පොලිස් ස්ථානයකට පැමිණෙන පුද්ගලයෙකුට තම ජංගම දුරකතනය රැගෙන යා හැකිද? එසේ රැගෙන යාමට අවසර තිබුණත් පොලිස් ස්ථානය තුළ ඡායාරූප හෝ වීඩියෝ පටිගත කළ හැකිද? එවැනි පටිගත කිරීමක් සිදු කළහොත් එය නීති විරෝධී ක්‍රියාවක්ද?
පොලිස් ස්ථාන තුළ සිදුවන ඇතැම් සිදුවීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මෙම ප්‍රශ්න නැවතත් සමාජයේ කතාබහට ලක්ව තිබේ. විශේෂයෙන්ම හෝමාගම පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාමේ සිදුවීමෙන් අනතුරුව, පොලිස් ස්ථාන තුළ ජංගම දුරකතන රැගෙන යාම සම්බන්ධයෙන් පවතින සීමා, ඒවා ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවා උල්ලංඝනය වූ විට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු වී ඇත.
ඒ අතරම, “පොලිස් ස්ථාන තුළට දුරකතන ගෙනයාම තහනම් කෙරේ” යන මාතෘකාවෙන් “Breaking News” සටහන් ඔක්තෝබර් 30 වන දා සිට සමාජ මාධ්‍යයේ පැතිර යයි.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඔක්තෝබර් 30 වන දා සවස “#Breaking පොලිස් ස්ථාන තුලට දුරකතන ගෙනයාම තහනම් කෙරේ” යන සටහනක් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මාධ්‍ය හමුවේ කොටසක් සමඟ “පොලිස් ස්ථාන වලට දුරකතන ගෙනියන්න දෙන් නෑ” යන ලියමන සහිත වීඩියෝවක් පළ විය.



එක් සටහනක් “මෙම තීරණය ඔබ අනුමත කරනවාද?” යනුවෙන් ජනමත විමසුමක් කරමින් බෙදා ගෙන තිබේ.



Facebook 1 | Facebook 2 | Facebook 3 | Facebook 4 | Facebook 5 | Facebook 6
විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : රජයේ නිවේදනයක් හෝ නව නියෝගයක් මගින් පොලිස් ස්ථාන තුළට ජංගම දුරකතන ගෙනයාම දැන් සිට තහනම් කර ඇති බව.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා දැක්වූ අදහස් මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප කළ විමසීමේදී ලැබුණු පැහැදිලි කිරීම ද මෙම වාර්තාවට පදනම් කරගෙන තිබේ.
මෙහිදී ප්‍රධාන වශයෙන් හඳුනාගත යුතු කරුණක් වන්නේ ජංගම දුරකතනයක් පොලිස් ස්ථානයකට රැගෙන යාම, එය එහි ඕනෑම ස්ථානයක භාවිත කිරීම සහ එහිදී ඡායාරූප හෝ වීඩියෝ පටිගත කිරීම යනු එකිනෙකට වෙනස් කාරණා තුනක් බවයි.
හෝමාගම පොලිස් ස්ථානයේ සිදුවීමෙන් මතුවූ ගැටලුව
පොලිස් ස්ථාන තුළ ජංගම දුරකතන රැගෙන යාම සම්බන්ධයෙන් නැවතත් අවධානය යොමු වූයේ හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිදුවීමත් සමඟය.
2026 ඔක්තෝබර් 25 වැනිදා හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ 29 හැවිරිදි පුද්ගලයෙකු පසුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් තිබිණි. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
පොලිසිය මුලින් සඳහන් කර තිබුණේ අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ආ පසු සැකකරු හදිසියේ රෝගී වූ බව ත්, පසුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බවත්ය.
කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් ඇති වූ සැකය සහ ඥාතීන් විසින් එල්ල කරන ලද චෝදනා හේතුවෙන් විමර්ශන ආරම්භ කෙරිණි. ඔක්තෝබර් 26 වන දා සිට හෝමාගම පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ද පියවර ගෙන තිබිණි.
ඔක්තෝබර් 29 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කළේ, මියගිය පුද්ගලයාගේ ඉළ ඇට තුනක් බිඳී තිබූ බව ත් මොළයේ රුධිර වහනයක් ද වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව ත් ය. ඔහු තවදුරටත් පැවසුවේ සැකකරු පොලිස් අපරාධ අංශයේ යම් කාලයක් රඳවා තබා පසුව සිරමැදිරියට රැගෙන ගොස් ඇති බව ත්, එම කාලය තුළ පහරදීමක් සිදුවූ බවට තොරතුරු ලැබී ඇති බවත්ය. එහෙත් එම පහරදීම පිළිබඳ අවසන් නිගමනයක් වෛද්‍ය වාර්තාව සහ විමර්ශන අවසන් වනතුරු ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු සඳහන් කරනු ලැබීය.
මෙම සිදුවීමට අදාළව හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ද අත්අඩංගුවට ගෙන නොවැම්බර් 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
අදාළ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද ස්වයං මැදිහත්වීමෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කොමිෂන් සභාව සඳහන් කරන්නේ අදාළ පොලිස් නිලධාරීන් තමන් නිකුත් කළ, අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සැලකීම පිළිබඳ මාර්ගෝපදේශ අනුගමනය කර තිබේද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බවයි.
හෝමාගම සිදුවීමේදී ජංගම දුරකතන සම්බන්ධයෙන් පවතින සීමා නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවට කරුණු මතුවීමත් සමඟ, පොලිස් ස්ථාන තුළට දුරකතන රැගෙන යාම පාලනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද ප්‍රශ්න මතුවී ඇත.
පොලිස් ස්ථාන තුළ ජංගම දුරකතන රැගෙන යාම පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශය
පොලිස් ස්ථාන තුළ ජංගම දුරකතන රැගෙන යාම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඔක්තෝබර් 29 වන දා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කරුණු පැහැදිලි කරනු ලැබීය. ඔහු මෙම අදහස් පළ කළේ හෝමාගම පොලිස් සිරමැදිරිය තුළ රහසින් ගත් වීඩියෝවක් පිළිබඳ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඔහුගේ ප්‍රකාශයට අනුව, මාධ්‍යවේදීන් හැර අනෙකුත් බාහිර පුද්ගලයන්ට පොලිස් ස්ථාන වල ඇතැම් සංවේදී කලාප තුළට ජංගම දුරකතන රැගෙන යාම සාමාන්‍යයෙන් තහනම් වේ. ඒ සඳහා අවශ්‍ය නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ, පොලිස් ස්ථානයක් පොදු ස්ථානයක් වුව ද එහි සිරමැදිරි සහ අපරාධ විමර්ශන අංශ වැනි ස්ථාන පොදු ස්ථාන ලෙස සැලකිය නොහැකි බවයි.
එම ප්‍රදේශවල ආරක්ෂාව සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම මෙම සීමා පැනවීමේ අරමුණ බව ද ඔහු පැහැදිලි කළා. මෙම ස්ථානයට දුරකතනයක් ගෙන ඒමට ඉඩ සලසා දීම පිළිබඳ හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනමට ප්‍රධාන හේතුවක් වූ බව ද ඔහු එහිදී සඳහන් කරනු ලැබීය.
Facebook | YouTube (24:50 සිට)
මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ පොලිස් ස්ථානයක මහජනතාවට සේවා ලබාදෙන ප්‍රදේශ සහ පොලිස් රාජකාරිවලට සෘජුව සම්බන්ධ සංවේදී ප්‍රදේශ අතර වෙනසක් පවතින බවයි.
එහෙත් සමාජ මාධ්‍ය සටහන් මෙම පිළිතුරේ කෙටි කොටසක් පමණක් ගෙන, එය “රජයේ නිවේදනයක්” හෝ “දැන් සිට ක්‍රියාත්මක තහනමක්” ලෙස ඉදිරිපත් කර ඇත. තවද, මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම පිළිබඳ පොලිසිය ලිඛිතව දැක්වූ හේතු අතර දුරකතනයක් සඳහන් නොවේ. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්.
එහෙත් මෙහිදී තවත් වැදගත් ප්‍රශ්නයක් මතුවේ. ජංගම දුරකතන රැගෙන යාම සම්බන්ධයෙන් සඳහන් කරන නීති හා ප්‍රතිපත්ති මොනවාද? ඒවා නිකුත් කර ඇත්තේ කුමන බලතල යටතේද? ඒවා සියලුම පොලිස් ස්ථානවලට අදාළද? සාමාන්‍ය මහජනතාවට අදාළ සීමා මොනවාද?
නමුත් මේ වනතෙක් ජනතාවට පොලිස් ස්ථාන තුළට ජංගම දුරකතන ගෙන යාම තහනම් කරමින් නියෝගයක් හෝ චක්‍රලේඛයක් නිකුත් කර නොමැත. ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 2 දක්වා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනවල හෝ පුවත් වාර්තාවල ද එවැනි තීරණයක් අපට හමු නොවීය.
නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ දුරකතන තහනම් කර නැති බවයි
සමාජ මාධ්‍යයේ “ඇමති කියනවා පුලුවන් කියලා” යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රකාශය සමඟ එකට පළ වූ දර්ශනය, 2026 සැප්තැම්බර් 30 රූපවාහිනියේ “මහජන දිනය” වැඩසටහනෙනි. එනම් එය හෝමාගම සිදුවීමට පෙර කළ ප්‍රකාශයකි.
අම්බලන්ගොඩ පොලිසියේ වීඩියෝවකින් පසු පොලිස් ස්ථානවලට දුරකතන තහනම් කිරීමට පොලිසිය අවධානය යොමු කර ඇතැයි කියන බව වැඩසටහනේ මෙහෙයුම්කරු සඳහන් කළ විට, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ “දුරකතන ගෙනයාම තහනම් කරලා නැහැ” යනුවෙනි.
කෙසේවෙතත් සිරමැදිරි වීඩියෝ කිරීමට සහ ස්ථානාධිපති සමඟ කතාබහ රහසින් පටිගත කිරීමට ඉඩ නොදෙන බව ත්, දුරකතනයක් ළඟ තබා ගැනීමට කිසිදු පොලිස් ස්ථානයක බාධාවක් නැති බව ත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පොලිස් මූලස්ථානයට දුරකතනයක් රැගෙන යා හැකිද?
පොලිස් මූලස්ථානයට ජංගම දුරකතනයක් රැගෙන යාම සම්බන්ධයෙන් අප කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, පොලිස් මූලස්ථානය පොදු ස්ථානයක් වන බැවින් එහි ජංගම දුරකතනයක් රැගෙන යා හැකි බවයි.
මෙම පැහැදිලි කිරීම අනුව පොලිස් මූලස්ථානයට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම ජංගම දුරකතනයක් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවට පොදු නිගමනයකට එළඹිය නොහැකිය.
කෙසේ වෙතත්, මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පොලිස් මූලස්ථානයට දුරකතනයක් රැගෙන යාමට හැකි වීමෙන් එහි සෑම අභ්‍යන්තර ප්රදේශයකටම නිදහසේ ඇතුළුවීමට හෝ ඕනෑම ස්ථානයක වීඩියෝ පටිගත කිරීමට අවසර ලැබෙන බවක් අදහස් නොවන බව ත්, ආරක්ෂක හේතූන් මත සීමා පනවා ඇති ප්‍රදේශ, සිරමැදිරිවල සිටින සැකකරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ ගෙන මුදා හැරීම, නඩු භාණ්ඩ, රාජකාරි සිදුකරන ස්ථාන සහ රහස්‍ය තොරතුරු පවතින ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන් සීමා ඇති බව ත් ඔහු පෙන්වා දුන්නා.
පොලිස් ස්ථානවල සිදුවන දේ පටිගත කිරීම නීති විරෝධීද?
මෙහිදී ජංගම දුරකතනයක් රැගෙන යාම සහ එය භාවිත කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පටිගත කිරීම අතර වෙනස හඳුනාගැනීම අත්‍යවශ්‍ය වේ.
2024 ඔක්තෝබර් 30 වැනිදා එවකට වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ බව සඳහන් වන RTM-924/CRTM-762 දරන චක්‍රලේඛය සම්බන්ධයෙන් පළ වූ තොරතුරු අනුව, මහජනතාවට පොලිස් නිලධාරීන්ගේ රාජකාරි හෝ ක්‍රියාකාරකම් පටිගත කිරීම තහනම් කරන නීතියක් නොමැති බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙම උපදෙස්වල පසුබිම වී තිබුණේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් පටිගත කළ පුද්ගලයන්ට තර්ජනය කිරීම, ඔවුන්ගේ දුරකතන අත්පත් කරගැනීම සහ ඇතැම් අවස්ථාවල අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම් පිළිබඳව වාර්තා වීමයි. වාරියපොළ සිදුවීමකින් පසු එවකට මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා ද එවැනි සිදුවීමක් වීඩියෝ කිරීම ඕනෑම අයෙකුගේ අයිතියක් බව පවසා තිබිණි.
එමඟින් පෙන්වා දෙන්නේ පොලිස් නිලධාරියෙකු රාජකාරියේ නිරත වන අවස්ථාවක් පටිගත කිරීම පමණක් හේතුවෙන් එය නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බවයි. සංස්කරණය නොකළ(Edit) එවැනි වීඩියෝ 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත යටතේ නඩුවල සාක්ෂි ලෙස යොදාගත හැකි බව ද එම චක්‍රලේඛයේ සඳහන් විය.
කරුණු එසේ වුවද, පොලිස් නිලධරයන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමෙන් අනතුරුව එම වීඩියෝපට සංස්කරණය කර, ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජනතාව වෙත වෛරී හැඟීම් ඇති වන ආකාරයෙන් එම සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමක් සිදු වුව හොත්, එවැනි තැනැත්තන් විෂයෙහි නෛතික පියවර ගැනීමට මෙම උපදෙස් පණිවිඩය මඟින් බාධාවක් නොවන බව ද වැඩිදුරටත් එහි දක්වා තිබිණි.
එම පැරණි චක්‍ර ලේඛය යොදාගෙන එය වර්තමානයේ සිදු කළ ප්‍රකාශයක් ලෙස “සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමක් සිදු වුව හොත් පොලිසිය විසින් නීතිමය පියවර ගන්නා බවට” යන කොටස පමණක් ‘දසත’ ෆේස්බුක් පිටුව මගින් නෙමග යන අන්දමින් ද, පළ කර තිබුණේ මෙලෙසින්.

කෙසේ වෙතත්, මෙම චක්‍රලේඛය පොලිස් ස්ථානයක ඕනෑම ප්‍රදේශයකට නිදහසේ ඇතුළුවීමට හෝ සිරමැදිරි, අපරාධ විමර්ශන අංශ සහ රහස්‍ය තොරතුරු පවතින ස්ථානවල වීඩියෝ පටිගත කිරීමට අවසර ලබාදෙන ලියවිල්ලක් ලෙස අර්ථ දැක්විය නොහැකිය.
එනම්, පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පටිගත කිරීම පිළිබඳ උපදෙස් සහ පොලිස් ස්ථානයක සංවේදී ප්‍රදේශවලට ඇතුළුවීම පාලනය කිරීම යනු වෙන වෙනම සලකා බැලිය යුතු කරුණු දෙකකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන අයිතිවාසිකම් සහ ඒවායේ සීමා
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මඟින් සෑම පුරවැසියෙකුටම භාෂණයේ හා ප්රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම් හිමි කර දී තිබේ. ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීම සහ තොරතුරු සන්නිවේදනය කිරීම මූලික අයිතිවාසිකම්වලට සම්බන්ධ වේ.
එහෙත් එම අයිතිවාසිකම් අසීමිත නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය මඟින් 14(1)(අ) වගන්තියේ සඳහන් අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීම සඳහා නීතියෙන් නියම කළ හැකි සීමා දක්වා ඇත.
ඒ අනුව පොලිස් නිලධාරියෙකුගේ රාජකාරි පිළිබඳ තොරතුරු ලබාගැනීම, එම තොරතුරු පටිගත කිරීම සහ මහජනතාවට සන්නිවේදනය කිරීම ප්‍රකාශන නිදහසට සම්බන්ධ විය හැකිය. එහෙත් එම අයිතිය භාවිත කිරීමේදී වෙනත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, විමර්ශනවල රහස්‍යභාවය, ආරක්ෂාව සහ නීත්‍යනුකූල පරිපාලනමය සීමා ද සැලකිල්ලට ගත යුතුය.
විශේෂයෙන්ම සැකකරුවන්, සාක්ෂිකරුවන් සහ පැමිණිලිකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වැදගත් වේ. සිරමැදිරිවල සිටින පුද්ගලයන් හෝ විමර්ශනවලට සම්බන්ධ රහස්‍ය තොරතුරු පටිගත කිරීමෙන් ඔවුන්ගේ ආරක්ෂාවට හා අයිතිවාසිකම්වලට බලපෑම් ඇති විය හැකිය.
එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශන නිදහස යන අයිතිය පවතින බව පමණක් පදනම් කරගෙන පොලිස් ස්ථානයක ඕනෑම ස්ථානයක් පටිගත කිරීමට නිරපේක්ෂ අයිතියක් ඇතැයි නිගමනය කළ නොහැකිය. ඒ හා සමානව, පොලිස් ස්ථානයක් තුළ සිටින පුද්ගලයෙකුට දුරකතනයක් තිබීම පමණක් හේතුවෙන් ඔහු නීතිය උල්ලංඝනය කර ඇති බවට ද තීරණය කළ නොහැකිය.
අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාවට අදාළ මානව හිමිකම් මාර්ගෝපදේශ
පොලිස් ස්ථානයක ජංගම දුරකතන භාවිතය පිළිබඳ කතාබහේදී අමතක නොකළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාවයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2025 වසරේදී පොලිස් අත්අඩංගුවේදී සහ පොලිස් ගැටුම්වලදී සිදුවන මරණ වැළැක්වීම සඳහා පොලිසියට පොදු මාර්ගෝපදේශ හා නිර්දේශ මාලාවක් නිකුත් කර තිබුණි. 2025 මැයි 14 වන දා එම මාර්ගෝපදේශ වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ අතර, ඒවා පොලිස් අංශ වෙත ක්‍රියාත්මක කිරීම සඳහා යොමු කළ බව ද කොමිෂන් සභාව සඳහන් කරයි.
එම මාර්ගෝපදේශවලට අනුව පොලිස් ස්ථානයක අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් නිසි වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය වේ. ඒ අතරට,
• අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාව සහ පොලිස් ස්ථානයට රැගෙන ආ වේලාව සටහන් කිරීම.
• අත්අඩංගුවට ගත් අවස්ථාවේ දක්නට ලැබුණු තුවාල හෝ සෞඛ්‍ය ගැටලු සටහන් කිරීම.
• ඔහු සතුව තිබූ පෞද්ගලික භාණ්ඩ පොලිස් භාරයට ගත් විට ඒ පිළිබඳ ලැයිස්තුවක් පවත්වාගෙන යාම.
• අත්අඩංගුවේ සිටින පුද්ගලයා පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන ගියහොත් එහි වේලාව, ස්ථානය සහ හේතුව සටහන් කිරීම.
• ඔහුගේ භාරකාරත්වය පැවරී ඇති නිලධාරීන් කවුරුන්ද යන්න පැහැදිලිව සටහන් කිරීම.
• ඔහු ඉල්ලා සිටින වෛද්‍ය ප්‍රතිකාර සහ ලබාදුන් ප්‍රතිකාර පිළිබඳ තොරතුරු වාර්තා කිරීම.
වැනි කරුණු ඇතුළත් වේ.
මෙම මාර්ගෝපදේශ මඟින් අවධාරණය කරන්නේ අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකුගේ ආරක්ෂාව සහ ඔහුට සිදුවන සැලකීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට පැහැදිලි වගකීමක් ඇති බවයි.
මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන පරිදි, 2020 ජනවාරි සිට 2025 මාර්තු 31 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මරණ 49ක් සහ අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලදී මරණ 30ක් වාර්තා වී තිබේ. මෙතනින්.
මෙවැනි පසුබිමක පොලිස් ස්ථාන තුළ සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම අතිශය වැදගත් වේ.
මෑතකාලීන සිදුවීම්වලින් පෙනෙන තවත් ගැටලුවක්
හෝමාගම සිදුවීම පමණක් නොව, පොලිස් ස්ථාන තුළ සිදුවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ විමර්ශන ආරම්භ කර තිබේ.
2026 අගෝස්තු මාසයේදී අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදුවූ බව කියන සිදුවීමක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර තිබිණි. එම සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායමේ ප්‍රධානත්වය දැරූ උප පොලිස් පරීක්ෂකවරයා වෙනත් ස්ථානයකට මාරු කර තිබූ බව ද වාර්තා විය.
මෙවැනි සිදුවීම්වලදී වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයට නිකුත් වීමෙන් පසු මහජනතාවට පොලිස් ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබේ. එහෙත් වීඩියෝවක් පමණක් පදනම් කරගෙන සිදුවීමේ සම්පූර්ණ පසුබිම හෝ වගකිව යුතු පාර්ශ්වයන් පිළිබඳ අවසන් තීරණයකට පැමිණිය නොහැකිය. එබැවින් ස්වාධීන විමර්ශන, සාක්ෂි සහ නිල වාර්තා මත කරුණු තහවුරු කිරීම අවශ්‍ය වේ.
මෙවැනි සිදුවීම්වලදී දුරකතනයෙන් පටිගත කළ පුද්ගලයාට එරෙහිව පමණක් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට, වීඩියෝවෙන් හෙළිවන බවට චෝදනා කරන ක්‍රියාව පිළිබඳව ද නිසි විමර්ශනයක් සිදුකිරීම වැදගත්ය. හෝමාගම සිදුවීමේදී ද, රෝහලේදී වීඩියෝ කිරීමට උත්සාහ කළ විට පොලිස් නිලධාරීන් තම දුරකතනය ගත් බවට මියගිය තරුණයාගේ මව චෝදනා කර තිබුණි. මෙතනින්.
පොලිස් ස්ථාන සියල්ලටම CCTV කැමරා සවිකිරීමේ සැලසුමක්
පොලිස් ස්ථාන තුළ සිදුවන ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සහ පොලිස් රාජකාරිවල විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීමේ අරමුණින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල CCTV කැමරා පද්ධති සවිකිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.
2026 නොවැම්බර් 01 වැනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා මේ බව සඳහන් කරමින් කියා සිටියේ අදාළ ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි. CCTV කැමරා මඟින් ලබාගන්නා දර්ශන භාවිත කරමින් පොලිස් ස්ථානවල කටයුතු අධීක්ෂණය කිරීමට ද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබේ.
ශරීර කැමරා (body cams) නිලධාරීන්ට ලබා දෙමින් පවතින බව ත්, බොහෝ පොලිස් ස්ථානවල දැනටමත් CCTV ඇති බව ත් ඔක්තෝබර් 29 මාධ්‍ය සාකච්ඡාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද පැවසීය”.
මෙම සැලසුම විශේෂයෙන් වැදගත් වන්නේ පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ ගැටලු මතුව ඇති පසුබිමකය. හෝමාගම පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාමේ සිදුවීම වැනි අවස්ථාවකදී, CCTV දර්ශන තිබේ නම්, අදාළ පුද්ගලයා පොලිස් ස්ථානය තුළ රඳවා සිටි කාලය, ඔහු රැගෙන ගිය ස්ථාන සහ එම කාලය තුළ සිදුවූ ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනය කිරීමට ඒවා උපකාරී විය හැකිය.
මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද මීට පෙර පොලිස් ස්ථානවල CCTV පද්ධති සවිකිරීම නිර්දේශ කර තිබීමයි. කොමිෂන් සභාව 2025 වසරේදී නිකුත් කළ General Guidelines and Recommendations No. 01 of 2025 මඟින් පොලිස් ස්ථානවල පිළිගැනීමේ ප්‍රදේශ, සිරමැදිරි, කොරිඩෝ සහ වෙනත් අනුමත රඳවා තැබීමේ ස්ථානවල සිදුවන ක්‍රියාකාරකම් පටිගත කිරීම සඳහා CCTV පද්ධති සවිකිරීමට නිර්දේශ කර තිබේ. එහිදී අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය සහ ගරුත්වය ආරක්ෂා කිරීම මෙන්ම නීතිඥවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් සමඟ රහසිගතව සන්නිවේදනය කිරීමේ අයිතියට බාධා නොවන ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, CCTV කැමරා සවිකිරීම පමණක් මෙම ගැටලුවට සම්පූර්ණ විසඳුමක් නොවේ. කැමරා සවිකරන ස්ථාන මොනවා ද, ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක වනවා ද, පටිගත කරන දර්ශන කොපමණ කාලයක් සුරක්ෂිතව තබාගන්නවාද සහ විමර්ශනයක් අවශ්‍ය වූ විට එම දර්ශන ලබාගත හැක්කේ කාටද යන්න පිළිබඳ පැහැදිලි ක්‍රමවේදයක් තිබිය යුතුය.
එමෙන්ම CCTV දර්ශන මකා දැමීම, වෙනස් කිරීම හෝ අදාළ විමර්ශනවලදී ලබාගැනීමට නොහැකි වීම වැළැක්වීම සඳහා ද නිසි ආරක්ෂණ ක්‍රමවේද අවශ්‍ය වේ.
එබැවින් මෙහිදී වැදගත් වන්නේ පොලිස් ස්ථානවල CCTV කැමරා සවිකිරීම පමණක් නොව, ඒවායෙන් ලබාගන්නා දර්ශන ස්වාධීනව පරීක්ෂා කළ හැකි, සුරක්ෂිතව පවත්වාගෙන යන සහ වගවීම තහවුරු කිරීමට භාවිත කළ හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමයි.
එසේ නම් පොලිස් ස්ථානයකට දුරකතනයක් රැගෙන යා හැකිද?
මෙතෙක් ලබාගත් තොරතුරු සහ නිලධාරීන්ගේ ප්‍රකාශ සලකා බැලීමේදී, මෙම ප්‍රශ්නයට සරලව “පුළුවන්” හෝ “බැහැ” යනුවෙන් පිළිතුරු දීම ප්‍රමාණවත් නොවේ.
පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේ පැහැදිලි කිරීම අනුව පොලිස් මූලස්ථානය පොදු ස්ථානයක් වන අතර එහි ජංගම දුරකතනයක් රැගෙන යා හැකිය. අනෙක් අතට, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රකාශය අනුව පොලිස් ස්ථානවල ඇතැම් සංවේදී ප්‍රදේශවලට ජංගම දුරකතන රැගෙන යාම සීමා කර තිබේ. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දුරකතන තහනම් කර නැති නමුත් සිරමැදිරි පටිගත කිරීමට ඉඩ නොදෙන බවයි.
එම ප්‍රකාශ සියල්ලෙන්ම පෙනී යන්නේ පොලිස් පරිශ්රයක සියලුම ප්‍රදේශ එකම ආකාරයෙන් සැලකිය නොහැකි බවයි.
මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමෙන් මහජනතාවට පවතින නීතිමය සීමා මොනවාද යන්න පැහැදිලි කරගත හැකි වන අතර, පොලිස් ස්ථානවල අභ්‍යන්තර පාලන ක්‍රමවේද පිළිබඳව ද වඩාත් නිවැරදි අවබෝධයක් ලබාගත හැකිය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
අවසාන නිගමනය (Conclusion)
පොලිස් ස්ථාන තුළට ජංගම දුරකතන ගෙනයාම රජයේ නිවේදනයක් හෝ නව චක්‍රලේඛයක් මගින් තහනම් කර ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන සුළු ය. එවැනි නියෝගයක් නිකුත් කර නොමැති අතර, එම සටහන් පදනම් වූයේ සිරමැදිරියක් වීඩියෝ කිරීම පිළිබඳ ප්‍රශ්නයකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දුන් පිළිතුරේ කෙටි කොටසකටය.
පොලිස් ස්ථානයක් පොදු ස්ථානයක් වීමෙන් එහි සෑම ප්රදේශයක්ම මහජනතාවට විවෘත වන බවක් අදහස් නොවේ. එසේම පොලිස් ස්ථානයක් තුළට ජංගම දුරකතනයක් රැගෙන යාම සහ එහි සංවේදී ප්‍රදේශවලට එය රැගෙන ගොස් භාවිත කිරීම ද කාරණා දෙකකි.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පටිගත කිරීම සම්බන්ධයෙන් පවතින උපදෙස් ද, පොලිස් ස්ථානවල ඇතැම් ප්‍රදේශවලට දුරකතන රැගෙන යාම සම්බන්ධ සීමා ද වෙන වෙනම සලකා බැලිය යුතුය.
හෝමාගම සිදුවීමෙන් මතුවන ප්‍රධාන ප්රශ්නය වන්නේ දුරකතන රැගෙන යාම සම්බන්ධ සීමා පවතින්නේද යන්න පමණක් නොවේ. එම සීමා නිසි ලෙස ක්‍රියාත්මක වූයේද, පොලිස් ස්ථානය තුළ අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු වූයේ ද සහ අදාළ නිලධාරීන් තම වගකීම් නිසි ලෙස ඉටු කළේ ද යන්නයි.
ඒ අනුව, පොලිස් ස්ථානවල ජංගම දුරකතන භාවිතය සම්බන්ධයෙන් පැහැදිලි, ලිඛිත සහ මහජනතාවට දැනගත හැකි ප්‍රතිපත්තියක් තිබීම වැදගත් වේ. එමෙන්ම එවැනි සීමා ක්‍රියාත්මක කිරීමේදී නීත්‍යනුකූලභාවය, මහජන අයිතිවාසිකම්, විමර්ශනවල රහස්‍යභාවය සහ අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව අතර නිසි සමතුලිතතාවක් පවත්වාගැනීම ද අත්‍යවශ්‍ය වේ.


