Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    විදුලි කප්පාදුවට පොහොට්ටුවේ ඉංජිනේරුවන් සම්බන්ධ බව බලශක්ති ඇමති පැවසුවා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 ඔක්තෝබර් 17 වන දින මුළු දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීමෙන් පසු, ඔක්තෝබර් 19 සිට 21 දක්වා දින කිහිපයක් රට පුරා සැලසුම් කළ විදුලි කප්පාදුවක් සිදු කෙරුණි. මේ අතර, බලශක්ති අමාත්‍ය මෙන්ම ව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    2026 ඔක්තෝබර් 17 වන දින මුළු දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීමෙන් පසු, ඔක්තෝබර් 19 සිට 21 දක්වා දින කිහිපයක් රට පුරා සැලසුම් කළ විදුලි කප්පාදුවක් සිදු කෙරුණි. මේ අතර, බලශක්ති අමාත්‍ය මෙන්ම වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, විදුලි කප්පාදුවට විදුලිබල මණ්ඩලයේ සිටින “පොහොට්ටුවේ” ඉංජිනේරුවන් සහ සේවකයන් සම්බන්ධ බව පැවසූ බව දක්වන සටහනක් සමාජ මාධ්‍යයේ හුවමාරු විය. අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් කර තිබේද යන්න අපි පරීක්ෂා කළෙමු.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “විදුලි බලමණ්ඩලයේ සිටින පොහොට්ටුවේ විදුලි ඉංජිනේරුවන්, පොහොට්ටුවේ සේවකයින් තමයි රටපුරා විදුලිය කප්පාදුවට සම්බන්ධ වී තිබෙන්නේ” සහ “මේ වන විටත් අපි ඒ සියළුම දෙනා හඳුනාගෙන අවසන්” යනුවෙන් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසූ බව දක්වන, හිරු TV සහ හිරු News ලාංඡන සහිත සටහනක් 2026 ඔක්තෝබර් 20 වන දින සිට ෆේස්බුක් හි හුවමාරු විය.

    සමහර පුද්ගලික ගිණුම් එය සමච්චල් කරමින් බෙදා ගත් අතර, තවත් පිටපතක් “විදුලි කප්පාදුව පිටුපස සැඟවුණු කතාවක් ගැන බලශක්ති අමාත්‍යවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්” යනුවෙන් එය සැබෑ පුවතක් ලෙස ඉදිරිපත් කර තිබිණි.

    Facebook 1 | Facebook 2 | Facebook 3 | Archive 1

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය :

    බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, විදුලිබල මණ්ඩලයේ සිටින පොහොට්ටුවට සම්බන්ධ ඉංජිනේරුවන් සහ සේවකයන් රට පුරා විදුලි කප්පාදුවට සම්බන්ධ බවත්, ඔවුන් සියලු දෙනා හඳුනාගෙන ඇති බවත් ප්‍රකාශ කළේද යන්නයි.

    Fact Check (කරුණු පරීක්ෂාව) :

    අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු වාර්තාවක් නැත

    අපි විදුලි බිඳවැටීම සහ විදුලි කප්පාදුව පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි පුවත් වාර්තා මෙන්ම, ඒ පිළිබඳව අමාත්‍යවරයා කළ ප්‍රකාශ ද පරීක්ෂා කළෙමු. පොහොට්ටුවේ ඉංජිනේරුවන් හෝ සේවකයන් විදුලි කප්පාදුවට සම්බන්ධ බව අමාත්‍යවරයා පැවසූ බවට කිසිදු පුවත් ආයතනයක් හෝ නිල මූලාශ්‍රයක් වාර්තා කර නොතිබිණි.

    හිරු ප්‍රවෘත්ති එවැනි පුවතක් පළ කර නැත

    සටහන හිරු TV සහ හිරු News ලාංඡන යොදා, හිරු ප්‍රවෘත්ති ආකෘතියට සමාන ලෙස සකසා ඇත. එහෙත් එවැනි පුවතක් හිරු ප්‍රවෘත්ති ඔස්සේ පළ කර නොමැති බව අපගේ පරීක්ෂාවෙන් පැහැදිලි විය.

    සටහන ව්‍යාජ බව බලශක්ති අමාත්‍යාංශය දැනුම් දෙයි

    බලශක්ති අමාත්‍යාංශය සිය ෆේස්බුක් පිටුවේ මෙම සටහන “FAKE NEWS” ලෙස සලකුණු කර පළ කරමින් දැනුම් දී ඇත්තේ, පෞද්ගලික මාධ්‍ය ආයතනයක සන්නාමයක් භාවිත කරමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කර ඇති පුවත අසත්‍ය සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවයි.

    Facebook

    අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ද සටහන අසත්‍ය බව පැවසීය

    අපි මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සම්බන්ධ කර ගනිමින් විමසූ අතර, හුවමාරු වන සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු පැවසීය. 

    ඔක්තෝබර් 17 බිඳවැටීම සහ ඉන් පසු විදුලි කප්පාදුව

    ඔක්තෝබර් 17 වන දින පෙරවරු 11.45ට පමණ මුළු දිවයිනටම බලපාන විදුලි බිඳවැටීමක් සිදු විය. එදින අමාත්‍යවරයා පැවසුවේ බිඳවැටීමේ නිශ්චිත හේතුව තවමත් නොදන්නා බවත්, පද්ධතිය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීම සඳහා වහල මත සූර්ය පද්ධති ඇති අය ඒවා විසන්ධි කරන ලෙසත් ය. ඒ බව මෙතනින් දැක්වේ.

    බිඳවැටීමෙන් පසු නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය පද්ධතියෙන් ඉවත්ව තිබූ බැවින්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ඔක්තෝබර් 19, 20 සහ 21 දිනවල රට කලාප හතරකට බෙදා, ප.ව. 4.30 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ එක් කලාපයකට පැයක් බැගින් විදුලිය විසන්ධි කෙරිණි. ඒ පිළිබඳ වාර්තාව මෙතනින්.

    ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මෙගාවොට් 270ක පූර්ණ ධාරිතාවෙන් යළි ක්‍රියාත්මක වූ බැවින්, ඔක්තෝබර් 22 සිට විදුලි ඉල්ලුම කළමනාකරණ පියවර අවශ්‍ය නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) දැනුම් දුන් අයුරු මෙතනින් දැක්වේ. ඔක්තෝබර් 24 වන විට බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම යළි ජාතික පද්ධතියට සම්බන්ධ කර තිබිණි. වාර්තාව මෙතනින්.

    පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තාක්ෂණික හේතු ය

    2026 ඔක්තෝබර් 20 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක නඩත්තු කටයුත්තක් අතරතුර බොයිලේරුවේ ඩයෆ්‍රම් එකක් පුපුරා යාමෙන් එම යන්ත්‍රය ක්‍රියා විරහිත (trip) වූ බවත්, ඒ සමඟ පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටුණු බවත් ය. එම මොහොතේ පද්ධති පාලන මධ්‍යස්ථානයට සෘජු පාලනයක් නොමැති පුනර්ජනනීය බලශක්තිය මෙගාවොට් 1,700කට ආසන්න ප්‍රමාණයක් පද්ධතියට එක්වෙමින් තිබූ අතර, සංඛ්‍යාතය අඩු වීමත් සමඟ එම ජනනය ද පද්ධතියෙන් ඉවත් වීමෙන් ජාලයේ සමතුලිතතාව බිඳ වැටුණු බව ඔහු පැවසීය. කොත්මලේ බලාගාරයේ ගැටලුවට මෙම බිඳවැටීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද ඔහු එහිදී පැහැදිලි කළේය. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින්.

    ඉල්ලුම අඩු, අවදානම් සහිත දිනයක එවැනි නඩත්තු කටයුත්තක් තෝරාගත්තේ ඇයිද, තනි යන්ත්‍රයක් ක්‍රියා විරහිත වීම මුළු පද්ධතියේම බිඳවැටීමක් දක්වා වර්ධනය වූයේ කෙසේද, සහ අවශ්‍ය උපස්ථ (backup) පද්ධති ස්ථාපිත නොකළේ ඇයිද යන්න අමාත්‍යාංශ ලේකම්වරයා හරහා විමර්ශනය කරන බව අමාත්‍යවරයා පැවසීය. සිද්ධිය පිළිබඳ සවිස්තර වාර්තාව ලැබුණු පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඔහු පැවසූ අයුරු මෙතනින් දැක්වේ.

    YouTube

    අමාත්‍යවරයා ප්‍රශ්න කළේ නඩත්තු තීරණය ගැන මිස පක්ෂ අනුබද්ධතාව ගැන නොවේ

    බිඳවැටීමෙන් පසු ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු පිළිබඳ චෝදනා ද මතු වූ අතර, ඔක්තෝබර් 20 වන දින කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස එම චෝදනා ප්‍රතික්ෂේප කළ අයුරු මෙතනින් දැක්වේ.

    අවදානම් දිනයක නඩත්තු කටයුත්තක් තෝරා ගත්තේ ඇයිද යන්න නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවද, අප පරීක්ෂා කළ ඔහුගේ ප්‍රකාශයේ කිසිදු සේවකයෙකුගේ දේශපාලන පක්ෂ අනුබද්ධතාවක් ගැන සඳහන් නොවේ. ඒ වෙනුවට, විදුලිය යළි ලබා දීමට ඉංජිනේරුවන් ඇතුළු තාක්ෂණික කාර්ය මණ්ඩලය දැඩි කැපවීමෙන් කටයුතු කළ බව පවසමින් ඔහු ඔවුන්ට ස්තුති කළේය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය (Conclusion) :

    විදුලි කප්පාදුවට පොහොට්ටුවේ ඉංජිනේරුවන් සහ සේවකයන් සම්බන්ධ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසූ බව දක්වමින්, හිරු ප්‍රවෘත්ති ලාංඡන සහිතව හුවමාරු වන සටහන ව්‍යාජ ය. එවැනි ප්‍රකාශයක් කිසිදු පුවත් ආයතනයක් වාර්තා කර නොමැති අතර, සටහන ව්‍යාජ බව බලශක්ති අමාත්‍යාංශය සහ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පැවසූහ.

    ඔක්තෝබර් 20 වන දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා බිඳවැටීමට හේතු ලෙස පෙන්වා දුන්නේ ලක්විජය බලාගාරයේ නඩත්තු කටයුත්තක් අතරතුර ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත වීම සහ පාලනයකින් තොර පුනර්ජනනීය ජනනය පද්ධතියෙන් ඉවත් වීමයි. ඒ පිළිබඳ විමර්ශනය අමාත්‍යාංශ ලේකම්වරයා හරහා සිදු කෙරේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.