Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අයවැයෙන් රජයේ සේවක වැටුප රු. 20,000 සිට 80,000 දක්වා ඉහළට ද? අලුත් වැඩිවීමක් නොවේ, 2025 අයවැයේ අවසන් අදියරයි

    කරුණු විමර්ශනය කිරීම
    2026-11-03
    13 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    2027 අයවැය ලේඛනය (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2026 නොවැම්බර් 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනි දා පැවැත්වේ. අයවැය ඉදිරිපත්

    2027 අයවැය ලේඛනය (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2026 නොවැම්බර් 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනි දා පැවැත්වේ.

    අයවැය ඉදිරිපත් කිරීමට දින කිහිපයක් තිබියදී, රජයේ සේවකයන්ගේ වැටුප අවම වශයෙන් රු. 20,000කින් ද උපරිම වශයෙන් රු. 80,000කින් ද වැඩි වන බව පවසන සටහන් සමාජ මාධ්‍යය ඔස්සේ පැතිර ගොස් තිබේ. මෙවැනි වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් නිල ලේඛනවල සඳහන් වන්නේද, 2025 සිට මේ දක්වා රාජ්‍ය සේවක වැටුප් ඉහළ ගියේ කෙසේද, සහ 2027 ජනවාරියේ සැබවින්ම සිදු වන්නේ කුමක්ද යන්න අප පරීක්ෂා කළෙමු.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    2026 නොවැම්බර් 1 වැනි දා පළ වූ සමාජ මාධ්‍ය සටහනක “අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප ඉහළට..! අවම වැඩි වීම 20,000 ක්. ඉහළම වැඩිවීම 80,000 ක්.” යනුවෙන් සඳහන් කර තිබේ. එය නිශ්චිතව වාර්තා කළේ කවුරුන්ද යන්න සටහනෙහි නම් කර නැත. එදිනම තවත් සමාජ මාධ්‍ය පිටු කිහිපයක් එම කරුණම පළ ක‍ර තිබේ.

    Facebook 1 | Archived Link | Facebook 2 | Facebook 3

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය :

    2027 අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප අලුතින් අවම වශයෙන් රු. 20,000කින් ද උපරිම වශයෙන් රු. 80,000කින් ද ඉහළ දැමේ.

    Fact Check (කරුණු පරීක්ෂා කිරීම) :

    2027 අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප අවම වශයෙන් රු. 20,000කින් ද උපරිම වශයෙන් රු. 80,000කින් ද ඉහළ දැමීමට නියමිත බව දක්වමින් 2026 නොවැම්බර් 01 ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක පුවතක් වාර්තා කර තිබේ. නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු උපුටා දක්වමින්, අඩුම වැටුප් පරිමාණවල අයට රු. 20,000ක් සහ ඉහළ පරිමාණවල අයට රු. 80,000ක් දක්වා වැටුප් වැඩිවීමක් අපේක්ෂිත බව එහි වාර්තා කර තිබිණි. එම පුවත් වාර්තාව මෙතනින්.

    එම වාර්තාව තුළ මෙම 2027 රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම 2025 වසරේදී අදියර තුනකින් ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන ලද රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලියේ අවසාන අදියර වන බවත්, එමඟින් 24% සිට 50% දක්වා සමස්ත වැටුප් වැඩිවීමක් ලබා දෙනු ඇති බවත්, මෙම අවසාන වාරික ගෙවීම් සඳහා රජය රුපියල් බිලියන 330 ක් වෙන් කරනු ඇති බවත් දක්වා තිබේ.

    ඉහත සමාජ මාධ්‍ය සටහන් එම කොටස අතහැර, මෙය 2027 අයවැයෙන් ලැබෙන අලුත් වැටුප් වැඩිවීමක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙම පුවත්පත් වාර්තාව සිංහලට පරිවර්තනය කළ එක් වෙබ් අඩවියක්, මෙම අවසන් අදියරේ වැටුප් ගෙවීම් වෙනුවෙන් පමණක් රජය රුපියල් බිලියන 330ක මුදලක් වෙන් කිරීමට නියමිත බව ද දක්වා තිබිණි. එම ලිපිය මෙතනින්.

    2025 සිට රාජ්‍ය සේවක වැටුප් අදියර තුනකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

    2025 පෙබරවාරි 17 වැනි දා 2025 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රු. 24,250 සිට රු. 40,000 දක්වා රු. 15,750කින් වැඩි කරන බවත්, එය අදියර තුනකින් ලබා දෙන බවත් ප්‍රකාශ කළේය. මෙම වැටුප් සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් බිලියන 325 ක් වන බවත්, 2025 දී මූලික වෙන් කිරීම රුපියල් බිලියන 110 ක් බවත් දක්වා ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

    2025 සහ 2026 අයවැය වාර්තා අනුව රාජ්‍ය සේවක වැටුප් විශ්ලේෂණය

    සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ආකාරයට 2027 ජනවාරි මාසයේදී රාජ්‍ය සේවකයන්ට රු. 20,000 කින් හෝ රු. 80,000 කින් අලුතින් වැටුප් වැඩිවීමක් සිදු නොවන අතර, එය 2025 අයවැය මඟින් හඳුන්වා දී 2026 අයවැයෙන් ද අඛණ්ඩව ප්‍රතිපාදන සලසා ක්‍රියාත්මක වන අදියර තුනක වැටුප් සංශෝධනයේ අවසන් වාරිකය (3 වන අදියර) බව 2025 සහ 2026 අයවැය ලේඛන මඟින් සනාථ වේ.

    1. 2025 අයවැය ලේඛනය (Budget Speech 2025):

    • 39 වන යෝජනාව (රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම):
      පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට 2025 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000 ක් සහ ඉතිරි මුදලින් 30% ක් 2025 අප්‍රේල් මාසයේ සිට ගෙවන බවත්, ඉතිරි 70% 2026 ජනවාරි සහ 2027 ජනවාරි මාසවලදී සමාන කොටස් දෙකකින් ගෙවන බවත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
    • පිරිවැය සහ වෙන්කිරීම්:
      සමස්ත වැටුප් සංශෝධනය සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් බිලියන 325 ක් වන අතර, 2025 වසරේ පළමු අදියර සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කරන ලදී (අයවැය ඇමුණුම III – වියදම් යෝජනා, අංක 01).
    • අවම වැටුප සහ දීමනා ඒකාබද්ධ කිරීම (ඇමුණුම V – තාක්ෂණික සටහන):
      ප්‍රාථමික ශිල්පීය නොවන (PL 1) අවම මූලික වැටුප රු. 24,250 සිට රු. 40,000 දක්වා රු. 15,750 කින් වැඩි කරන ලද අතර, පෙර පැවති රු. 2,500 ක අතුරු දීමනාව සහ රු. 5,000 ක මාසික දීමනාව (එකතුව රු. 7,500) මූලික වැටුපට ඒකාබද්ධ කර ඇත. ඒ අනුව, අවම මට්ටමේ සැබෑ ශුද්ධ වැටුප් වැඩිවීම රුපියල් 8,250 ක් පමණක් බව අයවැය ලේඛනයේ නිල වශයෙන් සටහන් කර ඇත. 2025 අයවැය

    එම ඇමුණුමේ 5 වන ඡේදයේ වගුව අනුව, ජීවන වියදම් දීමනාව (රු. 17,800) ද ඇතුළුව අඩුම ශ්‍රේණියේ මුළු වැටුප රු. 49,550 සිට රු. 57,800 දක්වා ඉහළ යන අතර, ශුද්ධ වැඩිවීම රු. 8,250 ලෙස එහි ද දක්වා ඇත.

    2. 2026 අයවැය ලේඛනය (Budget Speech 2026):

    • 33.3 යෝජනාව (රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමේ දෙවන අදියර):
      2025 වසරේදී ඉදිරිපත් කළ වැටුප් ප්‍රතිපත්තිය තහවුරු කරමින්, 2025 දී සිදු කළ වැටුප් සංශෝධනයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා 2026 අයවැයෙන් ද රුපියල් බිලියන 110 ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවත්, එය 2026 ජනවාරි සිට සියලුම රාජ්‍ය සේවකයන්ට ගෙවන බවත් දක්වා ඇත.
    • අයවැය කතාවේ හැඳින්වීම:
      රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ පියවරක් ලෙස “රාජ්‍ය සේවකයන්ගේ වැටුප් දැනටමත් අදියර 3 කින් වැඩි කර ඇති බව” (salaries of public servants have already been increased in 3 phases) 2026 අයවැය කතාවේ ආරම්භයේදීම පැහැදිලිව සඳහන් කර තිබේ. 2026 අයවැය

    2025 අයවැය කථාව (39 යෝජනාව සහ V ඇමුණුම) මෙන්ම 2026 අයවැය කථාව (33.3 යෝජනාව) එකිනෙක සැසඳීමේදී, 2027 ජනවාරි මස සිදුවීමට නියමිතව ඇත්තේ 2025 දී සැලසුම් කළ වැටුප් සංශෝධනයේ අවසන් වාරිකය (රු. 5,000ට වැඩි ශුද්ධ වැඩිවීමෙන් අවසන් 35%) මුදාහැරීම මිස, සමාජ මාධ්‍යවල සඳහන් වන පරිදි 2027 දී අලුතින් එකතු වන රු. 20,000 හෝ රු. 80,000 ක අතිරේක වැටුප් වැඩිවීමක් නොවන බව අයවැය වාර්තා ඔස්සේ සනාථ වේ. 2025 අයවැය, 2026 අයවැය

    2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා නිකුත් කර ඇති 2025.03.25 දිනැති අංක 10/2025 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මඟින් 2025 සිට 2027 දක්වා අදියර තුනකින් වැටුප් ඉහළ නංවන ආකාරය සහ ඊට අදාළ නියමයන් පැහැදිලිව දක්වා ඇත . 2025 මාර්තු 25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 අනුව නව වැටුප් පරිමාණ 2025.01.01 සිට බලපැවැත්වෙන නමුත්, ගෙවීම ආරම්භ වූයේ 2025.04.01 සිටය. එම චක්‍රලේඛය අනුව අදියර තුන මෙසේය. එම චක්‍රලේඛය මෙතනින්.

    2025 අප්‍රේල්: ශුද්ධ වැඩිවීමෙන් රු. 5,000ක් සහ ඉතිරියෙන් 30%ක්.

    2026 ජනවාරි: රු. 5,000ක් සහ ඉතිරියෙන් 65%ක් දක්වා.

    2027 ජනවාරි: ශුද්ධ වැඩිවීම සම්පූර්ණයෙන්ම (100%).

    2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් අලුතින් රු. 20,000 / 80,000 අතර ඉහළ දමන බවට වන වාර්තා නිල ලේඛන සමඟ නොගැළපේ

    1. ආරම්භක සහ උපරිම මූලික වැටුප් පරිමාණ

    • චක්‍රලේඛයේ උපලේඛන II (Schedule II) අනුව රාජ්‍ය සේවයේ අඩුම වැටුප් පරිමාණය වන ප්‍රාථමික ශිල්පීය නොවන (PL 1 – 2025) ආරම්භක මූලික වැටුප රු. 40,000/- කි.
    • රාජ්‍ය සේවා වැටුප් වගුවේ ඉහළම පරිමාණය වන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ආරම්භක මූලික වැටුප (SL 4 – 2025) රු. 175,000/- කි.

    2. අවම වැටුපේ (PL 1) වැඩිවීම සහ ගණනය කිරීම්

    2025 අයවැය ඇමුණුම V සහ 10/2025 චක්‍රලේඛය අනුව:

    • අවම මූලික වැටුපේ මුළු වෙනස:
      • සංශෝධනයට පෙර අවම මූලික වැටුප රු. 24,250/- කි.
      • 2025 චක්‍රලේඛය අනුව එය රු. 40,000/- කි.
      • ඒ අනුව මුළු වෙනස රු. 15,750/- කි (40,000 – 24,250).
    • ඒකාබද්ධ කළ දීමනා අඩු කිරීම (3.8.2ඡේදය):
      • මීට පෙර ගෙවූ අන්තර්කාලීන දීමනාව වන රු. 2,500/- (රා.ප.ච. 09/2019) සහ මාසික දීමනාව වන රු. 5,000/- (රා.ප.ච. 03/2022) යන දීමනා දෙකම (එකතුව රු. 7,500/-) නව වැටුපට ඇතුළත් කර ඇත.
      • එබැවින් සැබෑ ශුද්ධ වැටුප් වැඩිවීම (Net Increase) = රු. 15,750 – රු. 7,500 = රු. 8,250/- කි.
    • 2025 (Iවන අදියර) වැඩිවීම:
      • සූත්‍රය: රු. 5,000 + [(ශුද්ධ වැඩිවීම – රු. 5,000) × 30%].
      • PL 1 සඳහා: 5,000 + [(8,250 – 5,000) × 30%] = 5,000 + (3,250 × 30%) = 5,000 + 975 = රු. 5,975/- කි.

    2025 පෙබරවාරි 18 වැනි දා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ද PL 1 අවම වැටුපට 2025දී එකතු වූයේ රු. 5,975 ක් බව පවසා තිබේ. එම පැහැදිලි කිරීම මෙතනින්.

    • 2026 (IIවන අදියර) සහ2027 (IIIවන අදියර) වැඩිවීම:
      • 2025 දී රු. 5,000 ට අමතරව 30% ක් ගෙවූ පසු නොගෙවා ඉතිරි වන ප්‍රමාණය 70% කි (එනම් රු. 2,275 කි).
      • 2026 දී තවත් 35% ක් (රු. 1,137.50 ක්) එකතු වන අතර, 2027 දී අවසන් 35% (රු. 1,137.50) එකතු වේ.
      • එබැවින් 2027 ජනවාරි මාසයේදී PL 1 නිලධාරියෙකුට අලුතින් එකතු වන සැබෑ ශුද්ධ මුදල රු. 1,137.50 කි. 2025 අයවැය ඇමුණුම V හි නිදසුනේ 2026 ජනවාරි මුදල රු. 7,113 ලෙස වටයා දක්වා ඇති බැවින්, සැබෑ වෙනස රු. 1,137ත් 1,138ත් අතර වේ.

    3. උපරිම වැටුපේ වැඩිවීම සහ ගණනය කිරීම්

    අවම මූලික වැටුප (PL 1) සඳහා සිදු කළ ආකාරයටම, රාජ්‍ය සේවා වැටුප් වගුවේ ඉහළම පරිමාණය වන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ආරම්භක මූලික වැටුප (SL 4 – 2025) සඳහා 10/2025 චක්‍රලේඛයේ සූත්‍ර අනුව ගණනය කිරීම් පහත පරිදි වේ:

    1. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ආරම්භක වැටුප (SL 4 – 2025)

    • නව මූලික වැටුප (2025): රු. 175,000/-
    • පැරණි මූලික වැටුප (2016): රු. 97,420/-

    ශුද්ධ වැටුප් වැඩිවීම:

    1. මූලික වැටුප් අතර වෙනස:
      රු. 175,000 – රු. 97,420 = රු. 77,580/-
    2. ඒකාබද්ධ කළ දීමනා අඩු කිරීම (රු. 2,500 + රු. 5,000 = රු. 7,500):
      රු. 77,580 – රු. 7,500 = රු. 70,080/- (සැබෑ ශුද්ධ වැඩිවීම)

    අදියර 3 යටතේ වැඩිවන ආකාරය:

    • 1වන අදියර (2025අප්‍රේල්01සිට):
      • රු. 5,000/- ක් සහ රු. 5,000 ඉක්මවන මුදලින් (රු. 65,080 න්) 30% ක්
      • රු. 5,000 + රු. 19,524 = රු. 24,524/-
    • 2වන අදියර (2026ජනවාරි01සිට):
      • රු. 5,000/- ක් සහ රු. 65,080 න් 65% ක්
      • රු. 5,000 + රු. 42,302 = රු. 47,302/-
        (2026 දී අලුතින් එකතු වන කොටස = රු. 22,778/-)
    • 3වන අදියර (2027ජනවාරි01සිට):
      • සම්පූර්ණ ශුද්ධ වැඩිවීම (100% ම) ලැබේ = රු. 70,080/-
        (2027 දී අවසන් වරට එකතු වන අලුත් කොටස = රු. 22,778/-)

    සංසන්දනාත්මක සාරාංශය

    වැටුප් කාණ්ඩයශුද්ධ වැටුප් වැඩිවීම2025 (1 අදියර)2026 (2 අදියර)2027 (3 අදියර – සම්පූර්ණ)2027 දී පමණක් එකතු වන මුදල
    අවම වැටුප (PL 1)රු. 8,250/-රු. 5,975/-රු. 7,112.50රු. 8,250/-රු. 1,137.50
    අමාත්‍යාංශ ලේකම් (SL 4)රු. 70,080/-රු. 24,524/-රු. 47,302/-රු. 70,080/-රු. 22,778/-

    (සටහන: මෙම සියලු ගණනය කිරීම් 2025 අයවැය කථාවේ 39 යෝජනාව, V ඇමුණුමේ තාක්ෂණික සටහනේ 6 වන ඡේදයේ සූත්‍රය, 6.3 නිදසුන් වගුව සහ 2026 අයවැය කථාවේ 33.3 යෝජනාව මත පදනම් වූ අපගේ ගණනය කිරීම් වේ. SL 4 පැරණි වැටුප 2016 වැටුප් පරිමාණයෙන් ගෙන ඇත.)

    මෙම සංසන්දනය අනුව පැහැදිලි වන්නේ, අමාත්‍යාංශ ලේකම් මට්ටමේ පවා 2027 ජනවාරි මාසයේදී පමණක් අලුතින් එකතු වන්නේ රු. 22,778ක් පමණ මුදලක් මිස රු. 80,000 ක මුදලක් නොවන බවයි.

    2025 අයවැය ඇමුණුම V හි නිල නිදසුන් වගුව ද මෙයම පෙන්වයි: ශුද්ධ වැඩිවීම රු. 50,000ක් වන නිලධාරියෙකුට 2026 ජනවාරි වන විට රු. 34,250ක් ලැබෙන අතර, 2027 ජනවාරියේ අලුතින් එකතු වන්නේ රු. 15,750ක් පමණි. 2027 ජනවාරියේ එක් වරම රු. 80,000ක් එකතු වීමට නම් ශුද්ධ වැඩිවීම රු. 233,571ක් පමණ විය යුතුය (අපගේ ගණනය). එය ලේකම්වරුන්ගේ උපරිම මූලික වැටුප (රු. 238,600) තරම් මුදලකි.

    “2027 ජනවාරි මාසයේදී රාජ්‍ය සේවකයන්ට රු. 20,000 කින් සහ රු. 80,000 කින් වැටුප් වැඩිවේ” යන්න සන්දර්භය මඟහරින්නේ මෙලෙසයි

    රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 හි සැබෑ වැටුප් පරිමාණ සහ ගණනය කිරීම් සූත්‍ර අනුව, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන “2027 ජනවාරි මාසයේදී රාජ්‍ය සේවකයන්ට රු. 20,000 කින් සහ රු. 80,000 කින් වැටුප් වැඩිවේ” යන ප්‍රකාශය සන්දර්භය මඟහරින එකක් වීමට ප්‍රධාන හේතු දෙකක් බලපායි:

    1. “අවම වැටුප රු. 20,000 කින් වැඩිවේ” යන්න වැරදි වීමට හේතුව

    • සැබෑ ශුද්ධ වැඩිවීම රු. 8,250 කි:

    රාජ්‍ය සේවයේ අඩුම වැටුප් පරිමාණය වන PL 1 ආරම්භක වැටුප රු. 24,250 සිට රු. 40,000 දක්වා රු. 15,750 කින් සංශෝධනය වී ඇත. නමුත් මීට පෙර ගෙවූ රු. 2,500 සහ රු. 5,000 දීමනා (එකතුව රු. 7,500) මූලික වැටුපට ඒකාබද්ධ කර ඇති බැවින්, සැබෑ ශුද්ධ වැටුප් වැඩිවීම වන්නේ රු. 8,250/- ක් පමණි.

    • 2027 දී ලැබෙන්නේ රු. 1,137.50 ක් පමණි:

    මෙම රු. 8,250 ක මුදලින් රු. 5,975/- ක් 2025 දී ද, රු. 1,137.50 ක් 2026 දී ද ලැබී අවසන්ය. එබැවින් 2027 ජනවාරි (අවසාන අදියරේදී) අලුතින් එකතු වන්නේ ඉතිරි රු. 1,137.50 ක මුදල පමණි.

    • නිගමනය: අදියර තුනේම මුළු ශුද්ධ වැඩිවීම (රු. 8,250) හෝ මූලික වැටුප් වෙනස (රු. 15,750) ගත්තද, අවම වැටුපට කිසිසේත්ම රු. 20,000 ක වැඩිවීමක් හිමි නොවේ.

    2. “ඉහළ වැටුප රු. 80,000 කින් වැඩිවේ” යන්න වැරදි වීමට හේතුව

    • රු. 70,000 – 80,000 යනු අදියර තුනේම එකතුවයි:

    අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ (SL 4) ආරම්භක වැටුපෙහි අදියර තුන අවසානයේ සිදුවන සම්පූර්ණ ශුද්ධ වැඩිවීම රු. 70,080/- කි. සමාජ මාධ්‍යවල දක්වන රු. 80,000 යනු මෙවැනි ඉහළම ශ්‍රේණියක අදියර 3 ටම අදාළ සමස්ත වැඩිවීමේ ආසන්න අගයක් විය හැකිය.

    • එය 2027 දී එක්වර ලැබෙන මුදලක් නොවේ:

    චක්‍රලේඛයේ ක්‍රමවේදය අනුව එම සම්පූර්ණ මුදලින් සැලකිය යුතු කොටසක් 2025 සහ 2026 වසරවලදී ගෙවා අවසන් වේ (2025 දී රු. 24,524 ක් සහ 2026 දී රු. 22,778 ක්).

    • 2027 දී එකතු වන්නේ රු. 22,778 ක් පමණි:
      2027 ජනවාරි මාසයේදී අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අලුතින් හිමිවන්නේ ඉතිරි වූ 35% ක ප්‍රතිශතය, එනම් රු. 22,778/- ක මුදලක් පමණි 

    සටහන්වලට ලැබුණු ප්‍රතිචාර අතර, අවසන් අදියරේ සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට ලැබෙන්නේ රු. 2,500ක් පමණ බව පවසන අදහසක් ද විය. ඉහත සූත්‍රය අනුව 2027 ජනවාරි මුදල ශ්‍රේණිය අනුව වෙනස් වේ. අඩුම ශ්‍රේණියට රු. 1,137.50ක් පමණ වන අතර, රු. 2,500ක් ලැබෙන්නේ ශුද්ධ වැඩිවීම රු. 12,143ක් පමණ වන නිලධාරීන්ටය (අපගේ ගණනය).

    බිලියන 330 යනු අවසන් අදියරට පමණක් වන මුදලක් නොවේ

    2026 පෙබරවාරි 6 වැනි දා මහනුවරදී ජනාධිපතිවරයා පැවසූ පරිදි, වැටුප් වැඩිවීම සඳහා 2025දී රු. බිලියන 110ක්, 2026දී රු. බිලියන 220ක් සහ 2027දී රු. බිලියන 330ක් වැය වේ. ඒ පිළිබඳ වාර්තාව මෙතනින්. 2025 අගෝස්තු 5 වැනි දා ඔහු 2027 වැඩිවීම සඳහා අලුතින් රු. බිලියන 110ක් වෙන් කරන බව පැවසීය. එම වාර්තාව මෙතනින්.

    “24% සිට 50%” පරාසය 2024 දී කමිටු යෝජනා ලෙස පළ වූවකි

    ඉරිදා ඉංග්‍රීසි පුවත් වාර්තාවේ සඳහන් “24% සිට 50%” පරාසය, 2024 සැප්තැම්බරයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය සමයේ උදය ආර්. සෙනෙවිරත්න කමිටු යෝජනා ගැන වාර්තා වූවකි. ඒ පිළිබඳ වාර්තාව මෙතනින්. එම යෝජනා සම්බන්ධයෙන් 2025 ජනවාරියේ පැතිර ගිය සටහන් ගැන අප කළ කරුණු විමසුම මෙතනින්.

    දැනට ක්‍රියාත්මක 10/2025 චක්‍රලේඛයේ ප්‍රතිශත පරාසයක් සඳහන් නොවේ.

    අයවැයට පෙර රජය සැබවින් පවසා ඇත්තේ මෙයයි

    2027 විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් 7 වැනි දා පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කෙරිණි. එහි 2027 රජයේ මුළු වියදම රු. ට්‍රිලියන 4.993ක් ලෙස දක්වා ඇති බව එය විශ්ලේෂණය කළ වාර්තාවක සඳහන් වේ. එම වාර්තාව මෙතනින්.

    2027 අයවැය හරහා රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ යන බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේ පැවසීය. ඇය එය 2025 අයවැයේ වැටුප් සංශෝධනය හා සම්බන්ධ බවද සඳහන් කළාය. එම වාර්තාව මෙතනින්.

    සැප්තැම්බර් 20 වැනි දා අකුරැස්සේදී ජනාධිපතිවරයා 2027 අයවැයෙන් ඇතැම් බදු ඉවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. එම වාර්තාව මෙතනින්. මාසික බදු රහිත සීමාව රු. 200,000 දක්වා ඉහළ දැමීමේ අරමුණ තවමත් ඇති නමුත් කාලය තීරණය නොවූ බව සැප්තැම්බර් 25 වැනි දා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේ පැවසීය. එම වාර්තාව මෙතනින්.

    ඔක්තෝබර් 11 වැනි දා ජනාධිපතිවරයා නව රාජ්‍ය සේවකයන් 121,000ක් බඳවා ගැනීමේ සැලසුමක් ද, ග්‍රාම නිලධාරි, පිරිවෙන් සහ ගුරු අභ්‍යාසලාභීන්ගේ දීමනා වැඩි කිරීමක් ද ප්‍රකාශ කළේය.

    වැටුප් විෂමතා සහ විශ්‍රාම වැටුප් ගැටලු සඳහා විසඳුම් නිර්දේශ කිරීමට, 2026 ජූනි 22 වැනි දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ටෙල්ගේ අශෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ද පත් කර ඇත. එම වාර්තාව මෙතනින්. එහි නිර්දේශ තවම ප්‍රසිද්ධ කර නැත.

    අයවැයෙන් අපේක්ෂා කළ හැක්කේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ තුන්වන අදියර සහ බදු සහනයි

    මෙම තුන්වන අදියරෙන් ඔබ්බට රාජ්‍ය සේවකයන්ට අලුත් වැටුප් වැඩිවීමක් ලැබෙන බවට රජයේ නිල ප්‍රකාශයක් තවම නොමැත. වෙනත් දීමනා සලකා බලන්නේ තුන්වන අදියරෙන් පසුව බවට ජනාධිපතිවරයා පෙබරවාරියේ පැවසූ කරුණ ද මෙහිදී සැලකිය යුතුය. මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු දැනගත හැක්කේ නොවැම්බර් 12 අයවැය කතාවෙනි.

    මුදල් අමාත්‍යාංශය ද මෙය තුන්වන අදියර බව පවසයි

    අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ද තහවුරු කළේ, 2027 අයවැයෙන් සිදුකරන බවට ප්‍රකාශිත රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම, 2025 දී අදියර තුනකින් ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන ලද රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලියේ තෙවනි අදියර බවයි. 2027 අයවැයෙන් සිදු කරන්නේ මෙම අවසන් අදියරට මුදල් වෙන් කිරීම බවද ඔහු විසින් සඳහන් කළේය.

    2025 අයවැයෙන් පසු ද රු. 25,000ක වැටුප් වැඩිවීමක් ඇතුළු සමාන සටහන් පැතිර ගිය අතර, අප ඒ පිළිබඳ කළ කරුණු විමසුම මෙතනින්.

    මෙය අයවැයට පෙර පළ කරන වාර්තාවකි. නොවැම්බර් 12 අයවැය කතාවෙන් පසු අප මෙම වාර්තාව යාවත්කාලීන කරන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    අවසන් නිගමනය (Conclusion)

    2027 අයවැය මඟින් රාජ්‍ය සේවක වැටුප් අලුතින් රු. 20,000 කින් සහ රු. 80,000 කින් ඉහළ දමන බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අත්‍යවශ්‍ය සන්දර්භය මඟහැර ඇත.

    2027 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක වන්නේ නව වැටුප් වැඩිවීමක් නොව, 2025 අයවැය සහ 10/2025 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මඟින් සැලසුම් කළ අදියර තුනක වැටුප් සංශෝධනයේ අවසන් වාරිකය මුදාහැරීම පමණි. නිල සූත්‍ර අනුව, පෙර වසරවලදී ගෙවූ කොටස් දුන් පසු 2027 දී අලුතින් එක්වන්නේ අවම වැටුපට (PL 1) රු. 1,137.50 ක් සහ අමාත්‍යාංශ ලේකම් මට්ටමට (SL 4) රු. 22,778 ක් වැනි මුදලකි.

    එමෙන්ම පුවත්පත්වල සඳහන් වූ “24%–50%” පරාසය 2024 පැරණි කමිටු යෝජනාවකට අදාළ වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-11-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.