Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බව කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-08-29
    8 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කැනඩාවේ ලෝරෙන්ෂියන් විශ්වවිද්‍යාලයේ (Laurentian University) අනුබද්ධ මහාචාර්යවරයෙකු වන ආචාර්ය නෙවිල් හේවගේ මහතා විසින් මෙහෙයවන ලද නීතිමය සටනක ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    කැනඩාවේ ලෝරෙන්ෂියන් විශ්වවිද්‍යාලයේ (Laurentian University) අනුබද්ධ මහාචාර්යවරයෙකු වන ආචාර්ය නෙවිල් හේවගේ මහතා විසින් මෙහෙයවන ලද නීතිමය සටනක ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ තුනකින්ම තහවුරු කර, එරට පාසල් විෂය මාලාවට එම “බොරුව” ඇතුළත් වීම වළක්වා ගත් බවට සඳහන් කරමින් ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වෙමින් පවතී. එහි සත්‍යතාව පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    කැනඩාවේ ලෝරෙන්ෂියන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ආචාර්ය නෙවිල් හේවගේ මහතාගේ නීතිමය සටනක ප්‍රතිඵලයක් ලෙස, ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔන්ටාරියෝ අභියාචනාධිකරණය සහ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යන අධිකරණ තුනම ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බව තීන්දු කළ බවත්, ඒ අනුව Tamil Genocide Education Week Act (TGEWA) නීතිය අවලංගු කරන ලද බවත්, එහෙයින් මින් ඉදිරියට එය කැනේඩියානු පාසල් විෂය මාලාවේ කොටසක් ලෙස ඉගැන්විය නොහැකි බවත් සඳහන් කරමින් ලංකා වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් හරහා ලිපි හා පෝස්ට් හුවමාරු වී තිබු‍ණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙවැනි සටහන් බහුලය හුවමාරු වී තිබූ හෙයින් සහ මෙහි නිර්වද්‍යතාව සොයා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් ‍මේ පිළිබඳව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    TGEWA නීතිය සහ නඩුවේ පසුබිම

    මෙම පනතේ (Bill 104) අරමුණ කුමක්ද?

    ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය විසින් 2021 දී සම්මත කරන ලද දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත(Tamil Genocide Education Week Act (TGEWA))  මගින් සෑම වසරකම මැයි 18 දිනෙන් අවසන් වන දින 7 ක කාලය, දෙමළ ජන සංහාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම වේ. 

    මෙම පනතට (Bill 104) එරෙහිව ප්‍රථමයෙන් පහළ අධිකරණයට ත්, ඉන්පසුව ඔන්ටාරියෝ අභියාචනාධිකරණයට ත්, නඩුව රැගෙන ගියේ ශ්‍රී ලංකා-කැනේඩියානු සංවිධාන සහ පුද්ගලයන් කිහිපදෙනෙකි. 

    ප්‍රධාන වශයෙන් මෙයට නායකත්වය දුන් අය,

    ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (Sri Lankan Canadian Action Coalition – SLCAC)

    බ්‍රැම්ප්ටන්හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (Sri Lanka Canada Association of Brampton – SLCAB)

    ආචාර්ය නෙවිල් හේවගේ (ලොරෙන්ෂියන් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ මහාචාර්යවරයෙක් සහ Ontario Centre for Policy Research හි ප්‍රතිපත්ති විශ්ලේෂකයෙක්)

    ඔවුන් මෙම නඩුව පැවරීමට හේතු 

    ඔවුන් විසින් මෙම පනත ව්‍යවස්ථා විරෝධී බව පවසමින් අධිකරණය හමුවේ ප්‍රධාන තර්ක 3ක් ඉදිරිපත් කරන ලදී.

    ප්‍රාන්ත රජයට බලයක් නොමැති බව: ඔවුන් තර්ක කළේ ජාත්‍යන්තර සබඳතා, විදේශ ප්‍රතිපත්ති සහ යුද ප්‍රකාශ කිරීම් වැනි කරුණු අයිති කැනඩාවේ ෆෙඩරල් (මධ්‍යම) රජයට මිස ඔන්ටාරියෝ වැනි ප්‍රාන්ත රජයකට නොවන බවයි. එබැවින් වෙනත් රටක (ශ්‍රී ලංකාවේ) සිදුවූ සිදුවීමක් “ජන සංහාරයක්” ලෙස ප්‍රකාශ කිරීමට ප්‍රාන්ත රජයට නීතිමය බලයක් නොමැති බව ඔවුන් සඳහන් කර තිබේ.

    නීතිමය පිළිගැනීමක් නොමැති වීම: ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC), ජාත්‍යන්තර අධිකරණය (ICJ) හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වැනි කිසිදු නිල ජාත්‍යන්තර නෛතික ආයතනයක් විසින් මෙතෙක් තීන්දු කර නොමැති බව ඔවුන් පෙන්වා දුන්නා. එවැනි පසුබිමක ප්‍රාන්ත රජයක් ඒකපාර්ශවීයව මෙවැනි පනතක් සම්මත කිරීම වැරදි බව ඔවුන්ගේ මතය විය. 

    කැනේඩියානු අයිතිවාසිකම් ප්‍රඥප්තිය උල්ලංඝනය වීම: කැනේඩියානු අයිතිවාසිකම් ප්‍රඥප්තියේ (Charter of Rights and Freedoms) 2(b) වගන්තියෙන් තහවුරු කර ඇති “අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස” සහ 15(1) වගන්තියෙන් තහවුරු කර ඇති “සමානත්වයේ අයිතිය” මෙම පනත මගින් උල්ලංඝනය වන බව ඔවුන් පැවසීය. මෙවැනි පනතක් නිසා කැනඩාවේ වෙසෙන සිංහල ප්‍රජාව කොන් කිරීමට සහ ඔවුන්ට එරෙහිව වෙනස්කොට සැලකීමට (Discriminatory Effect) මග පෑදෙන බව ඔවුන් අධිකරණයේදී තර්ක කළා. මූලාශ්‍ර මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව (Superior Court of Justice -2022 ONSC 3849)

    2022 ජූනි 28 වන දින විනිසුරු ජැස්මින් අක්බරලි (Justice Jasmine Akbarali) විසින් සිංහල සංවිධාන සහ ආචාර්ය නෙවිල් හේවගේ විසින් ඉදිරිපත් කරන ලද සියලුම පෙත්සම් ප්‍රතික්ෂේප කරමින් පනත සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල සහ වලංගු බවට මුල්වරට තීන්දු කළා.

    එම තීන්දුවේ ප්‍රධාන කරුණු සරලව මෙසේය

    පනතේ ස්වභාවය “අධ්‍යාපනික“ එකක් ලෙස වර්ගීකරණය කිරීම

    විනිසුරුවරිය තීන්දු කළේ, මෙම පනතේ (Bill 104) මූලිකම ලක්ෂණය සහ අරමුණ වනුයේ, ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය නිගමනය කරන ලද දෙමළ ජන සංහාරය සහ ලෝක ඉතිහාසයේ සිදුවූ අනෙකුත් ජන සංහාරයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ අධ්‍යාපනය ලබාදීම බවයි. කැනේඩියානු ව්‍යවස්ථාවේ 93 වන වගන්තියට අනුව “අධ්‍යාපනය” පිළිබඳ නීති හැදීමේ පූර්ණ බලය ප්‍රාන්ත රජයට ඇති බැවින්, ඔන්ටාරියෝ රජය තම බලතල ඉක්මවා කටයුතු කර නැති බව (Not Ultra Vires) ඇය ප්‍රකාශ කර තිබුණා.

    වෙනත් ඓතිහාසික සිදුවීම් සමඟ සංසන්දනය කිරීම

    ජැස්මින් අක්බරලි විනිසුරුවරිය සිය තීන්දුවේ, යම්කිසි අධ්‍යාපනික මුලපිරීම් හෝ සිහිපත් කිරීම් සඳහා මෙවැනි පනතක් පැනවීමට ඔන්ටාරියෝ ප්‍රාන්තයට නීතිමය අවසර ඇති බව ත්, මෙය ප්‍රාන්ත රජයන් විසින් යුදෙව් සංහාරය (Holocaust) පිළිගනිමින් සහ සමරමින් පනවන ලද නීතිවලට වඩා කිසිසේත් ම වෙනස් නොවන බව ත්, සඳහන් කර තිබේ. 

    අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ තර්ක ප්‍රතික්ෂේප කිරීම

    මෙම පනත නිසා සිංහල ප්‍රජාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හෝ සමානත්වයේ අයිතිය උල්ලංඝනය වන බවට ඉදිරිපත් වූ තර්ක ඇය ප්‍රතික්ෂේප කරමින්, පනත මගින් කිසිදු පුද්ගලයෙකුට නීතිමය දඬුවම් පැනවීමක් හෝ බල කිරීමක් සිදු නොකරන අතර, එය හුදෙක් ඉතිහාසය ඉගෙනීමට දිරිගැන්වීමක් පමණක් සිදුකරන බැවින් එයින් කාගේවත් අයිතිවාසිකම් කඩ නොවන බව ඇය තීරණය කරනු ලැබීය.

    ජන සංහාරය පිළිබඳ අධිකරණයේ ස්ථාවරය

    මෙහිදී ද, අධිකරණය පැහැදිලි කළේ, තමන් විසින් ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවූවාද නැද්ද යන්න පිළිබඳව ස්වාධීන නෛතික පරීක්ෂණයක් සිදු නොකරන බවයි. අධිකරණය සලකා බැලුවේ ඔන්ටාරියෝ රජයට මෙවැනි පනතක් සෑදීමට බලයක් තිබේද යන්න මිස, ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලනික හෝ ඓතිහාසික කරුණු සත්‍යද නැද්ද යන්න පරීක්ෂා කිරීම නොවන බවයි. මේ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

    ඔන්ටාරියෝ අභියාචනාධිකරණයේ තීන්දුව (2024 ONCA 657)

    පහළ අධිකරණයේ තීන්දුවෙන් පරාජයට පත් වූ පැමිණිලිකරු සංවිධාන, එම තීන්දුව වැරදි බව පවසමින් ඊට ඉහළ අධිකරණය වූ ඔන්ටාරියෝ අභියාචනාධිකරණය (Court of Appeal) වෙත “අභියාචනයක්” ඉදිරිපත් කර තිබුණා.

    අභියාචනාධිකරණය මෙම තීන්දුව නැවත පරීක්ෂා කිරීමේදී, පනතේ අරමුණ මීට වඩා පුළුල් බව නිරීක්ෂණය කර තිබුණා. ඔවුන් පැවසුවේ, මෙය හුදෙක් පාසල් හෝ විශ්වවිද්‍යාලවල උගන්වන “අධ්‍යාපන” පද්ධතියට පමණක් සීමා වූවක් නොවන බවයි.

    ඒ වෙනුවට, මෙම පනතේ නියම අරමුණ ලෙස,

    • ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා පීඩාවට පත් වී කැනඩාවට පැමිණි දෙමළ ප්‍රජාවගේ අත්දැකීම් සහ ඓතිහාසික කතාව සැමරීම (Commemoration).
    • කැනඩාව තුළ මානව හිමිකම් සහ බහුවිධත්වය / විවිධත්වය (Multiculturalism) ප්‍රවර්ධනය කිරීම.

    කැනේඩියානු ව්‍යවස්ථාවට අනුව ප්‍රාන්ත රජයකට තම ප්‍රාන්තය තුළ මානව හිමිකම් සහ සංස්කෘතික විවිධත්වය ආරක්ෂා කිරීමට නීති හැදීමේ පූර්ණ බලය (Local/Provincial Autonomy) ඇත. ඒ හේතුවෙන්, “අධ්‍යාපනික” පදනමෙන් බැහැර වී, “මානව හිමිකම් සහ ප්‍රජා සැමරුම්” පදනම යටතට නැවත වර්ගීකරණය (Re-characterization) කළ ද, පනතේ වලංගුභාවයට කිසිදු හානියක් නොවන බවයි අභියාචනාධිකරණය තීන්දු කළේ.

    වෙනස්කම් සහගත බලපෑමක් නොමැති බව

    පනතට විරුද්ධ වූ පාර්ශවයන් තර්ක කළේ, මෙම පනත මගින් කැනඩාවේ වෙසෙන අනෙකුත් ප්‍රජාවන්ට විශේෂයෙන්ම සිංහල ප්‍රජාවට එරෙහිව වෙනස්කොට සැලකීමක් හෝ අගතියක් සිදුවන බවයි.

    නමුත් Lerners LLP නීති ආයතනයේ විශ්ලේෂණය  සහ Law Times News නීති සඟරාවේ වාර්තාවට අනුව, අභියාචනාධිකරණය එම තර්කය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.

    අධිකරණය ප්‍රකාශ කළේ,

    මෙම පනත මගින් කිසිදු කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට නීතිමය වශයෙන් අවාසියක්, දඬුවමක් හෝ වෙනස්කොට සැලකීමක් සිදු නොවන බවයි.

    මෙය හුදෙක් එක් සුවිශේෂී සංක්‍රමණික ප්‍රජාවකගේ (දෙමළ ප්‍රජාවගේ) අතීත ඛේදවාචකයන් සිහිපත් කිරීමට සහ ඔවුන් මුහුණ දුන් මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව කැනේඩියානු සමාජය දැනුවත් කිරීමට ගත් රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණයක් පමණක් බවයි. 

    අභියාචනාධිකරණය තවදුරටත් පැහැදිලි කළේ, මෙම පනත මගින් කිසිදු අපරාධ වගකීමක් හෝ ජාත්‍යන්තර නෛතික වගකීමක් ඇති නොවන අතර, එහි පූර්විකාවේ “ජන සංහාරය” යන වචනය තිබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ රාජ්‍යයකට නෛතික ප්‍රතිවිපාක නොපැටවෙන බවයි. අධිකරණය මෙම තර්කය “red herring” එකක් ලෙස හැඳින්වීය.

    මේ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්. 

    කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව (2025 මාර්තු 27)

    පැමිණිලිකරු සංවිධාන සහ ආචාර්ය නෙවිල් හේවගේ විසින් ඔන්ටාරියෝ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව කැනඩාවේ ඉහළම අධිකරණය වෙත ද, අභියාචනා අයදුම්පත ඉදිරිපත් කරනු ලැබුවා. නමුත්, ඉදිරිපත් කර තිබූ අභියාචනා අයදුම්පත සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් (කැනේඩියානු ක්‍රියාපටිපාටියට අනුව එවැනි ප්‍රතික්ෂේප කිරීම් හේතු දැක්වීමකින් තොරව නිකුත් වේ. එනම් අධිකරණය නඩුවේ කරුණු මත කිසිදු මතයක් ප්‍රකාශ නොකර) නඩුව සම්පූර්ණයෙන්ම අවසන් කරන ලදී.

    කැනේඩියානු නීතියට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අභියාචනයක් ප්‍රතික්ෂේප කළ විට, ඊට පහළ අධිකරණය (මෙම නඩුවේදී ඔන්ටාරියෝ අභියාචනාධිකරණය) දුන් තීන්දුව අවසාන සහ ස්ථිර තීන්දුව බවට පත්වේ. 

    ඒ අනුව, ඔන්ටාරියෝ ප්‍රාන්තයේ “දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත” (TGEWA – Bill 104) සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූල සහ වලංගු නීතියක් ලෙස කැනඩාව තුළ ස්ථිර වී තිබේ.

    එමෙන් ම, දෙමළ-කැනේඩියානු සංවිධාන National Council of Canadian Tamils  මැයි 18 න් අවසන් වන සිහිකිරීමේ සතිය ඔන්ටාරියෝ හි දිගටම පවත්වා ඇති බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    “ජන සංහාරයක් සිදු නොවූ බව” අධිකරණය තීන්දු කළාද?

    නැත. මෙම නඩු තුනෙන් විසඳුනේ දෙමළ ජන සංහාරයක් ඓතිහාසිකව සිදුවුනාද යන කරුණ නොව, TGEWA නීතිය ඔන්ටාරියෝ පළාත් සභාවේ බලයට අයත්ද  යන ව්‍යවස්ථානුකූල ප්‍රශ්නය සහ එය කැනේඩියානු අයිතිවාසිකම් ප්‍රඥප්තියට (Charter) පටහැනි ද, යන්නයි. Sri Lankan Canadian Action Coalition සංවිධානය විසින්ම නිකුත් කළ ප්‍රකාශයක, තම නඩුවේ මූලික අරමුණ දෙමළ ජන සංහාරයක් සිදුවුනා ද, යන්න තීන්දු කිරීම නොවූ බව ත්, ව්‍යවස්ථානුකූලව බලතල බෙදීම හා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය පමණක් තර්ක කළ බව ත් පැහැදිලිව සඳහන් වේ.

    ප්‍රචාරයේ මූලාශ්‍රය සහ එහි නිවැරදි කිරීම

    මෙම ප්‍රචාරයට මූලික වූයේ ශ්‍රී ලාංකික The Island පුවත්පතට ආචාර්ය හේවගේ මහතා ලබාදුන් ප්‍රකාශයකි, එහි අධිකරණ තුනම දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බව තීන්දු කළ බව ඔහු ප්‍රකාශ කර තිබූ බවට වාර්තා කර තිබුණි. එහෙත් ඉන් දින කිහිපයකට පසුව, The Island පුවත්පතට ලැබී පළ වූ කැනේඩියානු නීතිඥ Viresh Fernando මහතාගේ ප්‍රතිවාද ලිපියක, කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙමළ ජන සංහාරයක් නොවූ බවට කිසිදු නිගමනයක් ලබා නොදුන් බව ත්, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි බව ත් පෙන්වා දෙන ලදී. පුවත්පත ද එම වාර්තාව සම්පූර්ණයෙන්ම ආචාර්ය හේවගේගේ පිළිතුරු මත පදනම් වූ බව සඳහන් කර තිබුණේ මෙලෙසින්. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කැනඩාවේ අධිකරණ තුනම ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔන්ටාරියෝ අභියාචනාධිකරණය සහ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බවට කිසිදු තීන්දුවක් ලබා දී නොමැති බවයි. මෙම අධිකරණ වල පැවති නඩු තුනෙන්ම විසඳුනේ දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත(Tamil Genocide Education Week Act (TGEWA))  ව්‍යවස්ථානුකූලද යන ගැටලුව පමණි. පළමු අවස්ථාවේ අධිකරණය සහ ඔන්ටාරියෝ අභියාචනාධිකරණය මෙම නීතිය ව්‍යවස්ථානුකූල සහ වලංගු බවට තීන්දු කළ අතර, කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එම අභියාචනය සලකා බැලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අභියාචනාධිකරණයේ තීන්දුව අවසන් තීන්දුව ලෙස බලපැවැත්වුණා. ඒ අනුව, ආචාර්ය හේවගේ ඇතුළු පැමිණිලිකරුවන්ගේ අභියෝගය ප්‍රතික්ෂේප කරනු ලැබීය. එබැවින් “ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බව කැනඩා අධිකරණය තීන්දු කළා” සහ “TGEWA නීතිය අවලංගු කරන ලදී” යන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවය පෙන්වා දිය හැක.

    මෙම “False” ශ්‍රේණිගත කිරීම අදාළ වන්නේ “අධිකරණය දෙමළ ජන සංහාරයක් නොවූ බව තීන්දු කළා” යන නිශ්චිත ප්‍රකාශයට ය. 2009 සිවිල් යුද්ධයේ අවසන් අදියරේ සිදුවීම් ජන සංහාරයක් ලෙස සැලකිය හැකිද යන ඓතිහාසික හා ජාත්‍යන්තර නෛතික විවාදය මෙම නඩු තීන්දු මගින් අදහස් නොකෙරේ.

    Result Stamp

    Title: ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු නොවූ බව කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා ද?

    Fact Check By: Pavithra Sandamali

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-08-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.