දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිල අසල පිහිටි Barista අවන්හලට දෙමළ අන්තවාදීන් පිරිසක් කඩා වැදී “සිංහල ව්යාපාර එපා” යැයි කියමින් තර්ජනය කර එය වසා දැමූ බවට පවසන පෝස්ට් සහ වීඩියෝ කිහිපයක් මේ දිනවල සමාජ මාධ්යවල බහුලව සංසරණය වෙමින් පවතී. ජනවාර්ගික අවිශ්වාසය, ජාතීණ් අතර වෛරය අවුළුවන මෙම ප්රකාශවල සත්යාසත්යතාව සොයා බැලීමට අප සිදුකළ කරුණු විමර්ශනයක් පහත දැක්වේ.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“මස් වර්ග සහිත ආහාර විකුණුවා සිංහල ව්යාපාර යාපනයට එපා! කියමින් දෙමළ අන්තවාදීන් පිරිසක් BARISTA අවන්හලට කඩාවදී.. දැන් කොහොමද මුන්ගේ සද්දේ?” යන සිරස්තලය සහිතව 2026 ඔක්තෝබර් 5 වන දින පමණ සමාජ මාධ්යවල බෙදාහැරුණු වීඩියෝව පහත දැක්වේ.
එමෙන්ම, මෙය Barista ව්යාපාරයට සිදු වූ අසාධාරණයක් බවත්, එම සිදුවීම කිසිදු ප්රධාන ධාරාවේ මාධ්යයක් වාර්තා නොකළ බවත් පවසමින් තවත් සටහන් කිහිපයක් සංසරණය වූයේ මෙසේය.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මෑතකදී යාපනයේ Barista අවන්හලකට එරෙහිව විරෝධතාවක් හෝ ගැටුමක් සිදු වී ඇතැයි ප්රධාන ධාරාවේ මාධ්ය වාර්තා කර තිබේදැයි අප පරීක්ෂා කළ නමුත්, එවැනි පුවතක් දැකගන්නට නොලැබුණි.
එබැවින්, සමාජ මාධ්ය හරහා හුවමාරු වන වීඩියෝවේ රූප රාමු අපි Reverse Image සෙවුමකට යොමු කරනු ලැබී ය.
මෙය 2025 මැයි මාසයේ සිදු වූ විරෝධතාවකි
ඒ අනුව අනාවරණය වූයේ, මෙම වීඩියෝව 2025 මැයි 20 වන දින යාපනයේ පේදුරුතුඩුව මාර්ගයේ, යාපනය මහ නගර සභාව අසල නල්ලූර් කන්දස්වාමි කෝවිලට ආසන්නයේ විවෘත කරන ලද Barista කෝපි හලට එරෙහිව පැවති විරෝධතාවක දර්ශන බවයි. එම විරෝධතාවේ දර්ශන අඩංගු වීඩියෝවක් YouTube නාලිකාවක් හරහා පළ වී තිබුණා.
විරෝධතාවට හේතුව වූයේ, එම ශාඛාවේ මස් සහ මාංශ අඩංගු ආහාර අලෙවි කිරීමයි. කෝවිල් භූමියේ පූජනීයත්වයට සහ සම්ප්රදායික පසුබිමට එයින් බාධා වන බවට ශෛව ආගමික සංවිධාන සහ බැතිමතුන් තර්ක කරනු ලැබීය. ඒ අනුව ඔවුන් 2025 මැයි 20 වන දින සවස නල්ලූර් කෝවිල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට කැඳවුම් කළ අතර, මැයි 21 වන දින 450කට අධික පිරිසක් අත්සන් කළ පෙත්සමක් යාපනය මහ නගර සභා කොමසාරිස්වරයා වෙත භාර දෙන ලදී.
2025 මැයි 22 වන දින යාපනය මහ නගර සභාව එම අවන්හල ඉදිරිපිට තිබූ නාම පුවරුව ඉවත් කරනු ලැබීය. අවන්හල නගර සභාවේ අවසරයකින් තොරව ආරම්භ කර ඇති බවට වාර්තාවන් දමිළ බසින් පළ කර ඇති අතර, නිසි බලපත්රයක් ලබා ගන්නා ලෙස දැනුම් දෙමින් පුවරුව ඉවත් කළ බව ද පැවසේ.
එම විරෝධතා හමුවේ, ප්රජාවේ ආගමික හැඟීම්වලට ගරු කරමින් නල්ලූර් ශාඛාවේ නිර්මාංශ ආහාර සහ පානවර්ග පමණක් අලෙවි කරන බව Barista ආයතනය මුලින් ප්රකාශ කර තිබුණා. එහෙත් එම ශාඛාව 2025 සැප්තැම්බර් 3 වන විට ස්ථිරවම වසා දමා තිබුණි. ඊට පෙර, 2025 ජූලි 21 වන දින Barista ආයතනය යාපනයේ තවත් අවන්හලක් විවෘත කළ බව දැන්වූ අතර, එය දැනට පවතින Cargills Square පරිශ්රයේ ශාඛාවයි.
එවකට Barista ආයතනය නිර්මාංශ ආහාර පමණක් සපයන බව පෙන්වමින් පළ වූ සමාජ මාධ්ය සටහනක් සහ නගර සභාව නාම පුවරුව ඉවත් කිරීම වාර්තා කළ තවත් සටහනක්.
යාපනය Cargills Square පරිශ්රයේ ඇති Barista අවන්හලට විරෝධතාවක් එල්ල වුණාද?
Barista Coffee Lanka (Pvt) Ltd ආයතනයේ ප්රධාන කාර්යාලයෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර, එහි අලෙවිකරණ අංශය තහවුරු කළේ මෑතකදී යාපනයේ Barista ශාඛාවක් වෙත විරෝධතාවක් එල්ල වී නොමැති බවයි. 2025 වසරේ විරෝධතාවක් එල්ල වූ නල්ලූර් ශාඛාව ප්රදේශයේ පැවති විරෝධය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත්, දැනට යාපනයේ පවතින්නේ Cargills Square පරිශ්රයේ ශාඛාව පමණක් බවත් ඔවුන් තහවුරු කරනු ලැබීය.
යාපනය පොලීසිය/ ප්රාදේශීය මාධ්යවේදීන්
අප කළ විමසීමට පිළිතුරු දෙමින් යාපනය පොලීසිය මෙන්ම යාපනයේ ප්රාදේශීය මාධ්යවේදීහුද තහවුරු කළේ, Barista අවන්හලට එරෙහිව මෑතකදී විරෝධතාවක් ඇති වී නොමැති බවයි. පසුගිය වසරේ විරෝධතාව ඇති වූයේ කෝවිල් භූමියට මීටර් 400ක් පමණ දුරින් මස්, මාළු අඩංගු ආහාර අලෙවි කිරීමට එරෙහිව බවත්, පසුව Barista ආයතනය එම අවන්හල යාපනයේ වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
2025 විරෝධතාව ගැන මාධ්ය තොරතුරු වාර්තා කර නැද්ද?
ඉහත සමාජ මාධ්ය සටහන් වල පෙන්වා දෙන පරිදි ප්රධාන මාධ්ය මේ පිළිබඳ වාර්තා කර නැති බව යන ප්රකාශය ද, නොමග යන සුළු වන අතර 2025 මැයි මාසයේ පැවති විරෝධතා ගැන දෙමළ භාෂා මාධ්ය විරෝධතා කැඳවීම, නාම පුවරුව ඉවත් කිරීම, අවන්හල නිර්මාංශ බවට පත් කිරීම සහ පෙත්සම් භාර දීම මෙන්ම දමිළ ශෛව පේරවෛ (Tamil Saiva Peravai) සංවිධානය ඉහත අවන්හල වසා දමන ලෙස ඉල්ලා 2025 මැයි 24 දින උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමු වීම වැනි සවිත්රාත්මක තොරතුරු පිළිබඳව ද වාර්තා කර තිබුණා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, යාපනයේ Barista අවන්හලක් “සිංහල ව්යාපාරවලට එරෙහි දෙමළ අන්තවාදීන්ගේ තර්ජන නිසා” වසා දැමූ බවට සමාජ මාධ්යවල පළවන වාර්තා නොමඟ යවන සුලු බවයි.
එම වීඩියෝව මෑතක සිදුවීමක් නොව 2025 මැයි 20 වන දින නල්ලූර් කන්දස්වාමි කෝවිල අසල පැවති විරෝධතාවකි. එම විරෝධතාව පැවැත්වුණේ පූජනීය කෝවිල් භූමියක් අසල මස් මාංශ අඩංගු ආහාර අලෙවි කිරීමට එරෙහිව ශෛව ආගමික සංවිධාන සහ ප්රදේශවාසීන් විසිනි. ජනවාර්ගික හෝ “සිංහල ව්යාපාර” විරෝධී ස්වරූපයක් ඊට තිබූ බවට කිසිදු වාර්තාවක් අපට හමු නොවීය.
නල්ලූර් ශාඛාව 2025 සැප්තැම්බර් මුල දී ස්ථිරවම වසා දැමුව ද Barista ආයතනය යාපනයෙන් පළවා හැර නැත. ඔවුන් වර්තමානයේද Cargills Square පරිශ්රයේ අවන්හලක් පවත්වාගෙන යන අතර, එයට මෑතකදී විරෝධතාවක් එල්ල වී නොමැති බව ආයතනය, යාපනය පොලීසිය සහ ප්රාදේශීය මාධ්යවේදීහු තහවුරු කරයි.
එබැවින්, ජාතීන් අතර වෛරය පතුරුවන මෙවැනි පැරණි සහ නොමඟ යවන තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ෂෙයාර් කිරීමෙන් වළකින්න!



