දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මුලතිව් දිස්ත්රික්කයේ පිහිටා ඇති ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කර ඇති බවට සමාජ මාධ්ය ජාලා ඔස්සේ පළ කරන ලද සටහන් තවදුරටත් සමාජ මාධ්ය පරිශීලකයින් අතර හුවමාරු වෙමින් තිබේ. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට වන කතාබහත් සමග මුලිතිව් දිස්ත්රික්කයේ පිහිටි පුරාවිද්යාත්මක වටිනාකමක් සහිත කුරුන්දි රජමහා විහාරය සහ එම භූමි ප්රදේශය පිළිබඳ මාතෘකාව යළිත් කරලියට පැමිණ තිබේ. සමාජ මාධ්යයේ සඳහන් පරිදි ඓතිහාසික කුරුන්දි රජමහා විහාරයට යොදා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට ප්රධාන ධාරාවේ මාධ්ය ද වාර්තා කර තිබේ දැයි පරීක්ෂා කිරීමට අප මූලිකව ම පියවර ගත්තා.
කුරුන්දි විහාරයේ ඉවත් කළ පොලිස් ආරක්ෂාව යළි ලබා දෙයි
වසර ගණනාවක් තිස්සේ කුරුන්දි විහාර භූමියට යොදවා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට ප්රධාන ධාරාවේ මාධ්ය කිහිපයක්ම වාර්තා කර තිබූ අතර එලෙස ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව යළි දින කිහිපයක් ඇතුළත යළි ලබා දීමට කටයුතු කර ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය. අදාළ මාධ්ය වාර්තාවල දැක්වුණේ, පොලිස් ආරක්ෂාව යළි ලබා දෙන ලෙස ලිපියක් මගින් විහාරාධිපති හිමියන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යවරයාගෙන් කරන ලද ඉල්ලීමකින් පසු එම විහාරස්ථානයට යළිත් පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවයි.
පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමත් සමග එම ස්ථානයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු වී ඇති බවත් ඉවත් කළ පොලිස් ආරක්ෂාව විහාරස්ථානයට යළි ලබා දෙන ලෙස මෙම වසරේ අගෝස්තු 29 වැනිදා ලිපියක් මගින් විහාරාධිපති හිමියන් අදාළ ඉල්ලීම සිදු කර තිබුණා.
විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ සිට වසර ගණනාවක් පුරා පොලිස් නිලධාරීන් එහි ආරක්ෂාව සඳහා රැඳී සිටි බවත්, එම නිලධාරීන් විහාරස්ථානයේ සහ අවට පුරාවිද්යා ස්ථානවල ආරක්ෂාව මෙන්ම පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව ද තහවුරු කළ බව ද විහාරධිපති හිමියන් සිය ලිපිය මගින් දැනුම් දී තිබුණා. විහාරාධිපති හිමියන් සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ, විටින් විට පැමිණෙන අන්තවාදී කණ්ඩායම්වල උද්ඝෝෂණ කිරීම්, නීතිවිරෝධි ක්රියා වැළැක්වීමේ සිවිල් ආරක්ෂක බලය පැවරෙන්නේ, පොලිසියට පමණක් බවත් ද දැනට එම ස්ථානයේ රැඳී සිටින යුද හමුදා හෝ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමේ බලයක් නොමැති බවත් ය. විස්තර මෙතැනින් සහ මෙතැනින්
කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති හිමි
කුරුන්දි විහාර භූමියට යොදවා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පළ වන සමාජ මාධ්ය වාර්තා පිළිබඳව අප මුලතිව් කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති, උතුරු පළාත් ප්රධාන සංඝනායක පූජ්ය ගල්ගමුවේ සන්තබෝධි නායක හිමියන්ගෙන් ද විමසීමක් සිදු කළේ ය. විහාරාධිපති හිමියන් ප්රකාශ කළේ, ඉවත් කර තිබූ පොලිස් ආරක්ෂාව දින 2 ක් වැනි කාලයක් ඇතුළත යළි ලබා දුන් බවයි. කෙසේ වෙතත් ආරක්ෂාව ඉවත් කිරීමට හේතු වූ කරුණ කුමක් ද යන්න පිළිබඳ තමන් නොදන්නා බව ද උන්වහන්සේ අප සිදු කළ විමසීමේදී ප්රකාශ කළා.
කෙසේ වෙතත්, විහාර භූමියේ ආරක්ෂාව සඳහා යොදවා සිටි යුද හමුදා හෝ සිවිල් ආරක්ෂක බලකායේ (CSD) නිලධාරීන් ඉවත් කර නොතිබුණි. විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් දිගින් දිගටම රැඳී සිටි අතර, ඉවත් කර තිබුණේ පොලිස් නිලධාරීන් පමණයි.
විහාරාධිපති පූජ්ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් විශේෂයෙන්ම පොලිස් ආරක්ෂාවම නැවත ඉල්ලා සිටියේ පුරාවිද්යා රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වන, හානි කරන හෝ නීතිවිරෝධී ක්රියාවල නිරත වන පුද්ගලයන් ක්ෂණිකව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සෘජු සිවිල් නීතිමය බලය පවතින්නේ ශ්රී ලංකා පොලිසියට බැවිනි.
හමුදා හෝ සිවිල් ආරක්ෂක නිලධාරීන්ට සාමාන්ය සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීමට සහ නීතිය ක්රියාත්මක කිරීමට ඇති නෛතික ප්රතිපාදන සීමිතයි. එම නිසා පුරාවිද්යා ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් නිලධාරීන්ගේ පැවැත්ම අත්යවශ්ය වීම හේතුවෙන් මිස එහි සම්පූර්ණ ආරක්ෂාව ඉවත් කිරීමක් නොවේ.
මුලතිව් පොලිස් ස්ථානය
මේ අතර කුරුන්දි විහාරස්ථානයේ ඉවත් කර තිබූ පොලිස් ආරක්ෂාව යළි ස්ථාපිත කර ඇති බව මුලතිව් පොලිස් ස්ථානය ද අප කළ විමසීමේදී තහවුරු කළා.
මේ අතර ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට හේතු වූ කුරුණ කුමක් ද යන්න පිළිබඳව අප බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයෙන් විමසා ඇති අතර ඊට අමාත්යාංශයේ ප්රතිචාරය සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.
ඓතිහාසික කුරුන්දි රජ මහා විහාරය
වසර දෙදහසකට අධික ඉතිහාසයක් සහිත ශ්රී ලංකාවේ පුරාණ බෞද්ධ උරුමය සහ උතුරු ප්රදේශයේ පුරාවිද්යාත්මක ඉතිහාසය අධ්යයනය කිරීමට වැදගත් ස්ථානයක් වන කුරුන්දක හෙවත් කුරුන්දි විහාරය ක්රි.ව. 100-103දී ඛල්ලාටනාග රජු විසින් ගොඩනඟන ලද්දක් ලද බව සැලකේ. කුරුන්දි විහාර භූමිය 1933 මැයි 12 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් අක්කර 78ක පමණ ප්රදේශයකින් යුත් පුරාවිද්යා රක්ෂිතයක් ලෙස ප්රකාශයට පත් කර ඇති නමුත් විහාරාධිපති හිමියන් උපුටා දක්වමින් මාධ්ය වාර්තා කරන්නේ, මෑතකාලීන පුරාවිද්යා ගවේෂණ මගින් තවත් අක්කර 230ක් එකතු කිරීම සඳහා මැනීම් සිදු කර මායිම් ලකුණු කර ඇති බවයි. තවමත් එම භූමි ප්රමාණය ගැසට් මගින් ප්රකාශයට පත් කර නොමැති බව ද එම වාර්තාවල සඳහන් වේ. කුරුන්දි පුද බිමේ ස්ථූපයට ඔබ්බෙන් පිළිම ගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් දමිළ දේශපාලනඥයෙකු ඇතුළු පිරිසක් පැමිණ එහි පූජාවක් පැවැත්වීමට සූදානම් වීමත් සමග අදාළ පිරිස සහ කුරුන්දි විහාරයේ දායකයින් අතර එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වීමේ සිදුවීමක් 2023 වසරේදී වාර්තා වී තිබුණා. විස්තර මෙතැනින් සහ මෙතැනින්
මුලතිව් කුරින්දි විහාරය සම්බන්ධයෙන් අප මීට පෙර සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්
මුලතිව් කුරින්දි විහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උසාවි නියෝග ඇතුළු කරුණු පිලිබඳ පැහැදිලි කිරීමක්!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube



