දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විසින් සංවිධානය කරන ලද “ජන සටන” නම් ජන රැලිය 2026 සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර නගර සභා ක්රීඩාංගණයේදී පැවැත්විණි. අදාල රැලිය අවසානයේ, ඒ ආශ්රිතව සමාජ මාධ්ය ඔස්සේ අසත්ය සහ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වන ආකාරය නිරීක්ෂණය කළ හැකි විය. එවැනි සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
Claim 1:
පොදුජන පෙරමුණු ජන රැලිය සඳහා අනුරාධපුර මහජන ක්රීඩාංගනයට වාර්තාගත ජන ගඟක් යනුවෙන් දක්වමින් ඡායාරූප සහිත සටහනක් සමාජ මාධ්ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

අදාළ සටහන ඔස්සේ පළ කර තිබූ ඡායාරූප කිහිපයක් පහතින්.


පොදු ජන පෙරමුණු රැළියේ ඡායාරූප ලෙස දක්වා තිබූ තවත් සටහනක් පහතින්

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර නගර සභා ක්රීඩාංගණයේ පැවැති පොදු ජන පෙරමුණු ජනරැළිය ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ මෙන්ම ශ්රී ලංකාව පොදුජන පෙරමුණේ සමාජ මාධ්ය පිටු ඔස්සේද සජීවීව විකාශය කර තිබේ. එම සජීවී විකාශය පහතින්. කෙසේ නමුත් ජන රැලියේ සජීවී විකාශය තුළ ඉහත සමාජ මාධ්ය සටහනෙහි දැක්වෙන ඇතැම් ඡායාරූප වල ඇති දර්ශන හඳුනා ගැනීමට නොමැත.
එසේම අදාළ ජන රැළියේ ඩ්රෝන දර්ශන ඇතුළු ඡායාරූපද ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ මෙන්ම පොදු ජන පෙරමුණේ නිල සමාජ මාධ්ය පිටු සහ ගිණුම් ඔස්සේ ද පළ කර තිබේ.
එය ඔස්සේ අප විසින් සිදු කළ පරීක්ෂාවේ දී පැහැදිලි වූයේ ඉහත සමාජ මාධ්ය සටහනේ දක්වා විශාල ජනකායක් දක්වා ඇති ඡායාරූප පොදු ජන පෙරමුණු ජනරැළිය සම්බන්ධයෙන් පළ කරන ලද කිසිදු නිල පුවත් වාර්තාවක හෝ නිල විශ්වසනීය මුලාශ්රයක් ඔස්සේ සිදු කරන ලද වාර්තාවක අන්තර්ගත නොවන බවයි.
එක් ඡායාරූපයක් බංග්ලාදේශයේ ජනරැලියක දර්ශනයකි.
ඉහත සමාජ මාධ්ය සටහන ඔස්සේ පලකර තිබූ එක් ඡායාරූපයක හින්දි භාෂාවෙන් ලියන ලද පුවරුවක් නිරීක්ෂණය කළහැකි විය. ඒ අනුව එය මෙරට දර්ශනයක් වීමේ සම්භාවිතාවක් නොමැත. ඒ අනුව අප විසින් අදාළ ඡායාරූපය Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා කළා. එහිදී අදාළ ඡායාරූපය සහිතව 2025 වසරේ පළ කරන ජාත්යන්තර පුවත් වාර්තාවක් හමු වූවා.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ 2025 පෙබරවාරි 28 වන දින බංග්ලාදේශයේ ඩකා අගනුවර මැනික් මියා මාවතේ පැවැත්වුණු ‘ජාතික පුරවැසි පක්ෂය’ (National Citizen Party – NCP) නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමේ ජන රැළියයි. මෙම ජනරැළි සහ නව දේශපාලන පක්ෂය බිහිවීමේ පසුබිම නිර්මාණය වූයේ බංග්ලාදේශ ඉතිහාසයේ දැවැන්ත දේශපාලන පෙරළියක් ඇති කළ 2024 ජූලි-අගෝස්තු ශිෂ්ය සහ ජනතා නැගිටීම පාදක කරගනිමිනි.
The Guardian පුවත් වාර්තාවට අනුව බංග්ලාදේශයේ ෂෙයික් හසීනාගේ පාලනය පෙරළා දැමීමට නායකත්වය දුන් ශිෂ්ය නායකයින් විසින් ඩකා නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයේ දහස් ගණනක ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම පක්ෂය එළිදක්වා ඇත. මෙම ඡායාරූපය එම අවස්ථාවේ ලබාගත්තකි.
ඇතැම් ඡායාරූපවල අස්වාභාවික බවක්
එසේම ඉහත සමාජ මාධ්ය සටහන ඔස්සේ පළ කර තිබෙන අනුරාධපුර ජනරැළියේ ඡායාරූප ලෙස දක්වන ඡායාරූපවල අස්වාභාවික බවක් නිරීක්ෂණය කළ හැකිය. එහි එක් ඡායාරූපයක ජනරැළියෙහි වේදිකාවට පසුපසින්ද ජනතාව රැස්ව සිටින ආකාරය දැකගත හැකිය. එසේම තවත් ඡායාරූපයක එක සමාන පුද්ගලයන් එකම ඡායාරූපයේ විවිධ ස්ථානවල දර්ශනය වේ. එසේම ඇතැම් ඡායාරූපවල පසුබිමෙහි දක්වා ඇති වෙළඳ ආයතන වල නාම පුවරු ආදියේ අක්ෂර දෝෂ හඳුනාගත හැකිය.


පොදු ජන පෙරමුණු ජනරැළියේ සැබෑ ඡායාරූප අතර සන්සන්දනයක්
පොදු ජන පෙරමුණු අනුරාධපුර ජන රැළිය සම්බන්ධයෙන් පලකර තිබෙන නිල ඡායාරූප, සජීවී විකාශය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ එම දර්ශන සහ ඉහත සමාජ මාධ්ය සටහන ඔස්සේ පළ කර ඇති ඡායාරූප වල විශාල පරස්පර බවක් හඳුනාගත හැකි බවයි.
පොදු ජන පෙරමුණු ජනරැළියේ දර්ශන ලෙස ඉහත සමාජ මාධ්ය සටහනේ දක්වා තිබූ ඡායාරූප සහ පොදු ජන පෙරමුණු ජනරැළියේ සැබෑ ඡායාරූප අතර සන්සන්දනයක් පහතින්.

කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූප
මෙම අස්වාභාවික රටා සැලකිල්ලට ගනිමින් අප විසින් ඉහත ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ ඡායාරූපද යන්න තහවුරු කර ගැනීම සඳහා කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කළා. එහිදී පැහැදිලි වූයේ අදාළ ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති බවයි.



Claim 2:
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලනඥයන් කිහිපදෙනෙකු සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එක් මේසයක් වටා වාඩි වී සිටින ආකාරයත්, මේසය මත මත්පැන් බෝතල් කිහිපයක් තබා ඇති ආකාරයත් දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණි.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය සැබෑ ඡායාරූපයක් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් කටයුතු කළ අතර, කෙසේ වුවද කිසිඳු තහවුරු කළ හැකි මූලාශ්රයක් ඔස්සේ එම ඡායාරූප පළ කර තිබුණේ නැත.
ඡායාරූපයේ අස්වාභාවික ලක්ෂණ
ඉහත ඡායාරූපය සමීපව පරීක්ෂා කිරීමේදී එහි අස්වාභාවික ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. පඩිපෙළ අසල සිටගෙන සිටින පුද්ගලයන්ගේ දෑත්වල ඇඟිලි සහ අත් පිහිටා ඇති ආකාරය දෙස බැලීමේදී, ඒවායේ නොගැලපෙන බවක් පෙනේ. මේසය මත ඇති බෝතල් සහ වීදුරු වලට ආලෝකය පතිත වන ආකාරය සහ ඒවායේ පරාවර්තනයන්ද අවට පරිසරයේ ආලෝක රටාවන් සමඟ නොගැලපෙන බවක් පෙනෙන්නට තිබේ.
කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් එම අස්වාභාවික ලක්ෂණ සැලකිල්ලට ගනිමින් අප විසින් අදාළ ඡායාරූපය කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කළ අතර එහිදී පැහැදිලි වූයේ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.


Claim
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කළ අනුරාධපුර ජන රැළියට සහභාගී වීම සඳහා පැමිණි ජනතාව ලෙස දක්වමින් විශාල යතුරුපැදි රැළියක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබේ.”මහින්දගේ මිනිස්සු, අනුර ෆේල්” යනුවෙන් දක්වමින් අදාල වීඩියෝව සමාජ මාධ්ය ඔස්සේ පළ කර තිබේ.
අදාල වීඩියෝව තව දුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ සැබෑ ලෙසම පොදු ජන පෙරමුණු ජන රැළිය සඳහා සහභාගි වීමට යතුරුපැදිවලින් පැමිණි පිරිස් ද ? යන්න සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ විශාල ප්රමාණයේ යතුරුපැදි රැළියක් ගමන් ගන්නා ආකාරයයි. කෙසේ නමුත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර ජන රැළිය සඳහා ජනතාව යතුරුපැදි පෙළපාලියකින් පැමිණි බවට හෝ ජන රැළිය ආශ්රිතව කිසියම් යතුරු පැදි පෙළපාලියක් පැවැත්වුණු බවට කිසිඳු වාර්තාවක් නොමැත. අදාල ජන රැළිය සම්බන්ධයෙන් මාධ්ය වාර්තා ඔස්සේ පෙන්වා දී තිබුණේ ද, රැලිය ඇමතූ දේශපාලනඥයන් විසින් ප්රකාශ කර තිබුණේද, ජනතාව බස් රථ වලින් ජන රැළියට රැගෙන ආ බවයි. මාධ්ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
ඉහත වීඩියෝවේ දැක්වෙන යතුරුපැදිවල ගමන් ගන්නා පුද්ගලයන් කිසියම් කොඩියක්ද අත් දරා සිටින බව නිරීක්ෂණය කළ හැකිය. අදාල කොඩිය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිල ධජය හා සමාන නොවන බවද අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූවා.

ඒ අනුව අදාල වීඩියෝවේ දැක්වෙන සිදුවීම ශ්රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා පැවැත්වූ ජන රැළියේ දර්ශනයක් වීමේ සම්භාවිතාව අවම වන බැවින් අප විසින් අදාළ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී “සැන් ජුවාන් ඩෙල් සුර් නගර සභාවේ සිට, අපි ජූලි 17 වන දින දැවැන්ත රථ පෙළපාලියකින් සමරන්නෙමු”යනුවෙන් දක්වමින් ෆේස්බුක් පිටුවක් ඔස්සේ අදාළ වීඩියෝව පලකර ඇති ආකාරය හඳුනා ගැනීමට ලැබුණා. අදාළ ෆේස්බුක් පිටුව නිකරගුවා රාජ්යයේ සිට ක්රියාත්මක වන ෆේස්බුක් පිටුවක් ලෙස හඳුනාගත හැකිය.

නිකරගුවාවේ වත්මන් පාලක පක්ෂය වන FSLN (Frente Sandinista de Liberación Nacional / Sandinista National Liberation Front)ට අයත් ධජය

එසේම ඉහත වීඩියෝවේ දැක්වෙන කොඩිය නිකරගුවාවේ වත්මන් පාලක පක්ෂය වන FSLN (Frente Sandinista de Liberación Nacional / Sandinista National Liberation Front)ට අයත් ධජය බව අප විසින් සිදුකළ පරීක්ෂාවේ දී පැහැදිලි වූවා.
නිකරගුවා රාජ්යයේ වාර්ෂිකව පැවැත්වෙන දේශපාලනික සහ ඓතිහාසික උත්සවයක් වන “ප්රීතිමත් දිනය” (Día de la Alegría / Day of Joy) යන්න සැමරීම උදෙසා සංවිධානය කල රථ පෙළපාලියක්
ඉහත ෆේස්බුක් පිටුව ඔස්සේ ජූලි 17 දිනයේම තවත් වීඩියෝ පට කිහිපයක්ද පළ කර තිබූ අතර, එම වීඩියෝ පට තුළද ඉහත ධජ සහිතව සැමරුමක් සිදුකරන පිරිසක් හඳුනාගත හැකිය. එම වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

රූපයේ ඇති ලාංඡනයේ “2026 VIVA SANDINO! 47/19” ලෙස සටහන්ව ඇත. ඒ ඔස්සේ අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ, මෙම වීඩියෝ මගින් දැක්වෙන්නේ නිකරගුවා රාජ්යයේ වැසියන් විසින් ඔවුන් 1979 ජූලි 19 වන දින ලබාගත් සැන්ඩිනිස්ටා විප්ලවීය ජයග්රහණය නම් සැමරුමක 47 වන සංවත්සරය සමරන ආකාරය බවයි.
ජූලි 17 වනදා නිකරගුවා වැසියන් හඳුන්වන්නේ “Día de la Alegría” (ප්රීතිමත් දිනය) ලෙසය. සෑම වසරකම ජූලි 17 වනදාට මෙම විප්ලවීය ප්රීතිය සැමරීම සඳහා නිකරගුවාවේ විවිධ ප්රාදේශීය නගර සභාවල මූලිකත්වයෙන් මෝටර් රථ, යතුරුපැදි සහ බස් රථ පෙළපාලි සංවිධානය කරනු ලබයි. ඉහත යතුරුපැදි පෙළපාලිය “වීඩියීව සැන් ජුවාන් ඩෙල් සුර්” නගර සභාව විසින් 2026 ජූලි 17 වනදා සංවිධානය කරන එවැනි රථ පෙළපාලියකි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok



