Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කීර්ති බණ්ඩාර දේවාලය අවුරුදු එකහමාරකට පෙර ඇරඹුණු බව ප්‍රසන්න ගුණසේන කීවා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-31
    8 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් මීට වසර කිහිපයකට පෙර තිරිංග ක්‍රියා විරහිත වූ ලංගම බස් රථයක් කන්දකට හේත්තු කර, මගීන්ගේ ජීවිත බේරාගත් බවත්, එහිදී මියගිය ‘කීර්ති බණ්ඩාර’ නම් රියදුරා වෙනුවෙන්, ජනතාව කම්පාවට පත්ව ‘වළපනේ කීර්ති බණ්ඩාර දේව

    ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් මීට වසර කිහිපයකට පෙර තිරිංග ක්‍රියා විරහිත වූ ලංගම බස් රථයක් කන්දකට හේත්තු කර, මගීන්ගේ ජීවිත බේරාගත් බවත්, එහිදී මියගිය ‘කීර්ති බණ්ඩාර’ නම් රියදුරා වෙනුවෙන්, ජනතාව කම්පාවට පත්ව ‘වළපනේ කීර්ති බණ්ඩාර දේවාලය’ ඉදිකළ බවක් ප්‍රකාශ කළ බව හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. 

    සැබෑ ලෙසම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර තිබේද යන්න සොයා බලමින් අප විසින් සිදු කළ පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ඉහත වෛරල් වීඩියෝවේ දැක්වෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන විසින් “අවුරුදු එක හමාරකට දෙකකට කලින් සීටිබී රියදුරෙක් බස් එකේ තිරිඟ නැති වෙලා බස් එක හෙළකට වැටෙන්න යනවා. සෙනඟ පුරවලා ඉන්නේ. හැබැයි රියදුරා බස් එක හේත්තු කරනවා කන්දකට. රියදුරා මැරෙනවා. එක මගියෙකුටවත් ජීවිත හානියක් ලක් වෙන්නේ නැහැ. ඒ රියදුරාගේ නම කීර්ති බණ්ඩාර. ගමේ මිනිස්සු කම්පාවට පත්වෙනවා. ඒ වෙනුවෙන් හිතනවා දැන් අපිට දැන් මේ තරුණයෙක් නැති වුණත් මේ තරුණයාගේ ආශිර්වාදය හැකියාවක් ගමට තියෙන්න ඕනේ කියලා දේවාලයක් හදනවා. ඒ දේවාලේ නම තමයි වළපනේ කීර්ති බණ්ඩාර.” යනුවෙන් ප්‍රකාශ කරන ආකාරයයි.

    Facebook  Facebook | Facebook | Facebook | Facebook 

    විමර්ෂණයට ලක් කළ ප්‍රකාශය :  අප විසින් පරීක්ෂා කළේ, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන විසින් මීට වසර කීපයකට පෙර තිරිංග ක්‍රියා විරහිත වූ ලංගම බස් රථයක් කන්දකට හේත්තු කර මගීන්ගේ ජීවිත බේරාගෙන මියගිය ‘කීර්ති බණ්ඩාර’ නම් රියදුරා වෙනුවෙන්, ගමේ ජනතාව කම්පාවට පත්ව ‘වළපනේ කීර්ති බණ්ඩාර දේවාලය’ ඉදිකළ බවක් ප්‍රකාශ කර තිබේද යන්නයි.

    Fact Check (කරුණු පරීක්ෂා කිරීම) :

    මීට කිහිපයකට පෙර තිරිංග ක්‍රියා විරහිත වූ ලංගම බස් රථයක් කන්දකට හේත්තු කර මගීන්ගේ ජීවිත බේරාගෙන මියගිය ‘කීර්ති බණ්ඩාර’ නම් රියදුරා වෙනුවෙන්, ගමේ ජනතාව කම්පාවට පත්ව ‘වළපනේ කීර්ති බණ්ඩාර දේවාලය’ ඉදිකළ බවක් ප්‍රකාශ කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ හෝ නිල විශ්වාසනීය මූලාශ්‍ර ඔස්සේ වාර්තාකර නොතිබිණි. 

    අප විසින් සිදු කළ පරීක්ෂාවේදී ඉහත අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව හමු වුණා. එම සම්පූර්ණ වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදාළ වීඩියෝ කොටස 2025.09.11 දින නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අමතමින් සිදු කරන ලද ප්‍රකාශයක් ඇසුරින්, නොමඟ යවන සුළු ලෙස, සංස්කරණය කරන ලද වීඩියෝවක් බවයි. 

    අදාළ සම්පූර්ණ කතාව තුළ අමාත්‍යවරයා විසින් සිදු කරන ප්‍රකාශයේ අර්ථය, සංස්කරණය කර ඇති තත්පර 35 ක පමණ වීඩියෝවෙන් සම්පූර්ණයෙන් වෙනස් කර ඇත.

    එම සම්පූර්ණ වීඩියෝව පහතින්.

    YouTube 

    “ප්‍රවහාන ක්ෂේත්‍රයේ සේවකයින්ගේ වෘත්තීය ගරුත්වය රැකදෙන්න රජයක් විදියට මැදිහත් වෙනවා- ප්‍රවහාන සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන” යනුවෙන් දක්වමින් අදාළ අවස්ථාවේ වීඩියෝ පට ප්‍රවාහන අමාත්‍යංශය සහ ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ පළ කර තිබේ. එම වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

    ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය මෙලෙසය,“නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රදේශයේ තියෙනවා දේවාලයක් හදලා. එක පුද්ගලයෙක්ගේ නමෙන්. ඒක කාල අවුරුදු ගාණකට කලින් හැදිච්ච දේවාලයක්. හැබැයි ඒක අදටත් මම හිතන්නේ වන්දනාමාන කරනවා. අදටත් ඒ සක්‍රියව ඒ කටයුතු වල නිරත වෙන, ඒ ප්‍රදේශවාසීන්ගේ ගෞරවයට ලක්වෙන දේවාලයක්. ඒ දේවාලය හැදෙන්න හේතුව වෙන්නේ ඔය රජ කාලේ තියෙන ඔය ඉතිහාස කතා. රජකාලේදී එක තරුණයෙක් රජතුමාගේ උදහසට ලක්වෙනවා නොකළ වරදකට. එතකොට කරන්නේ රජතුමා නියෝග කරනවා ඒ මනුස්සයාට, ඒ පුද්ගලයාට, තරුණයට හරි ශක්තිවන්ත තරුණයෙක් නියෝග කරනවා කන්දේ ලොකු හෙලක් තියෙනවා, හෙලෙන් පල්ලෙහාට තල්ලු කරලා මරන්න. දැන් රාජපුරුෂයෝ ගිහිල්ලා අල්ලගෙන ඇවිල්ලා නොකළ වරදට ඒ තරුණයා හෙලෙන් පල්ලෙහාට තල්ලු කරනවා. හැබැයි තරුණයාගේ කතාවේ කියන විදිහට පෙර පිනට අර වැල්වල නැවතිලා තරුණයා ඉතුරු වෙනවා. දැන් තරුණයාට තමන්ගේ ගමට යන්න බැහැ, මොකද රාජ උදහසට ලක්වෙලා. තරුණයා ඒ බැහැලා ගිහිල්ලා ඒත් අලුත් ගමක පදිංචි වෙලා, ඒ කාලේ හැටියට කෙත්වතු අස්වද්දලා ඒ ප්‍රදේශය සාරවත් කරනවා. ගම්මුන්ගේ ජනාදරයට ලක්වෙනවා. කතාවේ කියන විදිහට සමගිය ඇති වෙනවා, රෝග බිය නැති වෙනවා. ඔන්න ඔය වගේ කතාවක් තමයි යන්නේ. අන්තිමට හදිස්සියේ තරුණයා මිය යනවා යම්කිසි හේතුවක් නිසා. ගමේ මිනිස්සු කම්පාවට පත්වෙනවා. පත්වෙලා ඒ වෙනුවෙන් හිතනවා දැන් අපිට මේ තරුණයා නැති වුණත් මේ තරුණයාගේ ආශිර්වාදය, හැකියාවක් ගමට තියෙන්න ඕනේ කියලා දේවාලයක් හදනවා. ඒ දේවාලේ නම තමයි මොකක්ද? මොකක්ද නම? **වළපනේ කීර්ති බණ්ඩාර**.

    අවුරුදු එක හමාරකට දෙකකට කලින් සීටිබී රියදුරෙක් බස් එකේ තිරිංග නැතිවෙලා බස් එක හෙළකට වැටෙන්න යනවා. සෙනඟ පුරවලා ඉන්නේ. හැබැයි රියදුරා බස් එක හේත්තු කරනවා කන්දකට. රියදුරා මැරෙනවා. හැබැයි එක මගියෙකුටවත් මට මතක විදිහට ජීවිත හානියක් ලක් වෙන්නේ නැහැ. ඒ රියදුරාගේ නම මොකක්ද? කීර්ති බණ්ඩාර. එතකොට සහෝදරවරුනි, ඔබතුමාලා දන්නවා, ඔබතුමාලාට හැඟෙනවා ඔබතුමාලාගේ වෘත්තිය හරහාත් ඕන නම් දේවත්වයටත් යන්න පුළුවන්. අතීතයේදී ඒ තරුණයා යම්කිසි ගමක් අස්වද්දලා දේවත්වයට පත්වෙලා තාමත් පුදපූජා ලබනවා නම්, ජීවිත කීයක් බේරන තරුණයෙක් වෙන්න පුළුවන්. අපි තරුණයෙක් කියලා කියමු. ඉතින් රියදුරු මහත්තයෙකුටත් කොන්දොස්තර මහත්තයෙකුටත් ඒ තත්ත්වයට යන්න පුළුවන් කියන විශ්වාසය තමන් තුළ ඇති කරගත යුතුයි.”

    සම්පූර්ණ වීඩියෝවේ සැබවින්ම ප්‍රකාශ වන්නේ කුමක්ද?

    සම්පූර්ණ වීඩියෝ පටයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනම සිදුවීම් සහ කතාන්දර දෙකක් උදාහරණ ලෙස ඉදිරිපත් කරයි. 

    ඓතිහාසික කීර්ති බණ්ඩාර දේවාලයේ පුරාවෘත්තය:

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රදේශයේ පිහිටි කීර්ති බණ්ඩාර දේවාලය අතීත රජ දවස ඉදිවූවක් බවත්, අදටත් ප්‍රදේශවාසීන්ගේ ගෞරව වන්දනාවට පාත්‍ර වන බවත් ඔහු මුලින්ම පවසයි. රජ කාලයේදී නොකළ වරදකට රජුගේ උදහසට ලක්වූ එක්තරා ශක්තිවන්ත තරුණයෙකු කන්දකින් හෝ හෙලකින් පල්ලෙහාට තල්ලු කර මරා දැමීමට නියෝග ලැබුණු බව සඳහන් කරයි. රාජපුරුෂයන් විසින් හෙලෙන් තල්ලු කළද, වැල්වල පැටලී දිවි බේරාගන්නා එම තරුණයා අලුත් ගමකට ගොස් කෙත්වතු අස්වද්දමින්, ප්‍රදේශය සාරවත් කරමින්, රෝග බිය දුරු කර ගම්මුන්ගේ ආදරය දිනාගෙන ජීවත් වූ බව පවසයි. පසුව එම තරුණයා හදිසියේ මියගිය විට, ඔහු කළ සේවය සිහිපත් කරමින් ගම්වාසීන් විසින් ‘වළපනේ කීර්ති බණ්ඩාර දේවාලය’ ඉදිකළ බව ඔහු පැහැදිලි කරයි.

    මෑතකදී සිදුවූ ලංගම රියදුරුගේ වීරක්‍රියාව:

    ඉන් අනතුරුව, මීට වසර කීපයකට පෙර සිදුවූ සැබෑ සිදුවීමක් මතක් කරමින්, මගීන් පිරවූ සීටීබී බස් රථයක තිරිංග අක්‍රිය වූ අවස්ථාවක, බස් රථය හෙළකට වැටෙන්නට නොදී කන්දකට හේත්තු කර මගී ජීවිත බේරාගෙන තමාගේ ජීවිතය පූජා කළ ‘කීර්ති බණ්ඩාර’ නම් රියදුරා පිළිබඳව පවසයි. 

    සම්පූර්ණ ප්‍රකාශයේ සැබෑ අදහස හා අරමුණ

    මෙම ප්‍රකාශයේ මූලික අරමුණ වී ඇත්තේ ප්‍රවාහන සේවයේ නියුතු රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ වෘත්තීය ගරුත්වය හා කැපවීම ඇගයීමයි. අතීතයේදී ගමක් අස්වද්දා ජනතාවට සේවය කළ තරුණයෙකු දේවත්වයට පත්ව අදටත් පුදපූජා ලබන්නේ යම් සේද, අනුන්ගේ ජීවිත බේරාගැනීමට තම ජීවිතය පවා පරදුවට තබන රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ටද තම අවංක සේවය හා කැපවීම තුළින් සමාජය හමුවේ එවන් ‘දේවත්වයක්’ හෝ අතිමහත් ගෞරවයක් අත්පත් කරගත හැකි බව ඔහු පෙන්වා දෙයි. එම නිසා තමන්ගේ වෘත්තිය තුළින් එවන් උසස් තත්ත්වයකට පත්විය හැකි බවට විශ්වාසය තමන් තුළ ගොඩනගා ගන්නා ලෙස ඔහු සේවකයන්ගෙන් ඉල්ලා සිටියි.

    සංස්කරණය කරන ලද ආකාරය

    නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිය සම්පූර්ණ කතාව තුළ පවසන වළපනේ දේවාලය පිළිබඳ ඓතිහාසික පසුබිම, එය රජ කාලයේ ඉදිකරන ලද්දක් බව පැවසෙන කොටස සහ එම තරුණයා කෙත්වතු අස්වැද්දීම පිළිබඳ විස්තරය, මෙම කතාන්දර දෙක ගලපමින් රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන්ගේ සේවය ඇගයීමට සිදු කළ සමස්ත හරය සහ සාරාංශය තත්පර 35 ක පමණ සංස්කරණය කරන ලද වීඩියෝව සැකසීමේදී ඉවත් කර ඇත

    වසර කීපයකට පෙර අනතුරට ලක්වූ ලංගම බස් රථයේ රියදුරා පිළිබඳ ප්‍රකාශය ගෙන, ඊට පසුව ඓතිහාසික කතාවේ එන “ගමේ මිනිස්සු කම්පාවට පත්වෙලා… දේවාලයක් හදනවා. ඒ දේවාලේ නම තමයි වළපනේ කීර්ති බණ්ඩාර” යන කොටසට බද්ධ  කර ඇත. ඒ අනුව මෙම සංස්කරණය මඟින් මුල් ප්‍රකාශයේ අර්ථය සම්පූර්ණයෙන්ම විකෘති කර, සන්දර්භයෙන් බැහැරව වෛරල් වීඩියෝව සකස් කර ඇති බව පැහැදිලි වේ.

    එසේ සිදුකරන ලද සංස්කරණය පෙන්නුම් කරන වීඩියෝවක් පහතින්.

    ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්

    අප විසින් ඉහත වීඩියෝව සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී  ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ද සඳහන් කළේ, හුවමාරු වන කෙටි වීඩියෝවේ දැක්වෙන ආකාරයේ අර්ථයක් නැගෙන ප්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකර නොමැති බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක අන්තර්ගත සිදුවීම් දෙකක් එකිනෙකට සම්බන්ධ කරමින් සංස්කරණය කරන ලද වීඩියෝවක් මෙලෙස හුවමාරු වන බවයි ඔහු විසින්ද  සඳහන් කළේ.

    රියැදුරු කීර්ති බණ්ඩාර සම්බන්ධ සිදුවීම

    2018 වර්ෂයේදී හපුතලේ – බෙරගල මාර්ගයේ සිදුවූ මෙම මාරාන්තික අනතුරේදී බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වූ මොහොතේ, රියදුරු එච්. එම්. කීර්ති බණ්ඩාර පද්මසිරි මහතා සිය ජීවිතය පූජා කරමින් මගීන් 22 දෙනෙකුගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය. අඩි දහසකට වඩා ගැඹුරු මාරාන්තික ප්‍රපාතයකට බස් රථය පෙරළීමට තිබූ අවදානම ක්ෂණිකව වටහාගත් ඔහු, බස් රථය මාර්ගය අයිනේ වූ පස් කන්දක සහ ගල් කුළක හප්පා නතර කිරීමට අතිශය නිර්භීත තීරණයක් ගත්තේය. මෙම දරුණු ගැටීමෙන් බස් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී බණ්ඩාර මහතා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුවද, ඔහුගේ එම ආත්මාර්ථකාමී නොවන වීර ක්‍රියාව නිසා බසයේ සිටි අනෙකුත් සියලුම මගීන් දිවි ගලවා ගත්හ. මේ හේතුවෙන් ශ්‍රී ලංකා සිවිල් වීරත්ව පදනම (The Foundation for Civilian Bravery) මගින් ඔහුව ජාතික මට්ටමින් ඇගයීමට ලක් කළ අතර, මෙරට සිවිල් වැසියන් උදෙසා පිරිනම වීරත්ව සම්මානද ඔහු වෙනුවෙන් මරණින් පසු පුද කරනු ලැබීය. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    ඓතිහාසික කීර්ති බණ්ඩාර දේවාලය

    ඓතිහාසික කීර්ති බණ්ඩාර දේවාලයේ පුරාවෘත්තය ඉතිහාසය පිළිබඳ ජනප්‍රවාද සම්බන්ධ කතාන්දරයකි. එම ජනප්‍රවාදයන් විවිධාකාර ලෙස පැතිර ඇත. එලෙස එන එක් ජනප්‍රවාදයකට අනුව කීර්ති බණ්ඩාර දෙවියන් යනු මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වලපනේ ප්‍රදේශයේ විසූ “ටිකිරි බණ්ඩා” (හෝ කිරි බණ්ඩා) නැමැති අසාධාරණයට ලක්ව මියගිය සත්ගුණවත් ගැමි ගොවියෙකි. ඔහු ඉතා මහන්සියෙන් “කටුපත්වල” නැමැති වෙල් යායක් අස්වද්දා සාර්ථක අස්වැන්නක් ලබාගත් අතර, මෙම වීර ක්‍රියාව සැමරීමට සහ ඔහුට උපහාර පිදීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එහි පැමිණෙන බව සැලවීමත් සමඟ ගම්වැසියන් අතර රජු එම කුඹුර රාජසන්තක කිරීමට එන බවට වැරදි කතාවක් පැතිර ගොස් තිබේ. තමා ලෙයින් කඳුළින් අස්වැද්දූ කුඹුර අහිමි වේ යැයි බියෙන් හා කනස්සල්ලෙන් රජු ඉදිරියේම දිවි නසාගත් හෝ පසුව අසාධාරණ කුමන්ත්‍රණ චෝදනා මත ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ මෙම තරුණයා, තම අහිංසකකම හා දැඩි චිත්තාවේගය හේතුවෙන් මරණින් මතු ප්‍රදේශයට අධිපති බලගතු දේවත්වයකට පත් වූ බව විශ්වාස කෙරේ. 

    මේ පිළිබඳව පැහැදුණු රජතුමා ඔහු වෙනුවෙන් වලපනේ ප්‍රදේශයේ “ගල්කොටුව දේවාලය” (පොදු ජනයා අතර දනගමුව දේවාලය ලෙසද හැඳින්වේ) නමින් ඓතිහාසික දේවාලයක් ඉදිකර පුදපූජා පැවැත්වීමට කටයුතු සලස්වා ඇත. පසුකාලීනව මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මුල් දේවාල භූමිය රන්දෙණිගල ජලාශයට යට වූ බැවින්, වර්තමානයේ රන්දෙණිගල ජලාශය අසල පිහිටි වලපනේ, කීර්තිබණ්ඩාරපුර ප්‍රදේශයේ මෙම පුදබිම අලුතින් ප්‍රතිස්ථාපනය කර බැතිමතුන්ගේ වන්දනාමානයට විවෘත කර තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසන් නිගමනය) :

    අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂාවේදී තහවුරු වූයේ, අනතුරකින් මියගිය ලංගම බස් රියදුරෙකු වූ කීර්ති බණ්ඩාර වෙනුවෙන් ‘වළපනේ කීර්ති බණ්ඩාර දේවාලය’ ඉදිකළ බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව සංස්කරණය කරන ලද, නොමඟ යවන සුළු එකක් බවයි. 2025 සැප්තැම්බර් 11 වන දින රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අමතා නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පරීක්ෂා කිරීමේදී, ඔහු විසින් එකිනෙකට වෙනස් කතාන්දර දෙකක් උදාහරණ ලෙස ඉදිරිපත් කර ඇති බව තහවුරු විය. ඓතිහාසික කීර්ති බණ්ඩාර දේවාලයේ පුරාවෘත්තය ඉන් පලමුවැන්නයි. රජ දවසේදී අසාධාරණයට ලක්වී ගම්බිම් අස්වද්දා ජනතාවට සේවය කර මියගිය තරුණයෙකු සිහිපත් කරමින් ගැමියන් විසින් ඉදිකළ ඓතිහාසික වලපනේ කීර්ති බණ්ඩාර දේවාලය පිළිබඳ පසුබිම ඉදිරිපත් කරන අතර, දෙවනුව 2018 වසරේදී තිරිංග අක්‍රිය වූ බස් රථයක් කන්දකට හේත්තු කර මගී ජීවිත බේරාගනිමින් සිය ජීවිතය පූජා කළ ලංගම රියදුරු කීර්ති බණ්ඩාර මහතාගේ ආත්මාර්ථකාමී නොවන සේවය අගයයි. 

    නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම කතාවේ සැබෑ අරමුණ වී ඇත්තේ අතීතයේ ගමට සේවය කළ තරුණයෙකු දේවත්වයට පත්වූවාක් මෙන්, පරාර්ථකාමීව මගී ජීවිත සුරකින ප්‍රවාහන සේවකයින්ටද තම වෘත්තීය කැපවීම තුළින් සමාජය තුළ එවන් උසස් ගෞරවයක් අත්පත් කරගත හැකි බව පෙන්වා දෙමින් ඔවුන්ගේ වෘත්තීය අභිමානය ඇගයීමයි. නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වන තත්පර 35ක කෙටි වීඩියෝවේදී, මෙම ප්‍රකාශයේ මුල් සන්දර්භය හා ඓතිහාසික තොරතුරු ඉවත් කර, බස් රියදුරා පිළිබඳ ප්‍රකාශය සහ දේවාලය හැදූ බව කියැවෙන කොටස එකිනෙකට බද්ධ කරමින් අර්ථය මුළුමනින්ම විකෘති කර ඇත. ඒ අනුව, අනතුරකින් මියගිය බස් රියදුරා වෙනුවෙන් වළපනේ කීර්ති බණ්ඩාර දේවාලය හැදූ බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර නොමැති අතර, සංසරණය වන වීඩියෝව සන්දර්භයෙන් බැහැරව සකස් කරන ලද සංස්කරණයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.