Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඥානසාර හිමිගේ නිදහස පතා පැවැත්වූ පාගමනේ සාමාජිකයෙකුට, මාලිමාවෙන් පහර දුන් බවට කී කතාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්

    කරුණු පැහැදිලි කිරීම
    2026-10-16
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතු වන්න. මහනුවර සිට කොළඹ දක්වා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ පාද යාත්‍රාවට උදව් උපකාර කළ පුද්ගලයෙකුට, ජවිපෙ හිතවාදියෙකු විසින් හෙල්මට් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතු වන්න.

    මහනුවර සිට කොළඹ දක්වා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ පාද යාත්‍රාවට උදව් උපකාර කළ පුද්ගලයෙකුට, ජවිපෙ හිතවාදියෙකු විසින් හෙල්මට් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් සමාජ මාධ්‍ය වීඩියෝවක් ඔස්සේ චෝදනා කර තිබුණි. මේ සම්බන්ධයෙන් සොයා බලමින් අප විසින් සිදු කරන කරුණු පැහැදිලි කිරීම පහත දැක්වේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    අදාළ පහර කෑ පුද්ගලයා ළඟට පැමිණ තිත්තගල්ලේ හිමියන් ඒ පිළිබඳව විමසන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වී තිබුණේ මෙලෙසිනි.

    Facebook

    ඉන්පසු මේ සම්බන්ධ සටහන් දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසිනි.

    ඥානසාර හිමිගේ නිදහස පතා පැවැත්වූ පාගමනේ සාමාජිකයෙකුට පහර දුන් බවට පැතිරෙන සටහන (1)
    ඥානසාර හිමිගේ නිදහස පතා පැවැත්වූ පාගමනේ සාමාජිකයෙකුට පහර දුන් බවට පැතිරෙන සටහන (2)

    Facebook | Archived Link Facebook

    Explainer (කරුණු පැහැදිලි කිරීම) :

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බරපතළ වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව වහාම නිදහස් කරන ලෙස රජයට බල කරමින් පැවැත්වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පාද යාත්‍රාව’ මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසින් 2026.10.10 දින ආරම්භ වූ අතර එය කොළඹ දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණි. මීට නායකත්වය දුන්නේ පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ සිංහල බෞද්ධ සංවිධාන කිහිපයකි. මෙම පාගමන අතරතුර 2026.10.14 දින පාගමනට උදව් උපකාර කළ පුද්ගලයකුට මාලිමා සාමාජිකයකු විසින් පහර දී ඇති බවට ඉහත වීඩියෝව පැතිර ගොස් තිබේ.

    2026.10.14 දින පැවැත්වුණු පාගමනේ සම්පූර්ණ සජීව විකාශය –YouTube

    2026.10.14 දින අදාළ පාගමන නිට්ටඹුවේ සිට කඩවත දක්වා ගමන් කෙරුණු අතර, ඉහත පහරදීම් සිදුවීමේ වීඩියෝවේ දැක්වෙන පසුබිම සමග එදින පාගමනේ ගමන් මාර්ගය පරීක්ෂා කිරීමේදී අදාළ පහරදීම සිදු වී ඇති ස්ථානය වීදියවත්ත දේවාලය ඉදිරිපිට බව හඳුනාගත හැකිය. කෙසේ වෙතත් ඉහත සිදුවීමට සම්බන්ධ කිසිවක් සජීව විකාශය තුළ දැකගැනීමට නොමැත.

    තිත්තගල්ලේ හිමියන් විසින් පළ කර තිබෙන වීඩියෝවෙහි පහර කෑමට ලක් වූ පුද්ගලයා පැමිණි ලොරි රථය බව දක්වමින් ලොරි රථයක් පෙන්වන අතර එහි සුක්කානමෙහිද රුධිරය තැවරී ඇති ආකාරය හඳුනා ගත හැකිය. එයින් පහරදීම සිදු වන අවස්ථාවේ අදාළ පුද්ගලයා රථය තුළ සිට ඇති බව නිගමනය කළ හැකිය. තවද ඔහු පාගමනේ ගමන් ගත් අයෙකු නොවන බවට ඉන් ඉඟි වන අතර, එය පහත දැක්වෙන පොලිස් ප්‍රකාශවලින් තහවුරු වේ.

    ඥානසාර හිමිගේ නිදහස පතා පැවැත්වූ පාගමනේ සාමාජිකයෙකුට පහර දුන් බවට පැතිරෙන සටහන (3)

    පහරදීම පෞද්ගලික ආරවුලක් බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි

    අදාළ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබූ අතර, පොලිස් විමර්ශනවලට අනුව මෙම පහරදීම සිදු වී ඇත්තේ 2026.10.14 දින වීරගුල පොලිස් බල ප්‍රදේශයට අයත් වීදියවත්ත දේවාලය අසලදීය. පහර කෑමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

    පොලීසිය විසින් නිකුත් කර තිබෙන නිවේදනයට අනුව වීරගුල පොලීසිය විසින් රෝහල්ගත කර සිටි පහර කෑ පුද්ගලයාගෙන් සෘජුවම ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, එම ප්‍රකාශයට අනුව, දේවාලය අසල මාර්ගයේ ඇති වූ වාහන තදබදයක් මුල් කරගනිමින්, මාර්ගයේ සිටි වෙනත් පුද්ගලයෙකු සහ මොහු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමේදී අනෙක් පුද්ගලයා විසින් හිස්වැසුමෙන් මොහුට පහර දී තිබේ.

    පහර කෑමට ලක් වූ පුද්ගලයා තමන් ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ පාගමනට සම්බන්ධ අයෙකු නොවන බවත්, ඊට කිසිදු සහායක් දැක්වීමට නොපැමිණි බවත් පොලීසියට සඳහන් කර තිබේ.

    මේ අනුව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කළේ වාහන තදබදයක් නිසා ඇති වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූ හෙල්මට් ප්‍රහාරයක්, තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් දේශපාලන මුහුණුවරක් දෙමින් සහ ඥානසාර හිමියන්ගේ පාගමනට සම්බන්ධ කරමින් අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවයි.

    Facebook

    පහර කෑ පුද්ගලයා පාගමනට පැමිණි කෙනෙකැයි තමා සිතූ බව තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් පවසයි

    2026.10.15 දින ඉහත සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් පවසා තිබුණේ, ශ්‍රී ලංකා පොලීසිය විසින් තමා අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බවට පවසා ඇති බවත්, එම පහර කෑ පුද්ගලයා පාගමනට සහය දීමට පැමිණි කෙනෙක් ලෙස තමා ඒ මොහොතේ සිතූ බවත්ය.

    තුවාල ලැබූ පුද්ගලයාගේ රුධිරය පිස දමා ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළ බවත්, පහරදීමට සම්බන්ධ යතුරුපැදියේ අංකය සටහන් කරගත් බවත් උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ. එමෙන්ම සිද්ධිය සිදු වන අවස්ථාවේ පොලිස් නිලධාරීන් එම ස්ථානයේ සිටියද පහරදීම වැළැක්වීමට හෝ ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර නොගත් බවටද උන්වහන්සේ චෝදනා කර තිබේ.

    එම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොකළේ නම් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පියවර නොගනු ඇතැයි තමන් සිතන බවද ප්‍රකාශ කර තිබේ.

    Facebook

    පහරදීම ලොරි රථයේ සහ මෝටර් බයිසිකලයේ සිටි දෙදෙනෙකු අතර සිදු වූ බව මාධ්‍යවේදීන් පවසයි

    අදාළ පාගමන සම්බන්ධයෙන් වාර්තාකරණයේ නිරත වූ මාධ්‍යවේදීන්ගෙන් අප විමසීමක් කළ අතර, එහිදී ඔවුන් සඳහන් කළේ ලොරි රථයක සහ මෝටර් බයිසිකලයක සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර වීදියවත්ත දේවාලය ඉදිරියේ සහ අනුර විද්‍යාලය අසලදී මෙම පහරදීම සිදු වූ බවත්, පහර කෑමට ලක් වූ ලොරි රථයේ සිටි පුද්ගලයා දක්වමින් ඔහු පාගමනට සම්බන්ධ වූ අයෙක් ලෙස තිත්තගල්ලේ හිමි හඳුන්වා දුන් බවත්, එසේ හඳුන්වද්දී එම අවස්ථාවේ අදාළ පුද්ගලයා තමා පාගමනට සම්බන්ධ වූ බවට හෝ නොවූ බවට කිසිවක් නොපවසා සිටි බවත්‍ය.

    කෙසේ වෙතත් පසුව පොලීසිය විමසූ විට ඔහු තමා මෙම පාගමනට සම්බන්ධ වූ අයෙක් නොවන බවට ප්‍රකාශ කර ඇති බවට මාධ්‍යවේදීන් සඳහන් කළහ.

    පහර කෑ පුද්ගලයා පාගමනට සම්බන්ධ නොවන බව වීරගුල පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කරයි

    අප විසින් මේ සම්බන්ධයෙන් අදාළ සිදුවීම වාර්තා වූ වීරගුල පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් සිදු කළ අතර, ඔහු සඳහන් කළේ පහර කෑමට ලක් වූ පුද්ගලයා අදාළ පාගමනට සම්බන්ධ වූ අයෙක් නොවන බව ඔහු තහවුරු කර ඇති බවයි.

    එසේම පහර කෑමට ලක් වූ පුද්ගලයා සහ පහර දුන් පුද්ගලයා යන දෙදෙනාම මේ වන විට රෝහල්ගතව සිටින බවත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, රෝහල්ගතව සිටින පුද්ගලයන් දෙදෙනා රෝහලෙන් පිටව ගිය පසු අදාළ අධිකරණ ක්‍රියාවලිය සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    අප විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගෙන් විමසීමට උත්සාහ කළ නමුත් එම ප්‍රයත්නය අසාර්ථක වූ අතර, ඉදිරියේදී උන්වහන්සේ සම්බන්ධ කර ගැනීමට හැකි වුවහොත් ලිපිය යාවත්කාලීන කරන්නෙමු.

    කොළඹට ළඟා වූ පාගමන ජනාධිපති ලේකම් කාර්‍යාලය අසල විරෝධතාවක් ආරම්භ කළේය

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පාද යාත්‍රාව’ 2026.10.15 දින එහි 6 වැනි සහ අවසන් දිනය ලෙස සවස් කාලයේදී කොළඹට ළඟා විය.

    කොළඹට ළඟා වූ භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම් කාර්‍යාලය අසල මාර්ගයේ වාඩි වී ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක් ආරම්භ කළහ. එහිදී ජනාධිපති ලේකම් භික්ෂූන් වහන්සේලා හමු වී ඔවුන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව පැවසූ අතර, ඒ සඳහා මාසයක් පමණ කාලයක් අවශ්‍ය බව තමන්ට දන්වා ඇතැයි විරෝධතාකරුවෝ පවසති. නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කළ නොහැකි බව ජනාධිපතිගේ මාණ්ඩලික ප්‍රධානී පවසා ඇතැයි, ඒ අනුව සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව පුවත් වාර්තා කර තිබුණි. ඉන්පසු විරෝධතාකරුවන් මාර්ගයේ කූඩාරමක් ඉදි කිරීමට උත්සාහ කළ විට පොලීසිය මැදිහත් වූ අතර, එය මාර්ගයේ පැත්තකට ගෙන යන ලදැයි වාර්තා විය.

    නවතම තොරතුරු (2026.10.16 පෙරවරුව වන විට)

    භික්ෂූන් වහන්සේලා 2026.10.15 රාත්‍රිය ජනාධිපති ලේකම් කාර්‍යාලය අසල ගත කර විරෝධතාව දිගටම කරගෙන යන බව වාර්තා වී තිබු අතර, ඥානසාර හිමියන් නිදහස් කරන තුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බව ඔවුන් පවසති. මෙය තවමත් වර්ධනය වන තත්ත්වයක් බැවින් නව තොරතුරු ලැබෙන විට ලිපිය යාවත්කාලීන කරන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    සාරාංශය

    ඥානසාර හිමියන්ගේ නිදහස පතා පැවැත්වූ පාගමනට උදව් කළ පුද්ගලයෙකුට ජවිපෙ හිතවාදියෙකු හෙල්මට් ප්‍රහාරයක් එල්ල කළ බවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් කළ චෝදනාව, ශ්‍රී ලංකා පොලීසියේ නිවේදනයට සහ වීරගුල පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව නොමඟ යවන සුළු බව පෙනී යනවා.

    2026.10.14 දින වීදියවත්ත දේවාලය අසල සිදු වූයේ වාහන තදබදයක් නිසා ලොරි රථයක සහ මෝටර් බයිසිකලයක සිටි දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් වන අතර, පහර කෑ පුද්ගලයා පාගමනට සම්බන්ධ අයෙකු නොවන බව පොලීසිය පවසයි; ඒ මොහොතේ ඔහු පාගමනට පැමිණි කෙනෙකැයි තමා සිතූ බව හිමියන් පසුව පවසා තිබුණි.

    කරුණු විමර්ශන ප්‍රතිඵල මුද්‍රාව

    Title: ඥානසාර හිමිගේ නිදහස පතා පැවැත්වූ පාගමනේ සාමාජිකයෙකුට, මාලිමාවෙන් පහර දුන් බවට කී කතාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්

    Written By: B.P Hansani

    Result: Insight

    ලේඛකයාගේ ඡායාරූපය
    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.