දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
නේපාල-ටිබෙට් දේශසීමාව අසල භෝටේකෝෂි ගංගාවේ හදිසියේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 160කට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 2026 අගෝස්තු 26 වන දින පෙරවරුවේ මෙම ක්ෂණික ගංවතුර හටගත් අතර ගංවතුරට හේතුව හිම කඳුකරයේ ග්ලැසියරයක් කඩා වැටීම සහ නායයෑමක් නිසා ගඟේ අතු ගංගාවක් අවහිර වී, එකවර විශාල ජල කඳක් පහළ ප්රදේශ වෙත මුදා හැරීමයි. මෙම ආපදා තත්වය හමුවේ බුදු පිළිමයක් නිරුපද්රිතව තිබෙන ආකාරය ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණා.ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“නේපාලයේ ගංවතුර තත්ත්වය අතරතුර බුදු පිළිමයක් නිරුපද්රිතව තිබෙන වීඩියෝවක් සමාජ මාධ්යයේ විශාල අවධානයක් දිනාගෙන තිබෙනවා. නේපාලයේ රසුවා ප්රදේශයේ භයානක ගංවතුර තත්ත්වයෙන් නිවාස, මාර්ග සහ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වනවා.එම බුදු පිළිමය ආරක්ෂා වී තිබීම ගැන බොහෝ දෙනා ආගමික විශ්වාස අනුව “හාස්කමක්” ලෙස සලකනවා. එවැනි සිදුවීම්වලදී මිනිසුන්ට ආධ්යාත්මික අර්ථකථන ලබාදීම සාමාන්ය දෙයක්.” යනුවෙන් එහි දක්වා ඇත.
අදාළ වීඩියෝව තවදුරටත් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


Facebook Facebook Facebook Instagram
ඒ අනුව මෙහි සත්ය අසත්යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඡායාරූපයේ දැක්වෙන්නේ නේපාලයේ චිට්වන් හි නාරායන්ගාට් ප්රදේශයේ නාරායණී ගඟ අසල පිහිටා ඇති ගෞතම බුද්ධ ප්රතිමා වහන්සේ නමකි.
සමාජ මාධ්යය ඔස්සේ හුවමාරු වී ඇති ඉහත වීඩියෝව නේපාලයේ මෑතකදී වාර්තා වූ ගංවතුර ආපදා තත්වය නාරායණී ගඟ අසළ පිහිටා ඇති මෙම බුද්ධ ප්රතිමාවට බලපා ඇති ආකාරය ලෙස දක්වමින් ඇතැම් ප්රධාන ධාරාවේ මාධ්යයන් විසින් ද වාර්තා කර පසුව ඉවත් කර තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.
ඒ හේතුවෙන් අප විසින් ඉහත වීඩියෝවේ දර්ශන Reverse Image ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී හඳුනා ගැනීමට ලැබුණේ ඉහත වීඩියෝව 2024 වසරේදීද මාධ්ය ඔස්සේ වාර්තා කර ඇති බවයි.
2024 ජූලි මාසයේ නේපාලයට බලපෑ ගංවතුර තත්වයක් දැක්වෙන වීඩියෝවක්
සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව සහ 2024 වසරේ වාර්තා කර ඇති වීඩියෝව සන්සන්දනය කිරීමේදී වර්ණ, කැමරා කෝණය සහ ප්රතිමාව අසළින් ජලය ගලා යන ආකාරය සමාන බව නිරීක්ෂණය කළ හැකිය.
2024 ජූලි මස මුල් සතියේ නේපාලයට අඛණ්ඩ මෝසම් වැසි හේතුවෙන් ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර, චිත්වන් දිස්ත්රික්කයේ සිමාල්ටල් ප්රදේශයේදී, අධික වැසි හා නායයෑම් නිසා මගීන් 65 දෙනෙකු රැගත් මගී බස් රථ දෙකක්ද ගසාගෙන ගොස් ඇති බවට මාධ්ය වාර්තා කර ඇත. එම දරුණු ගංවතුර තත්වය සම්බන්ධ මාධ්ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
2024 වසරේ නේපාලයට බලපෑ මෙම ගංවතුර තත්වයේදී අදාළ බුද්ධ ප්රතිමාව ආසන්නයෙන් ජලය ගලාගිය ආකාරය දැක්වෙන තවත් වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්ය ඔස්සේ වාර්තා කර තිබේ.
චිත්වාන් හි නාරායන්ගාට් නාරායණි ගංගාවේ ඇති වූ ගංවතුර බුද්ධ ප්රතිමාවේ ගැටෙමින් ගලා ගිය ආකාරය ලෙස දක්වමින් එහි ඡායාරූපද 2024 වසරේ ජූලි 07 දින මාධ්ය ඔස්සේ වාර්තා කර තිබුණි.

නේපාලයේ නාරායන්ගාර් හි ජනමාධ්යවේදියෙකු වන රමේෂ් කුමාර්
මෙම බුද්ධ ප්රතිමාව දැක්වෙන නාරායන්ගාර් හි ජනමාධ්යවේදියෙකු වන රමේෂ් කුමාර් පෝඩෙල් සම්බන්ධකර ගැනීමට හැකි වූ අතර ඔහු තහවුරු කළේ, මෙය පැරණි වීඩියෝවක් බව ත්, තමන් විසින් එම වීඩියෝව පටිගත කළ බව ත්, එම වීඩියෝව අවුරුදු දෙකකට පෙර සමාජ මාධ්ය ඔස්සේ පළ කළ බවයි. ඊයේ(26) දිනයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් ප්රතිමාව පිහිටා ඇති ස්ථානයේ ජල මට්ටම බෙහෙවින් අඩු බව ත්, ඊයේ එහි ජල මට්ටම පෙන්වන ඡායාරූපයක් ද ඔහු අප වෙත යොමු කරමින් තහවුරු කළා.

මේ දිනවල හුවමාරු වන 2024 වසරේ ඔහු විසින් පටිගත කර තිබූ වීඩියෝව ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මෙලෙසින්.
මේ අතර අප නේපාල් කරුණු විමර්ශන කණ්ඩායමෙන්( Nepal Fact Check) ද, මේ පිළිබඳ විමසීමක් කළ අතර, එහි සංස්කාරක අපට තහවුරු කළේ, සමාජ මාධ්ය වීඩියෝව පැරණි වීඩියෝවක් බවයි.
එමෙන්ම නේපාල මාධ්යවේදිනියෙකු විසින් ගංවතුර ඇති වූ දිනම(26) බුද්ධ ප්රතිමාව ගංවතුරින් යට නොවූ බව ත්, එම ප්රතිමා වහන්සේ අවට ගංගාවේ තත්ත්ව පිළිබඳ ෆේස්බුක් සජිවී වීඩියෝවක් හරහා පෙන්වා තිබූ වීඩියෝවක් ද, ඔහු අප වෙත යොමු කරනු ලැබුවා. එම වීඩියෝව පහතින්.
2026 වසරේ එනම් මෑතකදී නේපාලයට බලපෑ ගංවතුර තත්වය
2026 අගෝස්තු 26 වනදා නේපාල-ටිබෙට් දේශසීමාවේ මුහුදු මට්ටමේ සිට මීටර් 5,200ක් පමණ උසින් පිහිටි ලැන්ග්ටැන්ග් ලිරුන්ග් කඳු මුදුන ආසන්නයේ සිදුවූ දැවැන්ත ග්ලැසියර පුපුරා යාම සහ කඩා වැටීම හේතුවෙන් රික්ටර් මාපකාංක 5.2 ක ප්රබල භූ චලනයක් ද සමඟින් ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ. මෙම ව්යසනයෙන් ගැලවී ආ අයිස් සහ පාෂාණ සුන්බුන් මුලින්ම ටිබෙට් සීමාවේ පිහිටි ලෙන්ඩේ ගඟට කඩා වැටී එය තාවකාලිකව අවහිර වීමෙන් ස්වභාවික වේල්ලක් නිර්මාණය වී ඇති අතර, මිනිත්තු කිහිපයකින් එම වේල්ල දැවැන්ත පීඩනයකින් යුතුව බිඳී යාම නිසා පහළ නිම්න කරා මීටර් 10ක් පමණ උසැති මහා ජල කඳක් වේගයෙන් ගලා ගොස් තිබේ.
මෙම ජලය චීන සීමාවේ පිහිටි ටිබෙටයේ ෂිගාට්සේ කලාපයේ ගයිරොන්ග් වරාය වෙළඳ මධ්යස්ථානය මුළුමනින්ම යට කරමින්, අනතුරුව ලෙන්ඩේ ඛෝලා, භෝටේ කෝෂි සහ ට්රිෂුලි ගංගා ඔස්සේ නේපාලයේ රාසුවා දිස්ත්රික්කයේ සියාපෘබෙසි සහ ටිමූරේ ජනාවාස ද, නුවාකෝට් සහ ධාඩිං දිස්ත්රික්කවල ගංගා දෙපස පිහිටි නිවාස, වගාබිම් ඇතුළු යටිතල පහසුකම් රැසක් ද විනාශ කර තිබේ. මෙම දැවැන්ත ජල ප්රවාහය ට්රිෂුලි ගංගාව ඔස්සේ තවදුරටත් පහළට ගලා ගොස් නේපාලයේ ප්රධානතම ජල පද්ධතියක් වන නාරායණී ගඟට ද බලපා ඇත.
ප්රතිමාව පිහිටා ඇති චිත්වාන් වෙත ළඟා වන විට ජල මට්ටම පහත බැස ඇත
මෙම ප්රතිමාව පිහිටා ඇති චිත්වාන් නගරයේ ප්රධාන දිස්ත්රික් නිලධාරියාට අනුව චිත්වාන් දිස්ත්රික්කයට දැඩි අවදානමක් ප්රකාශ කර තිබුණ ද, නාරායණී ගඟේ ජල කඳ චිත්වාන් නගර සීමාවට ළඟා වන විට එහි ජල මට්ටම අනතුරුදායක සීමාව පසු කර නොතිබූ බැවින් නාගරික ප්රදේශ දරුණු ලෙස ජලයෙන් යටවීමක් සිදු වී නැත. දේව්ඝාට් ප්රදේශයේ නාරායණී ගඟේ ජල මට්ටම මීටර් 9ක් ඉක්මවීම අනතුරුදායක ලෙස සැලකේ. නමුත්, ඉහළින් පැමිණි ගංවතුර රළ චිත්වාන් වෙත ළඟා වන විට එහි උපරිම උස සටහන් වී ඇත්තේ මීටර් 6.57 – 6.80 ත් අතර අගයකි. ඉන් පසුව ජල මට්ටම වේගයෙන් පහත බැස ඇත.වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, මෑතකදී නේපාලයට බලපෑ බිහිසුණු ගංවතුර තත්ත්වයේදී බුද්ධ ප්රතිමාවක් නිරුපද්රිතව තිබෙන ආකාරය දක්වමින් හුවමාරු වන වීඩියෝව 2024 වසරේ නේපාලයට බලපෑ ගංවතුර අවස්ථාවේදී ලබාගත් පැරණි වීඩියෝවක් බවයි. අදාල බුද්ධ ප්රතිමාව නේපාලයේ චිත්වාන්හි නාරායණි ගඟ අසල පිහිටා ඇති බුද්ධ ප්රතිමාවක් වන අතර මෑතකදී නේපාලයට බලපෑ ගංවතුර තත්වය නාරායනී ගංගාවට ද බලපා ඇත.නමුත්, නාරායණී ගඟේ ජල කඳ ප්රතිමාව පිහිටා ඇති චිත්වාන් නගර සීමාවට ළඟා වන විට එහි ජල මට්ටම අනතුරුදායක සීමාව පසු කර තිබූ බැවින් නාගරික ප්රදේශ දරුණු ලෙස ජලයෙන් යටවීමක් සිදු වී නැත.



