Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ශ්‍රී ලංකාව UN සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති බවට පළවන සටහන් අසත්‍යයි!

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-26
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් කර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වෙමින් තිබේ. මේ එහි නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.  සමාජ මා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් කර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වෙමින් තිබේ. මේ එහි නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහ එක්සත් ජාතීන්ගේ නිල ලාංඡනය ද සහිත මෙම සටහන පළ කර ඇත්තේ, උණුසුම් පුවතක් ලෙස හුවා දක්වමිනි. 

    Facebook | Archived Link

    Facebook | Archived Link

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකාව පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනත් ඕනෑම සමාජික රටක් එම සංවිධානය විසින් සාමාජිකත්වයෙන් ඉවත් කළේ නම් හෝ එවැනි සූදානමක් පවතී නම්, එවැනි පුවතක් දේශීය පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යයවල ද පුළුල් ලෙස වාර්තා කර තිබිය යුතු ප්‍රමුඛ පුවතකි. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව එජා සාමාජිකත්වයෙන් ඉවත් කළ බවට හෝ එවැනි සූදානමක් පවතින බවට කිසිදු පිළිගත් දේශීය හෝ ජාත්‍යන්තර මාධ්‍යයක් වාර්තා කර නැත. 

    කෙසේ වෙතත් මෙවැනි සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන්නේ, මේදිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉහළ පෙළේ සතියට සමගාමීව, සැප්තැම්බර් 28 වැනිදා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත පසුබිමකදී ය. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ, සැප්තැම්බර් 27 සිට 30 දක්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විජිත හේරත් මහතා නායකත්වය දෙන බවත් අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට  නියමිත බවයි.

    ශ්‍රී ලංකාව තවදුරටත් එ.ජා. සාමාජිකයෙක් 

    එක්සත් ජාතීන්ගේ සංවිධනයේ නිල සාමාජිකයින් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ඇති ප්‍රධානතම නිල මූලාශ්‍රය වන්නේ, එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියයි. ඒ අනුව අප අදාළ වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාවේ එජා සාමාජිකත්වය පරීක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාව 1955 දෙසැම්බර් 14 සිට මේ දක්වා එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස පවතින බව එහි පැහැදිලිව දැකගත හැකියි. 

    එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය 

    තවද 2026 වසරේදීත් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල කටයුතුවලට සහභාගී වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිල මූලාශ්‍ර මගින් තහවුරු වේ. ජුනි 26 වැනිදා නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අත්සන් කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම සඳහා පැවති මහා මණ්ඩල රැස්වීමකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශයක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය දූත මණ්ඩලය 2026 වසරේදීත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ නිල කටයුතු සිදු කරමින් සිටින බව එහි නිල වෙබ් අඩවියේ නවතම වාර්තා ද පෙන්වා දෙයි. එමෙන්ම, 2026 සැප්තැම්බර් 8 වැනිදා ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක සහභාගී වී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ බවට ද වාර්තා පවතී. මේ අනුව ද පැහැදිලි වන්නේ, කිසිදු ගැටලුවකින් තොරව ශ්‍රී ලංකාව තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස ක්‍රියාත්මක බවයි.   

    මෑත කාලීනව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා. සංවිධානයේ අවධානය යොමු වූ අවස්ථා 

    සැප්තැම්බර් 25 වැනිදා පාර්ලිමේන්තුවේදී 2/3ක වැඩි ඡන්දයෙන් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිනී Margaret Satterthwaite ද අවධානය යොමු කර තිබුණා. අගෝස්තු 7 වැනිදා ඇය ශ්‍රී ලංකා රජයට යොමු කළ නිල ප්‍රකාශයකින්, ඒ වනවිට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම පිළිබඳ අවධානය යොමු කර තිබුණා. ඇය පෙන්වා දී තිබුණේ, දැනට සේවයේ සිටින විනිසුරුවරුන්ට ද එය අදාළ කිරීම අධිකරණ ස්වාධීනත්වය හා බලතල වෙන් කිරීම සම්බන්ධයෙන් ගැටලු මතු කළ හැකි බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අගෝස්තු 21 වැනිදා ශ්‍රී ලංකා රජය ඊට පිළිතුරු යොමු කර තිබුණා. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්

    මීට අමතරව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයේදී (අගෝස්තු 30) ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්ෂ් ප්‍රකාශයක් නිකුත් කරමින්, පවසා තිබුණේ, දස දහස් ගණනක් පවුල් තවමත් අතුරුදන් වූ සිය ඥාතීන් පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් සිටින බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටකර් විසින්  සැප්තැම්බර් 3 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කරමින් එහිදී යුද්ධය අවසන් වී වසර 17කට පසුවත් අපරාධ, බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බරපතළ මානුෂීය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීමේ සැලකිය යුතු ප්‍රගතියක් නොමැති බව සඳහන් කර ඇත. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්  

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය අහෝසි වන්නේ කෙසේ ද? 

    කිසියම් රටක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය අහෝසි කිරීම එක් පුද්ගලයෙකුට එක් පෑන් ඉරකින් සිදුකළ නොහැකි ය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 6 වැනි වගන්තිය අනුව එක්සත් ජාතීන්ගේ  ප්‍රඥප්තියේ අන්තර්ගත මූලධර්ම අඛණ්ඩව උල්ලංඝනය කරන්නේ නම්, එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් සංවිධානයෙන් නෙරපා හැරීමට හැකියාව පවතී. එහෙත් එය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට හෝ කිසියම් එක්සත් ජාතීන්ගේ එක් ආයතනයකට පමණක් තනිවම ගත හැකි තීරණයක් නොවන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අදාළ රට ඉවත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශයක් සිදු කළ යුතු ය. පසුව එම නිර්දේශය මත මහා මණ්ඩලය විසින් අදාළ සාමාජිකයා ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු අතර ඒ සඳහා මහා මණ්ඩලයේ ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක බහුතරයක් ද අවශ්‍ය වේ. 

    ඒ අනුව යම් රටක් UN හි කිසියම් යෝජනාවකට විරුද්ධව ඡන්දය ලබාදීම, හෝ මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම වැනි සිදුවීමක් නිසා ඝෘජුවම UN සාමාජිකත්වය අහෝසි වීමක් සිදු නෙවන අතර ඒ සඳහා නිල ක්‍රියාවලියක් පවතී. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 6 වැනි වගන්තිය අනුව කිසියම් සාමාජික රටක් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම අඛණ්ඩව උල්ලංඝනය කර ඇති බවට ඉහත ක්‍රියාවලිය තුළ තීරණය විය යුතු ය.

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රොෂාන් ගමගේ මහතා සඳහන් ක‍ළේ, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් කර ඇති බවට පළවන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි, පදනම් විරහිත සහ කිසිදු නිල සාක්ෂියකින් තොර ප්‍රකාශයක් බවයි. ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අවසන් කිරීම, අත්හිටුවීම හෝ රට සංවිධානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හෝ ආරක්ෂක මණ්ඩලය විසින් කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවට කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයේ අවසන් නිගමනය වන්නේ, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇතැයි යනුවෙන් පළ වී ඇති සමාජ මාධ්‍ය සටහන් අසත්‍ බවයි. ශ්‍රී ලංකාව තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 අතරින් එකක් වන අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සැප්තැම්බර් 28 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත. 

    Result Stamp

    Title: ශ්‍රී ලංකාව UN සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති බවට පළවන සටහන් අසත්‍යයි! 

    Written By: Sagarika Chathumali

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-09-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.