Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පුවත් ටිකරයක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සිදුකල ව්‍යාජ සටහනක්!

    2020-06-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු වූ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අහිංසක ජීවිත රැසක් විනාශ වූ අතර ආර්ථිකයටද බරපතළ හානියක් සිදුවිය. මෙම ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් පිලිබඳ සිදුවූ පරීක්ෂණවලදි කලක් ඔහු රාජ්‍ය බුද

    කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු වූ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අහිංසක ජීවිත රැසක් විනාශ වූ අතර ආර්ථිකයටද බරපතළ හානියක් සිදුවිය. මෙම ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් පිලිබඳ සිදුවූ පරීක්ෂණවලදි කලක් ඔහු රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු සපයන්නෙක් ව සිටි බවට ද වාර්තා පලවී තිබුණි. මැතිවරණ සමය ආරම්භ වීමත් සමඟම, පාස්කු ප්‍රහාරය යලිත් වැඩියෙන් කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වී තිබේ.

    මෙවන් වාතාවරණයක “අපි දැනගෙන හිටියේ නෑ ඔබතුමන්ලා බලයට කෑදරකමට ත්‍රස්තවාදීන් පෝෂණය කළ අපට බෝම්බ ගහයි කියලා” යන වදන රෝපනය කර, අගමැති මහින්ද රාජපක්ෂ මහතා හිරු රූපවාහිණි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයට ලබාදුන් ප්‍රකාශයක් ලෙස පෙන්වන සටහනක් සංජීව උදයකුමාර නමැත්තකුගේ ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු අතර එය පරිශීලකයින් 700ට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණි. “සහරාන්ට පඩි ගෙව්වත් ත්‍රස්තවාදියකු බව දැන සිටියේ නෑ” යන වැකිය සහිත ප්‍රවෘත්ති ටිකරයක් ලෙස එය පහත පරිදි පෙන්වා දී තිබුණි

    LinkArchived Link

    තවත් සමාජ ජාල සමුහ කිහිපයක්ම මඟින් හුවමාරු වී තිබු මෙම ප්‍රකාශය කලකට ඉහතදී සිදුකල ප්‍රකාශයක් සේ පෙන්වා දී තිබු බැවින්  මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහනේ පෙන්නුම් කරන ඡායාරූපය හිරු රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයක රූපරාමුවක් නිසා, අප හිරු නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයන් පරීක්ෂා කළෙමු. 2019 අප්‍රේල් මාසයේ 14 දින, එනම් පාස්කු ප්‍රහාරය සිදුවීමට සතියකට පෙර, පස්වරු 6.55 ප්‍රවෘත්ති විකාශයේ අදාල රූපරාමුව අන්තර්ගතව තිබුණද, වර්තමාන අගමතිතුමා, විපක්ෂ නායකව සිටි එම අවධියේ කළ මෙම ප්‍රකාශය සීමා වී තිබුණේ ඉහළ යන බඩු මිල, බදු බර සහ මැතිවරණ කල්දැමීම වැනි මාතෘකාවන්ට පමණක් වූ අතර, සහරාන් පිළිබඳව කිසිදු ප්‍රකාශයක් එහි අන්තර්ගත වී තිබුනේ නැත.  පහත දැක්වෙන්නේ එම මුල් වීඩියෝවයි.

    සංජීව උදයකුමාරගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබු ඡායාරූපය සහ හිරු රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයේ (10 වන මිනිත්තුවේ 38 වන තත්පරයේ) රූපරාමු සමඟ සංසන්දනය කළවිට එය එකම ඡායාරූපයක් බව තහවුරු විය. හිරු පුවත් සේවයේ පුවත් ටිකරයේ “වෙනසක් වෙනවා” යන්න “සහරාන්ට පඩි ගෙව්වත් ත්‍රස්තවාදියෙකු බව දැන සිටියේ නෑ” යනුවෙන් සංස්කරණය වී තිබුනේ මෙලෙසිනි.

    අනතුරුව අප මෙම සටහනට පාදකවු යම් ප්‍රවෘත්තියක් ඇත්දැයි පරීක්ෂා කළෙමු. 2019 ජුනි මස 05 වැනි දින දිනමිණ පුවත්පතේවු “සහරාන් ඇතුළු 30කට පසුගිය ආණ්ඩුව පඩි ගෙවලා” වාර්තාව වෙත අපගේ අවධානය යොමුවිය. යහපාලන රජයේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පහත ප්‍රකාශය පාර්ලිමේන්තුවේදි කළ බවට සඳහනක් විය.

    “සහරාන් හෂිම් ඇතුළු තවුහිද් ජමාද් සංවිධා‍නයේ 30 දෙනකුට පසුගිය ආණ්ඩුව වැටුප් ගෙවා ඇතැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4) ප්‍රකාශ කෙළේය. පසුගිය ආණ්ඩුව සහරාන් ඇතුළු කණ්ඩායමකට වැටුප් ගෙවා ඇති බව ඔප්පු කරන බවත් මෙලෙස සිදු කැර ඇති වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සභානායකවරයා සඳහන් කෙළේය.” යනාදී වශයෙන් පලවී තිබු එම වාර්තාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් දක්වා තිබුනේ මෙලෙසිනි.

    “විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා- ඒ කාරණාව වැරදියි. මෙම තේරිම් කාරක සභාව බුද්ධි අංශ නිලධාරින් පවා‍ ගෙන්වා ප්‍රශ්න කරනවා. දේශපාලන අවශ්‍යතාවන් මත මොනව කළත් කමක් නැහැ. නමුත් මේ හරහා බුද්ධි අංශ නිලධාරීන් බිල්ලට දෙන්න එපා. ඔවුන් මේ ආකාරයට නිරාවරණය කර ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත කරන්න එපා‍.”

    LinkArchived Link

    හිරු රූපවාහිනී නාලිකාවේ 2019 සැප්තැම්බරි මස පැවති “බලය” සජීව වැඩ සටහනකට සහභාගි වෙමින් මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ නලීන් බණ්ඩාර සමඟ මෙම කරුණ පිළිබඳව ඇතිවූ තර්කයක්ද බොහෝ සෙයින් කතාබහට ලක්වී තිබෙනු දක්ගනන්ට හැකි විය.

    මෙසේ පුවත් ටිකර සංස්කරණය කරමින් ව්‍යාජ සටහන් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවය පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේද බහුලව දැකගන්නට හැකිවූ අතර ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අලලා එවැනි සංස්කරණ රැල්ලක් දැකගත හැකිවිය. එසේම මහින්ද රාජපක්ෂ මහතා අලලාද පසුගිය ජනාධිපතිවරණ සමයේ පළවූ එවන් සාවද්‍ය පුවත් ටිකර සංස්කරණ මෙන්ම සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳව අප සිදුකල අනාවරණයක් මෙසේය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අගමැති මහින්දරාජපක්ෂ මහතා“සහරාන්ට පඩි ගෙව්වත් ත්‍රස්තවාදියකු බව දැන සිටියේ නෑ.” යන ප්‍රකාශය හිරු පුවත් සේවයේ පෙන්වා ඇති පරිදි සිදු නොකළ බවයි. 2019 පාස්කු ප්‍රහරයට සතියකට පෙර හිරු පුවත් සේවයේ පළවූ පුවත් ටිකරයක “වෙනසක් වෙනවා” යන්න “සහරාන්ට පඩි ගෙව්වත් ත්‍රස්තවාදියෙකු බව දැන සිටියේ නෑ” යනුවෙන් සංස්කරණය කරමින් මෙම ව්‍යාජ ප්‍රකාශය සිදුකර ඇත.

    එබැවින් “අපි දැනගෙන හිටියේ නෑ ඔබතුමන්ලා බලයට කෑදරකමට ත්‍රස්තවාදීන් පෝෂණය කළ අපට බෝම්බ ගහයි කියලා” යන වදන් රෝපණය කරමින් හිරු පුවත් සේවයේ පළවූ පුවතක් ලෙස ඉදිරිපත් කර ඇති ෆේස්බුක් සටහන් සියල්ල අසත්‍ය සහ සාවද්‍ය සටහනක් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-06-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.