දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වත්මන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (Prevention of Organised Crimes Bill) සම්බන්ධයෙන් මේ වන විට සමාජයීය සහ නීතිමය කථිකාවක් පවතී. සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම මෙහි අරමුණ බව රජය පවසන අතර, පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් මූලික අයිතිවාසිකම්වලට බලපෑම් ඇති විය හැකි බව විපක්ෂයේ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන විවේචනය කරති. විශේෂයෙන්ම, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකත්වය තීරණය කිරීමේදී ටැටූ, ඇඳුම්, අත් සංඥා සහ භාෂාව වැනි ලක්ෂණ සලකා බැලීමේ ප්රතිපාදනය පිළිබඳ විවාදයක් පවතී. මෙම ලිපියෙන් පනත් කෙටුම්පතේ අදාළ ප්රතිපාදන, ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති විවේචන සහ තෝරාගත් ජාත්යන්තර නීතිමය උදාහරණ විමසා බලයි.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
සාමාන්ය ටැටූ එකක් ගැසීම, කොණ්ඩය වැවී තිබීම මත ද, මෙම පනතින් අත්අඩංගුවට ගත හැකි බවට ඇතැම් සමාජ මාධ්ය සටහන් පළ වී තිබුණා.
විමර්ශනයට ලක් කළ ප්රකාශය :
යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ, සාමාන්ය ටැටූ එකක් තිබීම හෝ කොණ්ඩය දිගට වැවීම නිසා ඕනෑම පුරවැසියෙකු අත්අඩංගුවට ගත හැකි බව.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යනු ශ්රී ලංකාව තුළ ක්රියාත්මක වන පාතාල කල්ලි, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම් වඩාත් කාර්යක්ෂමව මර්දනය කිරීම සඳහා රජය විසින් අලුතින්ම හඳුන්වා දීමට සූදානම් වන විශේෂ නීතිමය රාමුවකි.
රජය සඳහන් කරන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ සම්මුතියට (UN Convention against Transnational Organised Crime -UNTOC) අනුකූලව ශ්රී ලංකාව තුළ පාතාලය සහ සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා ජාත්යන්තර ප්රමිතීන්ට අනුව මෙම නව නීතිමය රාමුව සකස් කළ බවයි.
මෙම පනත් කෙටුම්පතේ ප්රධාන අරමුණු සහ අඩංගු කරුණු
පාතාල කල්ලි නීත්යානුකූලව හඳුනාගැනීම:
පුද්ගලයන් තිදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එකතු වී, මූල්ය හෝ ද්රව්යමය වාසි තකා, වසර 4කට වඩා සිරදඬුවම් ලැබිය හැකි බරපතල අපරාධ සිදුකරන කණ්ඩායම් “සංවිධානාත්මක අපරාධ කල්ලි” ලෙස මෙමගින් අර්ථ දක්වයි.
නව වැරදි හඳුන්වා දීම:
අපරාධ කල්ලියක සාමාජිකයෙකු වීම, එහි අපරාධ සැලසුම් කිරීමට සහ ක්රියාත්මක කිරීමට උදව් කිරීම, කප්පම් ගැනීම්, කුලී ඝාතන මෙහෙයවීම සහ අපරාධ මගින් උපයන මුදල් විශුද්ධිකරණය (Money Laundering) කිරීම මෙම පනත යටතේ බරපතල දඬුවම් ලැබිය හැකි වැරදි වෙයි.
පොලිසියට පුළුල් බලතල පැවරීම:
සැකකරුවන් හඳුනාගැනීම සඳහා ඔවුන් භාවිත කරන විශේෂිත පච්ච (ටැටූ), ඇඳුම්, අභිනයන් හෝ රහස් භාෂාවන් සාක්ෂි ලෙස සලකා බැලීමට ත්, අධිකරණ නියෝගයකින් තොරව පොලිස් රඳවා තබා ගැනීමේ නියෝග මත සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ප්රශ්න කිරීමට ත් අවසර ලැබේ.
දේපළ සහ මුදල් රාජසන්තක කිරීම:
අපරාධ කල්ලි සාමාජිකයන් විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද සහ ඔවුන් සතු සියලුම බැංකු ගිණුම්, වාහන, ඉඩම් සහ දේපළ පරීක්ෂා කිරීමටත් ඒවා රාජසන්තක කිරීමටත් නීතිමය ප්රතිපාදන සැලසේ.
සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම:
පාතාල කල්ලිවලට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වන පුද්ගලයන් සහ වින්දිතයන් අපරාධකරුවන්ගේ පළිගැනීම්වලින් ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මෙයට ඇතුළත් වේ.
මෙහි වගකීම සහ සකස් කිරීමේ ක්රියාවලිය ප්රධාන පාර්ශව කිහිපයකට බෙදී යයි.
මුලික කෙටුම්පත: අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුවක් මගින් මෙහි මූලික සැලැස්ම සකස් කරන ලදී.
නීතිමය කෙටුම්පත්කරණය: 2026 මාර්තු මාසයේදී කැබිනට් මණ්ඩලය ලබා දුන් අනුමැතියට අනුව, නිල වශයෙන් මෙම පනත් කෙටුම්පත ව්යවස්ථාපිතව සකස් කරනු ලැබුවේ රජයේ නීති කෙටුම්පත් සම්පාදකවරයා විසිනි.
නීතිමය අනුමැතිය: ඉන් අනතුරුව මෙම පනතේ නීත්යානුකූලභාවය පරීක්ෂා කර නීතිපතිවරයා විසින් මේ සඳහා අනුමැතිය ලබා දෙන ලදී.
රජයේ ඉදිරිපත් කිරීම: පනත ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ ඒකාබද්ධ කැබිනට් පත්රිකාව ඉදිරිපත් කළේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා විසිනි. මේ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින්.
පනත් කෙටුම්පතේ නිල කාලරාමුව
මෙම පනත් කෙටුම්පත සකස් වී පාර්ලිමේන්තුවට පැමිණි නිල දින වකවානු පෙළගැස්ම.
- 2026 මාර්තු 30: අමාත්ය මණ්ඩලය විසින් මෙම පනත කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත නිල වශයෙන් අවසර ලබා දීම.
- 2026 සැප්තැම්බර් 08: නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු, පනත රජයේ ගැසට් පත්රයේ පළ කිරීමට කැබිනට් මණ්ඩලයේ අවසන් අනුමැතිය හිමිවීම.
- 2026 ඔක්තෝබර් 06: ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ රජයේ නිල ගැසට් පත්රයේ අතිරේකයක් ලෙස ප්රකාශයට පත් කිරීම.
- 2026 ඔක්තෝබර් 20 (ඊයේ): මෙම පනත් කෙටුම්පත ශ්රී ලංකා පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කර එහි පළමු කියවීම සිදු කිරීම.
දේශසීමා ඉක්මවා යන නූතන පාතාල සහ අපරාධ කල්ලි මර්දනය සඳහා ජාත්යන්තර සහයෝගීතාව ලබා ගැනීම අරමුණු කරගත් මෙම සම්මුතියේ අඩංගු ප්රධානතම කරුණු සහ නිර්ණායක.
“සංවිධානාත්මක අපරාධ කල්ලියක්” යන්නට ජාත්යන්තර අර්ථදැක්වීම
මෙම සම්මුතිය මගින් ලොව ප්රථම වතාවට අපරාධ කල්ලියක් යන්න නීතිමය වශයෙන් අර්ථ දක්වන ලදී. ඒ අනුව,
- සාමාජිකයන් සංඛ්යාව: පුද්ගලයන් තුන් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්යාවකින් සමන්විත ව්යුහාත්මක කණ්ඩායමක් විය යුතුය.
- කාල සීමාව: ස්ථාවර කාල සීමාවක් තිස්සේ පවතින්නක් විය යුතුය.
- අරමුණ: සෘජුව හෝ වක්රව මූල්යමය හෝ වෙනත් ද්රව්යමය වාසියක් එනම්; කප්පම්, කුලී ඝාතන, ජාවාරම් ලබා ගැනීම සඳහා බරපතල අපරාධ සිදු කිරීම ඔවුන්ගේ අරමුණ විය යුතුය.
- බරපතල අපරාධ: අදාළ රටේ නීතියට අනුව අවම වශයෙන් වසර 4ක හෝ ඊට වැඩි සිරදඬුවමක් නියම කළ හැකි වැරදි මෙයට ඇතුළත් වේ.
සෑම රටක්ම අනිවාර්යයෙන්ම පැනවිය යුතු ප්රධාන අපරාධ නීති 4
සම්මුතියට අත්සන් තබන සෑම රටක්ම තම දේශීය නීති පද්ධතියට පහත සඳහන් වැරදි 4 ඇතුළත් කර දැඩි දඬුවම් පැමිණවිය යුතුය.
- අපරාධ කල්ලියක සාමාජිකයෙකු වීම: අපරාධ කල්ලියක සාමාජිකයෙකු වීම හෝ එහි අපරාධ සැලසුම් කිරීමට දායක වීම.
- කළු සල්ලි සුදු කිරීම: අපරාධ මගින් උපයන මුදල් නීත්යානුකූල මුදල් බවට පත් කිරීම වැළැක්වීම.
- දූෂණය සහ අල්ලස: රාජ්ය නිලධාරීන් අපරාධ කල්ලි සමග සම්බන්ධ වී දූෂණ ක්රියාවල නිරත වීම වැළැක්වීම.
- අධිකරණයට බාධා කිරීම : සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම, විනිසුරුවන්ට හෝ පොලිස් නිලධාරීන්ට බලපෑම් කිරීම අපරාධයක් කිරීම. මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්.
ජාත්යන්තර සහයෝගීතාව සහ නීතිමය ක්රියාමාර්ග
- අපරාධකරුවන් පිටුවහල් කිරීම: එක් රටක අපරාධ කර වෙනත් රටකට පලා යන අපරාධකරුවන් අල්ලා ගැනීමට සහ හුවමාරු කර ගැනීමට නීතිමය රාමුවක් සැකසීම.
- අන්යෝන්ය නීතිමය සහාය: විදේශ රටක සිටින අපරාධකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට, සාක්ෂි එකතු කිරීමට සහ තොරතුරු හුවමාරු කර ගැනීමට රටවල් අතර පවතින සහයෝගීතාව.
- දේපළ රාජසන්තක කිරීම: අපරාධ කල්ලි විසින් නීති විරෝධී ලෙස උපයා ගත් දේපළ, වාහන සහ මුදල් සොයාගෙන ඒවා රාජසන්තක කිරීමේ බලය. මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්.
සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීම
අපරාධ කල්ලිවලට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වන සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අපරාධකරුවන්ගේ පළිගැනීම්වලින් ආරක්ෂා කිරීම සඳහා විශේෂ නීතිමය සහ භෞතික ආරක්ෂණ ක්රමවේද සැකසීම.
විශේෂ අතිරේක ප්රොටෝකෝල:
මෙම මූලික සම්මුතියට අමතරව, විශේෂිත අපරාධ ත්රිත්වයක් මර්දනය කිරීම සඳහා තවත් අනු ගිවිසුම් 3ක් මෙයට ඇතුළත් වේ.
- මිනිස් ජාවාරම වැළැක්වීම (විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන්).
- නීති විරෝධී සංක්රමණිකයන් මුහුදු, ගොඩබිම් මාර්ගවලින් ප්රවාහනය කිරීම වැළැක්වීම.
- නීති විරෝධී ගිනිඅවි සහ පතොරම් නිෂ්පාදනය හා ජාවාරම් කිරීම මර්දනය කිරීම. මේ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ශ්රී ලංකාව විසින් යෝජනා කර ඇති නව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සකස් කර ඇත්තේ මෙම ජාත්යන්තර සම්මුතියේ සඳහන් කරුණු දේශීය නීතියට ගැලපෙන පරිදි ඇතුළත් කිරීමටය.
මෙම පනත් කෙටුම්පත සඳහා මූලික සැලැස්ම සකස් කළ විශේෂඥ කමිටුව පිළිබඳ විවේචන
මෙම විශේෂඥ කමිටුව සම්බන්ධයෙන් සිවිල් සංවිධාන, මාධ්ය සහ දේශපාලන විචාරකයන් මේ වන විට බරපතල විවේචනයක් සහ ප්රශ්න කිරීමක් මතු කර ඇත. පනතේ අඩංගු ඇතැම් දැඩි වගන්ති නිසා සිවිල් වැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ අපරාධ යුක්ති පද්ධතිය අනතුරේ වැටී ඇති බව පෙන්වා දෙන විචාරකයන් චෝදනා කරන්නේ, මෙම පනත කෙටුම්පත් කළ විශේෂඥ කමිටුවේ සිටින සාමාජිකයන් කවුදැයි රජය විසින් මෙතෙක් ප්රසිද්ධියේ හෙළි කර නොමැති බවයි.
මෙතරම් ප්රබල සහ පුළුල් බලතල සහිත නීතියක් නිර්මාණය කිරීමේදී, මෙම කමිටුව මහජනතාවගෙන්, සිවිල් සංවිධානවලින් හෝ ස්වාධීන නීතිඥ කණ්ඩායම්වලින් අදහස් ලබා ගැනීමක් සිදු කර නොමැති බවටද චෝදනා එල්ල වේ. ඇතැම් ජ්යෙෂ්ඨ දේශපාලන සහ සිවිල් විචාරකයන් ප්රකාශ කරන්නේ, රජය විසින් “විශේෂඥ කමිටුවක් මගින් හැදූ නීතියක්” යැයි පවසමින් ජනතාවට සහතික වීමට උත්සාහ කළද , පනත ඇතුළත බාහිර පෙනුම මත වැසියන් ලේබල් කරන සහ ඇප දීමේ බලතල අහිමි කරන දරුණු වගන්ති ඇතුළත් කර තිබීමෙන්ම මෙම කමිටුවේ විනිවිදභාවය සහ අරමුණ පිළිබඳව සැකයක් මතු වන බවයි.
නව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ ඇතැම් කරුණු වලට විරෝධය
මෙම පනත් කෙටුම්පතට එරෙහිව මෙරට දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ නීති ක්ෂේත්රයේ ප්රමුඛයන් රැසක් මේ වන විට ප්රසිද්ධියේ විරෝධය පළ කර තිබේ.
නිල මාධ්ය වාර්තා සහ ප්රකාශයන්ට අනුව, මෙම පනතට විරුද්ධ ප්රධාන පාර්ශවයන් සහ ඔවුන් ඉදිරිපත් කරන හේතු මෙසේය.
දේශපාලන විපක්ෂය සහ වෙනත් පක්ෂ
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේ, සැක කටයුතු අපරාධකරුවන් විමර්ශනය කිරීමට දැනට පවතින නීති ප්රමාණවත් බවයි. රජය සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ මුවාවෙන් 1988-89 භීෂණ යුගයට සමාන මර්දනකාරී වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මාධ්ය හමුවකදී අවධාරණය කළේ, මෙම පනත මගින් ප්රජාතන්ත්රවාදය සහ මහජන විරෝධතා මර්දනය කිරීමට රජය කටයුතු කරන බවයි. මෙහි “සංවිධානාත්මක අපරාධ කල්ලියක්” යන්නට දී ඇති අර්ථදැක්වීම ඉතා පුළුල් බැවින්, ආණ්ඩුවට එරෙහි ඕනෑම සිවිල් ක්රියාකාරකමකට මෙය අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
නීති ක්ෂේත්රය සහ මානව හිමිකම් සංවිධාන
ජනාධිපති නීතිඥ සහ BASL හිටපු සභාපති සාලිය පීරිස් මහතා පෙන්වා දෙන්නේ පනතේ 21, 23, සහ 25 වැනි වගන්ති මගින් මහේස්ත්රාත්වරුන් සතු ඇප දීමේ බලතල අහිමි කර ඇති බවයි. පොලිසියට අධිකරණ නියෝගයකින් තොරව වසරක් දක්වා සැකකරුවන් රඳවා තබා ගැනීමට සහ මාස 6ක් තනිව රඳවා තැබීමට දී ඇති බලතල නිසා සාමාන්ය වැසියන්ගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඡනය වන බව ඔහු පවසයි.
සිවිල් සංවිධාන මෙම පනත් කෙටුම්පත ජාත්යන්තර එක්සත් ජාතීන්ගේ සම්මුතියේ (UNTOC) සීමාවන් ඉක්මවා ගොස් ඇති බවත්, එමගින් ලංකාව තුළ අතිවිශේෂ සහ දරුණු අපරාධ යුක්ති පද්ධතියක් (Exceptional criminal justice system) ස්ථාපිත කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ අතරින් සමාජයේ වඩාත් අවධානයට ලක් වූ වගන්තිය වූයේ, මෙම පනත මගින් ටැටූ ගැසීමට, හිසකෙස් වැවීමට සාමාන්ය පුරවැසියන්ට ඉඩ නොලැබෙන බවට ප්රකාශයයි.
නමුත් පනත් කෙටුම්පතේ 4(2) වගන්තියට අනුව, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක දන්නා සාමාජිකයන් භාවිත කරන ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාෂාව හෝ ටැටූ අදාළ පුද්ගලයා භාවිත කරන්නේද යන්න සාමාජිකත්වය සම්බන්ධයෙන් සලකා බැලිය හැකි කරුණක් ලෙස දක්වා ඇත.

අධිකරණ අමාත්යවරයාගේ ප්රතිචාරය
සමාජ මාධ්ය ජාලාවල පැතිර යන මත පැහැදිලි කරමින්, යෝජිත නව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් සාමාන්ය වැසියන් ඉලක්ක නොකරන බව රජය සහ අධිකරණ අමාත්ය හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී තහවුරු කර ඇත.
කෙසේ වෙතත්, මෙම පනතට අනුව ටැටූ සම්බන්ධ වන්නේ ආකාරය ඔහු වර්ග කරනු ලැබුවේ මෙලෙසින්.
මෙම නව පනත් කෙටුම්පතේ 4(2) වගන්තිය යටතේ, පුද්ගලයෙකු ප්රසිද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලියක (පාතාලයේ) සාමාජිකයෙකු දැයි තීරණය කිරීමට කරුණු 12ක් සලකා බලනු ලබයි. එහිදී අදාළ පුද්ගලයා, ප්රසිද්ධ අපරාධ කල්ලි සාමාජිකයන් විසින් තම කල්ලිය හැඳින්වීම සඳහා පොදුවේ භාවිත කරනු ලබන විශේෂිත ටැටූ (පච්ච), ඇඳුම් පැළඳුම්, අභිනයන් හෝ භාෂාවන් භාවිත කරන්නේද යන්න පමණක් එක් සාධකයක් ලෙස සලකා බලනු ලබයි.
යම් පුද්ගලයෙකුට එවැනි ටැටූ එකක් තිබූ පමණින්ම ඔහුව වරදකරුවෙකු කළ නොහැකි අතර, එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි කරුණක් (Rebuttable presumption) පමණක් බව ත්, එබැවින්, ප්රසිද්ධ අපරාධ කල්ලි සහ තහනම් සංවිධානවලට සම්බන්ධ සලකුණු හැර, සාමාන්ය මෝස්තර හෝ වෙනත් ඕනෑම ටැටූ එකක් ගැසීම සම්බන්ධයෙන් සාමාන්ය ජනතාවට කිසිදු නීතිමය බාධාවක් හෝ අත්අඩංගුවට පත්වීමේ බියක් ඇති කරගත යුතු නොමැති බවයි සඳහන් කළේ.
පනතේ නොමැති කොණ්ඩය දිගටම වැවීම ද, ඇතැම් නොමය යවන සුළු සමාජ මාධ්ය සටහන් වල ඇතුළත් කර ඇති බව ද, අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
රජය පවසන්නේ සාමාන්ය වැසියන්ට මෙයින් කිසිදු බලපෑමක් නොවන බව වුවද, විපක්ෂය සහ සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ මෙහි ඇති ඇතැම් දැඩි වගන්ති නිසා සාමාන්ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් උල්ලංගනය වීමේ අවදානමක් පවතින බවයි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
මීට ද, ප්රතිචාර වශයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමයේ (BASL) හිටපු සභාපති සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසන්නේ යෝජිත නව පනත මගින් සාමාන්ය වැසියන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට පත්වීමේ සහ දීර්ඝ කාලීනව රිමාන්ඩ් වීමේ බරපතල අවදානමක් පවතින බවයි.
රජයේ සහ අධිකරණ අමාත්යවරයාගේ පැහැදිලි කිරීමට ප්රතිචාර දක්වමින් ද, ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා මෙම නව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්රධාන විවේචන සහ අනතුරු ඇඟවීම් ඉදිරිපත් කර තිබේ. Archived Link
- අත්අඩංගුවට ගැනීමේදී තීරණය කරන්නේ කවුද?
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ විවේචනය අනුව, යම් පුද්ගලයෙකුගේ ටැටූ, කොණ්ඩා විලාසිතාව හෝ ඇඳුම් පැළඳුම් අපරාධ කණ්ඩායමක ලක්ෂණවලට සමානදැයි තක්සේරු කිරීමේදී පොලිසියේ අභිමතයට ඉඩ ඇති බව ඔහුගේ කනස්සල්ලයි. එවැනි බලතල ක්රියාත්මක කිරීමේදී සාමාන්ය තරුණ තරුණියන්ට අසාධාරණයක් සිදුවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.
- මහේස්ත්රාත්වරුන්ට ඇප දීමට ඇති බාධා
පොලිසිය විසින් යම් පුද්ගලයෙකු මෙම පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර “මොහු අපරාධ කල්ලියක සාමාජිකයෙක්” යැයි පැවසුවහොත්, ප්රමාණවත් සාක්ෂි නොමැති වුවද මහේස්ත්රාත්වරයාට ඔහුව රිමාන්ඩ් කිරීමට සිදුවන බවත්, ඇප ලබාගත හැක්කේ මහාධිකරණයෙන් පමණක් බවත් ඔහු පවසයි.
- නොදන්වා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම
ඔහුගේ විවේචනයට අනුව, පනත් කෙටුම්පත යටතේ පොලිස් බලධාරීන්ගේ ඉල්ලීම මත අධිකරණ අනුමැතියකින් තොරව සැකකරුවන් රඳවා තබා ගැනීමට සහ එම රඳවා තැබීම දීර්ඝ කිරීමට ප්රතිපාදන ඇත.
- පැරණි දරුණු නීති වෙනත් මුහුණුවරකින් පැමිණීම
ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට රජය පොරොන්දු වුවද, එහි තිබූ දරුණු ප්රතිපාදන පොලිසිය ඉදිරියේ කෙරෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස ගැනීම වැනි මෙම නව අපරාධ පනත හරහා රිංගවා ඇති බවට ඔහු චෝදනා කරයි.
ඒ අනුව, රජය සාමාන්ය ජනතාව ඉලක්ක නොකරන බව පවසන අතර, සාලිය පීරිස් මහතා වැනි විවේචකයන්ගේ ප්රධාන කනස්සල්ල වන්නේ මෙම ප්රතිපාදන ප්රායෝගිකව ක්රියාත්මක කරන ආකාරය නිසා සාමාන්ය වැසියන්ගේ අයිතිවාසිකම්වලට බලපෑම් ඇති විය හැකි බවයි.
විදේශීය රටවල් මෙම නීති සහ ටැටූස් සාක්ෂි ලෙස භාවිත කරනවද?
වෙනත් රටවල නීතිවල ටැටූ සඳහන් වන්නේද, භාවිත වන්නේ කෙසේද
අමාත්යවරයා නම් කළ රටවල් ඇතුළු රටවල් කිහිපයක සංවිධානාත්මක අපරාධ නීති සහ ටැටූ පිළිබඳ ප්රතිපාදන අප පරීක්ෂා කළෙමු. සාරාංශය පහත වගුවේ දැක්වේ.
| රට සහ නීතිය | නීතියේ ටැටූ සඳහන් ද | ප්රායෝගිකව ටැටූ භාවිත වන ආකාරය | ආරක්ෂණ සහ සීමා |
|---|---|---|---|
| සිංගප්පූරුව: Organised Crime Act 2015, 5(2)(c) (මෙතනින්) | ඔව්. ශ්රී ලංකා 4(2)(c) ට සමාන වචන | අධිකරණය “සලකා බැලිය හැකි”, සීමා නොවන ලැයිස්තුවක එක් සාධකයකි. 2025 නොවැම්බර් සංශෝධනයෙන් වංචා කල්ලි වැරදි එක් විය; (c) ඉවත් නොවීය | සාමාජිකත්වය තීරණය කරන්නේ අධිකරණයයි; පොලිසිය: ටැටූ කල්ලිවලට මඟ පාදන බවට සාක්ෂි නැත (2017, 2019) |
| ජපානය: Anti-Boryokudan Act, 1991 අංක 77 (මෙතනින්) | නැත | කල්ලි “නම් කිරීම” සහ අයුතු ඉල්ලීම් නැවැත්වීමේ නියෝග හරහා ක්රියාත්මක වේ. 2018 දී තායිලන්තයේ සැඟව සිටි හිටපු යකුසා සාමාජික ෂිගෙහාරු ශිරායි හඳුනා ගැනුණේ ඔහුගේ ටැටූ ඡායාරූප ෆේස්බුක් හි වෛරල් වීමෙනි (මෙතනින්) | ටැටූ තිබීම වරදක් නොවේ; හඳුනාගැනීමට පමණක් උපකාරී විය |
| හොංකොං: Societies Ordinance (Cap. 151) 20 වගන්තිය (මෙතනින්) | නැත | ට්රයඩ් සාමාජිකයෙකු වීම හෝ එසේ පෙනී සිටීම වරදකි; පොලිසියේ Triad Expert Cadre විසින් කල්ලි භාෂාව, චාරිත්ර සහ අත් සංඥා ගැන විශේෂඥ සාක්ෂි දෙයි (මෙතනින්) | වචන හෝ ඉරියව් අර්ථ දැක්වීමට විශේෂඥ සාක්ෂි අවශ්යය |
| එක්සත් ජනපදය: RICO 1970 (මෙතනින්) | නැත | People v Bynum (මිචිගන් ශ්රේෂ්ඨාධිකරණය, 2014): ඇඳුම්, සංකේත, ටැටූ කල්ලියකට සම්බන්ධ වන්නේ කෙසේදැයි විශේෂඥයෙකුට පැහැදිලි කළ හැකි නමුත් චූදිතයා කල්ලි සාමාජිකයෙකු ලෙස ක්රියා කළ බව කිව නොහැක (මෙතනින්) | 2025 දී DHS “Alien Enemy Validation Guide” ටැටූවලට ලකුණු දීම Human Rights Watch විවේචනය කරනු ලැබීය; විශේෂඥ ප්රකාශයක් ටැටූ විශ්වාසදායක නොවන බව පවසයි. (මෙතනින්) |
| එක්සත් රාජධානිය: Serious Crime Act 2015, 45 වගන්තිය (මෙතනින්) | නැත | තිදෙනෙකු හෝ වැඩි කණ්ඩායමක අපරාධ ක්රියාකාරකම්වලට සහභාගි වීම; උපරිම වසර 5 | සාමාන්ය සාක්ෂි නීතිය |
| ජර්මනිය: StGB §129 (මෙතනින්) | නැත | වසර 2ක හෝ වැඩි උපරිම දඬුවම් ඇති වැරදි අරමුණු කරගත් සංවිධානයක් පිහිටුවීම හෝ සාමාජික වීම උපරිම වසර 5; සහාය හෝ බඳවා ගැනීම උපරිම වසර 3 | §86a යටතේ ව්යවස්ථා විරෝධී සංවිධානවල සංකේත (කොඩි, ලාංඡන, නිල ඇඳුම්, සටන් පාඨ) ප්රසිද්ධියේ භාවිතය උපරිම වසර 3; නීතියේ ටැටූ යන වචනය සඳහන් කර නැත (මෙතනින්) |
| ඕස්ට්රේලියාව: බටහිර ඕස්ට්රේලියා Criminal Law (Unlawful Consorting and Prohibited Insignia) Act 2021 (මෙතනින්) | නම් කළ සංවිධාන 46ක ලාංඡන ප්රසිද්ධියේ ප්රදර්ශනය වරදකි; මාධ්ය වාර්තාවලට අනුව ටැටූ ද ආවරණය කළ යුතුය (මෙතනින්) | උපරිම මාස 12 සිරදඬුවම් සහ ඩොලර් 12,000 දඩ; ක්වීන්ස්ලන්තයේ ද 2016 සිට කල්ලි ලාංඡන ඇඳීම වරදකි (මෙතනින්) | Evidence Act 1995 135, 137 වගන්ති: අගතිගාමී සාක්ෂි බැහැර කිරීමේ පොදු බලය |
ටැටූ යන වචනය සංවිධානාත්මක අපරාධ නීතියේම ලියා ඇත්තේ සිංගප්පූරුවේ පමණි; ශ්රී ලංකා කෙටුම්පතේ 4(2)(c) උප වගන්තිය සිංගප්පූරු පනතේ 5(2)(c) උප වගන්තියේ වචනම ය. සෙසු රටවල ටැටූ යනු අධිකරණයේදී විශේෂඥ සාක්ෂි සහ අගතිගාමී සාක්ෂි බැහැර කිරීමේ නීති යටතේ තක්සේරු කරන සාක්ෂි කරුණක් පමණි. සිංගප්පූරුව 2025 නොවැම්බරයේ සංශෝධනයකින් වංචා ජාවාරම් කල්ලි සාමාජිකයන්ට කසපහර ඇතුළු නව වැරදි එක් කළ ද, ඇඳුම් සහ ටැටූ සාධකය ඉවත් කර නොමැති බව එරට ස්වදේශ කටයුතු අමාත්යාංශයේ දෙවැනි වර කියවීමේ කථාවෙන් පැහැදිලි වේ. තොරතුරු මෙතනින්. එරට පොලිසිය ටැටූ නිසා පුද්ගලයන් කල්ලිවලට එක් වන බවට සාක්ෂි නොමැති බව 2017 සහ 2019 දී පාර්ලිමේන්තුවට දන්වා ඇත ඒ පිළිබඳව මෙතනින් සහ මෙතනින්.
වත්මන් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියට සිදුවන නීතිමය සහ පාර්ලිමේන්තු ක්රියාවලිය
ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම (දින 14ක කාලය)
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට (ඔක්තෝබර් 20 වැනිදා සිට) දින 14ක් ඇතුළත එහි ඇති ඕනෑම වගන්තියක් ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බව පවසමින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට ඕනෑම පුරවැසියෙකුට හෝ සංවිධානයකට අයිතිය ඇත.
සිවිල් සංවිධාන සහ නීතිඥවරුන් විසින් 4(2) වගන්තිය සහ අසීමිත රඳවා තබා ගැනීමේ බලතලවලට එරෙහිව ඉදිරි දින කිහිපය තුළ ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිතය. පෙත්සම් ගොනු කළහොත් ශ්රේෂ්ඨාධිකරණය විසින් දින 21ක් ඇතුළත සිය නිල තීන්දුව කථානායකවරයා වෙත දැනුම් දිය යුතුය.
දෙවැනි වර කියවීම සහ විවාදය
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමෙන් පසු, පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා දින නියම කෙරේ. මෙහිදී පනතේ මූලික ප්රතිපත්ති සහ අරමුණු පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්රීවරුන් අතර විවෘත පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වේ.
විවාදය අවසානයේ පනතේ මූලධර්මයන්ට පක්ෂව සහ විපක්ෂව මන්ත්රීවරුන්ගේ ඡන්දය විමසීම සිදු කෙරේ.
කාරක සභා අවස්ථාව– වඩාත්ම වැදගත් පියවර
දෙවැනි වර කියවීම සම්මත වුවහොත්, පනත සමස්ත පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවකට යොමු කෙරේ. මෙහිදී පනතේ සෑම වගන්තියක්ම වෙන් වෙන් වශයෙන් ඉතා සූක්ෂ්ම ලෙස සාකච්ඡාවට බඳුන් කෙරේ.
විපක්ෂය මතු කරන විවේචන සහ විශේෂයෙන්ම ශ්රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද අනිවාර්ය සංශෝධන පනතට ඇතුළත් කරන්නේ මෙම අවස්ථාවේදීය. ටැටූ සහ කොණ්ඩා විලාසිතා මත සාමාන්ය වැසියන් අත්අඩංගුවට පත්වීමේ ප්රායෝගික ගැටලුව නීතිමය වශයෙන් ඉවත් කිරීමට හෝ වගන්ති වෙනස් කිරීමට රජයට ඇති ප්රධානතම අවස්ථාව මෙයයි.
තෙවැනි වර කියවීම
කාරක සභා අවස්ථාවේදී සිදුකළ සියලුම සංශෝධන සහිතව, පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සම්මත කර ගැනීම සඳහා අවසන් වරට ඡන්දය විමසීම (Final Vote) සිදු කරනු ලබයි.
කථානායකවරයාගේ සහතිකය
තෙවැනි වර කියවීමෙන් පනත බහුතර ඡන්දයෙන් සම්මත වූ පසු, කථානායකවරයා විසින් පනත් කෙටුම්පතට සිය නිල සහතිකය සටහන් කරනු ලබයි.
කථානායකවරයා අත්සන් තැබූ මොහොතේ සිට මෙම කෙටුම්පත ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ නිල නීතියක් (Act of Parliament) බවට පත්වී මුළු රට තුළම බලාත්මක වෙයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
යෝජිත පනත් කෙටුම්පතෙන් සාමාන්ය ටැටූ ගැසීම හෝ කොණ්ඩය වැවීම තහනම් කර ඇති බවට සමාජ මාධ්යයේ පළවන ප්රකාශය, පනත් කෙටුම්පතේ 4(2) වගන්තිය විස්තර කරන ආකාරය අනුව නොමඟ යවන සුළුය. එම පණත් කෙටුම් පතේ කොණ්ඩ ගැන සඳහන් නොවේ. එම වගන්තියෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකත්වය තීරණය කිරීමේදී එම කණ්ඩායමේ සාමාජිකයන් භාවිත කරන ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාෂාව හෝ ටැටූ වැනි කරුණු සලකා බැලිය හැකි බව සඳහන් වේ. එය ටැටූ එකක් තිබීම පමණක් වරදක් බවට හෝ සාමාජිකත්වය තනිවම ඔප්පු කරන බවට අදහස් නොවේ. කෙසේ වෙතත්, මෙම ලක්ෂණ සාක්ෂි ලෙස භාවිත කිරීමේ ප්රායෝගික අවදානම්, පොලිස් බලතල, රඳවා තබා ගැනීම සහ ඇප සම්බන්ධ ප්රතිපාදන පිළිබඳව නීතිවේදීන් සහ සිවිල් සංවිධාන මතු කරන කනස්සල්ල වෙනම විමසා බැලිය යුතුය. එම විවේචන තහවුරු කළ නීතිමය කරුණු සමඟ පැහැදිලිව වෙන් කර දැක්වීම මෙම විවාදය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමට අත්යවශ්ය වේ.
රජය සහ අධිකරණ අමාත්යවරයා පවසන පරිදි සාමාන්ය ජනතාවට තමන් කැමති මෝස්තරයක සාමාන්ය ටැටූ එකක් ගැසීමට හෝ කෙස් විලාසිතාවක් පවත්වා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව සැබෑවකි. නමුත් සිවිල් සංවිධාන සහ නීතිඥවරුන් මතු කරන ප්රධානතම ගැටලුව වන්නේ, පනතේ 4(2) වගන්තියට අනුව ‘යම් අපරාධ කල්ලියක් භාවිත කරන ඇඳුම් විලාසිතා, හස්ත මුද්රා, භාෂාව හෝ පච්ච’ පරීක්ෂා කිරීමට සහ ඒවා සාක්ෂි ලෙස ගැනීමට පොලිසියට ලබා දී ඇති පුළුල් බලතලයි. ප්රායෝගික තලයේදී, යම් සාමාන්ය පුද්ගලයෙකු කොටා ඇති ටැටූ එකක් හෝ ඔහුගේ ඇඳුම් විලාසිතාවක් යම් අපරාධ කල්ලියකට සමානද නැද්ද යන්න අත්අඩංගුවට ගන්නා මොහොතේදී තීරණය කරනු ලබන්නේ බිම් මට්ටමේ සිටින පොලිස් නිලධාරීන් විසිනි. පොලිසියට මෙවැනි පුළුල් අභිමතයක් ලැබුණු විට, පුද්ගලික තරහ පිරිමසා ගැනීමට හෝ දේශපාලන අවශ්යතා මත සාමාන්ය නිරදෝෂී පුද්ගලයන් පවා ‘අසවල් පාතාල කල්ලියේ විලාසිතා භාවිත කළා’ යැයි පවසමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ බරපතල අවදානමක් පවතී. මෙම පනත යටතේ මහේස්ත්රාත්වරුන්ට ඇප දීමේ බලය සීමා කර ඇති බැවින්, මෙලෙස ව්යාජ ලෙස හෝ නොදැනුවත්කම නිසා කොටු වන පුද්ගලයන්ට තමන් නිවැරදිකරුවන් බව ඔප්පු කරන තෙක් මහාධිකරණය හරහා ඇප ලැබෙන තුරු දීර්ඝ කාලයක් නිරපරාදේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටීමට සිදුවේ. සිවිල් සමාජය දැඩි ලෙස විවේචනය කරන්නේ සාමාන්ය වැසියන්ට ටැටූ ගැසීමට ඇති අයිතිය නීතියෙන් තහනම් කර ඇති නිසා නොව, පොලිසිය සතු වන මෙම අසීමිත බලය නිසා නිරපරාදේ වැසියන් දඩයම් වීමේ ප්රායෝගික ඉඩකඩක් විවෘත වන බැවිනි.


