දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ලොරියක පිටුපස මුද්රණය කර තිබූ එළදෙනක් දැක්වෙන දැන්වීමක ඡායාරූපයක් වෙත ළං වී කිරි බීමට උත්සාහ කරන කුසගින්නෙන් පෙළුණු වසු පැටවකු බව හඟවන දැක්වෙන සංවේදී වීඩියෝවක් යනුවෙන් දර්ශන පෙළක් සමාජ මාධ්ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණා. මෙය සැබෑ වීඩියෝවක් ද යන්න සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
ලොරියක පිටුපස තිබූ එළදෙනකගේ ඡායාරූපය තම මව යැයි සිතා එම ඡායාරූපයෙන් කිරි බීමට උත්සාහ කළ වසු පැටවෙකුගේ වීඩියෝවක් බව දක්වන එම වීඩියෝව පහතින්.
මෙම දර්ශන පෙළ ආශ්රයෙන් ඡායාරුප සටහන් පෙළක් ද ලංකාවේ මෙන්ම ලොව පුරා විවිධ භාෂාවලින් හුවමාරු වී තිබුනේ මෙලෙසින්. මෙය ඉන්දියාවේ සිදුවීමක් බව ද බොහෝ සටහන් හි දක්වා තිබුණා.



Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ඉහත වීඩියෝව සැබෑ වීඩියෝවක් නම් කිසියම් නිල මූලාශ්ර ඔස්සේ එය වාර්තා කර තිබීමේ ඉඩක් ඇත. එවැනි විශ්වාසනීය මූලාශ්රයක් ඔස්සේ මෙම වීඩියෝව වාර්තා කර තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා.
එහිදී මෙම වීඩියෝව පළ කර තිබූ ‘Realish AI’ නමැති ෆේස්බුක් පිටුවක් අපට හමු වූ අතර, එහි මෙම වීඩියෝව පලකරමින් එය AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දක් බව පැහැදිලිව සඳහන් කර තිබේ.

මෙම ෆේස්බුක් පිටුව AI නිර්මාණ සකස් කර පළ කරන පිටුවකි. ඔවුන්ගේ ඉන්ස්ටග්රෑම් (Instagram) සහ ෆේස්බුක් (Facebook) ගිණුම්වලද මෙවැනි AI මඟින් නිර්මාණය කරන ලද තවත් වීඩියෝ රාශියක් දැකගත හැක.

වීඩියෝවේ දැකගැනීමට ලැබෙන අස්වාභාවික ලක්ෂණ
සංසරණය වන වීඩියෝවේ VIJAYA DAIRY යන ලාංඡනයට පහළින් ‘Wiewing Dairy’ ලෙස දැකගත හැක. මෙය Generative AI තාක්ෂණය හරහා අකුරු නිර්මාණය වීමේදී සිදුවන දෝෂයක් ලෙස හඳුනාගත හැකිය.
එසේම, වාහනය මත වසුපැටියා ඉදිරිපස පාද තබාගෙන සිටින විට එම වසු පැටවාගේ ගමන් කිරීම සහ පාදවල චලනයන් ස්වභාවික නොවන බව පෙනේ. වීඩියෝවේ විවිධ අවස්ථාවන්හිදී මෙම වාහනයේ අංක තහඩුවේ අකුරු සහ ඉලක්කම් අපැහැදිලි වන අතර ඒවායේ හැඩයද වෙනස් වේ.
එසේම, කේරළයේ මෝටර් රථ ලියාපදිංචි දත්තවලට අනුව නම්, වයිරල් සටහන්හි දැක්වෙන වාහන අංකය වන (KL 39 K 704) විය යුත්තේ, Tata Nano රථයක්. නමුත් වීඩියෝවේ දැක්වෙන්නේ ලොරියක්. එසේම කේරළයේ එවැනි සිදුවීමක් හෝ වාර්තා වී නැති බව අපගේ Factcrescendo කේරළ කණ්ඩායමේ කරුණු විමසුම හරහා ද මෙතනින් පෙන්වා දෙනවා.

තවද ඡායාරූප සටහන් හි දැක්වෙන VIJAYA DIARY යනු ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ නොව, ඉන්දියාවේ අන්ද්රා ප්රදේශ් සහ ටෙලන්ගනා ප්රාන්තවල ක්රියාත්මක වන කිරි සහ ඒ ආශ්රිත නිෂ්පාදන සිදුකරන සන්නාමයකි.
AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක්
ඒ අනුව අප විසින් කෘත්රිම බුද්ධියෙන් නිර්මාණය කළ දෑ හඳුනාගන්නා මෙවලම් හරහා කළ පරීක්ෂාවේදී මෙය AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක් බව තහවුරු විය.


අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මාර්ගයක නවතා ඇති කිරි බෙදාහරින වාහනයක ඇති එළදෙනකගේ ඡායාරූපයකින්, කිරි සොයන වසුපැටියෙකුගේ දර්ශනයක්, ලෙස දක්වමින් හුවමාරුවන වීඩියෝව, AI (කෘත්රිම බුද්ධිය) මඟින් නිර්මාණය කරන ලද වීඩියෝවකි. එය සත්ය සිදුවීමක් නොවේ.



