Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කාවන්තිස්ස හස්තියාගේ මරණයෙන් පසු සමාජ මාධ්‍යයේ හුවමාරු වන ව්‍යාජ සටහන්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-17
    11 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (ඔක්තෝබර් 16) මියගිය කාවන්තිස්ස හස්තිරාජයාගේ මරණය මෙරට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු රටේ බහුතරයකගේ අවධානය යොමු වී ඇති ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඔක්ත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (ඔක්තෝබර් 16) මියගිය කාවන්තිස්ස හස්තිරාජයාගේ මරණය මෙරට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු රටේ බහුතරයකගේ අවධානය යොමු වී ඇති ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඔක්තෝබර් 16 වැනිදා සන්ද්‍යාවේ කාවන්තිස්ස ජීවිතයෙන් සමුගත් බවට වන පුවතින් පසු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, ඒ් හා සම්බන්ධ සංවේදී සටහන් මෙන්ම කාවන්තිස්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලට චෝදනා එල්ල කරන ආකාරයේ සටහන් ද දැකගතහැකි වුණා. එවැනි පසුබිමක් තුළ කාවන්තිස්ස මියයාමෙන් පසු සමාජය නොමගයවන සුළු ආකාරයේ සටහන් ද හුවමාරු වන ආකාරය අප නිරීක්ෂණය කළ හැකියි. මේ එලෙස හුවමාරු වන සටහන් කිහිපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim :

    කාවන්තිස්ස හස්තියාගේ දළ යුගලය සංරක්ෂණය කිරීම සඳහා අරලිය හෝටලයේ ස්ථානයක් ලබා දීමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කැමැත්ත පළ කළ බවට පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ලෙස දැක්වෙන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ ‘අද දෙරණ’ මාධ්‍ය ජාලයේ ලාංඡනය යොදාගනිමින්.

    කාවන්තිස්ස හස්තියාගේ මරණය පිළිබඳ සමාජ මාධ්‍යයේ හුවමාරු වන ව්‍යාජ සටහනක තිරරූපය

    Facebook | Archived Link

    Fact Check

    කාවන්තිස්ස හස්තියා මිය ගිය පසු දළ යුගලය සංරක්ෂණය සඳහා අරලිය හෝටලයේ ස්ථානයක් ලබා දීමට ඩඩ්ලි සිරිසේන මහතා කැමැත්ත පළ කළ බවට හෝ පරිසර අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු විශ්වසනීය මාධ්‍ය වාර්තාවක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ අනුව, හස්තියාගේ ප්‍රතිකාර වියදම් දැරීම සඳහා ඩඩ්ලි සිරිසේන සිදු කළ සැබෑ ආධාර යෝජනාවක්, දළ සංරක්ෂණය පිළිබඳ ව්‍යාජ ප්‍රකාශයක් බවට පෙරළා ඇති බව පෙනී යනවා.

    පරිසර අමාත්‍යංශය

    පරිසර අමාත්‍යවරයාගේ ඡායාරූපය සහ අද දෙරණ මාධ්‍ය ජාලයේ ලාංඡනය අවභාවිත කරමින් සංසරණය වන මෙම සටහන් සම්බන්ධයෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලිපියක් පළකර තිබුණා.

    එම ලිපිය හරහා, කාවන්තිස්සගේ දළ යුගලය අධිකරණ ක්‍රියාවලියක් යටතේ පවතින බවත්, ඒවා සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්නත් අමාත්‍යාංශය පැහැදිලි කරයි.

    දළ යුගලය හිස්කබල සමඟම අධිකරණයට භාර දිය යුතු ය

    අමාත්‍යාංශ ලිපියට අනුව, ඇතා මියගිය ප්‍රදේශය අයත් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇත. අධිකරණ නියෝග අනුව කාවන්තිස්සගේ හිස්කබල සහ ඇත් දළ යුගලය අධිකරණයට ඉදිරිපත් කළ යුතු බැවින්, දළ යුගලය හිස්කබලින් වෙන් නොකර හිස්කබල සමඟම තබා ඇත.

    හිස්කබලට සම්බන්ධ මාංශ සහ මොළයේ කොටස් ස්වභාවිකව දිරාපත් වීමට මාස දෙකක පමණ කාලයක් ගත වන බැවින්, මීගලෑව වනජීවී අඩවි නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාල භූමියේ බැකෝ යන්ත්‍රයකින් වළක් කපා එය වළ දමා ඇති බවත්, ඊට දිවා රාත්‍රී අඛණ්ඩ ආරක්ෂාව සපයා ඇති බවත් ලිපියේ දැක්වේ. නියමිත කාලය අවසානයේ එය ගොඩගෙන පිරිසිදු කර අධිකරණයට භාර දීමට නියමිත ය.

    අධිකරණ අවසරය ලැබුණහොත් දළ සහ හිස්කබල ජාතික කෞතුකාගාරයට ලැබිය හැකි ය

    අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ පසු, අධිකරණ අවසරය මත ඇත් දළ යුගලය සහ හිස්කබල ජාතික කෞතුකාගාරය වෙත ලබා දීමට ඉඩ ඇති බවට අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරත්න මහතා සමඟ සාකච්ඡා වී ඇති බව ද ඉහත අමාත්‍යාංශ ලිපියේ සඳහන් වේ. මෙය අධිකරණ අවසරයට යටත් හැකියාවක් මිස අවසන් තීරණයක් නොවේ. කිසිදු පෞද්ගලික හෝටලයකට හෝ ආයතනයකට දළ යුගලය භාර දීමේ යෝජනාවක් එම ලිපියේ නැත.

    ගල්ගමුව අධිකරණ නියෝගය මාධ්‍ය වාර්තාවලින් ද තහවුරු වේ

    ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචන හතුරුසිංහ 2026.10.17 දින කාවන්තිස්සගේ පශ්චාත් මරණ පරීක්ෂණයට නියෝග කළ අතර, ඉදිරියේදී දළ නැවත ලබාගත හැකි ආකාරයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක සිරුර ආරක්ෂිතව වළ දමන ලෙසත්, එම ස්ථානයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසත් නියෝග කළ බව පුවත් ද වාර්තා කර තිබුණි. මීගලෑව වනජීවී කාර්යාලයේ වන නිලධාරී ඩබ්ලිව්. වීරකෝන් ඇතුළු නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බලා මෙම නියෝග නිකුත් කර තිබු අතර, නඩුව ගල්ගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර ඉදිරියේ පසු දිනයක නැවත කැඳවීමට නියමිත බව ද එම වාර්තාවේ සඳහන් ය. මරණයට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා සිරුරේ කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය වෙත යැවූ බව පුවත් වාර්තාවන්හි දැක්වෙනවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim 2 :

    “කාවන්තිස්ස ඇතා නිසා මහජනතාවට ගොඩක් කරදර තිබුණා. ගල්ගමුව, නඹුත්තේගම මිනිස්සු ගොඩක් ජනාධිපතිතුමාට පැමිණිලින් කරා. ඇතාට ප්‍රතිකාර කරන්න කලින් ඒ ගැනත් හිතන්න කියලා මට ඉහලින් උපදෙස් දුන්නා “ යනුවෙන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් චමින්ද ප්‍රසාද් මහතා විසින් ප්‍රකාශයක් සිදු කළ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙ‍ෙ

    ෆේස්බුක් සටහනක තිර රුවක්: කාවන්තිස්ස ඇතාගේ ප්‍රතිකාර ගැන ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් චමින්ද ප්‍රසාද්ගේ ප්‍රකාශයක් ලෙස සඳහන් වන උපුටාගැනීම

    Facebook | Archived Link

    Fact-Check :

    ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් චමින්ද ප්‍රසාද් මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ප්‍රථමයෙන්ම පරීක්ෂා කරනු ලැබුවා. නමුත් ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු වාර්තාවක දැක ගන්නට නොලැබුණි.

    එමෙන් ම ඉහත සටහනින් පෙන්වා දී ඇති Top News ෆේස්බුක් පිටුව ඔස්සේ ද, මෙය පරීක්ෂා කළ අතර, එවැනි පුවතක් ඔවුන් විසින් පළ කර නොමැති අතර ඔවුන් විසින් ද, ඒ බවට සඳහන් කළ ෆේස්බුක් සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

    Top News ෆේස්බුක් පිටුවේ සටහනක තිර රුවක්: ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රකාශය ලෙස පෙන්වන උපුටාගැනීම මත ව්‍යාජ (FAKE) මුද්‍රාවක්

    Facebook | Archived Link

    ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්

    ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් චමින්ද ප්‍රසාද් මහතා අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තමන් සිදු කළ ප්‍රකාශ බවට දැක්වෙන සටහන් අසත්‍ය බවයි. තමන් කිසිදු විටෙක එවැනි ප්‍රකාශයක් කර නොමැති බව ත්, කාවන්තිස්ස හස්තියාගේ අභාවය සමගින් තමන් වෙත එල්ල වන වෛරය ආණ්ඩුව ද, ඈදා ගනිමින් ව්‍යාජ ප්‍රකාශ පතුරුවන බවයි.

    කාවන්තිස්ස හස්තියා ඇතුළු ප්‍රදේශයේ අනෙකුත් හස්ති වෙනුවෙන් අවශ්‍ය දේවල් සිදු කරත් අභූත චෝදනා එල්ල කරමින් නිලධාරීන්ට මෙන් ම තමන්ට ද, දෝශාරෝපණය එල්ල වන අතර මෙය ද, එවැනි ව්‍යාජ සටහනක් බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

    Claim 3 :

    ජීවිතක්ෂයට පත් කාවන්තිස්ස හස්තියාගේ දළ දෙක සංරක්ෂණය කිරීමට තීරණය කළ බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශයක් සිදු කර ඇතැයි, කියමින් BBC සිංහල වෙබ් අඩවියේ ලාංඡනය සහ අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූපයක් ද සහිතව මෙම සටහන පළ කර ඇත.

    ෆේස්බුක් සටහනක තිර රුවක්: කාවන්තිස්ස හස්තියාගේ දළ දෙක සංරක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය තීරණය කළ බවට සඳහන් කරන මීම් රූපයක්

    Facebook | Archived Link

    Fact-Check :

    මූලිකවම කාවන්තිස්ස හස්තියාගේ දළ දෙක සංරකෂණය කරන බවට වන අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයක් සහිත සටහනක් බීබීසී සිංහල වෙබ් අඩවියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබේදැයි පරීක්ෂා කළ අතර එහි එවැනි සටහනක් පළකර නොමැති බව තහවුරු විය. අතර බීබීසී සිංහල වෙබ් අඩවිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ සටහන් ආකෘතියක් භාවිත නොකරන බව ද තහවුරු විය. තව ද අග්‍රාමාත්‍යවරිය කාවන්තිස්ස හස්තියා සම්බන්ධයෙන් සිදුකර ලද වෙනත් ප්‍රකාශ බීබීසී සිංහල වෙබ් අඩවිය විසින් හෝ පිළිගත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙතෙක් වාර්තා කර නොමැත.

    අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සම්බන්ධයෙන් අප අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ මාධ්‍ය ලේකම්වරියගෙන් විමසීමක් සිදු කළා. ඇය සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරිය එවැනි ප්‍රකාශයක් සිදුකර නොමති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සම්පූර්ණ අසත්‍යක් බව ඇය සඳහන් කළා.

    Claim 4 :

    ෆේස්බුක් සටහනක තිර රුවක්: කාවන්තිස්ස ඇතාගේ මළ සිරුර පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශයක් ලෙස පෙන්වන උපුටාගැනීම

    Facebook | Archived Link

    කාවන්තිස්ස ඇතාගේ මළ සිරුරට යුද හමුදා ආරක්ෂාව දීමට යුද හමුදාපතිවරයාට උපදෙස් දුන් බවත් ඇතාගේ දළ යුගල සංරක්ෂණය කිරීමටත්, මතු පරපුරට දැක ගැනීමට හැකිවන පරිදි ප්‍රදර්ශනය කිරීමටත් කටයුතු කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයක් සිදු කර ඇතැයි, මෙම සටහන හුවමාරු වන්නේ, හිරු පුවත් නිල ලාංඡනය සහිතවයි.

    Fact-Check :

    කාවන්තිස්ස හස්තියා මියයාමෙන් පසු ජනාධිපතිවරයා සිදුකරන ලදැයි පැවසෙන සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ආකාරයේ ප්‍රකාශයක් හිරු පුවත් නිල ෆේස්බුක් පිටුවේ පළ කර නොමැති බව තහවුරු වූ අතර වෙනත් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් ද එවැනි පුවතක් වාර්ත කර නොමැත.

    ජනාධිපති මාධ්‍ය අංශය

    මේ අතර කාවන්තිස්ස හස්තියා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදු කර ඇතැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අප කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශය ද තහවුරු කර කියා සිටියා.

    Claim :

    කාවන්තිස්ස ඇතාට වෙඩි තබා ඇත්තේ, ගිරිතලේ කඳවුරේ සිට පැමිණි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනකු විසින් බවට ගවේෂණාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධධන විසින් ප්‍රකාශ කර ඇතැයි කියමින් නිව්ස් ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ සටහන් ආකෘතිය යටතේ මෙම සටහන හුවමාරු වෙමින් තිබේ.

    ෆේස්බුක් සටහනක තිර රුවක්: කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ ගිරිතලේ කඳවුරේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු බවට සඳහන් කරන රූපය

    Facebook | Archived Link

    Fact-Check :

    ඊයේ ඔක්තෝබර් 16 ජීවිතක්ෂයට පත් කාවන්තිස්ස හස්තියා සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිදුකරන ලදැයි කියන මෙම ප්‍රකාශය සහිත සටහනක් නිව්ස් ෆස්ට් නිල ෆේස්බුක් පිටුවේ පළ කර නොමැති බව සිදුකළ පරීක්ෂාවේදී තහවුරු වූ අතර නිව්ස් ෆස්ට් ඩිජිටල් අංශයේ කළමනාකරවරයා ද තහවුරු කළේ, නිල ෆේස්බුක් පිටුවේ සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ සටහනක් පළ කර නොමැති බවයි.

    මේ අතර තමන් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් මෙය යම් පිරිසක් කුමන්ත්‍රණකාරීව ගෙන යන ප්‍රචාරයක් බවත් සඳහන් කරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ද සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් ද තබා තිබුණා.

    ෆේස්බුක් සටහනක තිර රුවක් මත ව්‍යාජ (FAKE) මුද්‍රාවක්: කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකු බවට සඳහන් කරන සටහන

    Facebook

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “කාවන්තිස්ස බේරගත්තෙ නෑ කියලා ජනාධිපතිතූමාට බණින්නේ එතූමා පශු වෛද්‍යවරයෙක්ද..?” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ලෙසින් දක්වමින්ද සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ.

    Facebook | Archived Link Facebook

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ෂණය කිරීම) :

    කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය විසින් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ ද වාර්තා වී තිබිය යුතුයි. කෙසේ නමුත් අප විසින් සිදුකළ පරීක්‍ෂාවේ දී පැහැදිලි වූයේ, එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයන් ඔස්සේ කිසිදු වාර්තාවක් නොමැති බවයි.

    එසේම අප විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය විසින් සිදු කර තිබෙන ප්‍රකාශයන් සම්බන්ධයෙන් පරීක්ෂා කරමින් මෙවැනි ප්‍රකාශයක් ඇය විසින් සිදුකර තිබේද යන්න පරීක්ෂා කළ අතර, එහිදීද පැහැදිලිි වූයේ ඇය විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

    එසේම අදාල සටහන Newshub.lk පුවත් ආයතනයේ ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ එම පුවත් ආයතනය විසින්ද මෙවැනි පුවතක් වාර්තා කර නොමැතිි බවයි. අප විසින් සිදුකළ විමසීමේදී ද එම ආයතනය විසින් තහවුරු කළේ මෙවැනි පුවතක් තම ආයතනය විසින් වාර්තා කර නොමැති බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය

    අප විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලයේ හේමචන්ද්‍ර මහත්මිය ගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය විසින් සඳහන් කළේ මෙවැනි ප්‍රකාශයක් තමා විසින් සිදු කර නොමැති බවත් අදාළ සටහන අසත්‍ය සටහනක් වන බවත් ය.

    Claim :

    කාවන්තිස්ස ඇතාගේ ශුක්‍රාණු සාම්පල අපි ආරක්ෂිතව ගබඩා කරලා තියෙන්‌නේ. අවශ්‍ය ඔ්නෑම අවස්ථාවක පින්නවල සිටින සුදුසු ඇතින්නියක් යොදවාගෙන කාවන්තිස්ස ඇතාගේ පරපුර ඉදිරියට ගෙන යන්න පුළුවන්. තවත් සරලව කියනවා නම්, කාවන්තිස්සලා දහයක් උනත් හදන්න පුළුවන් යනුවෙන් නිලන්ති කොට්ටහච්චි මහත්මිය ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය විය.

    Facebook | Archived Link

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    නිලන්ති කොට්ටහච්චි විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත. කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් මෙවැනි කිසිදු තීරණයක් ගෙන ඇති බවට කිසිදු නිල මූලාශ්‍රයක තොරතුරක් ද, නැත. එමෙන් ම අප කළ විමසීමේදී ද, ඇය තහවුරු කළේ, තමන් විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    ප්‍රාදේශීය වාර්තාකරුවන්

    සියඹලන්ගමුව වෙල්යායක වැටී සිටියදී ඊයේ මියගිය කාවන්තිස්ස හස්ති රාජයා අද (17) පස්වරුවේ සියඹලන්ගමුවේ වෙල්යායේදී මිහිදන් කළ බව අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මරණ පරීක්ෂණය සඳහා ඇතාගේ සිරුරු කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය වෙත රැගන ගිය බවයි.

    කාවන්තිස්සට සිදු කළ ප්‍රතිකාර ගැන බලධාරීන් කියන දේ

    මෙරට සිටින විශාලතම සහ උසම ඇතුන් අතරින් අයෙකු වන කාවන්තිස්ස හස්තියා පාදයකට වෙඩි වැදී ඇති බව සැප්තැම්බර් 23 වැනිදා වාර්තාවී තිබූ අතර ඊට පසුදින සිටම හස්තියාට අවශ්‍ය කරන ප්‍රතිකාර ආරම්භ කළ බව අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වනජීවි අධ්‍යක්ෂ ජනරාල් මාරසිංහ මහතා ප්‍රකාශ කළා. තුවාලය සුව කිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දුන් බවත් පසුව තුවාලය සුව අතට හැරීමත් සමඟ සතියක පමණ කාලයක් නිලධාරීන් හස්තියා නිරීක්ෂණය කර තිබේ.

    කෙසේ වෙතත්, සතියකට පමණ පසු හස්තියාට පාචන තත්ත්වයක් ඇති වී තිබෙන අතර, ඒ සමඟ ආහාර ගැනීම ද ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ අනුව, නැවත ප්‍රතිකාර ආරම්භ කර පශු වෛද්‍ය කණ්ඩායමක් එක්ව සාකච්ඡා කරමින් හස්තියාට ප්‍රතිකාර ලබා දුන් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පාචන තත්ත්වය සහ ආහාර ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හස්තියාගේ ශරීරය දුර්වල වී තිබූ බැවින් නිර්වින්දනය කිරීම අවදානම් සහගත වූ බවත් එම නිසා විකල්පයක් ලෙස ප්‍රතිජීවක ඖෂධ, විටමින් අතිරේක ඇතුළු ඖෂධ ලබා දෙමින් ප්‍රතිකාර සිදු කළ බවයි.

    කෙසේ වෙතත්, දිගින් දිගටම ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ හස්තියා ඊයේ ඔක්තෝබර් 16 වැනිදා උදෑසන ඇදවැටී ඇති අතර, පශු වෛද්‍යවරුන් සේලයින්, ශක්තිජනක ඖෂධ සහ ප්‍රතිජීවක ඖෂධ ලබා දෙමින් අඛණ්ඩව ප්‍රතිකාර කර සිකරමින් සිට තිබූ අතර පසුව ඊයේ පස්වරුවේ කාවන්තිස්ස හස්තියා ජීවිතයෙන් සමුගෙන තිබුණා. විස්තර මෙතැනින්

    ඖෂධ අධිමාත්‍රාවක් දුන් බවට වන චෝදනාව බලධාරීන්ගේ ප්‍රතික්ෂේප කරයි

    අද පරිසර අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණය හේතුව ප්‍රතිජීවක ඖෂධ අධිමාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චෝදනාව පශ්‍ර වෛද්‍ය චන්දන ජයසිංහ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ, හස්තියා වෙඩි වැදීමෙන් සිදුව තිබූ තුවාලය ඉදිමීමෙන් ඇවිදීමට නොහැකිව ආසාදන තත්ත්වයකින් පසුවූ බවයි. තුවාලය සුවවීමට අනිවාර්යයෙන් ප්‍රතිජීවක ඖෂධ ලබා දිය යුතු බවයි. කෙසේ වෙතත් අධි මාත්‍රාවක් දුන් බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කළ පශ්‍ර වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, හස්තියාට ලබාදුන්නේ, නියමිත මාත්‍රාවක් බවයි.

    කාවන්තිස්සගේ මරණය ඝාතනයක් බවට චෝදනා

    පරිසරවේදී නයනක රන්වැල්ල මහතා චෝදනා කරන්නේ, කාවන්තිස්ස ඇතාගේ මරණය මියයාම නොව ඝාතනයක් බවයි. ඉන් එක් පාර්ශවයක් ඇතාට වෙඩි තියපු පාර්ශවය බවයි. ඔහු පවසන්නේ, ඇතාට ප්‍රතිකාර කරන මුවාවෙන් ඇතාව මරණය දක්වා වේගයෙන් රැගෙන ගිය වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම අනෙක් පාර්ශවය බවයි. නයනක රන්වැල්ල එල්ල කරන චෝදනාව මෙතැනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කාවන්තිස්ස හස්තියා මියයාම සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන , ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් සහ පරිසර අමාත්‍යවරයා අළලා ද හුවමාරු වන්නේ ව්‍යාජ සටහන් පෙළකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-10-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.