Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කසිප්පු කෑන් මෙරට වෙළඳපොළේ ?

    2022-09-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කසිප්පු බියර් කෑන් වර්ගයක් නැවත වරක් ලංකාවේ වෙළඳ පොළේ දැක ගන්නට ලැබෙන බව හඟවමින්, උපහාසාත්මක කෝණයකින් සටහන් පෙළක් හුවමාරු වුණා. එමඟින් දක්වා තිබුනේ මධ්‍යසාර ප්‍රතිශතය 65.5% වන ලංකාවේ නිෂ්පාදිත නව කසිප්පු වර්ග, ළතුරු, ගැරඬියා සහ කබරයා යන සන්නාම යටතේ බියර්

    කසිප්පු බියර් කෑන් වර්ගයක් නැවත වරක් ලංකාවේ වෙළඳ පොළේ දැක ගන්නට ලැබෙන බව හඟවමින්, උපහාසාත්මක කෝණයකින් සටහන් පෙළක් හුවමාරු වුණා. එමඟින් දක්වා තිබුනේ මධ්‍යසාර ප්‍රතිශතය 65.5% වන ලංකාවේ නිෂ්පාදිත නව කසිප්පු වර්ග, ළතුරු, ගැරඬියා සහ කබරයා යන සන්නාම යටතේ බියර් කෑන් ලෙස වෙළඳපොලේ දැක ගන්නට ලැබෙන බවයි.

    Facebook | Archived

    පහත දැක්වෙන පරිදි ම මෙම සටහන් ද ව්‍යාජ බවත් මේ ආකාරයේ කිසිඳු කසිප්පු බියර් නිෂ්පාදනයක් ලංකාවේ වෙළඳ පොළේ විකිනීමට අවසර ලබාදී නොමැති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා දුරකතන මාර්ගයෙන් අපට තහවුරු කරනු ලැබුවා.

    එසේම මේ පිලිබදව වැඩිදුර සොයා බැලූ අපට දැන ගන්නට ලැබුනේ ගැෆික් නිර්මාණ ශිල්පීන් පිරිසක් විසින් විනෝදාස්වාදය උදෙසා සිදුකරන ලද ත්‍රිමාණ ග්‍රැෆික් නිර්මාණ , සමාජ ජාලා ඔස්සේ මේ ආකාරයට හුවමාරු වන බවයි.

    මේ ආකාරයටම 2022 සැප්තැම්බර් මාසයේ දී ද පර්ඝණක ඔස්සේ නිර්මාණය කරන ලද කසිප්පු බියර් කෑන් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර ඒ පිළිබඳව අපගේ විමර්ශනයක් පහතින්.

    නීති විරෝධී ලෙස පවත්වාගෙන යන කසිප්පු පෙරීමේ තිප්පොළවල් පොලීසිය විසින් සිදු කළ වැටලීම් පිළිබඳ පුවත් අපට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙනවා. එසේ තිබියදී බියර් කෑන් ආකාරයට කසිප්පු යන සන්නාමය යටතේ වෙළඳපොළේ විකිණීමට ඇති බව හැඟවෙන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ගන්න අපේ දේ” යනුවෙන් සඳහන් කරමින් ‘කසිප්පු’ යන නමින් 100% ලාංකික නිෂ්පාදනයක් කෑන් වශයෙන් ලබාගත හැකි බව අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. 

    Facebook | Archived Link   Facebook | Archived

    Twitter ඔස්සේ ද, මෙම සටහන සංසරණය වී තිබුණා. Archived

    මෙම කසිප්පු ලෙස සඳහන් කර ඇති කෑන් ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූයේ මෙය මෙරට මිලදී ගැනීමට ඇති බවට හඟවමින්.

    ඇතැම් පිරිස් මෙම සටහන් උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ නිර්මාණ බව පෙන්වා දුන්න ද මත්පැන් වර්ගවල ඉහළ මිලත් සමඟ මේ ආකාරට කසිප්පු යන නාමයෙන් බියර් හෝ වෙනත් මත්පත් නිෂ්පාදනයක් හෝ වෙළඳපලට නිකුත් කර තිබුනේ ද යන්න පිලිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී තිබු බව මෙම ඡායාරූප සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් දැකගනන්ට ලැබෙනවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙරට නීති විරෝධී මත්පැන් ලෙස හැඳින්වෙන කසිප්පු, වෙළඳපොළේ කෑන් ආකාරයෙන් විකිණීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ ඉහත දැක්වුණු එකම ආකාරයේ ඡායාරූපය පමණි. මේ පිළිබඳව සුරාබදු දෙපාර්තම්නේතුවේ පැහැදිලි කිරීමක් අප ලබාගැනීමට කටයුතු කළා.

    සුරාබදු දෙපාර්තමේන්තුව

    පසුගිය සමයේ කෙටි කාලයක් තුළ අවස්ථා 3කදී මත්පැන් මිල ඉහළ යෑම සහ බදු පැනවීමක් ද, සිදු වීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන වල ඉල්ලුම අඩු වීම හේතුකොට ගෙන ජනතාව කසිප්පු වැනි බාල නිෂ්පාදන වෙත යොමු වීමට පටන් ගෙන ඇති බවත්, වෙනදාට වඩා කසිප්පු සඳහා ඉල්ලුමක් ඇති වී තිබෙන බවට වාර්තා වන බවටත්, කසිප්පු වැනි නීතිවිරෝධී මත්පැන් ප්‍රවර්ධනය වැළැක්විය යුතු බවටත් පසුගිය දා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සමග දිනමිණ පුවත් පත සිදු කළ සාකච්ඡාවකදී පවසා තිබුණා. එම වාර්තාව මෙතනින්. 

    මේ හේතුවෙන් කිසිදු අයුරකින් කසිප්පු වැනි නීති විරෝධී මත් පැන් ප්‍රවර්ධනය කිරීමට අනුබල නොලැබෙන හෙයින් අප මේ පිළිබඳව තව දුරටත් විමසීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

    ඒ මහතා සඳහන් කළේ, ඉහත ඡායාරූපයේ සඳහන් ආකාරයට කසිප්පු මෙරට වෙළඳපොළේ විකිණීමට අවසර ලබා දී නොමැති බවත්, මධ්‍යසාර සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී ඇති නිෂ්පාදනවල ලේබල් සඳහා ද, එම දෙපාර්තමේන්තුවේ අදාළ කමිටුවල එකඟතාවය මත අනුමැතිය ලබා දෙන බවත්, ඉහත සඳහන් ඡායාරූපය හුදෙක් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවත්, එවැනි සන්නාමයක් යටතේ වෙනත් බියර් වැනි නිෂ්පාදනයක් සඳහා හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බවත්ය.

    එමෙන්ම කිසිදු අවස්ථාවක මෙවැනි නීති විරෝධි නිෂ්පාදනයක් අපනයන කිරීම සඳහා හෝ අනුමැතිය ලබා නොදුන් බවත්, මෙය අසත්‍ය ඡායාරූපයක් සහිත සටහනක් පමණක් බවත් ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියා.

    නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය, භාවිතය සහ ප්‍රතිවිපාක 

    එමෙන්ම මෑතකදී ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු පානය කළ සිව්දෙනෙකු හිටි හැටියේ දෙදිනක් තුළ මියගොස් තිබුණා. ඊට හේතුවූයේ, නීති විරෝධී මත් වතුර විසවීමෙන් මියයෑමයි බවයි පොලීසිය සඳහන් කර තිබුණේ. එම පුවත් වාර්තාව මෙතනින්.

    නීතිවිරෝධී මත්පැන් භාවිතයේදී වැඩිපුරම ඊට යොමුවන්නේ දරිද්‍රතාවෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. නීතිවිරෝධී මත්පැන් සැපයුම ඉහළ යාමේදී ආණ්ඩු ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකකට මුහුණ පායි. පළමුවැන්න රජයට හිමි විය යුතු බදු අහිමිවීමයි. දෙවැන්න ප‍්‍රමිතියෙන් තොර මද්‍යසාර නිසා මිනිසුන් පීඩා විඳින රෝගවලට ප‍්‍රතිකාර කිරීමේදී සෞඛ්‍යාරක්ෂණයට පිරිවැයක් දැරීමට සිදුවීමය.  කසිප්පු වැනි මත්පැන් නිෂ්පාදනය කෙරෙන්නේ කිසිදු ප‍්‍රමිතියකට නොවේ. 

    නිෂ්පාදන අමුද්‍රව්‍ය හැටියට සීනිවලට අමතරව යූරියා මෙන්ම කෘමිනාශක වර්ග පවා මිශ‍්‍ර කෙරෙන අතර කටුකම්බි ආදිය ද උත්ප්‍රේරක හැටියට භාවිත කෙරේ. කෘතිම ඊස්ට් මගින් පැසවන ගෝඩා මිශ‍්‍රණය පරිසරයට විවෘතව පවතින නිසා කෘමින් ඇතුලූව කටුස්සන්, මීයන්, සර්පයන් වැනි සතුන් ඊට වැටී මිය යාම සාමාන්‍ය දෙයකි. කසිප්පු නිපදවන්නේ එසේ සකස් කරගත් මද්‍යසාර ආසවනයෙනි. කසිප්පුවල වඩාත් බිහිසුණු සංඝටකය වන්නේ මීතයිල් මධ්‍යසාරයයි. වෛද්‍යවරුන් පවසන ආකාරයට මීතයිල් මද්‍යසාරය මිලිලීටර 10 ක් පානයෙන් ස්ථිර අන්ධභාවය ඇතිවිය හැකි අතර මිලිලීටර 30 ක් හෙවත් උගුරු තුනක් මාරාන්තික විය හැකිය. එසේ බලද්දී මේ ආකාරයේ ප්‍රතිවිපාක පිලිබඳ දැනුවත් මෙන්ම නොදැනුවත්, සැලකිය යුතු පිරිසක් ඇබ්බැහි වී සිටින්නේ මාරාන්තික පුරුද්දකටයි. මේ කරුණු ඇතුළත් පිළිබඳව පළ වූ පුවතක් මෙතනින්. ඉංග්‍රීසි බසින් පළවූ පුවත් වාර්තාවක් මෙතනින්.

    Also Read : මළ, මුත්‍රා ජලයෙන් නිපදවූ බීර මෙරට වෙළඳපොළේ ?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ කසිප්පු අඩංගු කෑන් හෝ කසිප්පු යන සන්නාමයක් යටතේ අලෙවිවන බියර් වැනි වෙනත් කිසිදු නිෂ්පාදනයක් හෝ මෙරට වෙළඳපොළේ විකිණීමට ඇති බවක් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන නොමග යවන සුළු බවයි. 

    සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, නීතිවිරෝධී මත්පැන් වර්ගයක් වන කසිප්පු හෝ එම සන්නාමය යටතේ වෙනත් කිසිඳු නිෂ්පාදනයක් හෝ මෙරට වෙළඳපොළේ විකිණීමට අවසර ලබා දී නොමැති බවත්, හුවමාරු වන්නේ  හුදෙක් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි. කිසිදු අවස්ථාවක මෙවැනි නීති විරෝධි නිෂ්පාදනයක් අපනයන කිරීම සඳහා හෝ අනුමැතිය ලබා නොදුන් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-09-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.