Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දිලිත් සහ චන්න පෝයට පෙර බෙදුවේ “හරක් මස් ලොරියක්” ද?

    කරුණු පැහැදිලි කිරීම
    2026-10-27
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහ හිටපු ඇමති මහාචාර්ය චන්න ජයසුමන 2026 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා කොළඹ 12, ඕල්ඩ් මූර් වීදියේ පැවැති මුස්ලිම් ආගමික උත්සවයකට සහභාගී වී ත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහ හිටපු ඇමති මහාචාර්ය චන්න ජයසුමන 2026 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා කොළඹ 12, ඕල්ඩ් මූර් වීදියේ පැවැති මුස්ලිම් ආගමික උත්සවයකට සහභාගී වී තිබුණා. වප් පුර පසළොස්වක පෝය දිනය යෙදී තිබුණේ ඊට පසු දිනය වන ඔක්තෝබර් 25 වනදායි .

    ඔවුන් දෙදෙනා “පෝයට කලින් හරක් මස් ලොරියක් බෙදලා” යැයි කියමින් බෞද්ධ ජනතාවගේ ආගමික හැඟීම් අවුස්සන අයුරින් සැකසූ වීඩියෝවක් ඉන් පසු සමාජ මාධ්‍යයේ බහුලව සංසරණය විය. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “දිලිත් සහ චන්නගේ හොර බෞද්ධකම, පෝයට කලින් හරක් මස් ලොරියක් බෙදලා, හක්කේ බුදු රැස් බොක්කේ ගව මස්” යන වදන් සහිත වීඩියෝව ඔක්තෝබර් 24 රාත්‍රියේ සටහන් පෙළක් පළ විය. එහි කැප්ෂන් හි, තරුණ මුස්ලිම් සංගමය “බොරුවට අටවාගත්” සංවිධානයක් බවත්, මුළු වියදම දැරුවේ දිලිත් ජයවීර බවත්, “උදේ පාන්දරම ගවයන් පස්දෙනෙකු ඝාතනය කර” එම මස් කොළවල ඔතා බෙදූ බවත් සඳහන් වේ. මෙම සටහන 8,700කට වඩා වාර ගණනක් බෙදාගෙන ඇත.

    Facebook

    Facebook 1 | Facebook 2 | Facebook 3

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : දිලිත් ජයවීර සහ චන්න ජයසුමන වප් පෝයට පෙර දින (2026 ඔක්තෝබර් 24) ලොරියකින් ගව මස් බෙදා දුන් බව.

    Fact Check (කරුණු පරීක්ෂාව) :

    ලොරියෙන් බෙදුණේ තරුණ මුස්ලිම් සංගමයේ 51 වන මොහිදීන් මව්ලූද් “කිඩු සහන්” පාර්සල්ය

    2026 ඔක්තෝබර් 24 වන දින කොළඹ 12, ඕල්ඩ් මූර් වීදියේ (අංක 287/A 1) පිහිටි තරුණ මුස්ලිම් සංගමය (Young Muslim Association) 51 වන මොහිදීන් මව්ලූද් සංවත්සරය නිමිත්තෙන් පුද්ගලයන් 1,300කට නොමිලේ “කිඩු බත්” බෙදා දීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි. එය දහවල් 12.30ට පමණ පැවැත්වෙන බව ඊට පෙර දින, ඔක්තෝබර් 23 වන දින, ප්‍රාදේශීය දෙමළ ෆේස්බුක් පිටුවක් මෙලෙසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    එහි පළ කළ ආරාධනා පත්‍රයේ ප්‍රධාන ආරාධිතයා ලෙස දිලිත් ජයවීරත්, විශේෂ ආරාධිතයා ලෙස මහාචාර්ය චන්න ජයසුමනත් නම් කර ඇත. සංවිධායකයින් ලෙස සඳහන් වන්නේ රුෂ්ඩි නිසාර් සහ රිල්වාන් තාජුදීන්ය. 

    Facebook | Archived Link

    තවද, උත්සවයේ මිනිත්තු 8ක පමණ වීඩියෝවක් එදිනම එම පුවත් පිටුව මෙතනින් පළ කර තිබුණි. ලොරියක සිට පොල් අතුවලින් වියූ පාර්සල් බෙදන අයුරු සහ දිලිත් ජයවීර ද පාර්සල් භාර දෙන අයුරු එහි දැක්වේ.

    “කිඩු” යනු පොල් අතු වියා සාදන බඳුනක බහා බෙදන බත් වේලකි

    “කිඩු” යන්න දෙමළ “கிடுகு” (කිඩුගු) යන වචනයෙන් පැමිණෙන්නකි. එහි එක් අර්ථයක් වියූ පොල් අතු (cadjan) බව දෙමළ ශබ්දකෝෂයේ මෙතනින් දැක්වේ. 

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රදේශවල “කිඩු සවාන්” බහුලව දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, 2024 අගෝස්තුවේ අකුරණ ප්‍රදේශයේ පල්ලියක සංවර්ධනයට අරමුදල් සෙවීමට බෙදූ කිඩු ආහාර වේලෙහි කුකුළු මස් ඩෙවල්, හරක් මස් කුරුමා, වම්බටු සහ උම්බලකඩ සම්බෝලය අඩංගු වූ බව මෙලෙසින් පළ විය. එනම් කිඩු වේලක කුකුළු මස් මෙන් ම හරක් මස් ද තිබිය හැකිය. කෙසේනමුත් එය පමණක් ගව මස් බෙදූ බවට සාක්ෂියක් නොවේ.

    ප්‍රචාරය වන වීඩියෝවේ ඡායාරූප වෙනස් කර ඇත

    වීඩියෝවේ ආවරණ ඡායාරූපය, චන්න ජයසුමන ඔක්තෝබර් 24 වන දින සවස 4.18ට සිය Facebook පිටුවේ පළ කළ ඡායාරූපයකි. මුල් ඡායාරූපයේ ලොරිය අසල සිටින කිසිවෙකුගේ හිසේ තොප්පියක් නැත. වීඩියෝවේ එම පුද්ගලයින් තිදෙනාගේ හිසට සුදු මුස්ලිම් තොප්පි එක් කර ඇත.

    වීඩියෝව අවසානයේ ද, රතු ඇප්‍රන් හැඳ තොප්පි දමා මස් පිසින අයුරින් දිලිත් සහ චන්න පෙන්වන රූපයක් සංස්කරණය කර ඇත. 

    සංවිධායකයින් සහ ආරාධිතයින් පවසන්නේ කිඩු බතට යොදා ගත්තේ කුකුළු මස් බවයි

    මහාචාර්ය චන්න ජයසුමන ඔක්තෝබර් 24 වන දින සවස 4.18ට සිය නිල Facebook පිටුවේ මෙලෙසින් සටහනක් තබමින්, “මෙය ගව මස් බෙදා දීමක් ලෙස අන්තවාදීන් කිහිප දෙනෙක් ප්‍රවෘත්තියක් මවා තිබුණු අතර එය අමූලික බොරුවකි” යැයිද, “මෙම ව්‍යංජන අතර හෝ ගව මස් නොවිය” යැයිද පැවසීය. ඒ අනුව, ගව මස් කතාව ඉහත වීඩියෝව පළ වීමට පෙර, එදින සවස් වන විටත් පැතිර තිබිණි.

    Facebook

    එසේම උත්සවය සංවිධානය කළ Young Muslim Association නමැති සංවිධානයේ රුෂ්ඩි නිසාර් සහ රිල්වාන් තාජුදීන් ද ගව මස් බෙදූ බව ප්‍රතික්ෂේප කරනු ලැබීය. වෙළෙඳපොළේ ගව මස් මිල අධික වීම සහ සියලු දෙනාට පරිභෝජනයට පහසු වීම සලකා, පුද්ගලයන් 1,300 සඳහා පිළියෙල කළ කිඩු සහන් ආහාර වේලට කුකුළු මස් පමණක් යොදා ගත් බව ඔවුන් අපට සඳහන් කළා.

    දිලිත් ජයවීර මහතාගේ මාධ්‍ය අංශය ද පැවසුවේ, ලැබුණු ආරාධනයක් මත ඔහු ඇතුළු පක්ෂ නියෝජිතයින් ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ බව ත්, බෙදූ කිඩු ආහාරය කුකුළු මස් ඇතුළු ව්‍යංජන සමග පිසූ බතක් බව ත්, කිසිදු අයුරකින් ගව මස් බෙදා නොදුන් බවත් ය.

    එම අවස්ථාවට සහභාගී වූ කිහිප දෙනෙකු ද අප සංවිධායකයින් හරහා සම්බන්ධ කර ගනු ලැබීය. පසුගිය වසරේ මෙම උත්සවයේදී ලැබුණු ආහාරයේ ගව මස් තිබූ නමුත්, මෙවර කිඩු බත සඳහා යොදා තිබුණේ කුකුළු මස් බව ඔවුන් සඳහන් කළා.

    පාර්සල් ඇතුළත තිබූ දේ ස්වාධීනව තහවුරු කළ නොහැකිය

    කෙසේවෙතත්, එදින බෙදා දුන් කිඩු පාර්සල් විවෘත කර, ඒවා ඇතුළත තිබුණේ කුකුළු මස්ද ගව මස්ද යන්න සෘජුවම පෙන්වන ඡායාරූපයක් හෝ වීඩියෝවක් අපට සොයා ගත ගැනීමට නොහැකි වූ අතර, සංවිධායකයින් ද අපට එවැනි ඡායාරූප හෝ වීඩියෝ සැපයීමට නොහැකි වුණි. Facebook, YouTube සහ TikTok හි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මූල පද යොදා අප සෙවූ අතර, උත්සවය පැවැති ප්‍රදේශයේ කඩ කිහිපයකින් ද විමසුවෙමු. ඔවුන් පවසන පරිදි සහ අප දුටු සියලු දර්ශනවල ද පෙනෙන්නේ වසා ඇති පාර්සල් පමණි. එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.

    එබැවින් කිඩු බතට කුකුළු මස් පමණක් යොදා ගත් බව අපට ස්වාධීනව තහවුරු කළ නොහැකිය. එසේම, ගව මස් බෙදූ බවට හෝ “ගවයන් පස්දෙනෙකු ඝාතනය කළ” බවට ප්‍රචාරය කරන්නන් ද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඔවුන් ඉදිරිපත් කරන දර්ශන ඉහත දැක්වූ පරිදි වෙනස් කළ ඡායාරූප සහ වසා ඇති පාර්සල්ය.

    සංස්කෘතික යථාර්ථය: කිසිවෙකුට ඇඟිල්ල දිගු කළ නොහැකි සම්ප්‍රදායක්

    කොළඹ 12, ඕල්ඩ් මූර් වීදියේ පැවැති “මොහීදීන් මව්ලූද් සංවත්සරය” වැනි සාම්ප්‍රදායික සුෆී මුස්ලිම් උත්සවයකදී ගව මස් හෝ කුකුළු මස් අඩංගු ආහාර වේලක් (කිඩු බත්) පිළියෙල කිරීම සාමාන්‍ය තත්ත්වයකි.

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික උත්සවයකදී ගව මස් හෝ කුකුළු මස් සහිත ආහාර බෙදීම නීතියට පටහැනි දෙයක් නොවේ. 2020 සැප්තැම්බරයේ ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණ ද, එය ක්‍රියාත්මක නොවූ බව මෙතනින් දැක්වේ.  

    මෙම උත්සවය දෙපසින්ම දේශපාලන අවියක් විය

    සිංහල සටහන් මෙම සිදුවීම දිලිත් ජයවීර සහ චන්න ජයසුමනගේ බෞද්ධ සංස්කෘතිය සහ සත්ත්ව කරුණාව පිළිබඳ ප්‍රකාශ සමඟ සසඳමින් ඔවුන් “ද්විත්ව ප්‍රමිති” අනුගමනය කරන බවට චෝදනා කරනු ලැබීය. චන්න ජයසුමන 2020 සිට 2024 දක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වූ අතර, දැන් සර්වජන බලයේ නියෝජ්‍ය සභාප වේ.

    ඊට ප්‍රතිවිරුද්ධව, දෙමළ භාෂා සටහන් සහ වීඩියෝ එම උත්සවයට ඔවුන්ට ආරාධනා කිරීම ගැන ම මුස්ලිම් ප්‍රජාවේ අප්‍රසාදය පළ කරනු ලැබීය. ඒවා කොවිඩ් කාලයේ මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය නැවත සිහිපත් කළ අතර මෙලෙසින්. එනම් එකම උත්සවය එක් පැත්තකින් “බෞද්ධකම පාවා දීමක්” ලෙසත්, අනෙක් පැත්තෙන් “මුස්ලිම් ප්‍රජාව රැවටීමක්” ලෙසත් ප්‍රචාරය විය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    සාරාංශය සහ ස්වාධීන කරුණු තහවුරු කිරීමේ සීමාවන්: 

    දිලිත් ජයවීර සහ චන්න ජයසුමන ඔක්තෝබර් 24 වන දින, වප් පෝයට පෙර දින, ලොරියක සිට ආහාර පාර්සල් බෙදූ බව සත්‍යයකි. එහෙත් එය කොළඹ 12 තරුණ මුස්ලිම් සංගමය කලින් නිවේදනය කර සංවිධානය කළ 51 වන මොහිදීන් මව්ලූද් කිඩු ආහාර පාර්සල බෙදීමකි. 

    චන්න ජයසුමන මහතා මෙන් ම දිලිත් ජයවීර මහතාගේ මාධ්‍ය අංශද, සහ සංවිධායකයින් පවසන්නේ ගව මස් නොවූ බවත් කුකුළු මස් යොදාගත් බවත්ය.

    නමුත් එදින බෙදා දුන් “කිඩු බත්” පාර්සල් ලිහූ අවස්ථාවක, ඒවා ඇතුළත තිබුණේ කුකුළු මස්ද නැතහොත් ගව මස්ද යන්න සෘජුවම පෙන්වන පැහැදිලි ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි අප උත්සහ කළ ත්, අපට සොයා ගැනීමට නොහැකි විය.

    එම කිඩු කෑම පාර්සල ඇතුළත, පිළිගත හැකි ඡායාරූප හෝ දර්ශන අපට ලැබුණහොත් එය සත්‍යාපනය කිරීමෙන් පසුව, එහි ගව මස් තිබුණේ ද නැද්ද යන්න ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වෙමු.

    දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිස ගව මස් බෙදූ බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණ ද, ඔවුන් ගව මස් බෙදා දුන් බව ඔප්පු කිරීමට කිසිදු සැබෑ දර්ශනයක් නොමැත. එමෙන්ම කිඩු බත ඇතුළත තිබූ දේ සෘජුවම ඡායාරූපගත කර නොමැති නිසා, ස්වාධීන විමර්ශකයෙකු ලෙස අපට කළ හැක්කේ සිදුවීම සහ දෙපාර්ශවයේම ප්‍රකාශ සමාජය හමුවේ තැබීම පමණි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-10-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.