Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    BYD Racco මිල දින 8කින් ලක්ෂ 27කින් අඩු වූයේ නැත: රු. මිලියන 8.75 යනු වෙනම Dynamic මාදිලියක මිලයි

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-19
    8 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ BYD මගී වාහනවල බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG) සමාගම මෙරට වෙළඳපොළට හඳුන්වා දුන් BYD Racco විදුලි මෝටර් රථයේ මිල දින 8ක් ඇතුළත රුපියල් මිලියන 11.45 සිට මිලිය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ BYD මගී වාහනවල බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG) සමාගම මෙරට වෙළඳපොළට හඳුන්වා දුන් BYD Racco විදුලි මෝටර් රථයේ මිල දින 8ක් ඇතුළත රුපියල් මිලියන 11.45 සිට මිලියන 8.75 දක්වා අඩු කර ඇති බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ. එහි සත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    BYD සමාගම නිෂ්පාදනය කරන ‘RACCO’ නමැති Kei මාදිලියේ විදුලි මෝටර් රථය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකාවේදී රුපියල් මිලියන 11.45ක හඳුන්වාදීමේ මිලකට ලබා දෙන බව John Keells CG Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පවසා ඇති බවත්, නමුත් සටහනේ ‘ඊයේ’ ලෙස දැක්වෙන දිනය (ඔක්තෝබර් 17) වන විට BYD ෆේස්බුක් පිටුවේ සහ ප්‍රධාන පුවත්පත්වල පළ වූ දැන්වීම්වල එම රථයේ නව මිල මිලියන 8.75ක් ලෙස දැක්වූ බවත් මෙම සටහන් මගින් පෙන්වා දෙනවා.

    ඒ අනුව දින 8ක් තුළ එම රථයේ මිල ලක්ෂ 27කින් අඩු කර ඇති බවත්, එය මෝටර් රථ වෙළඳපොළේ සිදු වූ අසාමාන්‍ය මිල අඩුවීමක් බවත් එහි දැක්වේ. රටේ වාහන සඳහා පවතින අඩු ඉල්ලුම සහ විදුලි වාහන සඳහා අසාමාන්‍ය මිල නියම කිරීම් නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ද එහි සඳහන් ය.

    BYD Racco මිල අඩු වූ බවට පැතිරෙන සමාජ මාධ්‍ය සටහන් සහ මිල ලැයිස්තුව (1)

    Facebook | Archived link

    මෙම තේමාවෙන්ම, සටහන් පෙළක් පළ කර තිබිණි.

    BYD Racco මිල අඩු වූ බවට පැතිරෙන සමාජ මාධ්‍ය සටහන් සහ මිල ලැයිස්තුව (2)
    BYD Racco මිල අඩු වූ බවට පැතිරෙන සමාජ මාධ්‍ය සටහන් සහ මිල ලැයිස්තුව (3)
    BYD Racco මිල අඩු වූ බවට පැතිරෙන සමාජ මාධ්‍ය සටහන් සහ මිල ලැයිස්තුව (4)

    Facebook | Facebook | Facebook

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : BYD Racco විදුලි මෝටර් රථයේ (Kei Car) මිල 2026 ඔක්තෝබර් 9 සිට දින 8ක් ඇතුළත රුපියල් මිලියන 11.45 සිට මිලියන 8.75 දක්වා (ලක්ෂ 27කින්) අඩු කර ඇත් ද යන්නයි.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    2026 ඔක්තෝබර් 9 වන දින කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගර කේන්ද්‍ර කරගනිමින් John Keells CG Auto සමාගම විසින් BYD Racco රථය නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    එළිදැක්වීමේදී එම රථය රුපියල් මිලියන 11.45ක හඳුන්වාදීමේ මිලකට ලබා දෙන බව, JKCG සමාගම සහ එහි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා උපුටා දක්වමින් ව්‍යාපාරික පුවත් වෙබ් අඩවි වාර්තා කළේය. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

    එසේම, BYD Sri Lanka නිල ෆේස්බුක් පිටුව ඔක්තෝබර් 9 රාත්‍රී 7.09 ට පළ කළ පළමු දැන්වීමෙහි, රුපියල් 11,450,000ක හඳුන්වාදීමේ මිලකට මෙම මෝටර් රථය මිලදී ගත හැකි බවත්, එම මිල 2026 නොවැම්බර් 9 දක්වා වලංගු බවත් සඳහන් කර ඇතත්, එහි කිසිදු මාදිලි නාමයක් සඳහන් කර නොමැත.

    BYD Racco මිල අඩු වූ බවට පැතිරෙන සමාජ මාධ්‍ය සටහන් සහ මිල ලැයිස්තුව (5)

    Facebook | Archived Link

    ඔක්තෝබර් 17 වනදා උදෑසන 8.00 ට BYD Sri Lanka ෆේස්බුක් පිටුවේ නව දැන්වීමක් පළ කර තිබේ. මිල අඩු වූ බවට මතභේදය ඇති වීමට හේතු වූ දැන්වීම මෙයයි. මෙම දැන්වීමෙන් “all-new BYD RACCO DYNAMIC” නමින් Racco රථයේ වෙනත් මාදිලියක් හඳුන්වා දී ඇති අතර, එහි “starting at LKR 8.75 Mn” (රුපියල් මිලියන 8.75 සිට ආරම්භ වේ) ලෙසත්, මාසික වාරිකය රු. 60,200 සිට බවත්, මෙම දීමනාව 2026 නොවැම්බර් අවසානය දක්වා වලංගු බවත් පැහැදිලිව සඳහන් කර ඇත.

    BYD Racco මිල අඩු වූ බවට පැතිරෙන සමාජ මාධ්‍ය සටහන් සහ මිල ලැයිස්තුව (6)

    Facebook | Archived Link

    ඔක්තෝබර් 9 වනදා එළිදැක්වීමේදී පළ කළ දැන්වීමේ “Premium” හෝ “Dynamic” ලෙස නිශ්චිත මාදිලියක් සඳහන් කර නොතිබිණි. සමාගම මුලින් රථයේ මිල පොදුවේ රුපියල් මිලියන 11.45ක් ලෙස ප්‍රකාශ කළ අතර, පසුව ඔක්තෝබර් 17 වනදා “all-new BYD RACCO DYNAMIC” ලෙස වෙනත් මාදිලි නාමයක් සහිතව මිලියන 8.75ක මිලක් දැක්වූ දැන්වීමක් පළ කළේය.

    මාදිලි නාමය නොමැතිව පළ වූ මුල් දැන්වීම මෙම ව්‍යාකූලත්වයට දායක වූ බව ද සඳහන් කළ යුතුය. Dynamic දැන්වීමට ලැබුණු අදහස් අතර ද, මුලින් ඉහළ මිලක් ප්‍රකාශ කර පසුව අඩු මිලක් දැක්වීම අලෙවි උපක්‍රමයක් දැයි ප්‍රශ්න කරන අදහස් ද දක්නට ලැබේ.

    JKCG නිල වෙබ් අඩවියේ Racco පිටුවේ දැක්වෙන්නේ “Premium” මාදිලිය පමණි (මෙතනින්). ශ්‍රී ලංකාවේ Racco අලෙවි කරන්නේ උපාංග සහිත Premium මාදිලියෙන් පමණක් බවත්, එහි කිලෝවොට් පැය 35.8 බැටරියක් ඇති බවත් ජාත්‍යන්තර විදුලි වාහන පුවත් වෙබ් අඩවියක් ද ඔක්තෝබර් 19 වාර්තා කළේය (මෙතනින්). ඒ අනුව ඔක්තෝබර් 9 මිලියන 11.45ට හඳුන්වා දුන්නේ Premium මාදිලිය වන අතර, මිලියන 8.75ට පසුව ඉදිරිපත් කළේ BYD RACCO DYNAMIC නමැති මාදිලියයි.

    ශ්‍රී ලංකාවේ BYD නිල වෙබ් අඩවියේ පළ කර ඇති BYD Racco නිල බ්‍රෝෂරයේ පිරිවිතර වගුවේ “Variant” යටතේ ඇත්තේ “Premium” නමැති එක් තීරුවක් පමණි. එහි Steering Wheel Heating සහ Front Seat Heating ඇතුළත් බවත්, බැටරි ධාරිතාව කිලෝවොට් පැය 35.8ක් බවත්, WLTP ධාවන පරාසය කිලෝමීටර 320ක් බවත් දැක්වේ. වෙබ් අඩවියේ Racco පිටුවේ ද “Up to 320 km range per charge” (එක් ආරෝපණයකින් කිලෝමීටර 320ක් දක්වා) සහ “Dual-sided electric sliding power doors” (දෙපසම විදුලියෙන් ක්‍රියා කරන ස්ලයිඩින් දොරවල්) සඳහන් වේ. ඔක්තෝබර් 9 BYD ෆේස්බුක් පිටුවේ පළ වූ මිලියන 11.45 මිල දැන්වීම මෙම Premium රථය සඳහා බව මෙයින් ද, පහත සඳහන් JKCG අලෙවි ප්‍රධානියාගේ ප්‍රකාශයෙන් ද තහවුරු වේ.

    BYD Racco Brochure | JKCG Website

    JKCG සමාගම ඔක්තෝබර් 17 පළ කළ දැන්වීමේ අදාළ රථය BYD RACCO DYNAMIC යන මාදිලිය ලෙස පැහැදිලිව දක්වා ඇත. එහෙත් Dynamic මාදිලියේ බැටරි ධාරිතාව, ධාවන පරාසය සහ උපාංග BYD Sri Lanka දැන්වීමේ හෝ JKCG වෙබ් අඩවියේ 2026 ඔක්තෝබර් 19 වන විට පළ කර නොතිබිණි. ජපානයේ අඩුම මිල Racco 200 මාදිලියට කිලෝවොට් පැය 22.4 බැටරියක් සහ කිලෝමීටර 210ක ධාවන පරාසයක් තිබෙනවා. කෙසේ වෙතත්, මේවා එකම මෝටර් රථ වර්ගයේ වෙනස් මිල සහිත මාදිලි දෙකක් බව BYD Sri Lanka දැන්වීම් දෙකෙන්ම පැහැදිලි වේ.

    පළමු දිනයේ ප්‍රකාශ කළ BYD Racco Premium හි රුපියල් මිලියන 11.45 මිල තවමත් නොවෙනස්ව පවතී

    ඔක්තෝබර් 17 Dynamic මාදිලියේ දැන්වීම පළ වූ පසුත්, BYD Sri Lanka පිටුවේ ඔක්තෝබර් 9 පළ කළ මිලියන 11.45 දැන්වීම තවමත් ප්‍රදර්ශනය වන අතර, එහි මෙම මිල 2026 නොවැම්බර් 9 දක්වා වලංගු බව පැහැදිලිව දැක්වේ. 2026 ඔක්තෝබර් 5 සිට 19 දක්වා එම පිටුවේ පළ වූ සටහන් අප පරීක්ෂා කළ අතර, Premium මාදිලියේ මිල සංශෝධනය කළ බවට කිසිදු නිවේදනයක් හමු නොවීය (මෙතනින්). ජාත්‍යන්තර වාහන පුවත් වෙබ් අඩවියක් ද ඔක්තෝබර් 16 වාර්තා කළේ රු. 11,450,000 මිල නොවැම්බර් 9 දක්වා වලංගු හඳුන්වාදීමේ මිලක් බවයි (මෙතනින්). මෙරට වාහන මිල සහ සමාලෝචන වෙබ් අඩවියක් ද Racco 300 Premium මිල රු. 11,450,000 ලෙස දක්වයි (මෙතනින්).

    BYD Racco විදුලි මෝටර් රථයේ ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇති Dynamic සහ Premium මාදිලි දෙක පිළිබඳව තොරතුරු පහත වගුවේ දැක්වේ.

    BYD Racco Dynamic BYD Racco Premium
    ශ්‍රී ලංකාවේ හඳුන්වාදීමේ මිලරුපියල් මිලියන 8.75රුපියල් මිලියන 11.45
    බැටරි ධාරිතාව (Battery)22.40 kWh35.84 kWh
    ධාවන පරාසය (WLTC Range)කිලෝමීටර 210 පමණකිලෝමීටර 320 පමණ
    මෝටර් බලය (Power)47 kW (අශ්වබල 64)47 kW (අශ්වබල 64)
    ස්ලයිඩින් දොරවල් (Sliding Doors)අතින් ක්‍රියා කරවන (Manual)විදුලියෙන් ක්‍රියා කරන (Powered)
    Seat Heatingනොමැතඉදිරිපස අසුන් සඳහා පවතී (Front seats)
    Steering Heatingනොමැතපවතී (Heated steering wheel)
    DC Fast Chargingඋපරිම 35.8 kW (CHAdeMO)උපරිම 50 kW (CHAdeMO)

    Premium මාදිලියේ මිල වෙනස් වී නැති බව John Keells CG Auto අලෙවි ප්‍රධානි තහවුරු කරයි

    අප මේ සම්බන්ධයෙන් John Keells CG Auto ආයතනයේ අලෙවි ප්‍රධානි මිනෝෂලා නිස්සංක මහත්මියගෙන් විමසූ අතර, ඔක්තෝබර් 9 දින හඳුන්වා දුන් BYD Racco Premium මාදිලියේ මිලියන 11.45ක මිල කිසිසේත් වෙනස් වී නොමැති බවත්, දින අටක් ඇතුළත එම මිල ලක්ෂ 27කින් අඩු වී ඇති බවට හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඇය තහවුරු කළාය.

    ඔක්තෝබර් 9 දින මෙරටට හඳුන්වා දුන්නේ BYD Racco හි Premium මාදිලිය බවත්, එහි ආරම්භක මිල මිලියන 11.45ක් බවත්, එය මේ දක්වා වෙනස් වී නොමැති බවත් ඇය සඳහන් කළාය. ඔක්තෝබර් 17 දින Racco හි Dynamic නමැති වෙනත් මාදිලියක් හඳුන්වා දුන් බවත්, එහි මිල Premium මාදිලියට වඩා අඩු මිලියන 8.75ක් බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

    මේවා Racco වර්ගයේ වෙනස් මාදිලි දෙකක් බවත්, තවත් මාදිලි හඳුන්වා දීමට නියමිත බවත්, ඉදිරියේදී එක් එක් මාදිලියේ මිල ගණන් වෙන වෙනම පළ කිරීමට කටයුතු කරන බවත් ඇය සඳහන් කළාය.

    2026 ජූලි 28 වන දින ජපානයේ නිල වශයෙන් අලෙවිය ආරම්භ කළ BYD Racco රථය එහි මාදිලි 3කින් අලෙවි වේ. ජපාන වෙළඳපොළේ එම මාදිලි 3 සහ ඒවායේ ප්‍රධාන තොරතුරු මෙසේය.

    SpecificationsBYD Racco 200 (Base)BYD Racco 300 Plus (Mid)BYD Racco 300 Premium (Top)
    ජපාන විකුණුම් මිලයෙන් මිලියන 2.145යෙන් මිලියන 2.398යෙන් මිලියන 2.497
    බැටරි ධාරිතාව (Battery)22.4 kWh35.84 kWh35.84 kWh
    ධාවන පරාසය (WLTC Range)කිලෝමීටර 210කිලෝමීටර 320කිලෝමීටර 320
    මෝටර් බලය (Max Power)47 kW (64 PS)47 kW (64 PS)47 kW (64 PS)
    උපරිම ව්‍යවර්ථය (Torque)160 Nm160 Nm160 Nm
    DC වේගවත් ආරෝපණය (CHAdeMO)35.8 kW49.7 kW49.7 kW

    ඒ අනුව ජපානයේ ද BYD Racco රථය මාදිලි වශයෙන් වෙන් වෙන්ව, එකිනෙකට වෙනස් පිරිවිතර (Specifications) සහ මිල ගණන් සහිතව අලෙවි වන බව පැහැදිලි වේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, John Keells CG Auto සමාගම මෙරට වෙළඳපොළට හඳුන්වා දුන් BYD Racco විදුලි මෝටර් රථයේ (Kei Car) මිල දින 8ක් ඇතුළත රුපියල් මිලියන 11.45 සිට මිලියන 8.75 දක්වා අඩු කළ බවට පළවන සටහන් නොමඟ යවන සුළු බවයි.

    රුපියල් මිලියන 11.45 යනු ඔක්තෝබර් 9 එළිදැක්වීමේදී ප්‍රකාශයට පත් කළ BYD Racco Premium මාදිලියේ හඳුන්වාදීමේ මිල වන අතර, එය 2026 නොවැම්බර් 9 දක්වා වලංගු බව BYD Sri Lanka නිල ෆේස්බුක් පිටුවේ තවමත් දැක්වේ. රුපියල් මිලියන 8.75 යනු ඔක්තෝබර් 17 වෙනම හඳුන්වා දුන් BYD Racco Dynamic මාදිලියේ හඳුන්වාදීමේ මිලයි. JKCG නිල වෙබ් අඩවිය, නිල බ්‍රෝෂරය සහ JKCG අලෙවි ප්‍රධානියාගේ ප්‍රකාශය මෙය තහවුරු කරයි.

    මිල දෙකම සත්‍ය වුවද, ඒවා එකම රථයේ පැරණි සහ නව මිල ලෙස ඉදිරිපත් කිරීම වැරදිය. මුල් දැන්වීමේ මාදිලි නාමය සඳහන් නොකිරීම මෙම ව්‍යාකූලත්වයට හේතු විය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.