Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: අමාත්‍ය උදය ගම්මන්පිලගේ බිරිඳට ඉරානයේ දී ෆර්දාවක් ඇන්දුවද?

    2021-10-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බුර්කාව, ජිජාබය, නිකාබ, ෆර්දාව වැනි මුව සහ හිස ආවරණය වන කොටස් සමඟින් සම්පුර්ණ සිරුර ආවරණය වන ඇඳුම් පැළඳීම ලොව පුරා මුස්ලිම් කතුන් අතර සුලභව දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම් මුස්ලිම් රටවල සංචාරයේ නිරත වන අවස්ථාවල දී සංචාරක කාන්තාවන් ද යම්කිසි ආකාරයක හිස් පළඳන

    බුර්කාව, ජිජාබය, නිකාබ, ෆර්දාව වැනි මුව සහ හිස ආවරණය වන කොටස් සමඟින් සම්පුර්ණ සිරුර ආවරණය වන ඇඳුම් පැළඳීම ලොව පුරා මුස්ලිම් කතුන් අතර සුලභව දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම් මුස්ලිම් රටවල සංචාරයේ නිරත වන අවස්ථාවල දී සංචාරක කාන්තාවන් ද යම්කිසි ආකාරයක හිස් පළඳනා යොදා ගන්නා අයුරු ද දැක ගන්නට පුළුවන්.

    පසුගිය සැප්තැම්බර් මස අවසන් දිනවල දී, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු දූත පිරිසක්, මේ ආකාරයේ මුස්ලිම් රටක් වන ඉරානයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ දී, අමාත්‍යවරයාගේ බිරිඳ ද හිස් පළඳනාවක් පැළඳ සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳ අප කළ විමසුමයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දක්වා තිබුණේ,

    “තෙල් ටිකක් හින්දා මේ මනුෂ්‍යයා කරන විකාරයක්.  අන්තිමට ගෑනිට පර්දාවකුත්  ඇන්දුවා.

    එද්දි කොනත් කපාගෙන එයිද මංදා😀😀 විදේශ ප්‍රතිපත්ති බින්දුවයි.

    මංගල සමරවීරලා. නැති අඩුව😢

    රටවල් රටවල් ගානේ. අපේ රටේ අභිමානය උගසට තියන්න වෙලා. ” යනුවෙනි.

    අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ බිරිඳ පාර්දාවක් දමා ඇති බවට සඳහන් කර තිබූ එම සටහන පහතින්.

    Facebook | Archived Link

    එලෙස අරුත් ගැන්වෙන සටහන් ෆේස්බුක් ඔස්සේ පරිශීලකයින් සංසරණය කර ගෙන තිබූ අයුරු පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ කුමන අවස්ථාවක් සම්බන්ධයෙන්ද යන්න විමර්ශනය කළ අතර එහිදී නිරීක්ෂණය වූයේ මෙම අවස්ථාව පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා ඉරාන සංචාරය අතරතුර ටෙහෙරානයේ පිහිටි ඉරාන ඉන්ධන පිරවුම්හල් කෞතුකාගාරය නැරඹීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, සිය අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු  කිහිපදෙනෙකු සමඟ සහභාගී වූ අවස්ථාවකදී ලබා ගත් ඡායාරූපයක් බවයි.

    Facebook | Archived Link  Twitter Archived Link

    මෙම සටහන්වල පැවසෙන පරිදි ද මෙහි සිටින්නේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය බව පෙනී යනවා. එම සංචාරයේදී ලබා ගත් තවත් ඡායාරූපයකදීද බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරිය සමඟ ඡායාරුප සටහනක් එකතු කර තිබුනේ මෙලෙසින්. 

    කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය ද ඉරානයේ සංචාරයේ යෙදුණු දූත පිරිස අතර සිටි බවට ටෙහෙරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිවේදනයේ ද දැක්වුණා.

    අප මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ, අමාත්‍යවරයාගේ බිරිඳ ලෙසින් හඳුන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සිටින ඡායාරූපයක් බවත් මෙම සංචාරය සඳහා අමාත්‍යවරයාගේ බිරිඳ සහභාගී වුණේ නැති බවයි. 

    බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සිය පත්වීම් භාර ගනු ලැබූ අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්. ඒ සම්බන්ධයෙන් පළ වූ ෆේස්බුක් සටහනක් මෙතනින්.

    අප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් ඔල්ගා මහත්මියගෙන්ද විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, අමාත්‍යාංශයේ වැඩ කටයුතු සඳහා ඉරාන සංචාරයේ යෙදුණු අවස්ථාවක ලබා ගත් ඡායාරූයේ සිටින්නේ තමා බවත්, එහි සිටින්නේ ගම්මන්පිල අමාත්‍යවරයාගේ බිරිඳ ලෙස වැරදි අර්ථකතනයකින් මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති බවයි. 

    බලශක්ති අමාත්‍යාංශයේ කටයුතු සඳහා කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සහභාගි වූ අවස්ථාවකදී ලබා ගත් ඡායාරූපයක් පහතින්.

    බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරියගේ වෙනත් ඡායරූප මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    එමෙන්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ බිරිඳ වන අකුරුගොඩගේ දිනේෂා ශ්‍යාමලී දිල්රුක්ෂි මහත්මියගේ ඡායාරූප පහතින්.

    Sundayobserver |Archived  srilankabreakingnews.com |Archived  Twitter|Archived 

    සිය පවුලේ ඡායාරූප එකතුවක් අමාත්‍යවරයාගේ නිල Twitter ගිණුමේ පළ කර තිබුණේ මෙලෙසින්.

    මේ අනුව ද අමාත්‍යවරයාගේ බිරිඳගේ සහ ඡායරූපයේ සිටින බලශක්ති අමාත්‍යාංශයේ කටයුතු සඳහා කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මියගේ හැඩහුරුකම් වෙනස් බව පෙනී යනවා. 

    බොහෝ දුරට ඉස්ලාම් ධර්මය අදහන රටවල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් රාජ්‍ය නායකයින් හමුවීමේදී ශරීරය නිරාවරණය නොවන සේ ඇඳ පැළඳීම ඔවුන්ට කරන ගෞරවයක් සේ සැලකෙනවා. ඉරානය, කාන්තාවන් සඳහා ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් කේතය (dress code) බලපැවැත්වෙන රටක් වන අතර ඒ පිළිබඳ විස්තර මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Also Read : FACT CHECK: මහ සඟරුවන සහභාගිව සිටින උත්සවයකදි උදය ගම්මන්පිල, ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතිවරුන්, කාන්තාවන් තිදෙනෙකුද සමඟ ඉදිරිපස අසුන්ගෙන මහ සඟරුවනට පිටුපස අසුන් පැනවූවාද?

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ බිරිඳ ලෙසින් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සිටින්නේ, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය වන කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය බවයි.

    පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉරාන සංචාරය අතරතුර දී, ටෙහෙරාන් නුවර පිහිටි ඉන්ධන පිරවුම්හල් කෞතුකාගාරය නැරඹීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, සිය අමාත්‍යාංශයේ ලේකම්වරිය වන කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය ඇතුළු කිහිපදෙනෙකු සමඟ සහභාගී වූ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් හුවාමරු වී තිබූ සටහන් පෙළකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-10-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.