දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මහරගම අපේක්ෂා රෝහලේ රෝගී සත්කාර කටයුතු සඳහා ඖෂධ වර්ග කිහිපයක් සහ වෛද්ය උපකරණ හිඟ වී ඇති බැවින්, ඒ සඳහා රෝහල විසින් පරිත්යාගශීලීන්ගේ ආධාර උපකාර පතන බවට සඳහන් පුවත්පත් වාර්තාවක් සහ සමාජ මාධ්ය සටහන් මේ දිනවල අන්තර්ජාලය පුරා බහුලව සංසරණය වෙමින් පවතී. පිළිකා රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලමින් බොහෝ දෙනෙකු මෙම තොරතුර හුවමාරු කර ඇති බැවින්, මෙහි සත්ය අසත්යතාව සොයා බැලීමට අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :


Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
ශ්රී ලංකා ජාතික පිළිකායතනයේ (NCISL) විසින් තම නිල වෙබ් අඩවිය, සමාජ මාධ්ය, මුද්රිත හෝ විද්යුත් මාධ්ය හෝ වෙනත් කිසිදු පොදු වේදිකාවක් ඔස්සේ ඉහත සටහන්වල සඳහන් ඖෂධ හෝ වෙනත් ද්රව්ය පරිත්යාග කරන ලෙස ඉල්ලා කිසිදු සඳහනක් පළ කර ඇති බවට අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට නොලැබේ.
මේ හේතුවෙන් අප මේ පිළිබඳව ජාතික පිළිකායතනයේ අධ්යක්ෂ දොස්තර සුරංග දොලමුල්ල මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. අධ්යක්ෂවරයා සඳහන් කළේ, ජාතික පිළිකායතනය විසින් හෝ රෝහල් බලධාරීන් විසින් හෝ මෙවැනි නිවේදනයක්, ඉල්ලීමක් හෝ සිදු කර නොමැති බවයි.
කෙසේ වෙතත්, පුද්ගලයන්, සංවිධාන සහ හිතවතුන් බොහෝ විට රෝගී සත්කාර සඳහා අවශ්ය ඖෂධ, උපකරණ, පරිභෝජන ද්රව්ය හෝ වෙනත් අයිතම පරිත්යාග කිරීමට ඇති කැමැත්ත ප්රකාශ කරමින් ස්වේච්ඡාවෙන්ම රෝහල වෙත පැමිණනන අතර එවැනි අවස්ථාවලදී, පරිත්යාගශීලියාගේ ඉල්ලීමේ ස්වභාවය අනුව, එවැනි පරිත්යාගයන් භාර ගැනීම සඳහා අනුගමනය කළ යුතු අවශ්යතා, නියාමන අවශ්යතා සහ ක්රියා පටිපාටි පිළිබඳව අදාළ පරිත්යාගශීලියාට රෝහල විසින් නිසි මඟ පෙන්වීම යටතේ, එවැනි විමසීමකට ප්රතිචාර වශයෙන් පරිත්යාගශීලින්ට තොරතුරු ලබා දෙන බවයි.
නමුත්, කිසිදු තොරතුරක්, ජාතික පිළිකායතනය විසින් ආධාර ලබා ගැනීම සඳහා කරන ලද පොදු ඉල්ලීමක් හෝ ආයාචනයක් ලෙස අර්ථ කථනය නොකළ යුතු බව ත්, මෙම සටහන් වලින් එලෙස අරුත් ගැන්වෙන බැවින් මෙම සටහන් අසත්ය බවයි අධ්යක්ෂවරයා වැඩි දුරටත් තහවුරු කළේ.
ඉහත සටහන් වල දැක්වෙන ඖෂධ ලැයිස්තුවේ Tigecycline සහ Voriconazole ආසාදන සඳහා, අනෙක් කිහිපය පිළිකා/ප්රතිශක්ති පද්ධතිය සම්බන්ධ ප්රතිකාර සඳහා භාවිත වන ඖෂධ හිඟයක් ඇත් ද, යන්න පිළිබඳව ද, අප විමසීමක් කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ, ඖෂධ සියල්ලම සියයට සියයක් සපුරා ගැනීම කිසිදු රෝහලක කළ හැකි දෙයක් නොවන බැවින් ඖෂධ අඩුවැඩි වශයෙන් පවතින බවයි. කෙසේ නමුත් පරිත්යාගශීලින් විසින් සිදු කරන විමසීම් වලදී ඇතැම් අය මුදලින් මෙන් ම ඖෂධ වලින් ද, උපකාර කරන බවයි.
ජාතික පිළිකායතනයේ අධ්යක්ෂවරයා විසින් මෙම සමාජ මාධ්ය සටහන් අසත්ය බවට පවසමින් මාධ්ය වෙත නිවේදනයක් ද, යොමු කර තිබුණේ මෙලෙසින්.

අප මේ පිළිබඳව ‘දිවයින’ පුවත්පතේ සංස්කාරකගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, හෙට(06) දිනයේ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් පුවත් පතේ පළ කරන බවයි.
Update 06/10/26 :
Claim 2 :
මේ අතර බොරැල්ල රිජ්වේ ළමා රෝහලේ ද, ඖෂධ හිඟ බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සටහන් කිහිපයක් පළ වී තිබුණේ මෙලෙසින්.

තව ත් සටහනක් පහතින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතා ද, අද(06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී මාධ්යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මේ පිළිබඳව සඳහන් කළේ, මෙම පුවත අසත්ය බව ත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙබ් අඩවියේ යාවත්කාලීන නොවූ දත්ත පදනම් කරගනමින් මෙවැනි අසත්ය තොරතුරක් නිර්මාණය කර ගෙන ඇති බවයි. මෙවැනි තොරතුරු වල සත්ය අසත්යතාව අදාළ රෝහල් වල අධ්යක්ෂ වරුන්ගෙන් නොවිමසා මෙවැනි අසත්ය තොරතුරු හුවමාරු කර ගෙන ඇති බවයි අමාත්යවරයා පෙන්වා දුන්නේ.
අප විසින් එම වෙබ්අඩවිය හරහා කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, එම වෙබ් අඩවියේ පරිත්යාග පිටු මෙන් ම අනෙක් තොරතුරුද, 2020 වසරේ සිට මේ වනතෙක් එකම පණිවිඩය නොවෙනස්ව පවතින බවයි.
එමෙන් ම රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්ය ප්රදීප් රත්නසේකර මහතා ද, සඳහන් කළේ, රෝහලේ ඖෂධ සහ ශල්ය ද්රව්යවල දැඩි හිඟයක් පවතින බවට සමාජ මාධ්ය හරහා පැතිර යන පුවත් අසත්ය බවයි.
එම අසත්ය පුවත් සඳහා යොදාගෙන ඇත්තේ 2022 වර්ෂයේ පැවති ආර්ථික අපහසුතා මධ්යයේ සකස් කරන ලද පැරණි ලේඛන සහ යෙදවුම් තොරතුරු වන අතර, 2022 ජූලි මාසයෙන් පසු වෙබ් අඩවියේ තොරතුරු යාවත්කාලීන කර නොමැති බවයි. වර්තමානය වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හා ශල්ය පාරිභෝජන ද්රව්ය සැපයුම කිසිදු බාධාවකින් තොරව නිසි පරිදි පවත්වාගෙන යන අතර මහජනතාව නොමඟ යවන මෙම අසත්ය ප්රචාරයන්ට නොරැවටෙන ලෙස ඉල්ලා තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මහරගම අපේක්ෂා රෝහල විසින් ඖෂධ හිඟයක් ඇති බවට පවසමින් ප්රසිද්ධියේ ආධාර ඉල්ලා ඇති බවට සමාජ මාධ්යවල පළ වන වාර්තා නොමඟ යවන සුළු බවයි.
රෝහල් බලධාරීන් විසින් එවැනි කිසිදු පොදු ආයාචනයක් කර නොමැති අතර, පරිත්යාග කිරීමට කැමති අයෙකු වේ නම්, සමාජ මාධ්ය සටහන් මත පමණක් පදනම් නොවී රෝහල් පරිපාලනය සෘජුවම සම්බන්ධ කර ගනිමින් නිසි නීතිමය ක්රියා පටිපාටියට අනුකූලව කටයුතු කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම සටහන් වල දැක්වෙන්නේ අපේක්ෂා රෝහලේ දුරකතන අංක සහ උපකාර කළ හැකි ආකාර වැනි තොරතුරු සත්ය වේ. මෙහිදී රෝහල විසින් පොදුවේ මහ ජනවතාවගෙන් කළ කළ ඉල්ලීමක් ලෙස දැක්වීම මෙහි නොමග යන සුළු කරුණ වී ඇති බව පෙන්වා දිය හැක.



