දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත සිරගත වීම සහ උන්වහන්සේ සිවුර නොමැතිව ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ කතිකාවතක් ඇති වී තිබේ. එවැනි පසුබිමකදී ඥාණසාර හිමියන් මීට පෙර 2018 වසරේ සිරගතව සිටි අවස්ථාවක සිරකරුවන් සඳහා නියමිත නිල ඇඳුම ඇඳ සිටින ඡායාරූපයක් ලෙස දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්ය ඔස්සේ පැතිර ගොස් ඇත. අදාළ ඡායාරූපයේ සැබෑ ලෙසම දැක්වෙන්නේ මීට පෙර අවස්ථාවක සිරගතව සිටියදී ඥානසාර හිමියන් සිවුර නොමැතිව ජම්පරය ඇඳ සිටින සැබෑ අවස්ථාවක්ද යන්න සොයා බලන ලෙස අප වෙත ලැබුණු පාඨක ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධයෙන් සත්ය අසත්ය භාවය සොයා බැලීමට අප විසින් කටයුතු කළා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

අදාළ ඡායාරූපය තවදුරටත් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්



Facebook | Facebook | Facebook | Facebook
ඒ අනුව මෙහි සත්ය අසත්ය භාවය සොයාබැලීමට අප විසින් කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුවේදී අධිකරණ පරිශ්රය තුළ සිදුකළ අධිකරණයට අපහාස කිරීමක් හේතුවෙන් උන්වහන්සේට වසර 6ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කර තිබුණි. 2019 වසරේ උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දුන්නද, 2026 සැප්තැම්බර් 10 වනදා ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේ එම සමාව දීම නීතිවිරෝධී සහ අවලංගු වන බවයි. ඒ අනුව ඉතිරි සිරදඬුවම් කාලය ක්රියාත්මක කිරීමට උන්වහන්සේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
2026 ඔක්තෝබර් 6 වනදා ඉස්ලාම් දහමට අපහාස කිරීමේ වෙනත් නඩුවකට අදාළව, බන්ධනාගාර නිලධාරීන් විසින් උන්වහන්සේව කොළඹ මහාධිකරණය වෙත රැගෙන ආවේ චීවරය නොමැතිව, සුදු පැහැති අත්දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී සිටියදීය.
මීට පෙර 2018 වසරේ සිරගතව සිටියදී ද උන්වහන්සේ සිවුර නොමැතිව ජම්පරය ඇඳ සිටි බවට දක්වමින් ඉහත ඡායාරූපය සංසරණය වන්නේ මෙවන් පසුබිමකදී ය.
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ඥාණසාර හිමියන් නොවේ.
ඥානසාර හිමියන් ජම්පරය ඇද සිටින අවස්ථාවක් ලෙස දක්වමින් හුවමාරු වැනි ඉහත ඡායාරූපය Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළ අතර එහිදී, Daily News හි 2012.12.31 දින පළ කර තිබූ පුවත් වාර්තාවක තිබී මෙහි මුල් ඡායාරූපය හමු විය. අදාළ පුවත අමාත්යාංශ අතර වගකීම් පටලැවීමෙන් ඇතිවන පරිපාලන ගැටලු සහ ඊට විසඳුම් සම්බන්ධයෙනි. ඥාණසාර හිමියන් සම්බන්ධ කිසිවක් පුවත් වාර්තාව තුළ නොමැත.

සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය සහ Daily News පුවත් වාර්තාවේ අන්තර්ගතයන් මුල් ඡායාරූපය අතර සංසන්දනයක් පහතින්.

ඡායාරූපවල කැමරාවට පිටුපා සිටින සිරකරුවන් තිදෙනෙක් දැක්වන අතර සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ මැද සිටින සිරකරු පෙනුමෙන් ඥාණසාර හිමිට සමාන බව බැලූ බැල්මට නිරීක්ෂණය වේ. නමුත් පුවත් වාර්තාව තුළ දැක්වෙන මුල් ඡායාරූපයෙහි මැද සිටින පුද්ගලයා ඥාණසාර හිමිගේ බාහිර ස්වරූපයට සමාන නොවේ. එහි දැක්වෙන්නේ සාමාන්ය සිරකරුවන් තිදෙනෙකි.
ඉහත වෙනස්කම් සැලකිල්ලට ගනිමින් අප විසින් ඉහත සමාජ මාධ්ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපය කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කළ අතර එහිදී නිරීක්ෂණය කළ හැකි වූයේ සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය කෘතිම බුද්ධි මෘදුකාංග භාවිතයෙන් සංස්කරණය කර ඇති බවයි.


ඒ අනුව පැහැදිලි වන්නේ, ඉහත මුල් ඡායාරූපය ඥානසාර හිමියන් ජම්පරය ඇඳ සිටින අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් නොවන බවයි. අදාළ මුල් ඡායාරූපය සංස්කරණය කරමින් එහි ඥානසාර හිමියන් දැක්වෙන ලෙස සකසා ඇත.
ඉහත ඡායාරූපය අසත්ය වුවද, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2018 දී සිරගතව සිටි අවස්ථාවේ සිරකරුවන් සඳහා නියමිත ඇඳුම ඇඳ සිටි බවට වාර්තා ඇත
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණ පරිශ්රය තුළදී බියගැන්වීම සහ සාපරාධී හිරිහැර කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් 2018 ජූනි 14 වන දින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය මගින් මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.
අදාළ සිරගත වූ අවස්ථාවේදී උන්වහන්සේ ජම්පරය ඇඳ සිටින බවට තහවුරු කරමින් එවකට බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්ය ප්රකාශක ලෙස කටයුතු කළ තුෂාර උපුල්දෙණිය මහතා විසින් මාධ්ය වෙත ප්රකාශයක් සිදු කර තිබේ. උන්වහන්සේ බන්ධනාගාරය විසින් ලබා දෙන ඇඳුම ප්රතික්ෂේප කළ බවට පැතිර යන අදහස් අසත්ය බවද, ඥාණසාර හිමියන් නියමිත ඇඳුම ඇඳ අදාළ කටයුතු වල නිරතව සිටින බවට ඔහු ප්රකාශ කර ඇත. එසේම උන්වහන්සේගේ චීවරය ඉවත් කර සිරකරු ඇඳුම (ජම්පරය) හැඳීමට සැලැස්වීම සම්බන්ධයෙන් එකලද ආන්දෝලනාත්මක කතිකාවතක් ගොඩනැගී ඇත. ඒ සම්බන්ධ සියලු තොරතුරු ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ වාර්තා කර තිබේ. අදාළ සම්පූර්ණ මාධ්ය වාර්තාව YouTube
2018 වසරේදී ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සභාව විසින් එවකට අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්ය නීතිඥ තලතා අතුකෝරල මහත්මියට යොමුකරන ලද ලිපියකට පිළිතුරු ලිපියක් යවමින් ඇය විසින් ප්රකාශ කර ඇත්තේ, බන්ධනාගාර පනතේ 106 වගන්තියට අනුව අධිකරණය මගින් සිර දඬුවම් නියම වන ඕනෑම අයෙකුට බන්ධනාගාර සිරකරු නිල ඇඳුම ලබා දීමට නියම කෙරෙන බවයි.

කෙසේ නමුත් 2018 දී චීවරය ඉවත් කර බන්ධනාගාර සිරකරු නිල ඇඳුමකින් ඥාණසාර හිමි ප්රසිද්ධියේ පෙනී සිටින ඡායාරූප හෝ දර්ශන නොමැත.
ඥාණසාර හිමි ගිහි ඇඳුමකින් අධිකරණයට පැමිණියේ ඇයි ?
බන්ධනාගාර මාධ්ය ප්රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න
බන්ධනාගාර මාධ්ය ප්රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා ප්රකාශ කර ඇත්තේ වසර 03කට වැඩි බරපතල වැඩ සහිත සිරදඬුවම් ලැබූ අයෙකුට කැමති ඇඳුමකින් අධිකරණයට පැමිණීමේ හැකියාවක් නැති බවයි. වසර 2කට අඩු සිරදඬුවම් ලැබූ පූජකවරුන්ට පමණක් ආගමික ඇඳුමින් පෙනී සිටීමට අවකාශ ඇති අතර, ඥානසාර හිමිට වසර 6ක බරපතළ සිරදඬුවමක් ක්රියාත්මක වන බැවින් නීත්යානුකූලව චීවරය ඉවත් කර සිරකරු ඇඳුමින් පෙනී සිටීමට සිදු වී ඇත. එලෙස ආගමික ඇඳුම ඉවත් කරන ලද පූජකයන් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යනු ලබන්නේ ද නිදහස් සිර ඇඳුමින් බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා මාධ්ය වෙත ප්රකාශ කර තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
කැබිනට් ප්රකාශක වෛද්ය නලින්ද ජයතිස්ස මහතා
කැබිනට් ප්රකාශක වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ(06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවකදී අවධාරණය කළේ මෙය ඥානසාර හිමියන්ට පමණක් විශේෂ කර සිදුකළ දෙයක් නොවන බවයි. මේ වන විට විවිධ වැරදි සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින භික්ෂූන් වහන්සේලා 63 දෙනෙකු බන්ධනාගාර ආඥා පනතට අනුව මෙම ඇඳුම ඇඳ බන්ධනාගාරගතව සිටින බව ඔහු පෙන්වා දුන්නේය. වැඩිදුර තොරතුරු මෙතනින්.
කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රීධර්ම මහා සංඝ සභාව
ඥානසාර හිමියන් අයත් වන කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රීධර්ම මහා සංඝ සභාවේ ප්රධාන ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක්ද යොමු කර තිබේ. අධිකරණ තීන්දුවට ගරු කරන නමුත්, සාම්ප්රදායික ශාසනික ගරුත්වය ආරක්ෂා කරමින් උන්වහන්සේට අධිකරණය හමුවට පැමිණීමේදී සිවුර පිටින්ම පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. වැඩිදුර තොරතුරු මෙතනින්.
Also Read : ඥානසාර හිමි හිමි ගිහියකු ලෙස ජපානයේ සිටි ඡායාරූපයක් ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් 2018 වසරේදී සිරගතව සිටින විට චීවරය නොමැතිව සිරකරුවන් සඳහා නියමිත ඇඳුමෙන් පෙනී සිටින ඡායාරූපයක් ලෙස දක්වමින් හුවමාරු වන ඡායාරූපය අසත්ය බවයි. අදාල මුල් ඡායාරූපයෙහි ඥානසාර හිමියන් දැක්වෙන්නේ නැත. මුල් ඡායාරූපය කෘත්රිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරමින් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය නිර්මාණය කර ඇත.
ඡායාරූපය අසත්ය වුවද, ගල්ගොඩඅත්තේ ඥාණසාර හිමියන් 2018 වසරේ සිරගතව සිටි අවස්ථාවේදී සිරකරුවන් සඳහා නියමිත ඇඳුම ඇඳ සිටි බවට වාර්තා ඇත. අදාළ සිරගත වූ අවස්ථාවේදී උන්වහන්සේ සිරකරුවන් සඳහා නියමිත ඇඳුම ඇඳ සිටින බවට තහවුරු කරමින් එවකට බන්ධනාගාර මාධ්ය ප්රකාශක විසින් මාධ්ය වෙත ප්රකාශයක් කර තිබේ. එසේම උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් සංඝ සභාව විසින් එවකට එවකට අධිකරණ අමාත්යවරිය වෙත යොමු කරන ලද ලිපියකට පිළිතුරු දෙමින් එවකට අධිකරණ අමාත්යවරිය වූ තලතා අතුකෝරාල මහත්මිය විසින් සඳහන් කර ඇත්තේ, බන්ධනාගාර පනතට අනුව අධිකරණය මගින් සිරදඬුවම් නියම වන ඕනෑම අයෙකුට බන්ධනාගාර සිරකරු නිල ඇඳුම ලබාදීමට නියම කෙරෙන බවයි. කෙසේ නමුත් මීට ඉහත අවස්ථාවකදී ඥාණසාර හිමියන් සිරකරු ඇඳුමින් ප්රසිද්ධියේ පෙනී සිටින ඡායාරූප හෝ දර්ශන නොමැත.



