Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ‘ප්ලාස්ටික් බිස්කට්’ කතාව ඇත්තක් ද? ශ්‍රී ලාංකික විද්‍යාඥවරයාගේ µBites පර්යේෂණය ගැන පැහැදිලි කිරීමක්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-03
    9 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ‘ප්ලාස්ටික් හාල්’, ‘ප්ලාස්ටික් බිත්තර’ වැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වේ. ඒ නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගෙන ආහාරයක් නිපදවිය හැකි බව ඇසූ විට, එය තවත් විද්‍යා ප්‍රබන්ධ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ‘ප්ලාස්ටික් හාල්’, ‘ප්ලාස්ටික් බිත්තර’ වැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට සංසරණය වේ. ඒ නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගෙන ආහාරයක් නිපදවිය හැකි බව ඇසූ විට, එය තවත් විද්‍යා ප්‍රබන්ධ කතාවක් සේ පෙනී යා හැකිය. එහෙත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආශ්‍රයෙන් බිස්කට් නිෂ්පාදනය කිරීම පිළිබඳ පර්යේෂණයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ විශාල සංවාදයකට තුඩු දී තිබේ.

    මෙවර අපගේ අවධානය යොමු වුණේ ශ්‍රී ලාංකික ක්ෂුද්‍රජීව විද්‍යාඥ ආචාර්ය ලහිරු ජයකොඩි වෙතයි. සමාජ මාධ්‍ය සටහන්වල කියැවෙන්නේ, ඔහු ‘ප්ලාස්ටික් බිස්කට්’ ලෙස හැඳින්විය හැකි නව සොයාගැනීමක් කර ඇති බවයි. ඇත්තටම මෙම පර්යේෂණයේදී ප්ලාස්ටික් භාවිත වන්නේ කෙසේ ද? නිපදවා ඇත්තේ සැබෑ ‘ප්ලාස්ටික් බිස්කට්’ එකක් ද? මේ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ලොවම මවිත කරවමින් ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥ ආචර්ය ලහිරු ජයකොඩි මහතා ආහාරට ගත හැකි ප්ලාස්ටික් බිස්කට් එකක් සොයා ගෙන ඇති බවත් මෙම සටහනේ සඳහන් අතර එම සොයා ගැනීම පිළිබඳ තවත් වැඩි විස්තරයක් ද එහි සඳහන් ය.

    ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්ලාස්ටික් බිස්කට් එකක් සොයාගත් බව පවසන “BREAKING NEWS” ෆේස්බුක් සටහනක තිර රූපය

    Facebook | Archived Link

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය වාර්තා

    ශ්‍රී ලාංකික ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු විසින් මෙවැනි සොයාගැනීමක් කර ඇති බවට වාර්තා පළ වී තිබේ දැයි අප මුලින්ම ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය ඔස්සේ පරීක්ෂා කළෙමු. එහිදී, ඇමරිකාවේ දකුණු ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ (Southern Illinois University Carbondale) ආචාර්ය ලහිරු ජයකොඩිගේ නායකත්වයෙන් යුත් පර්යේෂක කණ්ඩායමක්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාර නිෂ්පාදනයට යොදාගත හැකි සංයෝග බවට පරිවර්තනය කිරීමේ පර්යේෂණයක් සාර්ථකව සිදු කර ඇති බව RNZ, The Guardian සහ අද දෙරණ වාර්තා මඟින් තහවුරු විය.

    එම වාර්තාවල දැක්වෙන පරිදි, නාසා (NASA) ආයතනයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය හරහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ඉවතලන ශාක ද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රෝටීන් බහුල, ආහාරයට ගත හැකි 3D මුද්‍රිත කුකීස් (3D-printed cookies) වර්ගයක් නිපදවීමට පර්යේෂණ කණ්ඩායමට හැකි වී තිබේ. “µBites” නම් වූ මෙම කුකියේ නිෂ්පාදන පිරිවැය කිලෝග්‍රෑමයකට ඇමරිකානු ඩොලර් 60ක් බවද එම වාර්තාවල සඳහන් වේ.

    µBites කුකිය නිපදවන්නේ කෙසේද?

    මූලික අමුද්‍රව්‍ය :- ජල බෝතල් සහ බීම බෝතල් නිෂ්පාදනයට බහුලව යොදාගන්නා පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) ප්ලාස්ටික් සහ ඉවතලන බඩ ඉරිඟු ශාකයේ කඳන්, කොළ වැනි ජෛව අපද්‍රව්‍ය පර්යේෂකයෝ මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිත කරති.

    කුඩා සංයෝග බවට බිඳ දැමීම :- PET සහ ශාක අපද්‍රව්‍ය, Oxidative Hydrothermal Dissolution (OHD) නම් ක්‍රියාවලියෙන් ජලය, ඔක්සිජන්, අධික උෂ්ණත්වය සහ පීඩනය යොදා ක්ෂුද්‍රජීවීන්ට භාවිත කළ හැකි කුඩා සංයෝග බවට බිඳ දමනු ලැබේ.

    යීස්ට්වල දායකත්වය :- මෙසේ ලැබෙන කාබන් අඩංගු ද්‍රවය විශේෂයෙන් සකසන ලද යීස්ට් අඩංගු ජෛව ප්‍රතික්‍රියාකාරකයකට ලබා දෙයි. යීස්ට් එම සංයෝග තම වර්ධනයට යොදාගනිමින් ප්‍රෝටීන, මේද සහ අම්ල ඇතුළු සංයෝග මෙන්ම ප්‍රෝටීන් බහුල යීස්ට් ජෛව ස්කන්ධයක්ද නිපදවයි.

    රසය සහ පෝෂණය වැඩි කිරීම :- තවත් යීස්ට් වර්ග වැඩිදියුණු කර, වැනිලා රසය හා සුවඳ ලබා දෙන සංයෝග නිපදවීමටත්, PET වලින් ලැබෙන ethylene glycol යොදාගෙන β-carotene නිපදවීමටත් පර්යේෂකයෝ කටයුතු කර තිබේ.

    අනෙකුත් අමුද්‍රව්‍ය එකතු කිරීම :- යීස්ට් ජෛව ස්කන්ධය සහ අනෙකුත් ආහාර සංයෝග සමඟ fiber, starch සහ sweetener වැනි ද්‍රව්‍ය මිශ්‍ර කර කුකීස් සඳහා සුදුසු මිශ්‍රණයක් සකසයි.

    3D මුද්‍රණය :- එම මිශ්‍රණය 3D food printer එකකට ලබාදී ස්ථරයෙන් ස්ථරය මුද්‍රණය කර µBites කුකිය හැඩගන්වයි. මුද්‍රිත කුකිය microwave කිරීමෙන් අවසන් ආකෘතිය ලබා ගනී. අවසන් නිෂ්පාදනයට සාමාන්‍ය කුකියකට සමාන පෙනුමක් හා සුවඳක් ලබා දීම තම අරමුණ බව පර්යේෂකයෝ පෙන්වා දී ඇත.

    පර්යේෂණයට අදාළ විද්‍යාත්මක ප්‍රකාශන

    මෙම පර්යේෂණයට අදාළව 2024 වසරේ Trends in Biotechnology විද්‍යාත්මක සඟරාවේ “Next-generation 3D-printed nutritious food derived from waste plastic and biomass” නමින් පර්යේෂණ ප්‍රකාශනයක් පළ වී තිබේ. ආචාර්ය ජයකොඩි ඇතුළු පර්යේෂක කණ්ඩායම ඉදිරිපත් කළ මෙම ලිපියෙන්, අපද්‍රව්‍ය ප්ලාස්ටික් සහ ජෛව අපද්‍රව්‍යවලින් ලබාගන්නා ද්‍රව්‍ය 3D මුද්‍රණ තාක්ෂණයෙන් පෝෂ්‍යදායී ආහාර බවට හැරවිය හැකි ආකාරය විමර්ශනය කෙරේ. එය සඟරාවේ 2024 ජුනි කලාපයේ පළ වී ඇති අතර, PubMed හිද විද්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස ලැයිස්තුගත කර ඇත.

    තවද, 2026 අගෝස්තු 24 දින පැවති ACS Fall 2026 සමුළුවේදී “Engineered yeast consortia for converting plastic and biomass-derived compounds into valuable food additives” යන මාතෘකාව යටතේ මෙම පර්යේෂණයේ නවතම ප්‍රතිඵල ඉදිරිපත් කර තිබේ. එහිදී PET ප්ලාස්ටික් සහ ශාක අපද්‍රව්‍යවලින් ලබාගත් සංයෝග යීස්ට් මඟින් vanillin සහ β-carotene බවට පරිවර්තනය කර, ඒවා යීස්ට් ප්‍රෝටීන් සමඟ මිශ්‍ර කර පෝෂ්‍යදායී 3D මුද්‍රිත µBites කුකීස් නිපදවූ ආකාරය විස්තර කර ඇත. එහෙත් ඇමරිකානු රසායනික සංගමය (ACS) මෙය හඳුන්වන්නේ තවමත් මූලාකෘතියක් (prototype) ලෙසයි. සාමාන්‍ය පාරිභෝගික පරිභෝජනයට ඉදිරිපත් කිරීමට පෙර තවදුරටත් පර්යේෂණ සහ අනුමත කිරීම් අවශ්‍ය වේ.

    ‘ප්ලාස්ටික් බිස්කට්’ යැයි කීම නිවැරදි ද?

    ඉහත ක්‍රියාවලියෙන් පැහැදිලි වන්නේ, ප්ලාස්ටික් කැබලි හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය සෘජුවම මෙම කුකියට එකතු නොවන බවයි. ප්ලාස්ටික් මුලින්ම රසායනිකව කුඩා සංයෝග බවට බිඳ දමනු ලබන අතර, ඒවා යීස්ට් මඟින් ආහාර සංයෝග බවට පරිවර්තනය කෙරේ. එබැවින් මෙය ප්ලාස්ටික්වලින්ම සාදන කුකියක් නොව, ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ලබාගත් සංයෝග ජෛව තාක්ෂණික ක්‍රියාවලියක් ඔස්සේ ආහාර අමුද්‍රව්‍ය බවට පත් කර නිපදවන පර්යේෂණාත්මක කුකියක් (බිස්කට් එකක්) ලෙස හැඳින්වීම වඩා නිවැරදි ය.

    පර්යේෂකයන් පෙන්වා දෙන අරමුණු

    ශ්‍රී ලාංකික ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු සහ ඇමරිකාවේ Southern Illinois University Carbondale (SIU) හි Associate Professor ධුරය දරන, පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය ලහිරු ජයකොඩි උපුටා දක්වමින් SIU සහ American Chemical Society (ACS) සඳහන් කරන්නේ, ආහාර හිඟය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය යන ගැටලු දෙකටම විකල්ප විසඳුම් සෙවීම µBites තාක්ෂණයේ අරමුණ බවයි. සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩකඩ සහ ජලය සීමිත අවස්ථාවලදී ආහාර නිපදවීමට මෙය යොදාගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

    ආහාර සැපයීම අපහසු, සම්පත් සීමිත දුරස්ථ පරිසරවලටද මෙය උපකාරී විය හැකි බව ආචාර්ය ජයකොඩි පවසයි. SIU දක්වන උදාහරණ අතර නාවික යාත්‍රා (විශේෂයෙන් සබ්මැරීන) සහ ආක්ටික්, ඇන්ටාක්ටික් වැනි දුරස්ථ ප්‍රදේශ ඇතුළත් වේ. අයහපත් කාලගුණය නිසා ගුවන් හෝ මුහුදු මාර්ගයෙන් ආහාර ගෙන යාම අවහිර වන විට, එම ස්ථානයේදීම ආහාර නිපදවන පද්ධතියක් ලෙස µBites භාවිත කළ හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

    µBites මුලින් සංවර්ධනය කළේ නාසා ආයතනයේ Deep Space Food Challenge හා සම්බන්ධ පර්යේෂණයක් ලෙසයි. දිගුකාලීන අභ්‍යවකාශ මෙහෙයුම්වලදී සීමිත සම්පත් යොදා ආහාර නිපදවීමේ හැකියාව සෙවීම එහි මූලික අරමුණ විය. දැන් පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ, පෘථිවියේ සම්පත් සීමිත හෝ ආපදාවලට ලක් වූ ප්‍රදේශවලටත්, සඳ හෝ අඟහරු වැනි අතිශය සීමිත සම්පත් සහිත පරිසරවලටත් මෙම තාක්ෂණය යොදාගත හැකි බවයි. ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට නව භාවිතයක් සොයාගැනීම මෙහි තවත් වැදගත් අරමුණකි. එහෙත් ACS පැහැදිලි කරන පරිදි, ප්ලාස්ටික් කැබලි සෘජුවම ආහාරයට එක් නොකෙරේ.

    ආචාර්ය ලහිරු ජයකොඩි පවසන්නේ කුමක්ද?

    සමාජ මාධ්‍යවල සංසරණය වන කරුණු සහ පර්යේෂණයේ සැබෑ තත්ත්වය වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා, ඇමරිකාවේ Southern Illinois University Carbondale හි ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු සහ Associate Professor ධුරය දරන ආචාර්ය ලහිරු ජයකොඩි මහතා අප දුරකථනයෙන් සම්බන්ධ කරගත්තෙමු. එම සංවාදයේදී ඔහු පැහැදිලි කළ කරුණු පහතින්.

    ප්ලාස්ටික් කන්නේ නැහැ, සිදුවන්නේ සංඝටක පරිවර්තනයක්

    සමාජ මාධ්‍යවල කියැවෙන ‘ප්ලාස්ටික් කන්න පුළුවන්’ හෝ ‘ප්ලාස්ටික්වලින් බිස්කට් හදනවා’ යන්න පර්යේෂණයේ සැබෑ ක්‍රියාවලිය නොවන බව ආචාර්ය ජයකොඩි පැහැදිලි කළේය. මෙහිදී ප්ලාස්ටික් කැබලි හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය සෘජුවම ආහාරයට එකතු නොකරන බවත්, විශේෂ තාක්ෂණික ක්‍රියාවලියක් මඟින් ප්ලාස්ටික් එහි මූලික රසායනික සංඝටක දක්වා බිඳ දමා, ඒවා ක්ෂුද්‍රජීවීන් මඟින් වෙනත් අවශ්‍ය සංයෝග බවට පරිවර්තනය කිරීම පර්යේෂණයේ මූලික අදහස බවත් ඔහු පැවසීය.

    ක්ෂුද්‍රජීවීන් මඟින් සංඝටක පරිවර්තනය කරන ආකාරය

    PET වැනි ප්ලාස්ටික් වර්ග ඒවායේ මූලික රසායනික සංඝටක දක්වා බිඳ දැමීමට තාප-රසායනික සහ එන්සයිම ආශ්‍රිත ක්‍රම භාවිත කළ හැකි බව ඔහු කීවේය. උදාහරණයක් ලෙස PET ප්ලාස්ටික් බෝතලයක ප්‍රධාන සංඝටක අතර Terephthalic acid සහ Ethylene glycol ඇතුළත් වේ. බිඳ දැමීමෙන් පසු මෙම සංඝටක ක්ෂුද්‍රජීවීන්ට ලබා දී, ඒ මඟින් අවශ්‍ය පෝෂණ සංඝටක සහ වෙනත් නිෂ්පාදන නිපදවා ගත හැකිය. යීස්ට් වැනි ක්ෂුද්‍රජීවීන්ගේ ජානමය ලක්ෂණ වෙනස් කර, ඒවාට ලබාදෙන සංඝටක යොදාගනිමින් ප්‍රෝටීන, රසකාරක සහ වෙනත් සංයෝග නිපදවන ආකාරය පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

    එබැවින් අවසන් නිෂ්පාදනයේ අරමුණ “ප්ලාස්ටික් ආහාරයට ගැනීම” නොව, ප්ලාස්ටික්වල අඩංගු කාබන් ඇතුළු මූලික සංඝටක වෙනත් ප්‍රයෝජනවත් නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම බව ඔහු අවධාරණය කළේය.

    අවසාන නිෂ්පාදනයේ ප්ලාස්ටික් තිබේද?

    මෙම ක්‍රියාවලියේ අරමුණ ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම එහි මූලික සංඝටක දක්වා බිඳ දැමීම බවත්, ඉන්පසු නිපදවෙන අවසාන ආහාර නිෂ්පාදනය තුළ මුල් ප්ලාස්ටික් ද්‍රව්‍ය හෝ Microplastics අඩංගු නොවන බවත් ආචාර්ය ජයකොඩි පැවසීය.

    මිනිසුන්ට ආහාරයට ගැනීමට දැනටමත් ආරක්ෂිතද?

    මෙම පර්යේෂණය සම්බන්ධයෙන් වඩාත්ම වැදගත් ප්‍රශ්නය මෙයයි.

    මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණ :- අවසාන නිෂ්පාදනයේ අඩංගු සංඝටක මිනිස් පරිභෝජනයට සුදුසු බව මේ වන විට සිදුකර ඇති පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ආචාර්ය ජයකොඩි පැවසීය. ආහාර හරහා රෝග ඇති කළ හැකි ක්ෂුද්‍රජීවීන් (Food Pathogens) නිෂ්පාදනයේ තිබේදැයි පරීක්ෂා කර ඇති අතර, එවැනි රෝගකාරක නොමැති බවද තහවුරු වී ඇත. මෙම පරීක්ෂණ ඔවුන්ගේම රසායනාගාරවලට පමණක් සීමා නොවී, ආහාර පරීක්ෂණ සඳහා වන තෙවන පාර්ශ්වයේ ප්‍රතීතනය ලත් රසායනාගාර (third-party accredited laboratories) මඟින්ද සිදුකර ඇතැයි ඔහු සඳහන් කළේය.

    ආහාර ජීර්ණය සහ විෂ සහිත බව :- මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ සෛල භාවිතයෙන් නිෂ්පාදනයේ විෂ සහිත බලපෑමක් තිබේදැයි බලන පරීක්ෂණද අවසන් කර ඇත. එමෙන්ම නිෂ්පාදනයේ ප්‍රෝටීනවල ගුණාංග, ඒවා ආහාර ජීර්ණ පද්ධතිය තුළ බිඳ වැටෙන ආකාරය සහ ශරීරයට අවශෝෂණය විය හැකි ආකාරය පිළිබඳ පරීක්ෂණද, මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය අනුකරණය කරන කෘත්‍රිම පද්ධතියක් (simulated gut) යොදාගෙන සිදුකර ඇත. මෙම පර්යේෂණවල වාර්තා ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

    නිල අනුමැතියට තව කොපමණ කාලයක් ගතවේද?

    මෙම පරීක්ෂණවලින් යහපත් ප්‍රතිඵල ලැබී තිබුණද, නිෂ්පාදනය මිනිසුන්ට ආහාරයක් ලෙස ලබාදීමට පෙර ආරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කළ යුතු බව ආචාර්ය ජයකොඩි පැහැදිලි කළේය. ඒ සඳහා අවශ්‍ය වාර්තා සකස් කරමින් සිටින අතර, ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) වෙතින් අනුමැතිය ලබා ගැනීම වැදගත් පියවරක් බව ඔහු සඳහන් කළේය. සම්පූර්ණ පර්යේෂණ හා නියාමන ක්‍රියාවලිය අවසන් කර, නිෂ්පාදනය මිනිස් පරිභෝජනයට සැබවින්ම සුදුසු බව තහවුරු කිරීමට තවත් වසර දෙකක් හෝ තුනක් පමණ ගත විය හැකිය.

    එහෙත් සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් තිබේ. ACS නිවේදනය ඇතුළත් Newswise පිටපතට අනුව, µBites ආරක්ෂිත බව දත්තවලින් පෙනෙන්නේ යැයි පර්යේෂකයෝ කියතත්, මිනිසුන් භාවිතයෙන් රසබැලීමේ පරීක්ෂණ සඳහා ආයතනික අනුමැතිය ඔවුන් තවමත් බලාපොරොත්තුවෙන් සිටිති. FoodNavigator වාර්තාවටද අනුව, මෙතෙක් කිසිවෙකුට මෙය අනුභව කිරීමට නිල වශයෙන් අවසර ලැබී නැත.

    එබැවින් මෙය දැනටමත් මිනිස් පරිභෝජනය සඳහා නිල වශයෙන් අනුමත කළ ආහාරයක් ලෙස සැලකීම නිවැරදි නොවේ.

    අභ්‍යවකාශ ගමන්වලට පමණක් සීමා නොවන තාක්ෂණයක්

    සීමිත සම්පත් සහිත පරිසරවල ආහාර නිපදවිය හැකිදැයි සොයා බැලීම මෙවැනි පර්යේෂණවල වැදගත් අරමුණක් බව ආචාර්ය ජයකොඩි සඳහන් කළේය. දිගු කාලීන අභ්‍යවකාශ ගමන්, සබ්මැරීන, යුද නෞකා, ආක්ටික් හා ඇන්ටාක්ටික් වැනි ප්‍රදේශවලදී මෙන්ම, ස්වාභාවික ආපදා නිසා සාමාන්‍ය ආහාර සැපයුම් පද්ධති අඩාල වන අවස්ථාවලදීද, එම ස්ථානයේදීම සීමිත සම්පත් යොදා ආහාර නිපදවිය හැකි පද්ධති අනාගතයේදී වැදගත් විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. මෙය භාවිතයෙන් පසු ද්‍රව්‍ය ඉවත නොදමා, ඒවා නැවත ප්‍රයෝජනවත් සම්පත් ලෙස යොදාගන්නා ‘circular economy’ සංකල්පයටද සම්බන්ධ වේ.

    අපගේ නිගමනය: “ප්ලාස්ටික් කන්න පුළුවන්” යනු කුමක්ද?

    සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරයට ප්ලාස්ටික් කැබලි එකතු කර ඒවා කෙලින්ම ආහාරයට එක් කර බිස්කට් සෑදීමක් මෙහි සිදු නොවේ. සිදුවන්නේ ප්ලාස්ටික්වල ඇති රසායනික සංඝටක විශේෂ ක්‍රියාවලියක් මඟින් වෙන් කර, ඒවා ක්ෂුද්‍රජීවීන් මඟින් මිනිස් පරිභෝජනයට අවශ්‍ය සංයෝග බවට පරිවර්තනය කිරීමයි.

    ප්ලාස්ටික් කැබලි නැත :- අවසන් නිෂ්පාදනයේ ප්ලාස්ටික් හෝ Microplastics අඩංගු නොවන බව ආචාර්ය ජයකොඩි පැවසීය.

    තවමත් මූලාකෘතියකි :- ACS විසින් µBites හඳුන්වන්නේ prototype එකක් ලෙසයි. පාරිභෝගික පරිභෝජනයට පෙර තවදුරටත් පර්යේෂණ සහ අනුමත කිරීම් අවශ්‍ය වේ.

    නිල අනුමැතිය තවම නැත :- FDA අනුමැතිය ඇතුළු නියාමන ක්‍රියාවලිය අවසන් කිරීමට තවත් වසර දෙකක් හෝ තුනක් ගත විය හැකි බැවින්, මෙය දැනට සාමාන්‍ය පරිභෝජනයට සුදුසු ආහාරයක් ලෙස නොසැලකිය යුතුය.

    තව ද සමාජ මාධ්‍ය ඔස්සේ පර්යේෂණයක් පිළිබඳ තොරතුරු බෙදාහරින විට, එහි වචන කිහිපයක් පමණක් ඉස්මතු කිරීමෙන් පර්යේෂණයේ සැබෑ අර්ථය වෙනස් ලෙස ඉදිරිපත් විය හැකි බවද ආචාර්ය ජයකොඩි පෙන්වා දුන්නේය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (නිගමනය) :

    සමස්තයක් ලෙස, ආචාර්ය ලහිරු ජයකොඩි ප්‍රමුඛ කණ්ඩායම ප්ලාස්ටික් සංයෝග යොදාගෙන 3D මුද්‍රිත µBites කුකීස් නිපදවා තිබීම සැබෑ පර්යේෂණයකි. එය විද්‍යාත්මක සඟරාවක් සහ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද තහවුරු වී ඇත. එහෙත් “ආහාරයට ගත හැකි ප්ලාස්ටික් බිස්කට් එකක් සොයාගැනීම” යැයි සමාජ මාධ්‍ය සටහන ඉදිරිපත් කරන චිත්‍රය අසම්පූර්ණ ය.

    මෙහිදී ප්ලාස්ටික් කැබලි කෙලින්ම ආහාරයට එක් නොකෙරේ. ප්ලාස්ටික් මුලින් රසායනිකව කුඩා සංයෝග බවට බිඳ දමා, ඒවා යීස්ට් මඟින් ප්‍රෝටීන් ඇතුළු ආහාර සංයෝග බවට පරිවර්තනය කෙරේ. එමෙන්ම මෙය තවමත් මූලාකෘතියක් පමණි. FDA වැනි නියාමන අනුමැතියක් නැති අතර, මිනිසුන් භාවිතයෙන් රසබැලීමේ පරීක්ෂණ පවා තවම අනුමත වී නැත.

    මේ නිසා සටහනේ මූලික කරුණ සත්‍ය වුවද, එය “දැනටමත් අනුභව කළ හැකි ප්ලාස්ටික් බිස්කට් එකක්” ලෙස මෙය අර්ථකථන වන්නේ නම් නොමඟ යවන සුළු ය.

    Result Stamp

    Title: ‘ප්ලාස්ටික් බිස්කට්’ කතාව ඇත්තක් ද? ශ්‍රී ලාංකික විද්‍යාඥවරයාගේ µBites පර්යේෂණය ගැන පැහැදිලි කිරීමක්!

    Fact Check By: Sagarika Chathumali

    Result: Missing Context

    WhatsApp හරහා ලැබෙන වීඩියෝ සහ රූප සත්‍යාපනය කරගැනීමට සහ අපගේ WhatsApp විකාශනයට සම්බන්ධ වීමට නම සහ භාෂාව එවන ලෙස දැනුම් දෙන සටහන
    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-10-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.