Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: විශ්ව විද්‍යාල සිසුන් හා කොවිඩ්19 එන්නත්කරණය හා සම්බන්ධ ව්‍යාජ සටහන් පෙළක්!

    2021-09-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෑතක දී කතාබහට ලක්වූ පාර්ශවයක් වන්නේ වඩාත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය හා බැදුණු වෙනත් ආයතනයි. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සහ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල් බලධාරීන් අතර ද පසුගිය දා මොඩර්නා එන්නත සම්බන

    කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෑතක දී කතාබහට ලක්වූ පාර්ශවයක් වන්නේ වඩාත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය හා බැදුණු වෙනත් ආයතනයි. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සහ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල් බලධාරීන් අතර ද පසුගිය දා මොඩර්නා එන්නත සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබු බව වාර්තා වුණා. මෙම පසුබිම යටතේ විශ්ව විද්‍යාල සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අප කල විමසුමකුයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් : 

    අනුරකුමාර දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස සටහන්ව තිබුණේ “ඇමරිකානු එන්නත නොදීම නිසා සරසවි සිසුන් රට හැරදා යාමේ අවදානමක්…” ලෙසයි.

    Facebook | Archived

    එම ෆේස්බුක් සටහන ෆේස්බුක් පරිශීලකයින් හුවමාරු කරගෙන තිබු ආකාරයයි මේ .

    සරසවි සිසුන්ගේ එන්නත්කරණය හා සබැදි තවත් ෆේස්බුක් පෝස්ටුවක්ද මේ ආකාරයට පැතිර තිබුණා.ඒ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයකු විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස උපහාසාත්මක කෝණයකින්.

    “රජය මෙම එන්නත්කරණ ක්‍රියාවලිය මගින් ශිෂ්‍ය අයිතිවාසිකම් රාශියක් උල්ලංඝණය කරල තියෙනවා. ශිෂ්‍යයින් ඉල්ලන මොඩර්නා වෙනුවට චීන එන්නතක් ලබාදීමත් ,ඇතැම් සිසුන් පාදයට එන්නත ලබාදෙන ලෙස ඉල්ලා සිටියදී කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අතට එන්නත ලබාදීමත් නිසා ශිෂ්‍ය අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය වෙලා තිබෙනවා.”

    Facebook| Archived

    මේ, එම සටහන  සමාජ ජාලා හරහා පැතිර පැවති ආකාරයයි.

    බොහෝ දෙනෙකුගෙන් ලැබුණු ඉල්ලීම් නිසා මේ පිළිබදව සොයා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

    මුලින්ම අපසොයා බැලුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සිදු කළා යැයි පැවසෙන ප්‍රකාශය පිළිබදවයි.

    ඔහු විසින් මෙවැනි ප්‍රකාශයක් කරනු ලැබුවා දැයි අප සරසවි සිසුන් මොඩර්නා එන්නත ලබාගැනීමට ලබාගැනීමට හමුදා රෝහලට පැමිණි සැප්තැම්බර් 25 දින සිට මේ ලිපිය සකසන මොහොත දක්වාවූ කාලය තුල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සටහන් පරීක්ෂා කර බැලුවා. සරසවි සිසුන් නාරාහේන්පිට හමුදා රෝහලට එන්නත්කරණය සදහා පැමිණීම සම්බන්ධ තොරතුරු මෙතනින් .Archived.

    එහිදී අපට ජවිපෙ නායකයා සමාජ ජාලාවල සදහන්වන ආකාරයේ ප්‍රකාශයක් කල බවට සටහන්වූ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා දැක ගැනීමට ලැබුණේ නැහැ. එසේම මෙම ඡායාරුප සටහන LankaTruth ෆේස්බුක් පිටුවේද දැක ගන්නට ලැබුනේ නැහැ. මීට පෙර ද LankaTruth පසුබිම ම යොදා ගනිමින් සිදුකල ව්‍යාජ සංස්කරණයක් පිළිබඳව අපගේ කරුණු විමසුමක් මෙතනින්.

    එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් විමසා බැලීමේදීද ඔවුන් පවසා සිටියේ, ජවිපෙ නායකයා මෙවන් ප්‍රකාශයක් නොකළ බව සහ මෙහි සඳහන් ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. 

    ඉන් අනතුරුව අප අවධානය යොමු කළේ, රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා වන ඉරෝෂ් අල්ෆොන්සු විසින් සිදු කළ බවට සමාජ ජාලා හරහා පැතිරෙන ප්‍රකාශය පිළිබඳවයි.

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බව පෙනී ගියා.

    මේ පිළිබදව විමසීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මතය දැනගැනීම සඳහා අප එහි හිටපු කැදවුම්කරුවකු මෙන්ම වත්මන් ක්‍රියාකාරී සාමාජිකයකු වන රත්කරව්වේ ජිනරතන හිමියන් සම්බන්ධ කර ගත්තා. උන්වහන්සේ පැවසුවේ, අන්තර් විශ්ව විද්‍යාල සිසුන් සඳහා එන්නත්කරණය සිදු කරන ලෙස පැවසූවත් කිසිදු අවස්ථාවක නිශ්චිත එන්නත් වර්ගයක් ලබා දෙන ලෙස ඉල්ලීම් නොකළ බවයි. එමෙන්ම පාදයට එන්නත් ලබාදෙන ලෙස ඉල්ලීම් කල බවට පැතිරෙන උපහාසාත්මක ප්‍රකාශය  කිසිදු පදනමකින් තොර බවයි උන්වහන්සේ පවසා සිටියේ.

    අප රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා වන ඉරෝෂ් අල්ෆොන්සුගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර, ඔහු පවසා සිටියේ සමාජ මාධ්‍ය සටහන්වල ඇති ඡායාරූපයේ හුවමාරු වන්නේ සැප්තැම්බර් 18 වන දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී  ලබාගත් ඡායාරූපයක් වන බවයි. එම මාධ්‍ය සාකච්ඡාවේදී තමන් පැවසුයේ සිර භාරයට ගෙන තිබෙන අන්තරේ ශිෂ්‍ය නායකයන් ගැන සහ ලොහාන් රත්වත්ත ඇමතිවරයා ගේ ක්‍රියාකලාපයන් පිළිබදව වන බවත් සමාජ ජාල වල සදහන් ආකාරයේ එන්නත් පිළිබදව  ප්‍රකාශයක් තමන් කිසිවිටෙක පවසා නොමැති බවත් ඔහු අවධාරණය කර සිටියා

    ඉරෝෂ් අල්ෆොන්සු සැප්තැම්බර් 18 සහභාගීවූ මාධ්‍ය සාකච්ඡාව මෙතනින්. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමසා බැලීම් අනුව තහවුරු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයෙකු විසින් විශ්ව විද්‍යාල සිසුන්ගේ එන්නත්කරණය පිළිබදව සිදුකල ප්‍රකාශ බවට සමාජ ජාලා වල පළවන සටහන් අසත්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-09-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.