Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    එංගලන්තයේ ශරියා නීතිය ඉල්ලා පෙලපාලියක් පැවැත්වුණු බවට හුවමාරු වන වීඩියෝ පට සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-08
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එංගලන්තයේ ශරියා නීතිය ඉල්ලමින් පැවැත්වුනු පෙළපාළියක් ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇත. මෙහි සත්‍ය සත්‍යභාවය සොයා බලමින් සහ එක්සත් රාජධානිය තුළ ශරියා නීතිය, මුස්ලිම්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    එංගලන්තයේ ශරියා නීතිය ඉල්ලමින් පැවැත්වුනු පෙළපාළියක් ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇත. මෙහි සත්‍ය සත්‍යභාවය සොයා බලමින් සහ එක්සත් රාජධානිය තුළ ශරියා නීතිය, මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බලමින් අප විසින් සිදු කරන කරුණු පැහැදිලි කිරීම පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “එංගලන්තයේ ශරියා නීතිය ඉල්ලා පෙලපාලි”

    “යුරෝපයේ අවසානයද ?” “සංක්‍රමණිකයන් අතහැර පොලිසිය එංගලන්ත වැසියන්ට විරුද්ධව ක්‍රියාකරයි” යනුවෙන් දක්වමින් අදාල වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්. 

    Facebook

    Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

    එංගලන්තයේ ෂරියා නීතිය ඉල්ලමින් සිදු කරන ලද පෙළපාලියක් ලෙස දක්වමින් හුවමාරු වී තිබූ ඉහත වීඩියෝව කුමක්ද යන්න සොයා බැලීමට අප විසින් කටයුතු කළා. ඒ අනුව Key words ඔස්සේ සිදුකළ පරීක්ෂාවේදී ඉහත වීඩියෝවෙහි දැක්වෙන දර්ශන අන්තර්ගත වන ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තාකර ඇති වීඩියෝවක් හමුවුණා. එහි දක්වා ඇත්තේ, ‘No Sharia Law’  විරෝධතාවට UKIP නායකයා සම්බන්ධ විය. මෙම සති අන්තයේ ලන්ඩනයේ පැවති UKIP ෂරියා විරෝධී පාගමනට ප්‍රති විරෝධතාවක් එල්ල විය.”යනුවෙනි.

    Facebook

    අදාළ සිදුවීම ලන්ඩන් නුවර තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා  සිදු වී ඇති පෙලපාලියක් නොවේ. 

    2026 අගෝස්තු 29 වන දින බ්‍රිතාන්‍යයේ UKIP (UK Independence Party) පක්ෂයේ නායක නික් ටෙන්කෝනි ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේදී “No to Sharia Law” (ශරියා නීතිය එපා) යන තේමාව යටතේ මෙම විරෝධතා පාගමන පවත්වා ඇත. එහිදී බ්‍රිතාන්‍යය තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු බවට බලකර තිබේ.

    මෙම විරෝධතාවයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ එක්සත් රාජධානිය තුළට මුස්ලිම් සංක්‍රමණිකයන් පැමිණීම සහ රට තුළ ශරියා මූලධර්ම ව්‍යාප්ත වීමට හෝ බලපෑමක් ඇති කිරීමට ඇති ඉඩකඩට විරෝධය පෑමයි. බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක විය යුත්තේ සියල්ලන්ටම පොදු බ්‍රිතාන්‍ය නීතියක් පමණක් බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. විරෝධතාකරුවන් බ්‍රිතාන්‍යයට සිදුවන ඉස්ලාමීය සංක්‍රමණ සීමා කරන ලෙසත්, රටේ සාම්ප්‍රදායික අනන්‍යතාවය සුරකින ලෙසත් ඉල්ලා තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්.

    මෙම පාගමනට ප්‍රති විරෝධතා එල්ල වී තිබේ. 

    ඉහත කී ශරියා විරෝධී පාගමනට එරෙහිව වර්ගවාදයට සහ ෆැසිස්ට්වාදයට විරුද්ධ සිවිල් කණ්ඩායම් විසින් එදිනම ලන්ඩන් නුවරදී ප්‍රති විරෝධතාවක් පවත්වන ලදී. මෙම විරෝධයට ප්‍රති විරෝධය එල්ල කල ප්‍රති විරෝධතාවයේ  අරමුණ වි ඇත්තේ UKIP පක්ෂයේ මෙම විරෝධතාවය ඉස්ලාම්භීතිකාව සහ වෛරය පතුරුවන, සමාජය බෙදා වෙන් කරන ක්‍රියාවක් ලෙස හඳුන්වමින් එයට විරෝධය දැක්වීමයි. ලන්ඩන් නුවර යනු විවිධ ජාතීන් සහ ආගම් සහයෝගයෙන් ජීවත්වන නගරයක් බවත්, වෛරී අදහස්වලට බ්‍රිතාන්‍ය සමාජය තුළ ඉඩක් නොමැති බවත් ඔවුහු ප්‍රකාශ කර තිබේ.

    2026 අගෝස්තු 29 වන සෙනසුරාදා දින, Nick Tenconi ගේ නායකත්වයෙන් යුත් UK Independence Party (UKIP) පක්ෂය විසින් මධ්‍යම ලන්ඩන් නුවර සංවිධානය කරන ලද “No to Sharia Law”  විරෝධතා පාගමනට එරෙහිව Stand Up To Racism කණ්ඩායම විසින් දැවැන්ත ප්‍රති-විරෝධතාව පැවැත්වීම  හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

    “Unite the People” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම UKIP විරෝධතා පාගමන හයිඩ් පාර්ක් කෝනර් ප්‍රදේශයෙන් ආරම්භ වී, මධ්‍යම ලන්ඩනය හරහා Downing Street (අගමැති නිල නිවස) දෙසට ගමන් කර තිබුණා.

    වාර්තාවලට අනුව, UKIP ආධාරකරුවන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වූ මෙම පාගමනට වඩා, Stand Up To Racism සංවිධානයේ ප්‍රති-විරෝධතාකරුවන් විශාල පිරිසක් එහි පැමිණ තිබේ.

    මහජන සාමය රැකීම සහ ගැටුම් වළක්වා ගැනීම සඳහා ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් දැඩි කොන්දේසි පනවා තිබුණි. දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරු සහ සුළු තල්ලු කරගැනීම් සිදු වූ අතර, පොලිස් මැදිහත්වීම නිසා කණ්ඩායම් දෙක වෙන්කර තබා ගැනීමට හැකි වූ අතර මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, එවැනි අවස්ථාවකි. මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    කෙසේ වුවද අගෝස්තු 23 ලන්ඩන් නුවර වීදියක ෂරියා නීතිය අවශ්‍ය බව දක්වමින් පකිස්ථාන ජාතික පුද්ගලයකු  සිදුකළ ප්‍රකාශයක් ලෙස වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදයට තුඩු දී ඇත. 

    Facebook

    මෙම ප්‍රකාශය දැක්වෙන වීඩියෝව සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ, එහි සිටින මුස්ලිම් ජාතිකයා පවසන්නේ “අපි මුස්ලිම්වරුන් වන අතර අපි නබි නායකතුමාව අනුගමනය කරනවා. අපි ශරියා නීතිය අනුගමනය කරන අතරම, අල්ලාහ් දෙවියන් වහන්සේ අපට අණ කර ඇති පරිදි මේ රටේ (බ්‍රිතාන්‍යයේ) පවතින නීතියද අනුගමනය කරනවා” යනුවෙනි.

    Instagram

    එක්සත් රාජධානිය තුළ ජීවත් වන මුස්ලිම් ප්‍රජාව සහ එම මුස්ලිම් ප්‍රජාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ෂරියා කවුන්සිලවල කාර්යභාරය සහ බලපෑම පිළිබඳව මේ ඔස්සේ විවිධ පාර්ශව ගැටලු මතු කරමින් පවතී. 

    එක්සත් රාජධානියේ අධිකරණ පද්ධතිය තුළ ශරියා නීතිය පිළිගන්නවාද?

    එක්සත් රාජධානියේ නෛතික රාමුව හෝ අධිකරණ පද්ධතිය තුළ ශරියා නීතිය පිළිගැනීමක් හෝ ඊට කිසිදු නිල තත්ත්වයක් හිමි නොවේ. එක්සත් රාජධානිය තුළ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමේ කිසිදු සූදානමක් හෝ සැලසුමක්ද බ්‍රිතාන්‍ය රජයට නොමැත.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පොදු නීතිය රටේ උත්තරීතර නීතියයි. වැඩිදුර තොරතුරු මෙතනින්.

    එක්සත් රාජධානිය තුළ ශරියා කවුන්සිල ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    ශරියා උසාවි නොමැති වුවද, එක්සත් රාජධානිය තුළ ජීවත් වන මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් ශරියා කවුන්සිල ක්‍රියාත්මක වේ. මුස්ලිම් ප්‍රජාවට අයත් පුද්ගලයන් තම ආගමික විශ්වාසයන් මත පදනම්ව, ස්වකැමැත්තෙන්ම මෙම කවුන්සිල වෙත යොමු වේ. මෙම කවුන්සිල ප්‍රධාන වශයෙන්ම ආගමික විවාහ, ආගමික දික්කසාද සහ උරුමයන් බෙදා ගැනීම වැනි පෞද්ගලික පවුල් ආරවුල් සම්බන්ධයෙන් උපදෙස් සහ මැදිහත්කරණය සැපයීමට සීමා වේ. මෙම කවුන්සිල මගින් දෙනු ලබන තීන්දු බ්‍රිතාන්‍ය සිවිල් හෝ අපරාධ නීතිය යටතේ වලංගු නොවේ. උදාහරණයක් ලෙස, ශරියා කවුන්සිලයකින් ලබාගන්නා දික්කසාද සහතිකයකින් බ්‍රිතාන්‍ය නීතිය ඉදිරියේ සිවිල් විවාහයක් අවලංගු නොවන අතර, ඒ සඳහා බ්‍රිතාන්‍ය පවුල් අධිකරණයකටම යා යුතුය. ආගමික නිදහස මත පදනම්ව මුස්ලිම් ප්‍රජාවට තම පෞද්ගලික ජීවිතය තුළ ආගමික ප්‍රතිපත්ති අනුගමනය කිරීමට බාධාවක් නොමැති වුවද, ඒවා බ්‍රිතාන්‍ය පොදු නීතියට යටත් විය යුතුය. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    ශරියා විරෝධී මත සහ විරෝධතා ඇතිවීමට හේතු

    බ්‍රිතාන්‍යයේ එකම නීති පද්ධතියක් පමණක් තිබිය යුතු බවත්, ශරියා කවුන්සිල සමාන්තර අධිකරණ පද්ධතියක් ලෙස ක්‍රියා කරමින් බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට අභියෝග කරන බවටත් දේශපාලන පක්ෂ සහ විවිධ කණ්ඩායම් ප්‍රකාශ කරයි. පසුගිය වසර කිහිපය පුරාම බ්‍රිතාන්‍යයේ සංක්‍රමණික නීති, බෝට්ටු මගින් පැමිණෙන සරණාගතයන් සහ ඉස්ලාමීය සංස්කෘතික ව්‍යාප්තිය පිළිබඳව දේශපාලනික වශයෙන් දැඩි කතාබහක් මතු වී තිබීම මෙම විරෝධතාවලට පසුබිම සකස් කර තිබේ.වැඩිදුර තොරතුරු මෙතනින්.

    එසේම බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ස්වාධීන සමාලෝචනවලට අනුව, ඇතැම් ශරියා කවුන්සිල කාන්තාවන්ට එරෙහිව පක්ෂග්‍රාහීව කටයුතු කරන බව හෙළි වී ඇත. උදාහරණයක් ලෙස, පුරුෂයෙකුට බිරිඳගේ කැමැත්ත රහිතව දික්කසාද විය හැකි වුවත්, කාන්තාවකට දික්කසාදය ලබා ගැනීමට සැමියාගේ කැමැත්ත හෝ කවුන්සිලයේ දැඩි කොන්දේසිවලට යටත් වීමට සිදු වේ.

    බ්‍රිතාන්‍ය රජය විසින් ශරියා කවුන්සිලවල ක්‍රියාකාරිත්වය පිළිබඳව මහාචාර්ය මෝනා සිද්දිකි ගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන සමාලෝචනයක්ද සිදු කර ඇත. එම සමාලෝචනය මඟින් ශරියා කවුන්සිල නියාමනය කිරීම සඳහා රජයේ ආයතනයක් පිහිටුවීමට යෝජනා කළද, බ්‍රිතාන්‍ය රජය එය ප්‍රතික්ෂේප කළේය. රජය ප්‍රකාශ කළේ එවැනි නියාමනයක් මඟින් ශරියා කවුන්සිලවලට විකල්ප අධිකරණ පද්ධතියක් ලෙස අනවශ්‍ය පිළිගැනීමක් හෝ නීත්‍යානුකූලභාවයක් ලැබෙනු ඇති බවයි.  වැඩිදුර තොරතුරු මෙතනින්.

    ශරියා චාරිත්‍රවලට පෙර හෝ ඒ සමඟම සෑම මුස්ලිම් විවාහයක්ම බ්‍රිතාන්‍ය සිවිල් නීතිය යටතේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බවට රජය නිර්දේශ කර ඇති අතර, ඒ හරහා මුස්ලිම් කාන්තාවන්ගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කෙරේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්

    දැනට පවතින රජයද පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ ශරියා නීතිය බ්‍රිතාන්‍ය නීතියේ කොටසක් නොවන බවත්, ආගමික නිදහසට ගරු කරන අතරම බ්‍රිතාන්‍ය සිවිල් නීතියේ උත්තරීතරභාවය සැමවිටම ආරක්ෂා කරන බවත්ය. වැඩිදුර තොරතුරු මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Result Stamp

    Title: එංගලන්තයේ ශරියා නීතිය ඉල්ලා පෙලපාලියක් පැවැත්වුණු බවට හුවමාරු වන වීඩියෝ පට සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

    Written By: B.P Hansani

    Result: Insight

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-09-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.