Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බුද්ධශාසන ඇමති “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” නමින් පොතක් ලිව්වා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-31
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” නමින් පොතක් ලියූ බව පවසමින්, එවැනි මාතෘකාවක් සහිත කළු පැහැති පොත් කවරයක රූපයක් 2026 ඔක්තෝබර් 30 වැනිදා සිට Facebook සහ WhatsApp ඔස්සේ පැතිරෙයි. ඇමතිව

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” නමින් පොතක් ලියූ බව පවසමින්, එවැනි මාතෘකාවක් සහිත කළු පැහැති පොත් කවරයක රූපයක් 2026 ඔක්තෝබර් 30 වැනිදා සිට Facebook සහ WhatsApp ඔස්සේ පැතිරෙයි. ඇමතිවරයා කතෝලිකයෙකු බවට පැතිරුණු සටහන් සමඟ මෙම “පොත” පිළිබඳ ප්‍රකාශය ද අප ඔක්තෝබර් 29 වැනිදා පළ කළ වාර්තාවේ කෙටියෙන් පරීක්ෂා කළෙමු.

    මෙම වාර්තාවේදී අප පොත් කවරයේ භාෂාව, ඇමතිවරයාගේ ප්‍රකාශිත කෘති, AI හඳුනාගැනීමේ මෙවලම්වල ප්‍රතිඵල සහ ප්‍රකාශය පැතිරුණු ආකාරය පරීක්ෂා කළෙමු.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    පොත් කවරය සහිත රූපය අපට සොයාගත හැකි වූ මුල්ම අවස්ථාව 2026 ඔක්තෝබර් 30 වැනිදා රාත්‍රී 10.01ට “Ceylon” නමැති Facebook පිටුවක පළ වූ කාඩ්පතකි. එහි “මේ පොත ලියපු කෙනා තමයි අද බුද්ධ ශාසන ඇමති” යන පාඨය සමඟ පොත් කවරය සහ ඇමතිවරයාගේ ඡායාරූපයක් ඇත. පසුව එම කාඩ්පත Facebook කණ්ඩායම් රැසක නැවත පළ විය.

    ඔක්තෝබර් 31 වැනිදා WhatsApp හරහා යොමු වූ පිටපත, එම කාඩ්පතේ පොත පමණක් කපා ගත් රූපයකි. එහි සිරස්තලය ඉවත් වී ඇති බැවින් එය සැබෑ පොතක ඡායාරූපයක් ලෙස පෙනේ.

    “මේ පොත ලියපු කෙනා තමයි අද බුද්ධ ශාසන ඇමති” යනුවෙන් සිදුහත් ආත්මාර්ථකාමියෙක් පොත් කවරය සහ ඇමතිවරයාගේ ඡායාරූපය සහිත ෆේස්බුක් සටහන
    “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” නමින් හිනිදුම සුනිල් සෙනෙවිගේ නම සහිත පොත් කවරයක් ඇති “Forwarded many times” පණිවිඩයක තිර රුව

    පොත පිළිබඳ ප්‍රකාශය රූපයට පෙර සිටම පැතිරෙමින් තිබිණි. 2026 ඔක්තෝබර් 8 වැනිදා පළ වූ සහ 1,600කට වඩා වාර ගණනක් බෙදාගත් දිගු සටහනක, ඇමතිවරයා “NGO වල ඩොලර්වලට සිදුහත් ආත්මාර්ථකාමියෙක් කියලා පොත්” ලියූ බවත් ඒ සඳහා සම්මාන ලැබූ බවත් සඳහන් වේ. එම සටහනේ පිටපත් ඔක්තෝබර් 9 වැනිදා සිට විවිධ ගිණුම් සහ කණ්ඩායම්වල පළ විය.

    බුද්ධශාසන ඇමතිවරයාගේ ඡායාරූපය සහිත දිගු ෆේස්බුක් සටහනක තිර රුව

    අප සොයාගත් පැරණිම සටහන් 2024 නොවැම්බර් 19 සහ 20 යන දිනවල පළ වූ ඒවාය. ඒවා නව බුද්ධශාසන අමාත්‍යවරයා “සිද්ධාර්ථ ආත්මාර්ථකාමියෙක්” ලෙස පොත් ලියූ බව කියයි.

    “සිද්ධාර්ථ ආත්මාර්ථකාමියෙක්” නව බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පුනරුදය යනුවෙන් ෆේස්බුක් සටහනක තිර රුව
    හිනිදුම සුනිල් සෙනෙවි මහතා පොත ලියූ මහාචාර්යවරයා ලෙස දැක්වෙන ෆේස්බුක් සටහනක තිර රුව

    Facebook 1 | Facebook 2 | Facebook 3 | Facebook 4 | Facebook 5 | Facebook 6

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” නමින් පොතක් ලියා ඇති බවත්, රූපයේ දැක්වෙන්නේ එම පොතේ කවරය බවත්.

    Fact Check (කරුණු පරීක්ෂාව) :

    පොත් කවරයේ ඇමතිවරයාගේ නම සහ පොතේ නම යන දෙකම වැරදියට ලියා ඇත

    කවරයේ කතුවරයාගේ නම ලෙස ඇත්තේ “හිනිදුමු සුනිල් සෙනෙවි” යන්නයි. එහෙත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇමතිවරයාගේ නම සඳහන් වන්නේ “හිනිදුම සුනිල් සෙනෙවි” ලෙස බව මෙතනින් දැකගත හැකිය. “හිනිදුම” යන කොටස “හිනිදුමු” ලෙස ලියැවී ඇත.

    පොතේ නම ද එසේමය. පැතිරෙන සටහන්වල “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” ලෙස සඳහන් වුවත්, කවරයේ රතු අකුරින් ඇති වචනය කියවෙන්නේ “ආත්මාර්ථකාමියෙන්” ලෙසය. සැබෑ ප්‍රකාශනයක කතුවරයාගේ නම සහ ග්‍රන්ථ නාමය මෙලෙස වැරදීම අසාමාන්‍යය. AI මගින් රූප සකසන විට සිංහල අකුරු මෙලෙස විකෘති විය හැකිය.

    පොත් කවරයේ “ආත්මාර්ථකාමියෙක්” සහ “හිනිදුමු” යන වැරදි අකුරු කහ පැහැති කොටු මගින් ඉස්මතු කළ රූපය

    AI හඳුනාගැනීමේ මෙවලම් කවරය 99%කට වඩා AI මගින් සැකසූවක් ලෙස හඳුනාගනී

    අප පොත් කවරය සහිත කොටස AI මගින් සැකසූ රූප හඳුනාගැනීමේ මෙවලම් දෙකකින් පරීක්ෂා කළෙමු. එක් මෙවලමක් එය 99.8%ක සම්භාවිතාවකින් ද, අනෙක් මෙවලම 99%ක සම්භාවිතාවකින් ද AI මගින් සැකසූ රූපයක් ලෙස හඳුනා ගත්තේය.

    පොත් කවරය 99.8%ක් AI මගින් නිර්මිත බව පෙන්වන AI හඳුනාගැනීමේ මෙවලමේ ප්‍රතිඵලය
    පොත් කවරය 99% AI මගින් සැකසූ රූපයක් බව පෙන්වන “Detect AI-generated images” මෙවලමේ තිර රුව

    ඇමතිවරයාගේ ඡායාරූපය ද සහිත සම්පූර්ණ කාඩ්පත පරීක්ෂා කළ විට ලැබුණේ 84.4%ක ප්‍රතිඵලයකි. මෙවලම්වල ප්‍රතිඵල සහාය සාක්ෂියක් පමණි. මෙම වාර්තාවේ නිගමනයට පදනම වන්නේ නමේ සහ මාතෘකාවේ දෝෂ, ඇමතිවරයාගේ ප්‍රකාශිත කෘති සහ අමාත්‍යාංශයේ ප්‍රතිචාරයයි.

    රූපයක් AI මගින් සැකසූවක් දැයි සැක කරන විට, එහි ඇති අකුරු සහ නම් නිවැරදි දැයි බැලීම, එම පොත” පොත් සාප්පුවල හෝ පුස්තකාල නාමාවලිවල ඇත් දැයි සෙවීම, ප්‍රතිලෝම රූප සෙවුමක් කිරීම සහ රූපය මුලින්ම පළ වූ දිනය සෙවීම වැනි සරල පියවර ද ප්‍රයෝජනවත් වේ. AI රූප පිළිබඳ අපගේ තවත් වාර්තාවක් මෙතනින්.

    ඇමතිවරයාගේ ප්‍රකාශිත කෘති අතර එවැනි පොතක් නොමැත

    ඇමතිවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිංහල පිළිබඳ උපාධියක් ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබා, සබරගමුව විශ්වවිද්‍යාලයේ වසර විස්සකට වැඩි කාලයක් සේවය කළ අයෙකි. ඔහු කතුවරයෙකු, සාහිත්‍ය විචාරකයෙකු සහ තිර රචකයෙකු ලෙස හඳුන්වා දී ඇති ආකාරය මෙතනින්.

    ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ ඒකාබද්ධ නාමාවලියේ, ඔහු රචනා කළ කොළඹ ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථයක් (Kolomthota komaliya, ගොඩගේ, 2002) ලියාපදිංචි වී ඇති අයුරු මෙතනින් දැකගත හැකිය. ජාත්‍යන්තර පොත් දත්ත සමුදායක ඔහුගේ නමින් සිංහල කෙටිකතාව හා සිනමාව, කොළඹ කවිය ඇතුළු මාතෘකා පිළිබඳ කෘති හතරක් මෙතනින් දැක්වේ. සබරගමුව විශ්වවිද්‍යාලය 2021 දී පළ කළ ඔහුගේ “සිනමානුරූපී රචනා” ග්‍රන්ථය පිළිබඳ තොරතුරු මෙතනින්.

    මෙම කිසිදු ලැයිස්තුවක “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” හෝ ඊට සමාන මාතෘකාවක් සහිත කෘතියක් නොමැත. ඔහුගේ ලේඛන සාහිත්‍යය, සිනමාව සහ ඉතිහාසය පිළිබඳවය. තවද, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් අප කළ අන්තර්ජාල සෙවීම්වලදී, එම නමින් කිසිදු කතුවරයෙකුගේ පොතක් සොයාගත නොහැකි විය.

    අමාත්‍යාංශය පවසන්නේ ඇමතිවරයා එවැනි පොතක් ලියා නොමැති බවයි

    අප මේ පිළිබඳව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් විමසූ අතර, ඇමතිවරයා එවැනි පොතක් ලියා නොමැති බවත් එම නමින් කිසිදු පොතක් නිකුත් කර නොමැති බවත් ඔහු තහවුරු කළේය.

    ඇමතිවරයාට එරෙහිව සමාජ මාධ්‍යයේ පැතිරෙන ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම ඉල්ලා අමාත්‍යාංශය ඔක්තෝබර් 30 වැනිදා ලිපියක් යොමු කළ බව ද අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ මෙලෙසින්. එම ලිපිය වෙනත් ව්‍යාජ ප්‍රකාශයක් ගැන වන අතර, පොත් කවරය ගැන එහි සඳහන් නොවේ. තම බෞද්ධ පසුබිම ප්‍රශ්න කරමින් මුසාවාද පතුරුවන බවට ඇමතිවරයා ඔක්තෝබර් 30 වැනිදා කළ ප්‍රකාශය මෙතනින්.

    මෙම ප්‍රකාශය ඇමතිවරයාගේ ආගම ඉලක්ක කරගත් සටහන් මාලාවක කොටසකි

    ඉහත සටහන්වලින් පෙනෙන්නේ, 2024 නොවැම්බරයේදී මූලාශ්‍රයක් නොමැතිව කියැවුණු “සිද්ධාර්ථ ආත්මාර්ථකාමියෙක්” යන කියමන, 2026 ඔක්තෝබරයේ “පොත් ලියා සම්මාන ලැබූ” බවට වර්ධනය වී, අවසානයේ AI මගින් සැකසූ පොත් කවරයක් බවට පත් වූ බවයි. කිසිදු අවස්ථාවක පොතේ ප්‍රකාශකයා, පළ කළ වර්ෂය හෝ පිටපතක් ඉදිරිපත් වී නැත.

    ඇමතිවරයා කතෝලිකයෙකු බවට වන ප්‍රකාශ, ඔහු බෞද්ධයෙකු නොවන බවට වන ප්‍රකාශ සහ දියවඩන නිලමේ ධුරය ගැන ඔහු කී බවට පැතිරුණු ප්‍රකාශය ද අප මීට පෙර පරීක්ෂා කළෙමු.

    Also Read : බුද්ධශාසන අමාත්‍යවරයා කතෝලිකයෙකු බවට සහ රුවන්වැලි සෑයට අපහාස කළ බවට පැතිරෙන සටහන්වල ඇත්ත නැත්ත!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය (Conclusion):

    “සිදුහත් ආත්මාර්ථකාමියෙක්” නමින් බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පොතක් ලියූ බවට පැතිරෙන ප්‍රකාශය අසත්‍යය. පැතිරෙන පොත් කවරයේ ඔහුගේ නම සහ පොතේ නම යන දෙකම වැරදියට ලියා ඇති අතර, AI හඳුනාගැනීමේ මෙවලම් එය 99%කට වඩා AI මගින් සැකසූ රූපයක් ලෙස හඳුනා ගනී.

    ඔහුගේ ප්‍රකාශිත කෘති සාහිත්‍යය, සිනමාව සහ ඉතිහාසය පිළිබඳ වන අතර, ඒ අතර එවැනි පොතක් නොමැත. අමාත්‍යාංශය ද ඇමතිවරයා එවැනි පොතක් ලියා නොමැති බව අපට තහවුරු කළේය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.