දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
වේදිකාව, සිනමාව සහ පුංචි තිරය තුළ ප්රමුඛ නම දිනා සිටින ප්රවීණ චරිතාංග රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය මියගිය බවට දක්වමින් සමාජ මාධ්ය සටහන් සංසරණය වූ අතර මෙහි සත්ය අසත්යතාවය සොයා බැලීම සඳහා Factcrescendo අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :


එමෙන් ම ඊයේ(1) දින සිට ඇය අසාධ්ය තත්ත්වයෙන් රෝහලේ පසුවන බවට සඳහන් කරමින් සටහන් ද, ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.




මෙම සටහන් වල නිර්වද්යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙරට ප්රසිද්ධ කලාකාරිනියකගේ අභාවයක් සිදු වුවහොත් ඒ පිළිබඳව මෙරට ප්රධාන පෙළේ මාධ්ය ධාරා වාර්තා කළ යුතුව ඇති නමුත්, කිසිදු මුද්රිත, විද්යුත් හෝ ඩිජිටල් මාධ්ය ආයතනයක් විසින් දුලීකා මාරපන මහත්මිය ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් වාර්තා කර නොමැති බව අප කළ නිරීක්ෂණයේදී තහවුරු විය.
එමෙන් ම තමන් මිය ගිය බවට දක්වා තිබූ ඉහත සටහන සඳහා ඇයගේ නිල ෆේස්බුක් පිටුවෙන් උපහාසාත්මක කෝණයෙන් ඇය විසින් ප්රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

අප විසින් දුලීකා මාරපන මහත්මියගේ නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කළ අතර, එහිදී ද, දැක ගැනීමට හැකි වූයේ ඇය ඉතාමත් සක්රීයව තම කලා කටයුතුවල නිරත වෙමින් සිටින බව ත්, අද(1) දිනයේද, තම වේදිකා නාට්යයක ඉදිරි දර්ශන බොරැල්ල නාමෙල් මාලනී පුන්චි තියටර් හිදී පැවැත්වීමට නියමිත බවට ත්, ඒ සඳහා ප්රවේශ පත්ර ලබා ගත හැකි බව සඳහන් කරමින් ෆේස්බුක් සජීවි වීඩියෝවකින් ප්රේක්ෂකයන් ආමන්ත්රණය කරන අයුරු වේ.
එසේ නම් ඇය ඊයේ අසාධ්ය තත්ත්වයෙන් පසු වී රෝහල් ගත කර ඇති බවට පළ වන සටහන් අසත්ය විය හැකි බැවින් අප මේ පිළිබඳව විමසීමට ඇය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.
දුලීකා මාරපන
දුලීකා මාරපන මහත්මිය සඳහන් කළේ, තමන් රෝහල් ගත කර ඇති බවට ත්, පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව ත්, සඳහන් කරමින් අසත්ය පුවත් පළ වන බවයි. තමන් රෝහල් ගත කර නොමැති බව ත්, අද දිනයේද, තමන් කලා කටයුත්තක් සඳහා ගොස් සිටි බව ත්, තමන්ගේ හිතුවතුන් ඊයේ දින සිට මෙම සමාජ මාධ්ය සටහන් හේතුවෙන් කලබල වී දුරකතන ඇමතුම් ලබා ගන්නා බව ත්, සඳහන් කළා. තමන් සුවෙන් පසුවන බව ත් ඇය තහවුරු කළා.
එමෙන් ම දේශපාලනික වාසි තකා තමන්ට මඩ ගැසීමේ අරමුණින් නොයෙකුත් පාක්ෂකයින් විසින් මෙවැනි ව්යාජ පුවත් නිර්මාණය කරමින් අපහස කරන බව ත්, විශේෂයෙන් ම නිරූපන ශිල්පී චූලා පද්මෙන්ද්රගේ අභාවයෙන් පසු එය අළලා, තමන් ද මිය ගිය බවට ව්යාජ වෛරී ප්රකාශ මෙලෙසින් නිර්මාණය කර ඇති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
මෙවැනි සටහන් වලට පසුබිම
මෑතකදී ප්රවීණ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්ර මහත්මියගේ හදිසි වියෝව මුල් කරගනිමින්, දේශපාලන ක්රියාකාරීන් විසින් ඇය අතීතයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරමින් සිදු කළේ යැයි කියන ප්රකාශ නැවත කරළියට ගෙන තිබේ. ඇයගේ මරණය මෙම දේශපාලන ප්රකාශයන්හි ඵලවිපාකයක් බව හඟවමින් සමාජ මාධ්ය පිටු ඔස්සේ දැඩි අපහාසාත්මක ප්රකාශයන් සංසරණය වීම දැක ගන්නට ලැබේ.
චූලා පද්මේන්ද්රගේ මරණයත් සමඟ “අරගලය” නියෝජනය කරමින් එවකට තිබූ රජයට එරෙහිව හඬ නැගූ සෙසු ප්රමුඛ කලාකාරිනියන් ද තව ත් පුද්ගලයින් ද, මෙලෙස “දේශපාලන දඬුවම්වලට” ලක්වෙමින් සිටින බව මවාපෑමට මෙම සටහන් වලින් දක්වා තිබේ. ඒ අනුව, දුලීකා මාරපන මහත්මිය ද රෝහල්ගතව අසාධ්ය තත්ත්වයෙන් පසුවන බව හෝ මියගොස් ඇති බව පවසමින් වෛරී සහගත සටහන් සමාජ මාධ්යයට මුදාහැර ඇති බව පැවසිය හැක.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රංගන ශිල්පී දුලීකා මාරපන ජීවිතක්ෂයට පත් වී ඇති බව සහ අසාධ්ය තත්ත්වයේ පසුවන බවට පළ වූ සමාජ මාධ්ය සටහන් අසත්ය බවයි. ඇය තමන්ගේ සුපරුදු කලා කටයුතු වල යෙදී සිටින අතර ඇය විසින් ද, තහවුරු කළේ, සමාජ මාධ්ය ඔස්සේ පළ වන සටහන් අසත්ය බවයි.



