දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මුහුද ගොඩ ගලන දර්ශනයක් ලෙස දක්වමින්, මුහුදු ජලය යම් ප්රමාණයක් ගොඩබිමට පැමිණ ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුණා. ඒ ඔස්සේ මුහුද ගොඩගැලීමේ සහ ප්රචණ්ඩ වීමේ අවදානමක් තිබේද යන්න සම්බන්ධයෙන් බියක් ද සමාජය තුළ කතිකාවතක් මෙන්ම බියක් ද නිර්මාණය වී තිබුණා. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරමින් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“මුහුද ගොඩ ගලනවා”, “මොකක්ද මේ වෙන්නේ” ,”දැන් සුළු මොහොතකට කලින් මහ මුහුද ගොඩ ගැලූ අයුරු. මොකද වෙන්න යන්න දෙයියනේ ලංකාවට” යනාදී ලෙස දක්වමින් අදාල වීඩියෝව තවදුරටත් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


Facebook Facebook Facebook Youtube
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ශ්රී ලංකාවේ දකුණු පළාතේ කොස්ගොඩ පිහිටි වික්ටර් හැසල්බ්ලැඩ් මුහුදු කැස්බෑ පර්යේෂණ සහ සංරක්ෂණ මධ්යස්ථානයේ දර්ශනයක්
අප විසින් අදාළ වෛරල් වීඩියෝවේ දර්ශන සමීපව පරීක්ෂා කිරීමේදී එක් රූප රාමුවක “Sea Turtle Research and Conservation Centre” යනුවෙන් දක්වා ඇති පුවරුවක් නිරීක්ෂණය වූවා. ඒ අනුව අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ මෙම ස්ථානය “Victor Hasselblad Sea Turtle Research and Conservation Centre” එනම් ශ්රී ලංකාවේ දකුණු පළාතේ කොස්ගොඩ පිහිටි වික්ටර් හැසල්බ්ලැඩ් මුහුදු කැස්බෑ පර්යේෂණ සහ සංරක්ෂණ මධ්යස්ථානය වන බවයි.
වයිරල් වීඩියෝවේ රූප රාමුවක් සහ කොස්ගොඩ මුහුදු කැස්බෑ පර්යේෂණ සහ සංරක්ෂණ මධ්යස්ථානයේ 2025 වසරේ දී පළකර තිබු විදියෝවකින් ලබාගත් රූප රාමුවක සංසන්දනයක් පහතින්. Google Videos

ඒ අනුව අප විසින් අදාළ ආයතනය එනම් කොස්ගොඩ පිහිටි වික්ටර් හැසල්බ්ලැඩ් මුහුදු කැස්බෑ පර්යේෂණ සහ සංරක්ෂණ මධ්යස්ථානය සම්බන්ධ කරගනිමින් මෑතකදී අදාළ ස්ථානයේ මුහුදු ජලය ගොඩබිමට පැමිණීමක් සිදුවූවාද යන්න විමසා සිටියා. එහිදී අදාළ ආයතනය අප වෙත තහවුරු කළේ සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන අදාළ වීඩියෝව කොස්ගොඩ පිහිටි Victor Hasselblad Sea Turtle Research and Conservation Centre භූමියේදී මෑතකදී ලබාගත් වීඩියෝවක් බවයි. මෙම කාලවකවානුව වාරකන් සමය වන බැවින් සාමාන්යයෙන් මෙලෙස මුහුදු ජලය එම ස්ථානයේ ගොඩබිමට පැමිණීම සිදුවන බවත්, එය සාමාන්ය සිදුවීමක් බවත් ඔවුන් විසින් සඳහන් කළා.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්යස්ථානය
ශ්රී ලංකාව වෙත මුහුද ගොඩගැලීමේ, මුහුද ප්රචණ්ඩ වීමේ හෝ සුනාමි අවදානමක් ඇති සෑම අවස්ථාවකදීම එය සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්යස්ථානය ජනතාව වෙත දැනුවත් කිරීම සිදුකරන අතර, අදාළ දැනුවත් කිරීම් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ ද ජනතාව සමීප කෙරේ. එය අනුව අප විසින් අදාළ නිල මූලාශ්රයන් ඔස්සේ මෙවැනි මුහුද ගොඩගැලීමක් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමක් හෝ වාර්තා කිරීමක් සිදුකර තිබේද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
මීට සති දෙකකට ඉහතදී සිට දිවයිනේ මුහුදු ප්රදේශ රළු විය හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා තිබේ.
මීට සති දෙකක්, තුනක් අතර කාලයේදී ප්රධාන ධාරාවේ මාධ්ය විසින් මෙරට පවතින කාලගුණ තත්ත්වයන් හමුවේ මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් සහ ගාල්ල ප්රදේශ යේ එලෙස මුහුදු රළ ගොඩබිමට පැමිණි අවස්ථාවක් පිළිබඳව වාර්තාකර ඇති බවයි. එම මාධ්ය වාර්තා මෙතනින්, මෙතනින්.
ගාල්ල ප්රදේශයේ මුහුදු රළ ගොඩබිමට පැමිණිමත් සමඟ ගාළු පාරේ වැලි සහ මසුන් ගොඩ ගැසී ඇති අයුරු දක්වමින් මෑතක දී ලබාගත් දර්ශන මෙතනින්.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 12 සිට 13 වන දා දක්වා නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනයේද මෙම කාලසීමාව තුළ මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බව දක්වා ඇත.
අදාළ නිවේදනයේ දැක්වෙන පරිදි හලාවත සිට ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-3.0 පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී. කෙසේ නමුත් මෙය ගොඩබිමට එන රළ උස නොවන බවද එහි දක්වා ඇත. එසේම මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හා මාතර දක්වා ප්රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවද එහි දක්වා තිබේ.

ඉදිරි පැය 24ක කාලය දක්වා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාව– මුහුදු ප්රදේශ රළු විය හැක.
සැප්තැම්බර් 15 වන දා සිට ඉදිරි පැය 24ක කාලය දක්වා දිවයිනේ මුහුදු ප්රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාව පරීක්ෂා කිරීමටද අප විසින් කටයුතු කළා. එම කාලගුණ අනාවැකිය ට අනුව කොළඹ සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.කෙසේ නමුත් එම වාර්තාවේ මුහුදු රළ ගොඩට පැමිණීය හැකි බවට ප්රකාශ කර තිබුනේ නැහැ.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න
අප විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සම්බන්ධ කර ගනිමින් විමසීමක් සිදුකළ අතර, එහිදී ඔහු විසින් සඳහන් කළේ මෙම දිනවල මුහුදු රළ මීටර් දෙකක් තුනත් අතර ප්රමාණයක් ඉහළ යාම සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් සිදුකර ඇති බවත්, කෙසේ නමුත් එම ප්රමාණයෙන් මුහුදු රළ ගොඩබිමට නොඑන බවත් ඔහු විසින් සඳහන් කළා. වාරකන් සමයේදී මෙලෙස මුහුද රළු වීම සහ ඇතැම් අවස්ථාවල ගොඩබිමට මුහුදු ජලය ගලා ඒම සාමාන්ය බවත්, එය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇති ඇති නොකරගත යුතු බවත්, ඔහු විසින් සඳහන් කළා.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ මාධ්ය ප්රකාශක ප්රදීප් කොඩිප්පිලි
අප විසින් මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ මාධ්ය ප්රකාශක තුමා සම්බන්ධ කරගනිමින් විමසීමක් කළ අතර, එහිදී ඔහු විසින් ද සඳහන් කළේ මෙම කාලවකවානුව තුළ වාරකන් සමය හේතුවෙන් දිවයිනේ මුහුදුබඩ ප්රදේශවල ගොඩබිම වෙත මුහුදු ජලය පැමිණීමේ හැකියාවක් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි පලකර ඇති බවද , එවැනි අවස්ථා නිරීක්ෂණය වී ඇති බවද ඔහු විසින් සඳහන් කළා. වාරකන් සමයේදී එය සාමාන්ය තත්වයක් වන බවත්, සුනාමි තත්වයක් වැන්නක් හෝ හානිකර, බිය වීමට හේතුවක් නොවන බවද ඔහු පැහැදිලි කර සිටිනවා.
මුහුද රළු වීමේ තත්ත්වය නොමග යවන සුළු ලෙස වාර්තා කරමින් මහජනතාව අතර අනිසි බියක් ඇතිකරන ආකාරයේ සටහන් සහ වීඩියෝ දිගින් දිගටම සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවක්ද නිරීක්ෂණය කළ හැකිය.
ඉහත දින වකවානුවල නිලදත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ මීට සති දෙකකට තුනකට පමණ ඉහතදී සිට මෙරටට බලපැවැත්වෙන කාලගුණික තත්ත්වයන් හමුවේ දිවයින වටා මුහුදු ප්රදේශ රළු වීමේ සහ මුහුදු රළ / ජලය ගොඩබිමට පැමිණීමේ හැකියාවන් පිළිබඳව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බවයි.
කෙසේ නමුත් එය සුනාමි තත්ත්වයක් හෝ අතිශය ප්රචණ්ඩකාරී තත්වයක් දක්වා වර්ධනය වන බවට කරුණු දක්වා නොමැති අතර ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස පමණක් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
නමුත් එම නිවේදන නොමග යවන සුළු ලෙස වාර්තා කරමින් සහ පවතින කාලගුණ තත්ත්වයන් හමුවේ මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ තත්ත්වය නොමග යවන සුළු ලෙස වාර්තා කරමින් මහජනතාව අතර අනිසි බියක් ඇතිකරන ආකාරයේ සටහන් සහ වීඩියෝ දිගින් දිගටම සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවක්ද නිරීක්ෂණය කළ හැකිය.
මෙරටට සුනාමි අවධානමක් පවතින බවට සමාජ මාධ්ය සටහන් මීට පෙරද හුවමාරු වූ අතර, සුනාමි අවධානමක් නොමැති බව තහවුරු කරමින් ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.
Also Read;
මෙරට සුනාමි අවදානමක් ඇති බවට හඟවමින් පළ වන සමාජ මාධ්ය සටහන් අසත්යයි!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මුහුද ගොඩ ගලන අවස්ථාවක් ලෙස දක්වමින් ජනතාව තුළ අනිසි බියක් ඇතිවන ආකාරයෙන් හුවමාරු වන ඉහත වීඩියෝව නොමග යවන සුළු බවයි.
වීඩියෝවේ දැක්වෙන්නේ කොස්ගොඩ පිහිටි වික්ටර් හැසල්බ්ලැඩ් මුහුදු කැස්බෑ පර්යේෂණ සහ සංරක්ෂණ මධ්යස්ථානයේ ලබාගත් දර්ශන පෙළක් වන අතර, මෙම කාලවකවානුව වාරකන් සමය වන බැවින් සාමාන්යයෙන් මෙලෙස මුහුදු ජලය එම ස්ථානයේ ගොඩබිමට පැමිණීම සිදුවන බවත්, එය සාමාන්ය සිදුවීමක් බවත් එම ආයතනය සඳහන් කර සිටිනවා.
මීට සති තුනකට පමණ ඉහත දී සිට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් මෙම කාලවකවානුව තුළ ශ්රී ලංකාවේ මුහුදු ප්රදේශ රළු විය හැකි බවත් ඇතැම් අවස්ථාවල මුහුදු රළ ගොඩට පැමිණිය හැකි බවටත් නිවේදන නිකුත් කර තිබේ.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානය විසින් තහවුරු කරන්නේ වාරකන් සමයේදී මෙලෙස මුහුදු රළ යම් ප්රමාණයකට ගොඩබිමට පැමිණීම සාමාන්ය තත්ත්වයක් බවත් එය හානිකර හෝ අනිසි බියක් ඇතිකරගත යුතු තත්ත්වයක් නොවන බවත් ය.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට සැප්තැම්බර් 15 වන දා නිකුත් කර ඇති නිවේදනයෙන් ගාල්ල, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්රදේශ රළු විය හැකි බව සඳහන් කර තිබේ. ඒ අනුව ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයන් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් ය.



