Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අලි පැටියා කඩයෙන් ගත් කෙසෙල් ගෙඩි, අලි අම්මා ආපසු තබන සත්‍ය දර්ශන පෙළක් ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-11-03
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර අයිනේ කඩයකින් කෙසෙල් ගන්නා අලි පැටියෙකු සහ ඒවා ආපසු කඩයේ තබන මව් ඇතින්නක් දැක්වෙන තත්පර 12 ක CCTV ආකාරයේ වීඩියෝවක් ඔක්තෝබර් 28 වන දින සිට ශ්‍රී ලංකාවේ සහ විදෙස් සමාජ මාධ්‍යවල හුවමාරු වේ. එය බොහෝ දෙනා බෙදා ගන්නේ “සොබාදහමෙන් ලැබෙන පාඩමක්” ලෙස ය. මෙම වීඩ

    පාර අයිනේ කඩයකින් කෙසෙල් ගන්නා අලි පැටියෙකු සහ ඒවා ආපසු කඩයේ තබන මව් ඇතින්නක් දැක්වෙන තත්පර 12 ක CCTV ආකාරයේ වීඩියෝවක් ඔක්තෝබර් 28 වන දින සිට ශ්‍රී ලංකාවේ සහ විදෙස් සමාජ මාධ්‍යවල හුවමාරු වේ. එය බොහෝ දෙනා බෙදා ගන්නේ “සොබාදහමෙන් ලැබෙන පාඩමක්” ලෙස ය.

    මෙම වීඩියෝව මුලින්ම පළ වූයේ කොතැනද, එහි ඇති දර්ශන සැබෑ කැමරා දර්ශන ද යන්න අප පරීක්ෂා කළෙමු.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “සොබාදහමෙන් මිනිසුන්ට පාඩමක්… අලි පැටියා කඩයකින් කෙසෙල් ගන්නවා. අලි අම්මා ඒවා ආපසු තියනවා.” යන තේමාවෙන් ඔක්තෝබර් 28 වන දින පළ වූ මෙම වීඩියෝවේ සටහන,”තිරිසන් සතෙකුටත් තම පැටවාට නිවැරදි මඟ කියා දෙන්න පුළුවන් නම්” මිනිසාට එය නොහැක්කේ ඇයි දැයි ප්‍රශ්න කරයි. එනම් මෙය සැබෑවටම සිදු වූවක් ලෙස ඉදිරිපත් කර ඇත.

    Facebook 1 | Facebook 2 | Archived 1 | Archived 2

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය :

    පාර අයිනේ කඩයකින් කෙසෙල් ගත් අලි පැටියෙකුගෙන් ඒවා ලබාගෙන, මව් ඇතින්න ඒවා ආපසු කඩයේ තැබූ සැබෑ සිදුවීමක් CCTV කැමරාවක සටහන් වී ඇති බව.

    Fact Check (කරුණු පරීක්ෂාව) :

    වීඩියෝව මුලින්ම පළ වූයේ “සියලු වීඩියෝ AI” යැයි කියන TikTok ගිණුමකිනි

    Facebook හි පළ වූ වීඩියෝවේ මැද කොටසේ “TikTok @nature.love636” යන watermark එක පැහැදිලිව පෙනේ. ඒ ඔස්සේ සෙවීමේදී, nature.love.ai නමින් ඇති TikTok ගිණුමට අප පැමිණියෙමු. එහි විස්තරයේම “All the Videos are Ai Generated” (සියලු වීඩියෝ AI මඟින් නිර්මාණය කළ ඒවා ය) යනුවෙන් සඳහන් වේ. එම ගිණුම එක්සත් රාජධානිය ලෙස සඳහන් කර ඇති අතර, අනුගාමිකයින් මිලියන 1.3 ක් පමණ සිටී.

    එම ගිණුමේ “Mom Teach a good Lession for young Lad !!!” යන ශීර්ෂය සමඟ මෙම වීඩියෝව පළ කර ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් ඔක්තෝබර් 28 පාන්දර ය. නොවැම්බර් 2 වන විට එය මිලියන 2.4 ක් පමණ නරඹා ඇත. TikTok විසින්ම එම වීඩියෝවට “Contains AI-generated media” ලේබලය එක් කර ඇත. 

    මුල් TikTok වීඩියෝව: 

    Facebook සටහනේ සහ TikTok වීඩියෝවේ එකම මොහොතේ රාමු (තත්පර 4 පමණ) පහත සංසන්දනය කර ඇත. වීඩියෝ දෙකම තත්පර 12 ක් දිග වන අතර, දර්ශන එක සමාන ය. Facebook පිටපතේ ඇති TikTok watermark එකෙන් පෙනෙන්නේ එය TikTok වෙතින් බාගත කර නැවත පළ කළ බවයි.

    වීඩියෝව තුළම AI නිර්මාණයක සලකුණු පෙනේ

    අලි පැටියා කටේ තබාගෙන සිටින කෙසෙල්වල ප්‍රමාණය සහ හැඩය තත්පරයෙන් තත්පරය වෙනස් වේ. තත්පර 1.2 දී කඩයේ ගොඩෙන් කෙසෙල් කිහිපයක් සහිත කැනක් ඇද ගන්නා පැටියාගේ කටේ, තත්පර 3 දී ඇත්තේ කෙසෙල් දෙකක් පමණි. තත්පර 4 දී එය විශාල කෙසෙල් ගෙඩියක් බවට පත් වන අතර, තත්පර 7 දී මව් ඇතින්න ආපසු තබන්නේ එක් කෙසෙල් ගෙඩියක් පමණි. සැබෑ කැමරා දර්ශනයක එවැනි වෙනසක් සිදු නොවේ.

    AI හඳුනාගැනීමේ මෙවලම ද එය AI නිර්මාණයක් ලෙස හඳුනා ගනී

    මුල් TikTok වීඩියෝවේ රාමුවක් AI-generated image identification මෙවලමක් හරහා පරීක්ෂා කළ විට, එය AI මඟින් නිර්මාණය කළ එකක් වීමේ සම්භාවිතාව 99% ක් ලෙස පෙන්වීය. මෙවැනි මෙවලම් ප්‍රතිඵල ආධාරක සාක්ෂියක් පමණි. තීරණාත්මක සාක්ෂිය වන්නේ නිර්මාණකරුගේ ගිණුමම සහ TikTok ලේබලයම මෙය AI බව පිළිගැනීමයි.

    මෙවැනි වීඩියෝවක් හමු වූ විට, watermark එකේ ඇති ගිණුම සොයා බැලීම, එම ගිණුමේ විස්තරය සහ අනෙක් වීඩියෝ කියවීම, වස්තූන්ගේ හැඩය වෙනස් වන්නේ දැයි රාමුවෙන් රාමුව බැලීම සහ CCTV දිනය හා වේලාව පරීක්ෂා කිරීම ප්‍රයෝජනවත් වේ.

    අලි කඩවලට පැමිණීම සැබෑ සිදුවීම් වුවත්, මෙම දර්ශනය එසේ නොවේ

    වන අලි ආහාර සොයා කඩවලට පැමිණීම නම් සිදුවන දෙයකි. 2025 ජූනි 2 වන දින තායිලන්තයේ Khao Yai ජාතික වනෝද්‍යානය අසල වෙළඳසැලකට ඇතුළු වූ අලියෙකු වියළි කෙසෙල් ඇතුළු කෑම ද්‍රව්‍ය අනුභව කළ අයුරු වාර්තා විය (මෙතනින්). මෙරට බුත්තල කතරගම මාර්ගයේ “රාජා” ලෙස හඳුන්වන අලියා වාහන නවත්වා පලතුරු ඉල්ලන ආකාරය ද වාර්තා වීඇත (මෙතනින්).

    එබැවින් මෙම වීඩියෝව බොහෝ දෙනාට විශ්වාස කළ හැකි ලෙස පෙනීම පුදුමයක් නොවේ. එහෙත් ගත් කෙසෙල් මව විසින් ආපසු “තැබූ තැනටම” තබන මෙවැනි සිදුවීමක් පිළිබඳ කිසිදු පුවත් වාර්තාවක් සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යවලින් අපට හමු නොවීය. වීඩියෝවේ කතාව ගොඩනඟා ඇත්තේ “අවංකභාවය” පිළිබඳ මිනිස් පණිවිඩයක් වටා ය.

    ඉන්දියාවේ පොලිසිය පවා එය “පාඩමක්” ලෙස බෙදා ගෙන තිබේ

    ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පොලිසිය ද අවංකභාවය පිළිබඳ පණිවිඩයක් ලෙස මෙම වීඩියෝව X හි පළ කළ අතර, එය AI වීඩියෝවක් බව සඳහන් නොකිරීම පිළිබඳව පරිශීලකයින් විවේචනය කළ බව ඔක්තෝබර් 31 වන දින වාර්තා විය (මෙතනින්).

    හුරුබුහුටි සතුන්, හැඟීම්බර “පාඩමක්” සහ CCTV පෙනුම එකතු වූ විට, මෙවැනි වීඩියෝ ඉක්මනින් පැතිරෙයි. බොහෝ දෙනා එය බෙදා ගන්නේ පණිවිඩය නිසා මිස එහි සත්‍යතාව පරීක්ෂා කිරීමෙන් නොවේ.

    මෙවැනි සත්ත්ව “කතා” අප කලින් ද පරීක්ෂා කර ඇත

    දැන්වීමක ඇති එළදෙනකගෙන් කිරි බීමට උත්සාහ කරන වසු පැටියෙකු දැක්වෙන AI වීඩියෝව පිළිබඳ අපගේ වාර්තාව මෙතනින්. ගංවතුරෙන් බේරීමට අලියෙකු පිට දිවියෙකු නැග සිටින බව කියූ AI වීඩියෝව ගැන මෙතනින්.

    දිවියෙකු සහ එළදෙනක් අතර “මව් සෙනෙහස” ගැන පැතිරුණු වැරදි අර්ථකථනය ගැන මෙතනින්. සිංහ පැටියෙකු හොඬවැලේ රැගෙන යන අලියාගේ සංස්කරණය කළ ඡායාරූපය ගැන මෙතනින්. කොටි මව සහ ඌරු පැටවුන්ගේ කතාව ගැන මෙතනින්. කාවන්තිස්සගේ පැටවුන් අට දෙනා ලෙස පැතිරුණු චීන අලි රංචුවේ ඡායාරූපය ගැන මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය (Conclusion) :

    අලි පැටියා කඩයෙන් ගත් කෙසෙල් මව් ඇතින්න ආපසු තබන බව දැක්වෙන වීඩියෝව සැබෑ CCTV දර්ශනයක් නොව, “සියලු වීඩියෝ AI” යැයි ප්‍රකාශ කරන nature.love.ai TikTok ගිණුම ඔක්තෝබර් 28 වන දින පළ කළ AI වීඩියෝවකි. TikTok ද එයට AI ලේබලය එක් කර ඇති අතර, වීඩියෝව තුළ කෙසෙල්වල හැඩය වෙනස් වීම සහ AI මෙවලම් ප්‍රතිඵල ද එය තහවුරු කරයි.

    වන අලි ආහාර සොයා කඩවලට පැමිණීම සැබෑ සිදුවීම් වුවත්, මෙම වීඩියෝවේ දැක්වෙන සිදුවීම කිසිදු ස්ථානයක සිදු වූ බවට සාක්ෂියක් නැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-11-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.