දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පලෙයි කැලයෙහි LTTE කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවතින බවට සහ එවැන්නක් සම්බන්ධයෙන් සැක කළ හැකි සාධාරණ හේතු පවතින බවට සටහන් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණි. අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද සොයා බැලීමකින් අනතුරුව සිදු කරන කරුණු පැහැදිලි කිරීම පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම නමැති සංවිධානයක, විධායක අධ්යක්ෂ සංගීත් ජයසේකර මහතා විසින් පසුගියදා මාධ්ය හමුවක් කැඳවමින් පලෙයි වනාන්තරයේ LTTE පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් සම්බන්ධයෙන් කරුණු ප්රකාශ කර තිබුණි. පලෙයි ප්රදේශයේ රජයට අයත් අක්කර 49කට ආසන්න වනාන්තර ප්රමාණයක් සුද්ධ කර, කිසිදු රජයේ හෝ පළාත් පාලන ආයතනයක අනුමැතියකින් තොරව තට්ටු තුනක විශාල කොන්ක්රීට් ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින බවත්, මේ සඳහා දිනපතා මිනිසුන් 100-150ක් පමණ පැමිණෙන අතර, මෙය විදේශීය ව්යාපෘතියක් ලෙස පෙන්වමින් සම්බන්ධීකරණය කරන බවත් පැවසේ.
එම ප්රදේශයේ වෙසෙන සුළුතර සිංහල ජනතාව සහ වන නිලධාරීන් සැක කරන්නේ, මෙම රහසිගත ඉදිකිරීම් හරහා එල්.ටි.ටි.ඊ. (LTTE) පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනය කරන කම්මලක් සකස් කිරීමට උත්සාහ කරන බවයි යනුවෙන් ඔහු ප්රකාශ කර තිබුණි.
මෙම නීතිවිරෝධී ක්රියාවට එරෙහිව පලෙයි අඩවි වන නිලධාරියා (RFO) විසින් නඩු හතක් පවරා ඇති අතර, දැනටමත් මෙම ඉදිකිරීම් තවදුරටත් සිදුවන බැවින්, මෙම තොරතුරු ඔස්සේ වහාම පරීක්ෂණයක් පවත්වා රටේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඔහු ඉල්ලා තිබුණි.
සමාජ මාධ්ය ඔස්සේ තවත් සටහන්ද බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



Facebook | Archived Link Facebook Facebook
ඒ අනුව මෙහි සත්ය අසත්යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
කරුණු පැහැදිලි කිරීම (Explainer);
පලෙයි ප්රදේශයේ වනාන්තර හෙළිපෙහෙළි කිරීමක් හෝ එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ලෙස හඳුනාගත හැකි යමක් පවතින බවට ප්රධාන ධාරාවේ මාධ්ය හෝ නිල විශ්වාසනීය වෙනත් මූලාශ්රයක් විසින් තහවුරු කරන ලද තොරතුරක් මෙතෙක් වාර්තා කර නොමැත.
පලෙයි රක්ෂිතයේ ත්රස්ත කඳවුරු නෑ – පොලිස්පති කියයි
කිලිනොච්චිය, පලෙයි ප්රදේශයේ රක්ෂිත වනාන්තරයක් තුළ කිසිදු ආකාරයක ත්රස්තවාදී පුහුණු කඳවුරක් හෝ බෝම්බ නිෂ්පාදනාගාරයක් නොමැති බව පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා ප්රකාශ කරයි. එවැනි ත්රස්ත කඳවුරක් ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ පැතිර ගිය ආන්දෝලනාත්මක ප්රකාශ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනාවරණය වූයේ, එම ස්ථානයේ රක්ෂිතයෙන් අක්කර ගණනක් හෙළිපෙහෙළි කර ගොවිපොළක් හා ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන බවයි. ඔහු එය පුවත්පතකට සඳහන් කර තිබුණේ මෙලෙසින්.
තුන්මහල් ගොඩනැගිල්ලක ජුකී මැෂින් යොදා එම ඇඟලුම් කම්හල පවත්වාගෙන ගොස් ඇත්තේ කිලිනොච්චිය ප්රදේශයේ දෙමළ ජාතික ව්යාපාරිකයකු විසින් වන බවත්, එහි කෝමාරිකා ඇතුළු වගාවන් කිහිපයක්ද පවත්වාගෙන ගොස් තිබූ බවත් සඳහන් වේ. එම ගොවිපොළේ හා කම්හලේ, ප්රදේශයේ පදිංචිකරුවන් 100කට වැඩි පිරිසක් සේවයේ යොදවාගෙන සිටි බවත් වාර්තා වේ.
රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් එහි හිමිකරුට හා සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති අතර, මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් වැඩිදුර විමර්ශන සිදුවන බවත්, ත්රස්තවාදී කඳවුරක් ලෙස හුවා දක්වා ආන්දෝලනයක් ඇති කිරීමට උත්සාහ කළ පාර්ශ්ව සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් ක්රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබුණි.
අප විසින් සිදුකළ විමසීමේදී පලෙයි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින්ද සඳහන් කළේ පලෙයි ප්රදේශයේ එවැනි වනාන්තර හෙළිපෙහෙළි කිරීමක් හෝ එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනය කරන කම්හලක් වැනි කිසිවක් නොමැති බවත්, අක්කරායන් නමැති ප්රදේශයෙන් වන හෙළි කිරීමක් ගැන වාර්තා වී තිබූ බවත්ය.
ප්රාදේශීය මාධ්යවේදීන්
අප විසින් මේ සම්බන්ධයෙන් කිලිනොච්චි ප්රදේශයේ ප්රාදේශීය මාධ්යවේදීන් සම්බන්ධ කර ගනිමින් කරුණු විමසූ අතර එහිදී ඔවුන් විසින් සඳහන් කළේ, ජූලි මාසයේදී කිලිනොච්චි දිස්ත්රික්කයේම ඇති වෙනත් ප්රදේශයක් වන, අක්කරායන් නමැති ප්රදේශයේ රක්ෂිත ප්රදේශයක හෙළි පෙහෙළි කළ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම සිදුවීම පලෙයි හි සිදුවූවක් ලෙස සමාජ මාධ්ය ඔස්සේ කතාබහට ලක්වන බවත් ඔවුන් විසින් සඳහන් කළා.
පෞද්ගලික ඉඩමක් සුද්ධ පවිත්ර කරන මුවාවෙන් එහි තිබූ කැලෑ එළිපෙහෙළි කිරීමක් සිදුකර ඇති බවත්, එසේම එම ස්ථානයේ මීට පෙරද ගොඩනැගිල්ලක් තිබී ඇති අතර, මෙම සුද්ධ පවිත්ර කිරීම සිදුකර ඇත්තේ එහි ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් බවද ඔවුන් විසින් සඳහන් කළා.
මෙම ඉඩම සුද්ධ පවිත්ර කිරීමේ කටයුතු සඳහා පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සම්බන්ධ වී සිටි බවද අප විසින් සිදු කළ විමසීමේදී ප්රාදේශීය මාධ්යවේදියකු විසින් පවසා සිටියා.
එසේම අදාළ ස්ථානයේ ඇති ගොඩනැගිල්ලෙහි ඇඳුම් මැසීම සඳහා කර්මාන්තශාලාවක් ලෙස පවත්වා ගෙන යන බවත්, අදාළ ඉඩමේ කෝමාරිකා ඇතුළු තවත් වගාවන් සිදුකරන ගොවිපලක් පවත්වා ගෙන යන බවත් විශාල පිරිසක් එහි සේවය සඳහා පැමිණෙන බවත් ඔවුන් විසින් සඳහන් කළා.
පැමිණිල්ල සිදුකළ සංගීත් ජයසේකර මහතා
මෙම සිද්ධිය ගැන පැමිණිල්ල ඉදිරිපත් කළේ, අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම’ / ‘ICHRC (Inter-Continental Human Rights Commission)’ නමැති පෞද්ගලික සංවිධානයක විධායක අධ්යක්ෂ වන සංගීත් ජයසේකර මහතා විසිනි.
මෙම ආන්දෝලනාත්මක තොරතුරු සම්බන්ධයෙන් මාධ්ය හමුවක් පවත්වමින් සංගීත් ජයසේකර මහතා පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් සාක්ෂි ද තමා සතුව ඇති බවයි. එබැවින් අප විසින් මේ සම්බන්ධයෙන් ඒ මහතා සම්බන්ධ කර ගනිමින් වැඩිදුර තොරතුරු විමසීමට කටයුතු කළා.
‘පලෙයි’ යනුවෙන් සඳහන් කළද ‘අක්කරායන්කුලම්’ පොලිස් වසමට අයත් ප්රදේශයක සිදුවූවක්
සංගීත් ජයසේකර මහතා විසින් සඳහන් කළේ, පලෙයි යනුවෙන් සඳහන් කළද මෙම ප්රදේශය අයත් පොලිස් බල ප්රදේශය අක්කරායන් පොලිස් වසම බවයි. පලෙයි යන නම භාවිතා කළේ පොලිස් බල ප්රදේශය අනුව නොවන බවද මෙය අක්කරායන්කුලම් පොලිස් වසමට අයත් ප්රදේශයක සිදුවූවක් බවද ඔහු විසින් සඳහන් කළා.
අක්කරායන් පොලිස් බල ප්රදේශයට අයත් වනාන්තරයේ මෙවැනි තට්ටු තුනක ගොඩනැගිල්ලක් පවතින බවත්, මෙය එල්.ටී.ටී.ඊ නැවත පණ ගැන්වීම සඳහා බෝම්බ සහ ආයුධ නිෂ්පාදනය කිරීමේ මධ්යස්ථානයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින බව පෙනෙන බවයි ඔහු විසින් සඳහන් කළේ.
වනාන්තරය හෙළි පෙහෙළි කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පසුගිය දා වැටලීමක් සිදු කර ඇති බවත්, එම අවස්ථාවේදීද එහි සිටි පිරිස කලහකාරීව හැසිරීමට කටයුතු කර ඇති බවත් ඔහු විසින් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් අඩවි වන නිලධාරියා විසින් ගොනු කරන ලද නඩු වාර්තා සාක්ෂි සහ ඡායාරූපද ඔහු විසින් අප වෙත යොමු කර තිබේ.
අදාළ ඡායාරූප පරීක්ෂා කිරීමේදී එම ප්රදේශයේ වනාන්තරය සැලකියයුතු කොටසක් හෙළි පෙහෙළි කර ඇති බවත්, තට්ටු තුනක ගොඩනැගිල්ලක් එහි ඇති බවත් හඳුනා ගැනීමට හැකිය.
2026.04.06

2026.02.09



අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම විසින් 2026 ජූලි 31 වන දින ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ ප්රධානීන් වෙත යොමු කරන ලද ලිපිය
එසේම, අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම (ICHRC) විසින් 2026 ජූලි 31 වන දින ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ ප්රධානීන් වෙත යොමු කරන ලද ලිපියද ඔහු විසින් අප වෙත යොමු කළා. එහි සඳහන් කර ඇත්තේ අක්කරායන් රක්ෂිත වනාන්තර සීමාව තුළ ඇති අක්කර 39 ත් 45 ත් අතර විශාල ඉඩම් ප්රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන, කම්බි වැටවල් ගසා, එහි එක් කෙළවරක තෙමහල් කොන්ක්රීට් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බවයි.
මෙම ගොඩනැගිල්ල දෙමළ ඊළාම් ක්රියාකාරකම් නැවත ආරම්භ කිරීමේ ආරම්භක ස්ථානයක් ලෙස යොදා ගැනීමට සූදානම් වන බව වන නිලධාරීන් සහ අනෙකුත් බලධාරීන් වටහාගෙන ඇති බවත් එහි සඳහන්. මෙම ගොඩනැගිල්ලේ බිම් මහල ඇඟලුම් කර්මාන්තශාලාවක් ලෙස පවත්වාගෙන යන බවත්, අවට ගම්මානවල පිරිමින් සහ කාන්තාවන් 100 ත් 150 ත් අතර ප්රමාණයක් මෙම තහනම් ඉඩමෙහි නීතිවිරෝධී හිමිකරු විසින් සේවයේ යොදවා ඇති බවත් එහි සඳහන් වේ.
මෙය කෝමාරිකා වගාවක් ලෙසත් හඳුන්වා දී ඇතත්, නඩු 07 ක් පුරා ඉදිරිපත් කර ඇති වන නිලධාරී වාර්තා සහ ඩ්රෝන කැමරා දර්ශන මඟින් හෙළිදරව් වන්නේ රජයේ රක්ෂිතයකින් අක්කර 39-45 ක් නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් මෙම ප්රධාන සැකකරු දැනට කෝමාරිකා වගා කර ඇත්තේ පර්චස් 10 ක පමණ සුළු ප්රමාණයක පමණක් බව ද එම ලිපියේ සඳහන්.
මෙම කරුණ බුද්ධිමත්ව සහ ගැඹුරු විමර්ශන කෝණයකින් අධ්යයනය කිරීමේදී, මෙම ස්ථානය එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය නැවත පණගැන්වීම සඳහා බෝම්බ සහ අවි ආයුධ නිෂ්පාදනය කරන රහසිගත මධ්යස්ථානයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින බව පැහැදිලිව පෙනී යන බව එම ලිපියේ සඳහන්. අදාළ ලිපිය පහතින්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි ලෙස පවතින බී වාර්තා වල සඳහන් වන්නේ කුමක් ද ?
මෙම සිදුවීම සම්බන්ධයෙන් පවතින සාක්ෂි ලෙස අප වෙත යොමු කරන ලද බී වාර්තා අප විසින් පරීක්ෂා කරන ලදී. අඩවි වන නිලධාරියා විසින් මෙම නඩු පවරා ඇත්තේ කුමක් සඳහාද යන්න පරීක්ෂා කිරීමටද අප කටයුතු කළා.
මෙම නඩු පවරා ඇත්තේ අක්කරායන් රක්ෂිත වනාන්තරය නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම, වන විනාශය සිදු කිරීම සහ එහි අනවසර ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ප්රධාන සැකකරුට සහ ඔහුගේ ආධාරකරුවන්ට එරෙහිව කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයේ ය.
අක්කරායන් රක්ෂිත වනාන්තරයේ මුක්කොම්බන් ග්රාම සීමාවට ආසන්න කන්නකීපුරම් ප්රදේශයේ රක්ෂිත වනාන්තර භූමියක් නීති විරෝධී ලෙස හෙළිපෙහෙළි කර කොන්ක්රීට් කණු, ටකරන් සහ කටුකම්බී වැටවල් ඉදිකිරීම සහ ගොඩනැගිලි කිහිපයක් ඉදිකරමින් පැවතීම සම්බන්ධයෙන් කන්නකීපුරම් බටහිර හි පදිංචි ප්රධාන සැකකරු වශයෙන් හඳුනාගත් පුද්ගලයාට විරුද්ධව මූලික වශයෙන් නඩු පවරා ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද නිල නඩු වාර්තාවක හෝ බී වාර්තාවක ත්රස්ත ක්රියා, එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය හෝ බෝම්බ/අවි ආයුධ නිෂ්පාදනය කිරීමක් පිළිබඳව කිසිදු සඳහනක් නොමැත. මෙම නිල අධිකරණ වාර්තා සියල්ලම සෘජුවම ලංකා වන සංරක්ෂණ ආඥාපනතේ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ය.
එම නිල වාර්තාවල අඩංගු වන්නේ පහත සඳහන් වන චෝදනාය.
- රක්ෂිත වනාන්තර ඉඩම් නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම.
- පාලු සහ වීර වැනි වටිනා ගස් කැපීම, දැව ළඟ තබා ගැනීම සහ වන භූමිය හෙළිපෙහෙළි කිරීම.
- අවසරයකින් තොරව කොන්ක්රීට් කණු, කටුකම්බි වැටවල්, ගඩොල් ගොඩනැගිලි සහ තාවකාලික නිවාස ඉදිකිරීම.
- බැකෝ (JCB) යන්ත්ර, ට්රැක්ටර් සහ වෙනත් වාහන බලපත්ර රහිතව රක්ෂිත වනාන්තරය තුළට ඇතුළු කිරීම සහ භාවිත කිරීම.
- වනාන්තරයේ කොටස්වලට ගිනි තැබීම.
අක්කරායන්කුලම් පොලිස් වසමේ මුක්කම්පන් ප්රදේශයේ පිහිටි අක්කරායන් රක්ෂිත වනාන්තරය එළිපෙහෙලි කරන ලද පිරිසක් වටලා ඇති බවට ප්රධාන ධාරාවේ මාධ්ය විසින්ද වාර්තාකර ඇත.
මෙම සිදුවීම අක්කරායන්කුලම් පොලිස් බල ප්රදේශයේ සිදුවූවක් බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම පොලිස් බල ප්රදේශයේ සිදු කළ බවට ප්රකාශ කර ඇති වැටලීමක් සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්ය විසින් වාර්තාකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා.
එහිදී පැහැදිලි වූයේ, අක්කරායන්කුලම් පොලිස් වසමේ මුක්කම්පන් ප්රදේශයේ පිහිටි අක්කරායන් රක්ෂිත වනාන්තරයේ JCB යන්ත්රයක් යොදා ගෙන පිරිසක් විසින් කැලෑව එළිපෙහෙලි කරන බවට ලද තොරතුරක් මත වනජීවි නිලධාරීන් හා කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව ජූලි 24 දින වැටලීමක් සිදුකර ඇති බවට ප්රධාන ධාරාවේ මාධ්ය විසින් වාර්තාකර ඇති බවයි.
රක්ෂිතය එළිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් හා ඒ සඳහා යොදා ගත් JCB යන්ත්රය අත්අඩංගුවට ගැනීමට යාමේදී, සැකකරුවන් විසින් වනජීවි නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට විරෝධය පා රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහරදී ඇති බවට මාධ්ය වාර්තා සඳහන් කර ඇත. එම අවස්ථාවේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කළහකාරී ලෙස හැසිරුණු 09 දෙනෙකු JCB යන්ත්රයද සමඟ අත්අඩංගුවට ගෙන අක්කරායන්කුලම් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. එම මාධ්ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්
කෙසේ නමුත්, අදාළ පුවත් වාර්තාවල මෙම ස්ථානයේ එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරක් පැවති බවට හෝ ගොඩනැගිල්ලක් තිබූ බවට හෝ බෝම්බ නිෂ්පාදනාගාරයක් වැනි කිසිවක් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැත.
පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය
අප විසින් සිදු කළ විමසීමේදී පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වූවා. එහිදී පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය විසින් සඳහන් කළේ, අදාළ ප්රදේශයේ අක්කර 21ක භූමි ප්රමාණයක් හෙළි පෙහෙළි කර ඇති බවත්, එම ස්ථානයේ ගොඩනැගිල්ලක් පවතින බවත් සත්යයක් බවයි.
එම ගොඩනැගිල්ලෙහි නිමි ඇඳුම් කර්මාන්තශාලාවක් පවත්වා ගෙන යන අතර ඊට අමතරව කෝමාරිකා වගාවක් සහ තවත් එළවළු වගාවක් ද අදාළ ප්රදේශයේ පවත්වාගෙන යන බවත් සඳහන් කළා. ඒ අනුව සේවකයින් 100ක් පමණ එහි සේවයේ නිරත වන බවත් පොලිස් මාධ්ය කොට්ඨාශය විසින් සඳහන් කළා.
මෙම වනාන්තර ප්රදේශය හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩු පවතින අතර, මෙම ඉඩමේ හිමිකරු ලෙස ඉදිරිපත් වන පුද්ගලයා එම ඉඩමේ තමාට අයිතියක් ඇති බව ප්රකාශ කර ඇත. නමුත්, අඩවි වන නිලධාරී පාර්ශවය විසින් මෙම ප්රදේශය ගැසට් පත්රයකින් රක්ෂිත භූමියක් ලෙස නම් කර ඇති ප්රදේශයක් ලෙස දක්වමින් මෙලෙස මෙම පුද්ගලයාට විරුද්ධව අවස්ථා ගණනාවකදී නඩු පවරා ඇත. අදාළ සිදුවීමේ පසුබිම එය බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය විසින් සඳහන් කළා.
මෙහි හිමිකරු ලෙස ඉදිරිපත් වන පුද්ගලයා මෙම ඉඩමේ අයිතියක් තමාට ඇති බව දක්වමින් මහාධිකරණය වෙත අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති බවත් පොලිස් මාධ්ය කොට්ඨාශය විසින් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ෂණවලදී අදාළ ස්ථානය ත්රස්තවාදී ක්රියා සිදුවන, සිදුවිය හැකි ස්ථානයක් ලෙස හෝ ත්රස්තවාදය ප්රවර්ධනය කරන ස්ථානයක් ලෙස අනාවරණය වී නොමැති බවයි ඔවුන් විසින් තහවුරු කළේ.
මේ සම්බන්ධයෙන් පවතින නඩු සහ අත්අඩංගුවට ගැනීම් භූමිය එහි අයිතිය සම්බන්ධයෙන් සහ එහි වටිනා දැව කැපීම වැනි දේ සම්බන්ධයෙන් වන බවද සඳහන් කළා. පසුගිය මාසයේදීද එලෙස සිදු කළ වැටලීමකදී අත්තඩංගුවට ගැනීමට විරෝධය පාමින් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක් ඇති බවත්, නමුත් ත්රස්තවාදී ක්රියාවක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අදාළ විමර්ෂණ වලදී හෙලි දරව් වී නොමැති බවත් පොලිස් මාධ්ය කොට්ඨාශය විසින් වැඩිදුරටත් සඳහන් කළා.
කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස
2026 අගෝස්තු 18 වන දින කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා ද, පලෙයි /අක්කරායන් වනාන්තරයේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් පවතින බවට සමාජ මාධ්යවල පැතිර ගිය තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්ය සහ පදනම් විරහිත බව නිල වශයෙන් ප්රකාශ කළේය.
කැබිනට් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරන්නේ, මෙම සිදුවීම සිදුව ඇත්තේ කිලිනොච්චි දිස්ත්රික්කයේ අක්කරායන්කුලම් පොලිස් වසමට අයත් කන්නකීපුරම් (බටහිර) ග්රාම නිලධාරී වසමේ මුක්කම්පන් ප්රදේශයේය. මෙම භූමිය 1919 නොවැම්බර් මාසයේ අංක 764 දරන ගැසට් පත්රයෙන් රක්ෂිතයක් ලෙස නම් කර ඇත.
2025 සිට මෙහි රක්ෂිතයේ කැලෑ එළිකිරීම් වාර්තා වී ඇති අතර, 2026 ජනවාරියේ තෙමහල් (දැන් මහල් හතරක්) ගොඩනැගිල්ලක් ඉදිකෙරෙන බව වාර්තා වී තිබේ. එහි හිමිකරු ලෙස හඳුනාගත් ත්යාගරාජා ගුණදීපන් නමැත්තා මුලින් අක්කර 10ක් ද පසුව අක්කර 20ක් පමණ ද අනවසරයෙන් එළිකර, කෝමාරිකා හා එළවළු වගා කරමින්, තෙමහල් ගොඩනැගිල්ලේ මැෂින් සහිත ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන ගොස් ඇත. ගමේ පදිංචිකරුවන් 100කට වැඩි පිරිසක් සේවයේ යොදවා ඇති අතර, කර්මාන්තශාලාව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවද වාර්තා වේ.
වන අඩවි නිලධාරීන් වැටලීම් ගණනාවක් සිදුකර, හිමිකරුට එරෙහිව නඩු හතක් පවරා ඇත. 2026 පෙබරවාරි 6 වැනිදා කිලිනොච්චි මහේස්ත්රාත්වරයා ඔහුට එම භූමියට ඇතුළුවීම තහනම් කළ අතර, එම තහනම ඉවත් කර නැත. ඊළඟ නඩු දිනය අගෝස්තු 25 වැනිදාය.
මීට අමතරව අනවසර වැලි කැණීම/ප්රවාහනය සම්බන්ධයෙන් පොලිසිය වෙනම නඩුවක් පවරා ඇති අතර, 2026 ජූලි 24 වැනිදා රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් හිමිකරු ඇතුළු නව දෙනෙකු STF සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් වරින් වර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති අතර නඩු තවම විභාග වෙමින් පවතී.
එසේම මෙම ස්ථානයේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් හෝ බෝම්බ නිෂ්පාදනාගාරයක් තිබූ බවට වූ ප්රචාරය සම්පූර්ණයෙන්ම ව්යාජ ප්රවෘත්තියක් බවත් සැබෑ තත්ත්වය නම් වසර එකහමාරක් තිස්සේ සිදුවෙමින් පවතින අනවසර ඉදිකිරීම් හා කැලෑ එළිකිරීමක් බවයි අමාත්යවරයා පවසන්නේ. මෙම ව්යාජ ප්රවෘත්තිය නිර්මාණය කර ප්රචාරය කළ පාර්ශ්ව සම්බන්ධයෙන් ද දැන් නීතිමය පියවර ගනිමින් පවතින බව ද සඳහන් කරයි.
ත්රස්ත පුහුණු කඳවුරක් ගැන මාධ්ය සාකච්ඡාව පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට
පලෙයි කැළයෙහි ත්රස්ත පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට අසත්ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් අදාළ මාධ්ය සාකච්ඡාව පැවැත්වූ පුද්ගලයා 2026 අගෝස්තු 19 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

අක්කරායන්/කිලිනොච්චි ප්රදේශයන්හි රක්ෂිත වනාන්තර හෙළිපෙහෙළි කිරීම් සිදුවීම් පෙළක් පසුගිය කාලයේ දී වාර්තා වී තිබෙනවා
අක්කරායන්/කිලිනොච්චි ප්රදේශයන්හි ජනතාව විසින් රක්ෂිත වනාන්තර හෙළිපෙහෙළි කිරීම හුදෙකලා සිදුවීමක් නොව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්රදේශයේ ජනතාව අතර දිගින් දිගටම පවතින පුළුල් ඉඩම් සම්බන්ධ ගැටළුවක කොටසකි. 2026 පෙබරවාරි මාසයේදීද කිලිනොච්චි දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේදී ආණ්ඩුකාර එන්. වේදනායහන් මහතා, දිස්ත්රික් ලේකම් විසින් නිර්දේශ කළ අක්කර 10,821ක් ජනතාවට මුදාහරින ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබුණි. වැඩිදුර තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
සාරාංශය
සමාජ මාධ්ය ඔස්සේ පැතිර ගියේ, පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවතින බවට වූ තොරතුරකි. මෙම චෝදනාව මුල්වරට ඉදිරිපත් කර තිබුණේ අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම (ICHRC) නමැති පෞද්ගලික සංවිධානයේ විධායක අධ්යක්ෂ සංගීත් ජයසේකර මහතා විසිනි.
එහෙත් අපගේ විමර්ශනයෙන් හෙළි වූයේ, එම චෝදනාවට හේතු වූ සැබෑ ස්ථානය පලෙයි නොව, කිලිනොච්චි දිස්ත්රික්කයේ අක්කරායන්කුලම් පොලිස් වසමට අයත් කන්නකීපුරම් ප්රදේශයේ පිහිටි අක්කරායන් රක්ෂිත වනාන්තර භූමියක් බවයි. එහි අක්කර 21ක පමණ රක්ෂිත කොටසක් හෙළිපෙහෙළි කර, තට්ටු තුනක ගොඩනැගිල්ලක්ද ඉදිකර තිබේ.
විමර්ශනවලින් හෝ නිල අධිකරණ වාර්තාවලින් එම ස්ථානයේ ත්රස්ත ක්රියා සිදුවන බවට හෝ එවැන්නක් සැලසුම් කරන බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැත. එම ගොඩනැගිල්ලේ නිමි ඇඳුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන අතර, භූමියෙහි කෝමාරිකා ඇතුළු වගාවන්ද සිදුකෙරේ.
භූමියේ හිමිකම තමාට ඇතැයි කියා සිටින පුද්ගලයාට එරෙහිව, එය ගැසට් කරන ලද රක්ෂිතයක් බව දක්වමින් අඩවි වන නිලධාරියා විසින් කලක සිට අධිකරණයේ නඩු පවරා ඇත. එම නඩු වාර්තා සියල්ලම වන සංරක්ෂණ ආඥා පනතේ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර, ඒ කිසිවක ත්රස්තවාදය පිළිබඳ සඳහනක් නොමැත.
රක්ෂිතය හෙළිපෙහෙළි කිරීමට එරෙහිව සිදුකළ වැටලීමකදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පසුගිය ජූලි මාසයේ පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම ස්ථානයේ ත්රස්තවාදය ප්රවර්ධනය වන බවට කිසිවක් තහවුරු වී නොමැති බව පොලිස් මාධ්ය කොට්ඨාශය මෙන්ම කැබිනට් ප්රකාශක අමාත්යවරයාද තහවුරු කර ඇත.
මේ අතර, අසත්ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් ඉහත කරුණ පිළිබඳ මාධ්ය හමුව පැවැත්වූ පුද්ගලයා 2026 අගෝස්තු 19 වන දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති තිබේ.



