Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කථානායක අශෝක රංවලගේ උපාධි / ආචාර්ය උපාධිය පිළිබඳ දැනට ලැබී ඇති තොරතරු මත, කරුණු පැහැදිලි කිරීමක්!

    2024-12-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය නොවැම්බර් 21 වන දා පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින්, දසවන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජන බලවේයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතා ඒකමතිකව තේරී ප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පසුගිය නොවැම්බර් 21 වන දා පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින්, දසවන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධුරයට ජාතික ජන බලවේයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල මහතා ඒකමතිකව තේරී පත් වූ බවට දන්වා සිටියා.

    මෙහි වැඩි දුරටත් දැක්වුණේ, අශෝක රන්වල මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිධාරියෙක් වන බවත්, ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ජෛව රාසයනය පිළිබඳ ආචාර්ය උපාධිය ද, සම්පූර්ණ කර ඇති බවයි. එම සම්පූර්ණ නිවේදනය මෙතනින්.

    ඒ අනුව බොහෝ පුවත් පත් ද, නව කථානායකගේ සුදුසුකම් ඒ අයුරින් වාර්තා කර තිබුණා.

    BBC| Archived Link  The Island | Archived Link

    මේ වන විට පිවිසිය නොහැකි, රන්වල මහතාගේ නමට ඇති Linkedin ගිණුමේ ද ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් දක්වා තිබුණේ මෙලෙසින්.

    A screenshot of a cellphone

Description automatically generated

    කථානායකවරයාගේ අධ්‍යාපනික සුදුසුකම් ප්‍රශ්න කරමින් සටහන් පෙළක්!

    මේ අතර සමාජ මාධ්‍ය සටහන් පෙළකින්ම දක්වා තිබුණේ, අශෝක රන්වල මහතා මීට පෙර රාජකාරියේ නියැලුණු  සපුගස්කන්ද තෙල් පිරිපදුවේ ඔහුගේ සමකාලීනයන් පවසන පරිදි, ඔහු පිරිපහදුවේ යන්ත්‍ර ක්‍රියාකරවන්නකු (Operator) ලෙස සේවය කළ අයෙකු පමණක් බවත්, ඔහුගේ සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ අසත්‍ය තොරතුරු බවයි. එවැනි සටහනක් පහතින්.

    Facebook 

    මෙවැනි සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් රැසකින් මෙන්ම ප්‍රධාන ධාරාවේ පුවත් ඔස්සේ ද රංවල මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් පිලිබඳව කතිකාවතක් නිර්මාණය වූ බැවින්, සහ ඒ පිළිබඳව නිල පැහැදිලි කිරීමක් මෙතෙක් ලැබී තිබුනේ නැති බැවිනුත් අප විමර්ෂණයක් කිරීමට අදහස් කළා.

    පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය

    කථානායක අශෝක රංවල මහතාගේ සුදුසුකම් පිලිබඳ පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය උපුටමින් මාධ්‍ය බොහොමයක්ම තොරතුරු වාර්තා කර තිබු බැවින්, පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ ලබාදී ඇති අශෝක් රංවල මහතාගේ තොරතුරු පරික්ෂා කිරීමට අප කටයුතු කළා.

    පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, අශෝක රංවල මහතාගේ විස්තර ඇතුලත් පිටුව මේ අනුව යාවත්කාලීන කිරීමක් සිදුකර ඇති බවත්, එහි දැන් ආචාර්යය යනුවෙන් සඳහන් වන්නේ නැති බවත් අපට, දෙසැම්බර් 10 වැනිදා සිදුකළ පරික්ෂාවේ දී දැක ගන්නට ලැබුණා.

    එසේ නමුත්, මීට පෙර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළකර තිබු පුවත් වාර්තාවල මෙන්ම ඊයේ(දෙසැම්බර් 10 දින) පාර්ලිමේන්තුවේ නිවේදනයක ද ඔහුගේ නමට තවදුරටත් ආචාර්යය කොටස එකතුකර තිබු බව ද අපට දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

    A screenshot of a computer

Description automatically generated

    parliament.lk

    මේ පිළිබඳවත්, අශෝක රංවල මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් පිලිබඳ පාර්ලිමේන්තුවට සිදුකර ඇති දැනුම්දීම් පිළිබදවත් තහවුරු කර ගැනීමට අප, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පැවසූ පරිදි අශෝක රන්වල මහතා ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බැවින් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ සඳහන් කිරීමට නොහැකි බවයි. 

    කෙසේ වෙතත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සහ පාර්ලිමේන්තු නිවේදනයෙන් රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රචාරය කර තිබු බැවින් සහ මේ දිනවල තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උපාධි පිළිබඳ ප්‍රශ්නගත තත්ත්වයක් උද්ගත වෙමින් පවතින වාතාවරණයක, අප විමසා සිටයේ,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන තොරතුරු/ සහතික යනාදිය තහවුරු කිරීමයක් සිදුවන්නේ කෙසේද යනුවෙනි. එහිදී ද, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ සන්නිවේදන පෙන්වා දුන්නේ අදාළ සියලු විස්තර කථානායකගේ පැහැදිලි කිරීමෙන් පසු ප්‍රකාශ කරන බවයි.

    මොරටුව විශ්වවිද්‍යාලය 

    මොරටුව විශ්වවිද්‍යාලය ගැන දක්වා ඇති තොරතුරු පරීක්ෂා කිරීමට, කිහිප වරක්ම අප මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර, ලියාපදිංචි අංකයක්, උපාධිය සම්පුර්ණය කළ වසරක් හෝ යන කරුණු කිසිවක් නොමැතිව, ශිෂ්‍යයෙකුගේ නමින් පමණක් උපාධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම අපහසු කාර්යයක් බවත් පවසමින්, ඒ ගැන නිශ්චිත ප්‍රතිචාරයක් අපට ඔවුන්ගෙන් නොලැබුණි.

    අශෝක රන්වල මහතාගේ ප්‍රතිචාරය

    හිරු ප්‍රවෘත්ති නාලිකාව විසින් සිදු කළ විමසීමකදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියත්, ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් බවත් ඔහු සඳහන් කර ඇති බව ට එම නාලිකාව වාර්තා කර තිබුණේ මේ අයුරින්. Archived Link

    කෙසේ වෙතත් අප මේ කරුණු සම්බන්ධයෙන් අශෝක රන්වල මහතාගෙන් දෙසැම්බර් 05 වන දා විමසීමක් කරනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කළේ, තමන්ට මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධියක් තිබෙන බවට දක්වා තිබෙන තොරතුරු අසත්‍ය බවයි. 

    වැඩිවිස්තර ලබා දීමට අප නැවත වරක් මේ සම්බන්ධයෙන් විමසීමේදී කතානායකවරයා පවසා සිටියේ තමාට ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් ඇති බවයි. එසේම මොරටු විශ්වවිද්‍යාලයේ උපාධියක් ඇති බවට තමන් ප්‍රකාශ නොකළ බව ත්, සඳහන් කළා. 

    තවද, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේදී ඒ මහතා පැහැදිලි කළේ, මේ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු මාධ්‍ය සාකච්ඡාවකින් නුදුරේ දී ම පවසන බවයි.

    ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලය

    ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය තුළ, මෑතක දී ඉගෙනුම ලැබූ සහ ලබන ශ්‍රී ලාංකික සිසුන් කිහිප දෙනෙකුගේ නම් ද අපට දැක ගන්නට ලැබුණ ද, අශෝක රංවල මහතාගේ නම දැක ගන්නට නොලැබෙන බැවින් මෙන්ම Google Scholar ඇතුළු බොහෝ පිළිගත් පරියේෂණ පත්‍රිකා ඇතුළත් (ආචාර්ය උපාධියක් ලබාගැනීමේ දී ඉදිරිපත් කෙරෙන ) වෙබ් අඩවි කිහිපයක ද අප අශෝක සපුමල් රංවල මහතාගේ නම පරික්ෂා කළ ද ඒ පිළිබඳව නිසි තොරතුරක් නොලැබුණි.

    මේ නිසා, කතානායකවරයාට ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ජෛව රාසයනය පිළිබඳ ආචාර්ය උපාධියක් තිබෙනවා ද, තිබේනම් ඒ කිනම් ආකාරයේ ආචාර්ය උපාධියක් ද යනාදිය,   පිළිබඳ අප පරීක්ෂා කිරීමට එම විශ්වවිද්‍යාලයේ විද්‍යා හා ඉංජිනේරු පීඨයෙන් විද්‍යුත් පණිවුඩයක් හරහා විමසීමක් කළ අතර අද (දෙසැම්බර් 11) වන තෙක් ඔවුන්ගේ පිළිතුරක් නොලැබුණු අතර, ඔවුන් ඊට ප්‍රතිචාර දක්වන්නේ නම් එම පිළිතුර සමගින් මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    විපක්ෂයේ පාර්ශව සහ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අදහස් දැක්වීම්

    මේ සම්බන්ධයෙන් විපක්ෂයේ වර්තමාන සහ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම අදහස් දක්වා තිබු අතර ඔවුන් පවසා තිබුණේ ද ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයේ රංවල මහතා අධ්‍යයන කටයුතු කළ බවට වාර්තාවක් නොමැති බවත්, එම විශ්වෙවිද්‍යාලය ඔවුන්ට ඒ බව තහවුරු කර තිබු බවයි.

    එසේම මේ ගැන ඊයේ(10) දින කැබිනට් තීරණ දැනුම් දීමේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රතිචාර දක්වමින් පවසා සිටින්නේ ද මෙම ප්‍රශ්නකාරී තත්ත්වය ගැන කථානායකවරයා ඉදිරි දිනකදී පැහැදිලිකිරීමක් සිදු කරනු ඇති බවත්, එහිදී ලැබෙන තොරතුරු මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට යොමුවන බවයි.

    කෙසේ වෙතත් රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීමට අදාළ විශ්වවිද්‍යාල වලින් සහය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අතර එසේ නොමැති නම්, උපාධි සම්බන්ධ තොරතුරු පිළිබඳ නිසි අයුරකින් තහවුරු කර ගැනීම අපහසු කර්තව්‍යයකි. එමෙන් ම තහුවරු නොවූ තොරතුරු ඉදිරිපත් නොකිරීමට ද අප බැඳී සිටි.

    කෙසේ වෙතත් රන්වල මහතා විසින් තමන් මූලික උපාධිය සම්පූරණ කළ බවට ප්‍රසිද්ධ කර තිබූ මොරටුව විශ්වවිද්‍යාලයේ ද, තමන්ට උපාධියක් නොමැති බව අප කළ විමසීමේ දී පිළිගන්නා ලදී.

    එබැවින්, අශෝක රංවල මහතාගේ මූලික උපාධිය පිළිබඳ විස්තර පැහැදිලි නොමැති බැවින්, මූලික උපාධිය නොමැතිව ආචාර්ය උපාධිය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද අප පරික්ෂා කළෙමු.

    ආචාර්ය උපාධියක් යනු විශ්ව විද්‍යාල විසින් පිරිනමනු ලබන ඉහළම ශාස්ත්‍රීය උපාධිය වන අතර, ඒ සඳහා සාමාන්‍යයෙන් දැඩි ශාස්ත්‍රීය සහ පර්යේෂණ පදනම් වූ සන්ධිස්ථාන මාලාවක් සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ. 

    තාක්ෂණික ක්ෂේත්‍රයකින්, මුලික උපාධියක් නොමැතිව ආචාර්ය උපාධියක් කළ හැකිද?

    බොහෝ විශ්ව විද්‍යාල මගින් ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු ලෙස සලකා බැලීමට නම්, යෝජිත පර්යේෂණ මාතෘකාවට අදාළ උපාධියක් (උපාධි හෝ පශ්චාත් උපාධි) සම්පූර්ණ කර තිබිය යුතු අතර අදාළ විශ්වවිද්‍යාලය විසින් අනුමත කර තිබිය යුතුය. 

    මෙසේ පශ්චාත් උපාධියක් හෝ අවම වශයෙන් මුලික උපාධියක්වත් සම්පුර්ණ කර තිබීම නිර්දේශ කළද, ඇතැම් විශ්වවිද්‍යාල මගින්, උපාධියක් නොමැතිව හෝ ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ අවස්ථා ද සලසා දී තිබෙන අතර, නමුත් එසේ සිදුවන අවස්ථා ඉතා විරලයි.

    විශේෂයෙන්ම මෙම අවස්ථාව ලැබෙන්නේ, උසස් අධ්‍යාපන කටයුතු නිම කර, උපාධි පාඨමාලා වෙත යොමු නොවී, අදාළ ක්ෂේත්‍රයේ බොහෝ කර්මාන්ත සහ පර්යේෂණ අත්දැකීම් තිබෙන, පුළුල් අත්දැකීම් තුළින්  ක්ෂේත්‍රයේ නව දැනුමට සෘජුවම දායක වී ඇති වෘත්තිකයන්ටයි.

    මේ අනුව පුද්ගලයෙකු ක්‍රියාකාරී අධ්‍යාපනයේ නොසිටින නමුත් තව ඔවුන්ගේ ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබිය යුතුය. මෙම දායකත්වය ඔවුන් තම වෘත්තීය ජීවිතයේ කොටසක් ලෙස හෝ දිගුකාලීන අධ්‍යයන ව්‍යාපෘතියක කොටසක් ලෙස ඔවුන් විසින් සිදු කරන ලද කාර්යයක් හරහා සිදු කළ හැකිය.

    මේ ආකාරයෙන් ආචාර්ය උපාධියකට අයදුම්පතට සහය වීමට පෙර පර්යේෂණ අත්දැකීම් සනාථ කරන පුළුල් ලියකියවිලි ඇතුළුව, වෙනත් පිළිගත් වෘත්තීය සුදුසුකම් සනාථ කෙරෙන සහතික ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. මේ පිළිබඳ ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක වෙබ් අඩවියක ඇතුළත් කර තිබු තොරතුරු මෙතනින්.

    ආචාර්ය උපාධියක් ලබාගැනීමේ සම්පද්‍රායික මාර්ගය:

    මූලික උපාධිය: අදාළ ක්ෂේත්‍රයක උපාධියක් ලබා ගැනීම.

    ශාස්ත්‍රපති උපාධිය (විකල්ප): ඇතැම් වැඩසටහන් සඳහා ආචාර්ය උපාධි වැඩසටහනකට ඇතුළත් වීමට පෙර ශාස්ත්‍රපති උපාධියක් අවශ්‍ය වන අතර අනෙක් ඒවා ඒකාබද්ධ වැඩසටහන් ඉදිරිපත් කරයි.

    ආචාර්ය උපාධි වැඩසටහන: සාමාන්‍යයෙන් පාඨමාලා, විස්තීර්ණ විභාග සහ නිබන්ධනයකින් අවසන් වන මුල් පර්යේෂණ ව්‍යාපෘතියක් අවශ්‍ය වේ. (research project)

    මීට අමතරව ආචාර්ය උපාධිය ලබාගැනීමේ වෙනත් ක්‍රම ද විවිධ විශ්වවිද්‍යාල හරහා ලබාගැනීමේ අවස්ථාවන් තිබේ.

    වෘත්තීය ආචාර්ය උපාධි:

    මේවාට MD (Medical Doctor), JD (Juris Doctor) හෝ EdD (Doctor of Education) වැනි උපාධි ඇතුළත් වේ. නමුත්, මේවා බොහෝ විට මුල් පර්යේෂණයට වඩා ප්‍රායෝගික භාවිතය කෙරෙහි අවධානය යොමු කරයි.

    සෘජු ආචාර්ය උපාධි වැඩසටහන්:

    ඇතැම් අවස්ථාවලදී, ශාස්ත්‍රපති උපාධිය මඟ හරිමින්, මූලික උපාධියෙන් පසුව සෘජුව ආචාර්ය උපාධි වැඩසටහනකට ඇතුළත් විය හැකිය.

    ගෞරව ආචාර්ය උපාධි:

    විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයක්, සමාජයක් හෝ විශ්ව විද්‍යාලයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට ගෞරව ආචාර්ය උපාධි පිරිනැමිය හැකිය. මේවාට අධ්‍යයන සුදුසුකම් අවශ්‍ය නොවේ. මේවා පිරිනමනු ලබන්නේ ශාස්ත්‍රීය පාඨමාලා හෝ පර්යේෂණ අවශ්‍ය නොවන සුවිශේෂී ජයග්‍රහණ සඳහා ය.

    ජීවිත අත්දැකීම් උපාධි: සමහර ප්‍රතීතනය ලත් නොවන ආයතන වෘත්තීය පළපුරුද්ද මත මේවා පිරිනමයි, නමුත් ඒවාට ශාස්ත්‍රීය නීත්‍යානුකූල භාවයක් නොමැත.

    සැ.යු: මෙම ලිපිය මේ ගැටලුව සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් නොවන අතර අදාළ ආයතන හරහා තවදුරටත් තහවුරු කර ගැනීමට අප විසින් උත්සහ දරන අතර, ඔවුන් මේ සම්බන්ධයෙන් අපට දක්වන ප්‍රතිචාර වල ප්‍රමාදය හේතුවෙන් මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමේ ප්‍රමාදයක් පවතී. එකී ආයතන වල පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන අතර, සෑම විටම තහවුරු කරන ලද තොරතුරු මත පමණක් අපගේ කරුණු පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අප කණ්ඩායම බැඳී සිටී.

    Update : 12/13/24

    මේ අතර රන්වල මහතා වසේදා විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් ආචාර්ය උපාධි සහතිකට බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මේ ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී Bao HuynhBao Huynh නමැති පුද්ගලයෙකු විසින් Linkedin හි පළ කරන ලද වසේදා විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකයක් බව දක්නට ලැබෙනවා. එම සත්‍ය ඡායාරූපය පහිතින්.

    සත්‍ය ඡායාරූපයේ දැක්වෙන තොරතුරු සංස්කරණය කරමින් කථානායක අශෝක රංවල මහතාගේ නම සහ තොරතුරු ඇතුළුත් කරමින් මෙලෙසින් සංස්කරණය කරන ලද ඡායාරූපයක් නිර්මාණය කර තිබෙනවා.

    සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    කතානයක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අශෝක රන්වල මහතා  විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් අද ( 13) ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරා.  ඒහි සඳහන් වී තිබුණේ, ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර නොමැති බව ත්, එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි මේ මොහොතේ ඔහු සතුව නොමැති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී ඇති බවයි.

    කෙසේ වෙතත් ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ත්, මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් එම පක්ෂය කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා ඔහු විසින් දැරූ කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද, එහි වැඩිදුරටත් සඳහන්.

    Avatar

    Title:කතානායක අශෝක රංවල මහතාට උපාධි සහ ආචාර්ය උපාධිය පිලිබඳ දැනට ලැබී ඇති තොරතරු මත, කරුණු පැහැදිලි කිරීමක්!

    Fact Check By: Pavithra Sandamali 

    Result: Insight

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-12-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.