දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්රී ලාංකික සංක්රමණික සේවකයෙකු වන සිවරාසා අනෝජන්ට, ෆේස්බුක් වීඩියෝවක් යටතේ තැබූ ප්රතිචාරයක් හේතුවෙන් සෞදි අරාබියේ අභියාචනාධිකරණය 2026 සැප්තැම්බර් 17 වන දා මරණ දණ්ඩනය නියම කළේය.
ඔහු ලංකාවේ නැගෙනහිර පළාතේ කල්මුනේ නට්පිට්ටිමුනෙයි ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු 2025 සැප්තැම්බර් මාසයේදී වඩා හොඳ අනාගතයක් සොයා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සමාගමක රැකියාවකට පිටත් විය (මෙතනින්).
පසුගිය මාස කිහිපය පුරා ශ්රී ලංකාවේ මෙන්ම ජාත්යන්තර මාධ්යවල ද අවධානයට ලක් වූ අනෝජන්ගේ නඩුවේ මරණ දණ්ඩනය සෞදි ශ්රේෂ්ඨාධිකරණය 2026 ඔක්තෝබර් 13 වන දා අවලංගු කළ බව නියෝජ්ය විදේශ අමාත්යවරයා මෙතනින් නිවේදනය කළේය.
මේ අතර අනොජන් තරුණයා නිදහස් කළ ලංකාවට රැගෙන ආ බවට අසත්ය සටහන් රැල්ලක් පහත දැක්වෙන පරිදි හුවමාරු වී තිබුණා.

කෙසේ වෙතත් අනෝජන් තවමත් නිදහස් කර නැති අතර, නඩුව මුල් අධිකරණය හමුවේ යළි විභාග වීමට නියමිත බව මෙතනින් වාර්තා වේ. ඒ වගේම, ඇත්තට මෙම නඩුවේ වත්මන් තත්වය සහ ඉදිරියේ දී අපේක්ෂා කළ හැකි තත්වයන් සම්බන්ධයෙන් කිහිපදෙනෙකුම විමසා තිබු පසුබිමක, මෙම සිදුවීමේ ආරම්භයේ සිට මේ දක්වා කාලරේඛාව සහ නඩුවට බලපෑ නීතිමය කරුණු පිළිබඳ විග්රහයක් සිදුකිරීමට අප අදහස් කළා.
Explainer (කරුණු පැහැදිලි කිරීම):
කතරගම පාද යාත්රාවේ වීඩියෝවකින් සෞදි අධිකරණය දක්වා ගිය සයිබර් ගැටුම
සිද්ධියේ ආරම්භය ලංකාවෙනි. 2026 ජූනි මාසයේදී කතරගම පාද යාත්රාවේ බැතිමතුන් සමඟ ගමන් කළ “සුබ්රමනියම්” නම් සුනඛයෙකුට කල්මුනේදී තරුණයෙකු පහර දෙන වීඩියෝවක් (Archived Link) සමාජ මාධ්යවල පැතිර ගියේය. එම සිද්ධිය සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු පොලිසිය අත්අඩංගුවට ගත් බව 2026 ජූනි 28 වන දා මෙතනින් වාර්තා විය. මෙම වීඩියෝව නිසා සමාජ මාධ්යවල ආගමික මතභේදයක් ඇති විය.
මෙම සංවාදය ෆේස්බුක් ඔස්සේ දිගින් දිගටම පැවති අතර, සුනඛයාට එල්ල වූ ප්රහාරයට සිංහල සහ දෙමළ පිරිස් විරෝධය පළ කළහ. එම විවාදය අතරතුර තවත් පරිශීලකයෙකු හින්දු දෙවිවරුන්ට අපහාස කරමින් තැබූ ප්රතිචාරයකට පිළිතුරු ලෙස, අනෝජන් 2026 ජූනි 28 වන දා ඉස්ලාම් දහමට සහ මුහම්මද් නබිතුමාට අපහාස වන ප්රතිචාරයක් (comment) දෙමළ බසින් තැබූ බව මෙතනින් සහ මෙතනින් වාර්තා වේ. එහි අන්තර්ගතය වූයේ නබිතුමාට ශාරීරිකව හානි කරන බව කියැවෙන අසභ්ය ප්රකාශයකි.

අනෝජන් ප්රතිචාරය මකා දමා ප්රසිද්ධියේ සමාව අයැද සිටියේය
තමා සෞදි අරාබියේ සිට තැබූ ප්රතිචාරය බරපතල වරදක් බව අනෝජන් ඉක්මනින් වටහා ගත් බවත්, ඔහු එය ෆේස්බුක් ගිණුමෙන් මකා දැමූ බවත් ඔහුගේ පවුලේ අය පවසති. එය මිනිත්තු 10ක් ඇතුළත මකා දැමූ බව පවුලේ අයගේ ප්රකාශයයි. එහෙත් සමාජ මාධ්යවල පැතිරුණු ස්ක්රීන්ෂොට් එකේ, ප්රතිචාරය පළ කර පැය 7ක් (“7h”) ගත වූ බව දැක්වෙන බැවින්, එය කෙතරම් ඉක්මනින් මකා දැමුවේද යන්න ස්වාධීනව තහවුරු කළ නොහැක. ඉන්පසු ඔහු සිය මුහුණ පෙනෙන සේ වීඩියෝවක් පටිගත කර, තමා අතින් සිදු වූ වරද පිළිගෙන ලොව පුරා මුස්ලිම් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව අයැද සිටියේය. ඔහු ප්රතිචාරය මකා දමා සමාව අයැදීමේ වීඩියෝවක් පළ කළ බව මෙතනින් ද සඳහන් කරයි.
Facebook | සමාව අයැදීමේ වීඩියෝව
නමුත් ප්රතිචාරය මකා දැමීමට පෙර, ලංකාවේ සිටි පිරිසක් එහි ස්ක්රීන්ෂොට් (Screenshots) ලබාගෙන තිබිණි. එම පිරිස ස්ක්රීන්ෂොට් අරාබි බසට පරිවර්තනය කර අනෝජන්ගේ සේවා ආයතනයට සහ සෞදි බලධාරීන්ට විද්යුත් තැපෑලෙන් යොමු කළ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසති. ස්ක්රීන්ෂොට් එකක් සේවා යෝජකයාට සහ සෞදි බලධාරීන්ට ලැබුණු බව මෙතනින් ද සඳහන් කරයි. ඊට පෙර සෞදි අරාබියේ කිසිවෙකු මේ ගැන දැන නොසිටි බව අනෝජන්ගේ සහෝදරයා බීබීසී සිංහල සේවයට පැවසූ බව මෙතනින් වාර්තා විය.
සේවා ආයතනය අනෝජන් අවම වශයෙන් පැය 24ක් රඳවා තබාගෙන සිටියේය
මෙම විද්යුත් තැපැල් පණිවිඩ ලැබීමත් සමඟ, අනෝජන් සේවය කළ ආයතනය ඔහු අවම වශයෙන් පැය 24ක් ආයතනය තුළ රඳවා තබාගෙන සිටි බව මෙතනින් සඳහන් කරයි. එසේ රඳවා සිටියදී අනෝජන් මෙරට දෙමළ සමාජ ක්රියාකාරිකයෙකු (activist) වන රාජ්කුමාර් රජීව්කාන්ත් දැනුවත් කළ බවත්, ඔහු හරහා අනෝජන්ගේ පවුලේ සාමාජිකයන්ට මේ බව දැනුම් දුන් බවත් රජීව්කාන්ත් අප සමඟ පැවසීය.
ඉන්පසු ආයතනය ඔහුගේ දුරකථනය ඇතුළු ඩිජිටල් උපාංග සිය භාරයට ගෙන, ඔහු දම්මාම් (Dammam) පොලිස් ස්ථානයට රැගෙන ගොස් භාර දුන් අතර, ඔහු 2026 ජූලි 1 වන දා අත්අඩංගුවට ගත් බව මෙතනින් සඳහන් කරයි. විදේශ අමාත්යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව, සෞදි පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව සේවා ආයතනය ශ්රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දුන්නේ ජූලි 2 වන දාය (මෙතනින්).
අත්අඩංගුවට ගැනීමෙන් පසු සෞදි නිලධාරීන් ඔහුගේ දුරකථනය පරීක්ෂා කර, ඔහුගේ සමාජ මාධ්ය ගිණුම් ඉවත් කිරීමට පියවර ගත් බව අනෝජන්ගේ සහෝදරයා මාධ්යයට පවසා තිබිණි. පසුව ජූලි 27 වන දා දුන් තීන්දුවෙන් ද ඔහුගේ ෆේස්බුක් ගිණුම වසා දැමීමට නියම කෙරිණි.
වසර 5ක සිරදඬුවම අභියාචනයේදී මරණ දණ්ඩනයක් බවට පත් විය
සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය (Al-Ahsa Criminal Court) 2026 ජූලි 27 වන දා සෞදි සයිබර් අපරාධ මර්දන නීතියේ (Anti-Cyber Crime Law) 6 වන වගන්තිය යටතේ අනෝජන් වරදකරු කළේය. ඔහුට අත්අඩංගුවට ගත් දින සිට ක්රියාත්මක වන වසර 5ක සිරදඬුවමක්, සෞදි රියාල් මිලියන 3ක දඩයක්, ඔහුගේ ඉලෙක්ට්රොනික උපාංගය රාජසන්තක කිරීම සහ ෆේස්බුක් ගිණුම වසා දැමීම නියම විය (මෙතනින්). නඩුව විභාග කළේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් අධිකරණයක් බවත්, නබිතුමාට අපහාස කිරීමේ චෝදනාවෙන් ඔහු නිදොස් කළ බවත්, ශරියා නීතිය යටතේ මරණ දණ්ඩනය නියම කරන ලෙස පැමිණිල්ල කළ ඉල්ලීම එම අධිකරණය ප්රතික්ෂේප කළ බවත් විදේශ අමාත්ය විජිත හේරත් පාර්ලිමේන්තුවට පැවසීය (මෙතනින්).
සෞදි රියාල් මිලියන 3ක දඩය ඇමරිකානු ඩොලර් 800,000කට පමණ සමාන බව මෙතනින් සඳහන් කරයි. එය දළ වශයෙන් ශ්රී ලංකා රුපියල් කෝටි 26කට ආසන්න මුදලකි.
අනෝජන් සිර මැදිරියේ සිටියදී පවුලේ සාමාජිකයන්ට දුරකථනයෙන් කතා කිරීමට ඔහුට අවසර ලැබී තිබූ අතර, තමාට නියම වූ දඩය සහ වසර 5ක සිරදඬුවම ගැන ඔහු ඔවුන්ට පවසා තිබිණි.
විදේශ අමාත්යවරයාට අනුව, තානාපති කාර්යාල නිලධාරියෙකු ජූලි 30 වන දා තීන්දුවේ සහතික පිටපතක් ලබාගෙන, සිරගතව සිටි අනෝජන් සමඟ දුරකථනයෙන් කතා කළේය. අභියාචනයක් සඳහා අනෝජන් සහාය ඉල්ලූ අතර, ඔහුගේ පියා අගෝස්තු 4 වන දා විධිමත් ඉල්ලීමක් කළේය. ඉන්පසු තානාපති කාර්යාලය, වසර ගණනාවක් තිස්සේ සිය නීති කටයුතු කළ සෞදි නීති උපදේශන ආයතනයක් හරහා අගෝස්තු 24 වන දා අභියාචනාධිකරණයට අභියාචනය ඉදිරිපත් කළේය (මෙතනින්). මේ සඳහා රුපියල් ලක්ෂ 20ක් පමණ වැය කළ බව අනෝජන්ගේ පවුල පවසයි. මේ දක්වා දැරූ වියදම් ද ඇතුළුව සියලු නීති වියදම් රජය දරන බව පසුව රජය නිවේදනය කළේය (මෙතනින්).
සෞදි රජයේ පැමිණිලි පාර්ශවය (Public Prosecution) ද අභියාචනයක් ඉදිරිපත් කරමින්, මෙම නඩුව සයිබර් අපරාධ නීතිය වෙනුවට ඉස්ලාමීය ශරියා නීතිය (Sharia Law) යටතේ සලකා බලන ලෙස ඉල්ලා සිටියේය. නැගෙනහිර කලාපයේ අභියාචනාධිකරණය 2026 සැප්තැම්බර් 17 වන දා එම ඉල්ලීම පිළිගෙන, නබිතුමාට වචනයෙන් අපහාස කිරීම සම්බන්ධයෙන් අනෝජන්ට “මරණ දණ්ඩනය” නියම කළේය (මෙතනින්). ලිඛිත තීන්දුව සැප්තැම්බර් 20 වන දා ලැබුණු බව විදේශ අමාත්යවරයා පැවසීය (මෙතනින්). අභියාචනාධිකරණය මෙම වරද “හද්ද්” වරදක් ලෙස නැවත වර්ගීකරණය කළ බව මෙතනින් වාර්තා කළේය.
මරණ දඬුවම ක්රියාත්මක කිරීමේ දිනයක් සෞදි බලධාරීන් ප්රකාශයට පත් කර නොතිබිණි (මෙතනින්). සෞදි අරාබිය 2025 වසරේදී අවම වශයෙන් 356 දෙනෙකුට මරණ දඬුවම ක්රියාත්මක කළ බව මෙතනින් සඳහන් කරයි.
සිරගෙදර සිටියදී අනෝජන්ට පහර දීමක් සිදු විය
මරණ දණ්ඩනය නියම වී දම්මාම් මධ්යම බන්ධනාගාරයේ රඳවා සිටියදී, 2026 ඔක්තෝබර් 5 වන දා තවත් රැඳවියෙකු කුඩා ආයුධයකින් පහර දී ඔහුගේ හිසට සහ මුහුණට තුවාල සිදු කළ බව මෙතනින් සඳහන් කරයි. කෙසේ වෙතත්, ඔක්තෝබර් 7 වන දා පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ විදේශ අමාත්යවරයා, සෞදි බන්ධනාගාර බලධාරීන් දැනුම් දුන් පරිදි, සිර මැදිරියේ රැඳවියෙකු සමඟ ඇති වූ බහින්බස්වීමකින් ඔහුගේ මුහුණට සීරීම් සහ නියපොතු තුවාල පමණක් සිදු වූ බවත්, පිහියක් හෝ වෙනත් ආයුධයක් භාවිත කර නොමැති බවත් පැවසීය (මෙතනින්). ඔක්තෝබර් 6 වන දා බන්ධනාගාරයට ගිය තානාපති කාර්යාල නිලධාරීන්ට ඔහු පෞද්ගලිකව හමු වීමට අවසර නොලැබිණි.
ඔහුගේ ජීවිතයට තර්ජනයක් හඳුනාගෙන නොමැති බවත්, ඔහු වෙනත් සිර මැදිරියකට මාරු කළ බවත් බන්ධනාගාර බලධාරීන් පැවසූහ (මෙතනින්). ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් ඔක්තෝබර් 8 වන දා ඔහු බැලීමට ගිය අතර, ඔහුගේ සෞඛ්යය යහපත් බව තානාපති කාර්යාලය පැවසීය (මෙතනින්).
මරණ දණ්ඩනය නියම වූ පසු අනෝජන්ට දුරකථන භාවිතය සීමා වූ අතර, සැප්තැම්බර් 28 වන දා සිට පවුලට ඔහුගෙන් කිසිදු පණිවිඩයක් නොලැබුණු බව පවුලේ අය පැවසූහ (මෙතනින්). සිරගෙදර ප්රහාරයෙන් පසු, බන්ධනාගාර නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අනෝජන් නිවසට දුරකථන ඇමතුමක් ලබා දී, තමාට සිදු වූ තුවාල සහ සිර මැදිරිය මාරු කළ බව හඬමින් පැවසූ බව ඔහුගේ සහෝදරයා අප කළ විමසීමේදී සඳහන් කළේය.
අනෝජන් වෙනුවෙන් ජාති, ආගම් භේදයකින් තොරව හඬ නැගුණි
මරණ දණ්ඩනය පිළිබඳ පුවත පළ වීමත් සමඟ, ජාති භේදයකින් තොරව බොහෝ දෙනා සමාජ මාධ්ය ඔස්සේ ඔහු වෙනුවෙන් හඬ නැගූහ. අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමට රාජ්යතාන්ත්රික මට්ටමින් මැදිහත් වන ලෙස දෙමළ, සිංහල සහ මුස්ලිම් සමාජ මාධ්ය පරිශීලකයින් ඉල්ලා සිටියහ.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස 2026 සැප්තැම්බර් 19 වන දා X සමාජ මාධ්ය ගිණුම හරහා, වචනයක් වෙනුවෙන් ජීවිතයක් නොගන්නා ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය (මෙතනින්). සැප්තැම්බර් 21 වන දා ඔහු අනෝජන්ගේ පවුලේ අය හමු වී, ශ්රී ලංකාවේ සෞදි තානාපතිවරයා සමඟ ද, සිරගතව සිටි අනෝජන් සමඟ ද දුරකථනයෙන් කතා කළේය (මෙතනින්).
දෙමළ සහ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක්, මානුෂීය පදනමින් අනෝජන්ට රාජකීය සමාව (Royal Clemency) ලබා දෙන ලෙස ඉල්ලා 2026 සැප්තැම්බර් 24 දිනැති ලිපියක් සෞදි විදේශ අමාත්යවරයා වෙත යොමු කළහ (මෙතනින්).
අනෝජන් සම්බන්ධයෙන් දේශපාලනඥයන් සහ මාධ්යවේදීන් සිදු කළ ප්රකාශ ලෙස සමාජ මාධ්යවල හුවමාරු වූ අසත්ය සටහන් පිළිබඳ අපගේ කරුණු විමර්ශනය මෙතනින් කියවන්න.
ජාත්යන්තර මානව හිමිකම් සංවිධාන සහ ආගමික නායකයන් සමාව ඉල්ලා සිටියහ
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) මෙතනින් සහ හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) මෙතනින් මරණ දණ්ඩනය අවලංගු කරන ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. ලංකාවේ ජ්යෙෂ්ඨ බෞද්ධ සහ හින්දු ආගමික නායකයන් හදිසි රාජ්ය මැදිහත්වීමක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් යොමු කළහ (මෙතනින්).
ශ්රී ලංකා රජය රාජ්යතාන්ත්රික සහ නීතිමය වශයෙන් මැදිහත් විය
2026 සැප්තැම්බර් 21 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක අනෝජන්ගේ දෙමාපියන් හමු වී, සමාවක් ලබා ගැනීමට රජය උත්සාහ කරන බවට සහතික විය (මෙතනින්). විදේශ අමාත්ය විජිත හේරත් සැප්තැම්බර් 22 වන දා පාර්ලිමේන්තුවේදී නඩුවේ තොරතුරු ඉදිරිපත් කරමින්, දැනටමත් දැරූ වියදම් ද ඇතුළුව සියලු නීති වියදම් රජය දරන බව පැවසීය (මෙතනින්).
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්රී ලාංකික නීති කණ්ඩායමක් සෞදි අරාබියට ගියේය (මෙතනින්).
මෙම කණ්ඩායමට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, විශ්රාමික වැඩබලන අභියාචනාධිකරණ සභාපති සහ ජෙද්දාහි හිටපු කොන්සල් ජනරාල් විනිසුරු එම්.ටී. මොහොමඩ් ලෆාර්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ හෆීස් අසාද් නවාවි, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ ෆාරිස් හෆීල් ඇතුළත් විය (මෙතනින්). ඔවුන් සෞදි නීතිඥයන් සමඟ එක්ව සෞදි නීතියට අනුකූලව ශ්රේෂ්ඨාධිකරණ අභියාචනය සකස් කළහ. අභියාචනය ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ඔක්තෝබර් 17 විය (මෙතනින්). අභියාචනය ඔක්තෝබර් 11 වන ඉරිදා ඉදිරිපත් කළ බව මෙතනින් වාර්තා විය.
2026 ඔක්තෝබර් 13 වන දා සෞදි ශ්රේෂ්ඨාධිකරණය අනෝජන්ට නියම කළ මරණ දණ්ඩනය අවලංගු කළ බව නියෝජ්ය විදේශ අමාත්ය අරුණ් හේමචන්ද්ර ඔක්තෝබර් 14 වන දා සිය සමාජ මාධ්ය ගිණුම් හරහා නිවේදනය කළේය (මෙතනින්). ශ්රේෂ්ඨාධිකරණය මරණ දණ්ඩනය මෙන්ම වසර 5ක සිරදඬුවම ද අවලංගු කළ බවත්, නඩුව යළි විභාග කිරීම සඳහා මුල් අධිකරණය වෙත යොමු කළ බවත්, අනෝජන් තවමත් නිදහස් කර නැති බවත් මෙතනින් වාර්තා කළේය. ඉතිරි නීති කටයුතු අවසන් වන තුරු රජය අනෝජන්ට සහ ඔහුගේ පවුලට සහාය දෙන බව ජනාධිපතිවරයා පැවසීය (මෙතනින්).
ශ්රී ලංකා නීති කණ්ඩායම ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ තර්ක
ශ්රේෂ්ඨාධිකරණ අභියාචනයේ ප්රධාන අරමුණ වූයේ, මෙම වරද “හද්ද්” වරදක් නොවන බව පෙන්වා දී මරණ දණ්ඩනය ඉවත් කරවා ගැනීම බව මෙතනින් වාර්තා කළේය. අභියාචනයේ පහත තර්ක ඉදිරිපත් කළ බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීති කණ්ඩායමේ තවත් නීතිඥයෙකු අප කළ විමසීමේදී සඳහන් කළහ:
- ශරියා නීති සම්ප්රදායට අනුව, අත්අඩංගුවට ගැනීමට පෙර වරද පිළිගෙන අවංකවම පසුතැවිලි වූ (Repentance) අයෙකුට “හද්ද්” යටතේ මරණ දණ්ඩනය පැනවිය නොහැකි බවත්, අනෝජන් ප්රසිද්ධියේ සමාව අයැද තිබීම සැලකිල්ලට ගත යුතු බවත්.
- ඉස්ලාම් නොවන අයෙකු නබිතුමාට අපහාස කිරීම සඳහා මරණ දණ්ඩනය නියම කිරීම පිළිබඳව ඉස්ලාමීය නීති සම්ප්රදායන් (මද්හබ්) අතර විශාල මතභේද පවතින බව.
- මුල් අපරාධ අධිකරණය එම ප්රතිචාරය සයිබර් අපරාධ මර්දන නීතියේ 6(1) වගන්තිය යටතේ “ආගමික සාරධර්මවලට හානි කරන” ද්රව්යයක් ලෙස සලකා, එම වගන්තිය යටතේ නියම කළ හැකි උපරිම දඬුවම වූ වසර 5ක සිරදඬුවම සහ රියාල් මිලියන 3ක දඩය (මෙතනින්) නියම කර තිබියදී, එම ක්රියාවටම ශරියා නීතිය යටතේ නැවත දඬුවම් කළ හැකිද යන ප්රශ්නය.
- ප්රතිචාරය පරිවර්තනය කිරීමේදී ඇති වූ දෝෂ.
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවේ හේතු ප්රසිද්ධියේ නිකුත් කර නොමැති බැවින්, අධිකරණය මෙම තර්කවලින් කුමක් පිළිගත්තේදැයි ස්වාධීනව තහවුරු කළ නොහැක.
සෞදි අධිකරණ පද්ධතිය ශරියා නීතිය මත පදනම් වේ
සෞදි අරාබියේ අධිකරණ පද්ධතිය, රෝම-ලන්දේසි සහ ඉංග්රීසි පොදු නීතිය මත පදනම් වූ ශ්රී ලංකාවේ නීති පද්ධතියට වඩා බෙහෙවින් වෙනස් ය. සෞදි අරාබියේ 1992 මූලික පාලන නීතියේ (Basic Law of Governance) 1 වන වගන්තියට අනුව, එරට ආණ්ඩුක්රම ව්යවස්ථාව වන්නේ ශුද්ධ වූ කුර්ආනය සහ නබිතුමාගේ සුන්නාව (නබිතුමාගේ වදන් හා ක්රියා පිළිබඳ සම්ප්රදාය) ය. 7 වන වගන්තියට අනුව රජය සිය බලය ලබා ගන්නේ ද ඒවායෙනි. එම නීතියේම 48 වන වගන්තියට අනුව, අධිකරණ තමන් හමුවට එන නඩුවලදී කුර්ආනය සහ සුන්නාව අනුව ඉස්ලාමීය ශරියා නීතිය ද, ඒවාට අනුකූලව පාලකයා විසින් පනවන නීති ද ක්රියාත්මක කළ යුතුය (මෙතනින් සහ මෙතනින්).
ඉස්ලාමීය අපරාධ නීති සම්ප්රදායේ වැරදි ප්රධාන කාණ්ඩ තුනකට බෙදේ (මෙතනින්). අනෝජන්ගේ නඩුවට අදාළ වූයේ ඉන් කාණ්ඩ දෙකකි:
“හද්ද්” හෝ “හුදූද්” (Hadd / Hudud) වැරදි
ඉස්ලාමීය නීති සම්ප්රදායට අනුව “දෙවියන්ගේ (අල්ලාහ්ගේ) අයිතිවාසිකම්” (Huquq Allah) උල්ලංඝනය කිරීමක් ලෙස සැලකෙන, ආගමික මූලාශ්රවලින් දඬුවම නියම කර ඇති වැරදි මීට අයත් වේ. සම්ප්රදායික මතයට අනුව, එවැනි වරදක් ඔප්පු වූ පසු විනිසුරුවරයාට, වින්දිතයාට හෝ පාලකයාට පවා දඬුවම අඩු කිරීමට හෝ සමාව දීමට නොහැකි ය. එබැවින් “හද්ද්” වරදක් අධිකරණයෙන් පිටත අභියෝගයට ලක් කිරීම ඉතා අපහසු බව මෙතනින් සඳහන් කරයි. සෞදි අභියාචනාධිකරණය අනෝජන්ගේ වරද “හද්ද්” වරදක් ලෙස නැවත වර්ගීකරණය කළ බව ද එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වෙතත්, නබිතුමාට අපහාස කිරීම “හද්ද්” වරදක්ද, නැතහොත් විනිසුරුවරයාගේ අභිමතය පරිදි දඬුවම් කරන “තාසීර්” වරදක්ද යන්න පිළිබඳව ඉස්ලාමීය නීතිවේදීන් අතර එකඟතාවක් නැත. ඉස්ලාම් නොවන අයෙකුගේ අපහාසය බොහෝ විද්වතුන් “තාසීර්” වරදක් ලෙස වර්ගීකරණය කළ බව එක් අධ්යයනයක් (මෙතනින්) පෙන්වා දෙයි.
“තාසීර්” (Ta’zir) වැරදි
ආගමික මූලාශ්රවල නිශ්චිත දඬුවමක් නියම කර නොමැති වැරදි මීට අයත් වේ. මෙහිදී දඬුවම තීරණය කිරීමේ අභිමතය විනිසුරුවරයා සතු වන අතර, රටේ පවතින ව්යවස්ථාපිත නීති ද ඊට බලපායි. සෞදි සයිබර් අපරාධ මර්දන නීතිය යටතේ වන වැරදි ද මෙම කාණ්ඩයට අයත් වේ. එම නීතියේ 6 වන වගන්තිය මරණ දණ්ඩනයක් නියම නොකරයි (මෙතනින්). එහෙත් සෞදි අධිකරණ ඇතැම් “තාසීර්” වැරදි සඳහා ද මරණ දණ්ඩනය නියම කර ඇති බව මෙතනින් පෙන්වා දෙයි.
ශ්රී ලංකා නීති කණ්ඩායම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළේ අභියාචනාධිකරණය භාවිත කළ මෙම “හද්ද්” නීතිමය පදනමයි. ශරියා නීතියට අනුව, අත්අඩංගුවට ගැනීමට පෙර වරද වටහාගෙන අවංකවම පසුතැවිලි වී සමාව ඉල්ලා ඇති අයෙකුට “හද්ද්” මරණ දණ්ඩනය පැනවිය නොහැකි බව අභියාචනයේදී තර්ක කළ බව නීතිඥයෝ අප සමඟ පැවසූහ.
ශ්රේෂ්ඨාධිකරණය මරණ දණ්ඩනය අවලංගු කළ නමුත්, එහි තීන්දුවේ හේතු ප්රසිද්ධියේ නිකුත් කර නැත. ශ්රේෂ්ඨාධිකරණය මෙම තර්ක පිළිගත් බව නීති කණ්ඩායම පවසයි. නඩුව යළි විභාග කිරීම සඳහා මුල් අධිකරණය වෙත යොමු කර ඇති බව මෙතනින් වාර්තා කළ අතර, නව දඬුවමක් නියම කිරීමේ ක්රියාවලියක් අපේක්ෂිත බවත්, එහි විෂය පථය තීරණය කිරීමට නීති කණ්ඩායම් තීන්දුව අධ්යයනය කරමින් සිටින බවත් මෙතනින් වාර්තා කළේය. නැවත විභාගය සයිබර් අපරාධ නීතියේ 6 වන වගන්තිය යටතේ පමණක් සිදු වනු ඇති බව නීති කණ්ඩායමේ අදහසයි. එය තවමත් නිල වශයෙන් තහවුරු වී නැත.
අනෝජන්ගේ නඩුවට අදාළ නොවන තුන්වන කාණ්ඩය: කිසාස් (Qisas) හෙවත් සමාන ප්රතිදඬුවම (Retaliation in kind)
“ඇසට ඇසක්, දතට දතක්” යන න්යාය මත පදනම් වූ වැරදි කාණ්ඩයයි. මිනීමැරුම් සහ ශාරීරික තුවාල සිදුකිරීම් මීට අයත් වේ. මෙහිදී මරණ දණ්ඩනය ක්රියාත්මක කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ ප්රධාන අයිතිය අගතියට පත් පාර්ශවයේ පවුලේ අයට (Victim’s Family) හිමි වේ. එම පවුලට මරණ දඬුවම ඉල්ලා සිටීමට හෝ “දියා” (Diya – Blood Money) හෙවත් වන්දි මුදලක් ලබාගෙන වැරදිකරුට සමාව දීමට හැකි ය.
ඉස්ලාම් නොවන අයෙකු නබිතුමාට අපහාස කිරීම පිළිබඳ විවිධ මතවාද පවතී
ඇතැම් ඉස්ලාමීය නීති සම්ප්රදායන්ට අනුව ඉස්ලාම් නොවන අයෙකු නබිතුමාට අපහාස කළහොත් මරණ දණ්ඩනය දීමට ප්රතිපාදන පවතී. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉස්ලාමීය නීතිවේදයේ විවිධ නීති සම්ප්රදායන් හෙවත් මද්හබ් (Schools of Jurisprudence / Madhhabs) අතර දැඩි මතභේද සහ විවිධ අර්ථකථන පවතී. මේ පිළිබඳ විස්තර මෙතනින් සහ මෙතනින් කියවිය හැක.
සුන්නි ඉස්ලාමයේ ප්රධාන නීති සම්ප්රදායන් හතරෙහි මත එකිනෙකට වෙනස් වේ
හනෆි (Hanafi) නීති සම්ප්රදාය (වඩාත් ලිහිල් මතය):
මෙම නීති සම්ප්රදායේ නිර්මාතෘ අබු හනීෆා තුමාගේ මතය වූයේ, නබිතුමාට අපහාස කිරීම වෙනුවෙන් ඉස්ලාම් නොවන අයෙකුට මරණ දණ්ඩනය දිය නොහැකි බවයි. එවැනි අවස්ථාවකදී මරණ දඬුවම වෙනුවට වාචික අවවාදයක් හෝ අත්අඩංගුවට ගැනීම, කස පහර වැනි “තාසීර්” (Ta’zir) දඬුවම් දිය හැකි බව එම සම්ප්රදායේ විද්වතුන් පවසති. නමුත් පසුකාලීන ඇතැම් හනෆි විද්වතුන්, දිගින් දිගටම ප්රසිද්ධියේ අපහාස කරන අයෙකුට පාලකයාගේ අභිමතය පරිදි මරණ දඬුවම දිය හැකි බව පැවසූහ. තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මලිකි (Maliki), ෂාෆි (Shafi’i) සහ හන්බලි (Hanbali) නීති සම්ප්රදායන් (වඩාත් දැඩි මතය):
මෙම නීති සම්ප්රදායන් තුනෙහි විද්වතුන්ගේ බහුතර මතය (ජුම්හූර් – Jumhur) වන්නේ නබිතුමාට අපහාස කරන අයෙකුට දඬුවම් කළ යුතු බවත්, පසුතැවීමක් නොමැති නම් එම දඬුවම මරණය විය හැකි බවත්ය. ඉස්ලාම් නොවන අයෙකු එසේ කිරීම ඉස්ලාමීය රාජ්යයක් සමඟ ඇති කරගන්නා ආරක්ෂණ ගිවිසුම (Dhimma) කඩ කිරීමක් ලෙස ඇතැම් විද්වතුන් සලකයි.
සමාව දීමේ වෙනස්කම්: ෂාෆි නීති සම්ප්රදායට අනුව අපහාස කළ අයෙකුගේ පසුතැවීම පිළිගනී. මලිකි මතයට අනුව ඉස්ලාම් නොවන අයෙකුට ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් දඬුවමෙන් මිදිය හැක. හන්බලි මතයට අනුව අපහාසයට මරණ දඬුවම අනිවාර්ය ලෙස සැලකේ. තොරතුරු මෙතනින් සහ මෙතනින්.
නූතන විද්වතුන්ගේ මතය (Modern Scholars):
ඇතැම් නූතන ඉස්ලාමීය විද්වතුන් සහ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, ශුද්ධ වූ කුර්ආනය ආගමික අපහාසයකට මෙලොව දඬුවමක් නියම නොකරන බවයි. මේ පිළිබඳව ද විද්වතුන් අතර මතභේද පවතී. තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අනෝජන් ඉස්ලාම් නොවන අයෙකු වීම නඩුවේ නීතිමය විවාදයට අදාළ විය
සෞදි විනිසුරුවරුන් සාමාන්යයෙන් අනුගමනය කරන්නේ හන්බලි නීති සම්ප්රදායයි (මෙතනින්). අනෝජන් හින්දු භක්තිකයෙකු වන බැවින් ඉස්ලාම් නොවන අයෙකි. අභියාචනාධිකරණය ඔහුට මරණ දණ්ඩනය නියම කළේ කුමන නීති සම්ප්රදායක මතය මත පදනම්වද යන්න, එම තීන්දුව ප්රසිද්ධියේ නොමැති බැවින් ස්වාධීනව තහවුරු කළ නොහැක.
අනෝජන් අත්අඩංගුවට ගැනීමට පෙර ප්රතිචාරය මකා දමා සමාව ඉල්ලා තිබූ බැවින්, ඉස්ලාමීය නීතියේ සහනදායී ප්රතිපාදන යටතේ ඔහුට මරණ දඬුවම දිය නොහැකි බව ශ්රී ලංකා නීති කණ්ඩායම ශ්රේෂ්ඨාධිකරණය හමුවේ තර්ක කළ බව එම නීතිඥයෝ පවසති. මෙම තර්ක ඇතුළු අනෙකුත් තර්ක ශ්රේෂ්ඨාධිකරණය පිළිගත් බව ඔවුන්ගේ අදහස වුවද, තීන්දුවේ හේතු ප්රසිද්ධියේ නිකුත් කර නැත.
අනෝජන්ගේ නඩුව තවමත් අවසන් වී නැත
සෞදි අරාබියේ වරදකරු කිරීමක් අවලංගු කර නැවත විභාග කළ නඩුවකදී දෙවැනි වරටත් මරණ දඬුවම නියම වූ අවස්ථා ද ඇත. වයස අවුරුදු 14දී අත්අඩංගුවට ගත් අබ්දුල්ලා අල්-හොවෙයිටිගේ වරදකරු කිරීම ශ්රේෂ්ඨාධිකරණය අවලංගු කළ නමුත්, නැවත විභාගයේදී ඔහුට යළිත් මරණ දණ්ඩනය නියම වූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් 2022 දී මෙතනින් පෙන්වා දුන්හ. එය මංකොල්ලයක් සහ මිනීමැරුමක් සම්බන්ධ නඩුවක් වූ බැවින් අනෝජන්ගේ නඩුවට සෘජුවම සමාන නොවේ.
නමුත් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම අප සමඟ පැවසූ පරිදි, ශ්රේෂ්ඨාධිකරණය මරණ දඬුවම නියම කිරීමට ඇති නීතිමය පදනම ඉවත් කර ඇති බැවින් ඔහුට නැවත මරණ දඬුවමක් නියම නොවිය යුතු බව ඔහුගේ අදහසයි. පහළ අධිකරණය ඉදිරියේදී නව දඬුවමක් (Fresh Sentence) නියම කිරීමට නියමිත අතර, සයිබර් අපරාධ නීතිය යටතේ උපරිම දඬුවම වසර 5ක සිරදඬුවමක් බැවින්, ඔහුට ඊට සමාන හෝ අඩු දඬුවමක් ලැබී පසුව ලංකාවට පිටුවහල් කිරීමට ඉඩ ඇති බව ද නීතිඥවරයා පැවසීය. නැවත විභාගයේ දිනයක් තවම ප්රකාශයට පත් කර නැත (මෙතනින්). සෞදි අධිකරණ ඇතැම් “තාසීර්” වැරදි සඳහා ද මරණ දණ්ඩනය නියම කර ඇති බැවින් (මෙතනින්), අවසන් තීන්දුව ලැබෙන තුරු නඩුවේ ප්රතිඵලය නිශ්චිතව කිව නොහැක.
යතුරුපුවරුවෙන් ලියන වචනයක් විදේශ රටකදී ජීවිතයට තර්ජනයක් විය හැක
අනෝජන්ගේ මරණ දණ්ඩනය අවලංගු වූයේ ශ්රී ලංකා රජයේ රාජ්යතාන්ත්රික මැදිහත්වීම, ශ්රී ලාංකික හා සෞදි නීති කණ්ඩායම්වල කටයුතු සහ විශාල නීතිමය පිරිවැයක් දැරීම මධ්යයේය. එහෙත් නඩුව තවමත් අවසන් නැත. මෙම සිදුවීමෙන් පෙනී යන ප්රධාන පාඩම වන්නේ, ඩිජිටල් අවකාශයේ අප හැසිරෙන ආකාරය ගැනත්, විදේශ රටවල පවතින ආගමික හා නීති පද්ධති ගැනත් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි. එක් මොහොතක යතුරුපුවරුවෙන් ලියන වචනයක්, තවත් රටකදී මරණ දණ්ඩනයකට හේතු විය හැකි බව අනෝජන්ගේ කතාවෙන් පෙනී යයි.
නිගමනය
සෞදි අල්-අහ්සා අපරාධ අධිකරණය 2026 ජූලි 27 වන දා සයිබර් අපරාධ මර්දන නීතියේ 6 වන වගන්තිය යටතේ සිවරාසා අනෝජන්ට වසර 5ක සිරදඬුවමක් සහ රියාල් මිලියන 3ක දඩයක් නියම කළ අතර, පැමිණිල්ලේ අභියාචනයෙන් පසු නැගෙනහිර කලාපයේ අභියාචනාධිකරණය සැප්තැම්බර් 17 වන දා ඔහුට මරණ දණ්ඩනය නියම කළේය. සෞදි ශ්රේෂ්ඨාධිකරණය ඔක්තෝබර් 13 වන දා එම මරණ දණ්ඩනය අවලංගු කළ බව නියෝජ්ය විදේශ අමාත්යවරයා නිවේදනය කළේය. නඩුව යළි විභාගයට යොමු කර ඇති අතර, ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවේ හේතු ප්රසිද්ධ කර නැත. මෙම තොරතුරු හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ප්රකාශය, විදේශ අමාත්යවරයා පාර්ලිමේන්තුවට කළ ප්රකාශ, නියෝජ්ය විදේශ අමාත්යවරයාගේ නිවේදනය, සෞදි සයිබර් අපරාධ මර්දන නීතිය සහ මූලික පාලන නීතිය මගින් තහවුරු වේ.
සටහන: නැවත විභාගයේ ප්රතිඵලය ලැබුණු විට අපි මෙම ලිපිය යාවත්කාලීන කරන්නෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube



