACPOSL පාලක මණ්ඩලය අවධාරණය කරයි. බුද්ධිමය දේපළ අයිතීන් සුරැකීමේ මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්රියාත්මක වන නමුත්, පවතින ප්රායෝගික ගැටලු හේතුවෙන් එහි ඇතැම් කොටස් සංශෝධනය කිරීමට සහ ලිහිල් කිරීමට තීරණය කර ඇත.
ශ්රී ලංකා උත්සව කළමනාකරුවන්ගේ සංගමය සහ ලංකා තැටි නිෂ්පාදකයන්ගේ/DJ ශිල්පීන්ගේ සංගමය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවලින් අනතුරුව හෝටල් සහ වාණිජ පරිශ්රයන්හි පැවැත්වෙන උත්සව සඳහා දැනට පනවා ඇති බලපත්ර ගාස්තු යාන්ත්රණයේ ඇතැම් අංශ සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
සාමාන්ය ජනතාව නිවසක පවත්වන පෞද්ගලික පවුලේ උත්සව කිසිවක් මෙයට ඇතුළත් නොවන බවත් සංගමය නැවතත් සහතික කර ඇත. වඩාත් සාධාරණ, විනිවිදභාවයකින් යුත් සහ සරල ගාස්තු ව්යුහය මෙන්ම කුඩා හෝටල් සඳහා වන විශේෂ සහනදායී ගාස්තු ලේඛනය ඉදිරි දිනවලදී නිල නිවේදනයක් මඟින් ප්රකාශයට පත් කරන බව ACPOSL සංගමය සඳහන් කරයි. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
මෙම බලපත්ර ක්රමයේ අරමුණ කුමක්ද ?
ගීත නිර්මාණය කරන පද රචකයන්ට, තනු නිර්මාණකරුවන්ට සහ ප්රකාශකයන්ට ඔවුන්ගේ නිර්මාණ වාණිජමය වශයෙන් භාවිත වන විට හිමිවිය යුතු සාධාරණ ප්රතිලාභය ලබා දීම මෙහි අරමුණයි.
එසේම මෙය රජයේ බද්දක් නොවන අතර, නිවෙස්වල පවත්වන පෞද්ගලික ගෘහස්ථ උත්සව සඳහා හෝ සංගීත කණ්ඩායම් සහ වාදක ශිල්පීන්ගෙන් මෙම ගාස්තුව අය නොකරයි. ගාස්තුව ගෙවා බලපත්රය ලබාගැනීමේ වගකීම ඇත්තේ උත්සවය පවත්වන සංවිධායකයා හෝ අදාළ ස්ථානයේ අයිතිකරු සතුව පමණි.
ශ්රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය
නව බලපත්ර ක්රමය යටතේ සාදවල සහ මංගල උත්සවවල ජයමංගල ගාථා ගායනා කිරීමට බලපත්රයක් ලබාගත යුතු බවට හුවමාරු වන සටහන සම්බන්ධයෙන් අප විසින් ශ්රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමයෙන් සිදුකළ විමසීමේදී ඔවුන් විසින් තහවුරු කළේ මෙම බලපත්ර මගින් ගාස්තු පනවා ඇත්තේ වානිජමය වශයෙන් භාවිතා වන සහ හිමිකම් ආරක්ෂා කරන ලද සංගීත නිර්මාණ සඳහා වන බවත් ජයමංගල ගාථා සඳහා එලෙස ගාස්තු අය කිරීමක් හෝ බලපත්ර ලබා ගැනීමක් අවශ්ය නොවන බවත් ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සාදවල සහ මංගල උත්සවවල ජයමංගල ගාථා ගායනා කිරීමට බලපත්රයක් ලබා ගත යුතු බව දක්වමින් හුවමාරු වන සටහන නොමග යවන සුළු බවයි. ශ්රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය විසින් වානිජමය වශයෙන් භාවිතා වන සහ හිමිකම් ආරක්ෂා කරන ලද සංගීත නිර්මාණ වාණිජ ස්ථානවල සහ සංවිධානාත්මක උත්සවවලදී වාදනය කිරීම සඳහා බලපත්ර ගාස්තු අය කිරීමක් සිදු කිරීමට කටයුතු කර තිබේ. කෙසේ නමුත් එය සාම්ප්රදායික ආශිර්වාදාත්මක ගායනාවක් වන ජයමංගල ගාථා සඳහා අදාළ නොවේ. එසේම නිවසක පවත්වන පෞද්ගලික පවුලේ උත්සව වැනි දේ සඳහා මෙම බලපත්ර ලබා ගැනීමේ ක්රමවේදය අදාළ නොවේ. බලපත්ර ක්රමවේදය ප්රකාශයට පත් වීමෙන් පසු සමාජයේ ඇති වූ කතාබහ සහ අදහස් සැලකිල්ලට ගනිමින් වාණිජ ස්ථානවල පැවැත්වෙන උත්සව සඳහා දැනට පනවා ඇති බලපත්ර ගාස්තු වල ඇතැම් සංශෝධනයන් සිදුකිරීමටද ශ්රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය විසින් තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිල නිවේදනයක් මගින් ප්රකාශයට පත්කරන බව එම සංගමය සඳහන් කර ඇත.



