ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා 2026 ඔක්තෝබර් 10 වනදා මහනුවර දළදා මාලිගාව අසලින් ඇරඹි “සිවුරට යුක්තිය” පාගමන ඔක්තෝබර් 15 වනදා කොළඹට ළඟා වූණා. ඉන් දෙසතියකට පමණ පසු, ඔක්තෝබර් 30 වනදා, නාගයෙකුගේ රුව කැටයම් කළ ලී බස්තමක් අතැතිව, අව් කණ්ණාඩියක් පැළඳි “රත්නපුර බෝධිධම්ම හිමි” නමින් හැඳින්වෙන භික්ෂුවක් “සිංහල බෞද්ධයා එකතු කිරීමේ පාගමන” නමින් මහනුවර සිට කොළඹ බලා පාගමනක් ආරම්භ කළා.
එදිනම, මෙම භික්ෂුව සැබෑ භික්ෂුවක් නොව පොහොට්ටුවේ හිටපු අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ බව කියමින් සටහන් සමාජ මාධ්‍යයේ පැතිරෙන්නට විය. අප මෙම ඡායාරූප දෙකේ සිටින පුද්ගලයන් දෙදෙනා සැබවින් ම එක් අයෙක් ද, නැත්තනම් දෙදෙනෙක් ද, යන්න පිළිබඳව පරීක්ෂා කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මාධ්‍ය සටහනක වම් පසින් සුදු ඇඳුමින් වැඳ සිටින පුද්ගලයෙකුත්, දකුණු පසින් රූපවාහිනී නාලිකාවල මයික්‍රෆෝන ඉදිරියේ නාග බස්තමක් අතැතිව සිටින භික්ෂුවකුත් දක්වමින්, “නයි බස්තමක් අතින් අරන් චීවරයක් දරාගෙන පැමිණ තිබෙන්නේද පහනට තෙල් ජාතික ව්‍යාපාරය නමින් රාජපක්ෂලාට කඩේ ගිය, ඇල්පිටියේදී කුරුඳු පොලු වලින් ගසා එළවූ ග්‍රේෂන් කෙරමිණියගේ බව” යනුවෙන් සඳහන් කළ සටහනක් පළ වී තිබුණා.
තවත් සටහන්වල 2021 පුවත් දර්ශනයකින් ගත් ග්‍රේෂන් කෙරමිණියගේ මහතාගේ ඡායාරූපයක් පාගමනේ යෙදෙන භික්ෂුවගේ ඡායාරූපයක් සමගින් සංසන්දනය කොට “පහනට තෙල් වෙදා ‘ග්‍රේෂන්’ මෙවර චීවරධාරියකු ලෙස” යනුවෙන් ද, රාජපක්ෂවරුන්ගේ ඡායාරූප සමඟ “පැය හයක් ගියේ නෑ … ගේමත් මාට්ටු” යනුවෙන් ද පළ කර තිබුණා. එක් වෙබ් අඩවියක් මෙය “තහවුරු වී ඇති” කරුණක් ලෙස ලිපියක් ද පළ කර තිබුණේ මෙලෙසින්.



Facebook 1 | Facebook 2 | Facebook 3 | Facebook 4 |
විමර්ශනයට ලක් කළ ප්‍රකාශය :
2026 ඔක්තෝබර් 30 වනදා නාග බස්තමක් අතැතිව මහනුවර සිට කොළඹට පාගමන ආරම්භ කළ භික්ෂුව, පොහොට්ටුවේ හිටපු අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී සහ “පහනට තෙල්” ව්‍යාපාරයේ නිර්මාතෘ ග්‍රේෂන් කෙරමිණියගේද, යන්න.
Fact Check (කරුණු පරීක්ෂාව) :
වම් පස සිටින්නේ “පහනට තෙල්” ව්‍යාපාරයේ ග්‍රේෂන් කෙරමිණියයි
ග්‍රේෂන් කෙරමිණියගේ රට පුරා කතාබහට ලක් වූයේ 2021 දී. එවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අම්බලන්ගොඩ නාගරික සභා මන්ත්‍රීවරයෙකු වූ ඔහු “පහනට තෙල්” නමින් ව්‍යාපාරයක් නියෝජනය කළ අයෙක් වේ. 2021 අප්‍රේල් 05 වනදා බටපොල නගරයේ තනිව විරෝධතාවයක යෙදී සිටියදී, පොදුජන පෙරමුණේම ප්‍රාදේශීය දේශපාලනඥයන් දෙදෙනෙකු ඔහුට එරෙහි වුණා.
ඒ පිළිබඳව පළ වූ පුවත් වාර්තාවේ වීඩියෝවක ඉහත සමාජ මාධ්‍ය සටහන දැක්වෙන ඔහුගේ ඡායාරූපයේ “ග්‍රේෂන් කෙරමිණියගේ, පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ, පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී” යන නාම පුවරුවත් සමඟ ඔහුගේ මුහුණ පැහැදිලිව දැකගත හැකියි. වීඩියෝව මෙතනින්. සමාජ මාධ්‍ය ඡායාරූප සටහනේ වම් පස ඡායාරූපයේ සිටින්නේ ද මේ පුද්ගලයා බව මුහුණේ ලක්ෂණ සැසඳීමෙන් පෙනී යනවා.

ග්‍රේෂන් කෙරමිණියගේ ඔක්තෝබර් 31 වනදා බළපිටියේදී සිවිල් ඇඳුමින්
ඔක්තෝබර් 31 වනදා උදෑසන ෆේස්බුක් පරිශීලකයෙකු ග්‍රේෂන් කෙරමිණියගේ සමඟ ගත් ඡායාරූපයක් පළ කරමින්, එය “මොහොතකට පෙර” බළපිටිය ප්‍රාදේශීය සභාවේදී ගත් බව ත්, ඔහු දැන් දේශපාලනයෙන් ඉවත්ව එහි සේවය කරන බව ත් සඳහන් කරමින් සටහනක් පළ කර තිබුණේ, මෙලෙසින්. ඡායාරූපයේ ජැකට්ටුවක් ඇඳ සිටින පුද්ගලයාගේ මුහුණ 2021 පුවත් දර්ශනයේ සිටින ග්‍රේෂන් කෙරමිණිය බවට දැක ගන්නට ලැබෙනවා.

ග්‍රේෂන් කෙරමිණිය පැවදි වූ බවට දක්වා තිබුණේ, “රත්නපුර බෝධිධම්ම හිමි”වේ
ඔක්තෝබර් 30 වනදා පාගමන ආරම්භ කළ අවස්ථාවේ දර්ශන, දිනය සහිතව, ප්‍රවෘත්ති පිටුවක පළ වූයේ මෙලෙසින්. “නාග යෂ්ටියකුත් අතට අරන්, රත්නපුර බෝධිදම්ම හිමි නුවරින් කොළඹ බලා පාගමන අරඹයි” යනුවෙන් එහි සඳහන් වුණා.

හිමියන් සභාපතිත්වය දරන “බෝධිධම්ම මානව අවිහිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය” නමින් වන ෆේස්බුක් පිටුව මෙතනින්. එහි 2025 ජූනි මාසයේ සිටම සටහන් පළ වී ඇති අතර, 2025 ජූලි මාසයේ පළ වූ පෝස්ටරයක ද 2026 ජනවාරි මාසයේ බෙදාගත් වීඩියෝවක ද මෙම භික්ෂුව “රත්නපුර බෝධිධම්ම හාමුදුරුවෝ” ලෙස සිවුරු දරා පෙනී සිටිනවා. එනම් මේ පාගමනට මාස ගණනාවකට පෙර සිටම ඔහු භික්ෂුවක් ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිට ඇති බව මින් තහවුරු වේ.

මුහුණු සැසඳීම
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් බෝධිධම්ම හිමියන් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
එමෙන් ම සමාජ මාධ්‍ය ඡායාරූප සටහන් වල භික්ෂුව අව් කණ්ණාඩියක් පැළඳ සිටින හේතුවෙන් මුහුණ පැහැදිලිව දැක ගන්නට නොලැබේ. නමුත් ඔක්තෝබර් 31 වනදා පළ වූ සම්මුඛ සාකච්ඡාවකදී හිමියන් කණ්ණාඩිය ගලවා කැමරාවට මුහුණ පෙන්වන (විනාඩි 15:58 සිට 16:13 දක්වා) අතර එහිදී හිමියන් සහ ග්‍රේෂන්ගේ රුව අතර සැබෑ වෙනස් කම් දැක ගන්නට ලැබේ.


පහත දැක්වෙන්නේ 2021 සහ 2026 ග්‍රේෂන් කෙරමිණියගේ ඡායාරූප දෙකක්, අව් කණ්ණාඩි ගැලවූ බෝධිධම්ම හිමියන්ගේ මුහුණ සමඟ සැසඳීමයි. මුහුණේ හැඩය, නාසය, දෙතොල්, දත් සහ කන්වල හැඩය අතර පැහැදිලි වෙනස්කම් දැකගත හැකියි. හිස මුඩු කිරීම සහ අව් කණ්ණාඩි නිසා සිහින් සිරුරක් ඇති දෙදෙනෙකු එක හා සමාන ලෙස පෙනිය හැකි බව සැබෑවක් වුවද, මෙහි සිටින්නේ පුද්ගලයන් දෙදෙනෙකු බව මින් පැහැදිලිව දැක ගන්නට ලැබේ.

“ග්‍රේෂන් කෙරමිණියගේ කියන නම අද තමයි දැනගත්තේ” – බෝධිධම්ම හිමි
ඔක්තෝබර් 30 වනදාම හිමියන්ගේ සංවිධානයේ පිටුවේ “නිල මාධ්‍ය ප්‍රකාශය” නමින් වීඩියෝවක් පළ කරමින්, තමන් සම්බන්ධයෙන් පතුරුවන අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රචාර ගැන නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණා.
ඔක්තෝබර් 31 වනදා යූටියුබ් නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී හිමියන් පවසා සිටියේ, ග්‍රේෂන් කෙරමිණියගේ නමින් කෙනෙකු ගැන තමන් දැනගත්තේ එදිනම බව ත්, සමාජ මාධ්‍යයේ පළ වූ සටහන් තම ඡායාරූපය යොදාගෙන සකස් කළ ඒවා බව ත්ය. සැකයක් ඇති අයට නීතිමය ලෙස පරීක්ෂණයක් කිරීමට තමන් සූදානම් බව ත්, කණ්ණාඩිය ගලවා තමන්ගේ මුහුණ පෙන්වීමට කැමති බව ත් ඔහු එහිදී කියා සිටියා.
ග්‍රේෂන් කෙරමිණියගේ
අප මේ පිළිබඳව විමසීමට ග්‍රේෂන් කෙරමිණියගේ මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, තමන් හා පූජ්‍ය බෝධි ධම්ම හිමියන් පටවලවා ගනිමින් අසත්‍ය තොරතුරක් සමාජ ගත වන බව ත්, තමන් මේ වන විට බලපිට ප්‍රාදේශීය සභාවේ රාජකාරී කරන බවත් ය. තමන් දේශපාලනයෙන් ඈත්ව මේ වන විට කටයුතු කරන බව ත්, ඔහු වැඩිදුරටත් අප සමගින් පවසා සිටියා.
මෙම ප්‍රකාශය පැතිරුණේ ඇයි?
ග්‍රේෂන් කෙරමිණියගේ නම් පුද්ගලයා පුද්ගලයෙකු සැබවින්ම සිටින අතර, ඔහු පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් බවත් “පහනට තෙල්” ව්‍යාපාරය නියෝජනය කළ බවත් ඉහත පුවත් වාර්තාවෙන් තහවුරු වෙනවා. 2021 දී ඔහුගේ අමුතු ප්‍රකාශ සහ විරෝධතා නිසා ඔහු සමාජ මාධ්‍යයේ උපහාසයට ලක් වූ චරිතයක් වුණා. ඥානසාර හිමියන් වෙනුවෙන් වූ පාගමනෙන් දින කිහිපයකට පසු, අව් කණ්ණාඩි සහ නාග බස්තමක් සහිතව, ඉතා කුඩා පිරිසක් සමඟ ඇරඹුණු මේ පාගමන ද එවැනිම උපහාසයකට ලක් වුණා. දෙදෙනාම සිහින් සිරුරක් හා හැඩ හුරුවින් සමානකමක් ඇති අය වීම නිසා ඔවුන් එකම පුද්ගලයා ලෙස පෙන්වා දී තිබුණා.
එසේම මෙම ඡායාරූප සටහන් බොහෝමයක් දේශපාලන පක්ෂයකට සහාය දක්වන සමූහවල, පාගමන “රාජපක්ෂවරුන්ගේ ගේමක්” ලෙස හුවා දක්වමින් බෙදාගෙන තිබුණා. පාගමන හෝ හිමියන්ගේ අදහස් විවේචනය කිරීම එක් කාරණයක්. නමුත් එම භික්ෂුව තවත් පුද්ගලයෙකු ලෙස හඳුන්වාදීම සාක්ෂි මත පදනම් නොවූ, වෙනම පුද්ගලයන් දෙදෙනෙකුට ම හානි කළ හැකි ප්‍රකාශයක්.
ඥානසාර හිමියන් වෙනුවෙන් වූ පාගමනට අදාළව පැතිරුණු AI ඡායාරූපයක් ගැන අප කළ පරීක්ෂාව මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion):
ඔක්තෝබර් 30 වනදා නාග බස්තමක් අතැතිව මහනුවර සිට කොළඹට පාගමන ඇරඹූ භික්ෂුව, පොහොට්ටුවේ හිටපු අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ නොවන අතර,. ඔහු 2025 සිටම “රත්නපුර බෝධිධම්ම හිමි” නමින් සිවුරු දරා සමාජ මාධ්‍යයේ පෙනී සිටි භික්ෂුවයි. 2021 පුවත් දර්ශනවල සහ ඔක්තෝබර් 31 වනදා බළපිටියේදී ගත් ඡායාරූපයේ සිටින ග්‍රේෂන් කෙරමිණියගේ මහතාගේ මුහුණ, කණ්ණාඩිය ගැලවූ හිමියන්ගේ මුහුණට වඩා පැහැදිලිව වෙනස් කමක් දැක ගත හැකි වුවද, ඔවුන් දෙදෙනාගේ හැඩ හුරුව එක හා සමාන බැවින් මෙලෙසින් නොමග යන සටහන් නිර්මාණය වී තිබුණා.
රත්නපුර බෝධිධම්ම හිමි තමන් ලෙසට පවසමින් සමාජ මාධඨ ඔස්සේ සංසරණය වන්නේ අසත්‍ය ඡායාරූප සටහනක් බව අප කළ විමසීමේදී ග්‍රේෂන් මහතා සඳහන් කළ අතර, පූජ්‍ය බෝධිධම්ම හිමියන් ද, මෙම ඡායාරූප වල දැක්වෙන්නේ තමන් බව තවදුරටත් තහවුරු කරනු ලබනවා.


