Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මෙට්‍රො බස් සමාගම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත සමාගමක් ද ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-06
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Lanka Metro Transit (Pvt) Ltd (LMT) සමාගම විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ යා කරමින් ක්‍රියාත්මක වන මෙට්‍රෝ බස් රථ සේවාව සම්බන්ධයෙන් කතාබහක් පසුගිය දිනවල සිට සමාජ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    Lanka Metro Transit (Pvt) Ltd (LMT) සමාගම විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ යා කරමින් ක්‍රියාත්මක වන මෙට්‍රෝ බස් රථ සේවාව සම්බන්ධයෙන් කතාබහක් පසුගිය දිනවල සිට සමාජ මාධ්‍ය තුළ පැතිර ගොස් තිබේ. මෙට්‍රෝ බස් සේවාවේ හිම්කාරීත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර ගොස් තිබුණු ආන්දෝලනාත්මක සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    මෙට්‍රෝ ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ හිමිකරු මෙත්සිරි හේරත් සහ ඔහුගේ බිරිඳ වන රෝහිණි ගුණසිංහ යන අය බවත්, ඔවුන් දෙදෙනාගේ නම්වල මුල අකුරු එකතු කොට “Metro” යන නම සකසා ඇති බවත්, මොවුන් දෙදෙනා ප්‍රවාහන ඇමතිවරයාගේ බාල සහෝදරයා සහ ඔහුගේ බිරිඳ වන බවත් දක්වන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්. එසේම මහජන මුදලින් ලබා ගත් මෙම බස් රථ අදාළ සමාගමට භාරදී ඇති අතර ලාභයෙන් 60% ක් රජයට ලබාදෙන බවත්, බස් රථ නඩත්තු කිරීම රජය මගින් සිදු කරන බවත් එහි සඳහන්.

    මෙට්‍රෝ බස් සමාගමේ හිමිකාරිත්වය පිළිබඳ ෆේස්බුක් සටහනක් සහ බස් ටිකට්පතක ඡායාරූපයේ තිර රූපය

    Facebook | Archived Link

    මෙට්‍රෝ බස් රජයට අයත් නොවන බව දක්වමින් මේ සම්බන්ධයෙන් තවත් සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    මෙට්‍රෝ බස් සමාගම පෞද්ගලික පුද්ගලයන් සතු යැයි පවසන ෆේස්බුක් සටහනක තිර රූපය
    මෙට්‍රෝ බස් ටිකට්පතක් සහ සමාගමේ හිමිකරුවන් ගැන දක්වන තවත් ෆේස්බුක් සටහනක තිර රූපය

    Facebook Facebook

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබැලීමට අප විසින් කටයුතු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පෞද්ගලික) සමාගම (Lanka Metro Transit Pvt Ltd) යනු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අනුබද්ධිත, සම්පූර්ණයෙන්ම “රජය සතු පෞද්ගලික සමාගමකි”. එය 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ 2025 ඔක්තෝබර් 3 දින ලියාපදිංචි කරන ලද්දකි. ශ්‍රී ලංකා රජය විසින් 100% ක්ම එහි හිමිකාරීත්වය දරමින්, පාලනය කරනු ලබන්නේ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ ව්‍යුහයක් තුළිනි. මෙය ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනයකි.

    “Pvt Ltd” යනුවෙන් භාවිත කරන්නේ ඇයි?

    රජයේ සාමාන්‍ය දෙපාර්තමේන්තු ක්‍රමවේදයෙන් බැහැරව, වාණිජමය වශයෙන් ලාභ ලැබිය හැකි, කාර්යක්ෂම සහ තීරණ ඉක්මනින් ගත හැකි ව්‍යාපාරික ආකෘතියකින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිසා සමාගම් පනත යටතේ මෙලෙස ලියාපදිංචි කර ඇත.

    කොටස් සහ ප්‍රාග්ධනය බෙදී ඇති ආකාරය

    සමාගමේ සම්පූර්ණ කොටස් අයිතිය (100%) රජය සතු වන අතර, පෞද්ගලික පාර්ශවයන්ට මෙහි කොටස් හිමිකාරීත්වයක් නොමැත. මෙම සමාගමේ කොටස්වලින් 60% ක් ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය (SLTB) සතු වන අතර ඉතිරි 40% ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සතු වේ. එබැවින්, ව්‍යුහාත්මකව සහ නීත්‍යානුකූලව මෙය රජය සතු, රජයේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගම් ව්‍යුහයක් ලෙස හැඳින්විය හැකිය. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්

    ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් යනු “මෛත්‍රී හේරත්” සහ “රෝහිණී ගුණසිංහ” නැමැති පුද්ගලයන් දෙදෙනෙකුට අයත් පුද්ගලික සමාගමක් නොවේ.

    ප්‍රවාහන අමාත්‍යාංශයේ හෝ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ නිල අධ්‍යක්ෂ මණ්ඩලවල “මෙත්සිරි හේරත්” හෝ “රෝහිණී ගුණසිංහ” නමින් කිසිදු පුද්ගලයෙකු නොමැත. එම නම් දෙක සිතාමතාම නිර්මාණය කර ඇත්තේ “METRO” (MET + RO) යන වචනය එම නම්වල මුලකුරු වලින් සකසා ඇති බව ඒත්තු ගැන්වීමටය.

    සමාගමේ හිමිකාරිත්වය කිසිදු පෞද්ගලික පුද්ගලයෙකු සතු නොවන අතර, මෙහි මුල් අකුරු (MET + RO) එකතු කර නම සදා ඇති බවට දක්වා ඇති කරුණ සම්පූර්ණයෙන්ම ගොතන ලද අසත්‍යයකි.

    “Metro” යනු ලෝකයේ ප්‍රධාන නගරවල ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන පද්ධති හැඳින්වීමට ජාත්‍යන්තරව භාවිත වන පොදු වචනයකි.

    “Metro” යනු ලෝකයේ ප්‍රධාන නගරවල ක්‍රියාත්මක වන මහා පරිමාණ, ක්‍රමවත් සහ වේගවත් පොදු ප්‍රවාහන පද්ධති හැඳින්වීමට ජාත්‍යන්තරව භාවිත වන පොදු වචනයකි. ලෝක ව්‍යාප්තව භාවිත වන “Metropolitan” (නාගරික) යන පොදු ඉංග්‍රීසි වචනයෙන් එය සැකසී තිබේ. ලෝකයේ බොහෝ රටවල භූගත හෝ ගුවන් දුම්රිය පද්ධති හැඳින්වීමට “Metro” යන වචනය බහුලවම යොදා ගනී (උදා: Paris Metro, Delhi Metro, Dubai Metro).

    ලෝකයේ බොහෝ නගරවල කාර්යක්ෂමව, වෙනමම වෙන්කළ මංතීරු ඔස්සේ ධාවනය වන මෙවැනි නවීන බස් සේවාවන්ද හඳුන්වා දී ඇත. ඒවා ජාත්‍යන්තරව හඳුන්වන්නේ BRT (Bus Rapid Transit) හෝ Metrobus / Metro Transit යන නම්වලිනි (උදාහරණ ලෙස ලන්ඩන්, ඉස්තාන්බුල්, වොෂින්ටන් සහ මෙක්සිකෝ නගරවල “Metrobus” සේවාවන් ක්‍රියාත්මක වේ). ශ්‍රී ලංකාව ද එම ජාත්‍යන්තර සංකල්පයම මෙරටට ගැලපෙන ලෙස භාවිතයට ගෙන ඇත.

    ලංකා මෙට්‍රො බස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

    සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලංකා මෙට්‍රො බස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු බී. එම් පියතිලක මහතා විසින් සිදුකර තිබේ. සාකඡාවකට එක් වෙමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ ලංකා මෙට්‍රො බස් සමාගම යනු රජය සතු පුද්ගලික ආයතනයක් බවයි. එහි 100% ක අයිතිය පවතින්නේ රජය සතුව බවත්, එහි කොටස් 60% ක ප්‍රමාණයක් මුදල් අමාත්‍යංශයටද, 40% ක ප්‍රමාණයක් ගමනාගමන මණ්ඩලයටද පවතින බව ඔහු විසින් සඳහන් කර තිබේ.

    Facebook

    සභාපති ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ්

    අපි විසින් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් හි සභාපතිවරයාගෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඔහු විසින් සඳහන් කළේ, මෙට්‍රෝ ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් යනු සම්පූර්ණ රජයේ හිමිකාරිත්වය සහිත පෞද්ගලික සමාගමක් බවයි. 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සමාගම ලියාපදිංචි කර ඇති බවත්, එහි කොටස් අයිතිය සම්පූර්ණයෙන්ම රජය සතු බවත්, සමාජ මාධ්‍ය සටහන් තුළ හුවමාරු වන ආකාරයට ලංකා මෙට්‍රෝ සමාගම වෙනත් පුද්ගලයන්ගේ කොටස් හිමිකම් සහිත හෝ එම පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් නිර්මාණය කළ එකක් නොවන බවයි ඔහු විසින් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පැහැදිලි කිරීම් සිදුකර තිබුණද සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අසත්‍ය සටහන් දිගින් දිගටම සංසරණය වන බවයි ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කළේ.

    ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යංශය

    අප විසින් මේ සම්බන්ධයෙන් ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද විමසීමක් කළ අතර, එහිදී ඔහු විසින් ද සඳහන් කළේ ලංකා මෙට්‍රෝ සමාගම රජයේ හිමිකාරීත්වය සහිත පෞද්ගලික සමාගමක් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එය අමාත්‍යවරයාගේ ඥාතීන්ට අයත් එකක් හෝ ඔවුන්ගේ නම් යොදා ගනිමින් නිර්මාණය කළ ආයතනයක් නොවන බවයි ඔහු විසින් තහවුරු කළේ. වඩාත් කාර්යක්ෂමවත් කටයුතු සිදු කිරීම සඳහා සමාගමක් ලෙස සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති අතර, කොටස් අයිතිය සම්පූර්ණයෙන්ම රජය සතු වන බව ඔහු විසින්ද තහවුරු කළා.

    Update – 2026.10.07

    මෙට්‍රො බස් යෙදුම (LMT Go App) වෙත නව පහසුකමක්

    ලංකා මෙට්‍රො බස් සේවාව මගින් හඳුන්වා දී තිබෙන LMT GO යෙදවුම Trip Planner පහසුකම එක් කර තිබෙන බවට මෙට්‍රො සමාගම විසින් දැනුම් දී ඇත. මෙම නව පහසුකම හරහා ගමන ආරම්භ කරන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා සුදුසු ගමන් මාර්ග, බස් මාරුවීම්, ඇස්තමේන්තුගත ගමන් කාලය සහ ගාස්තු තොරතුරු පහසුවෙන් දැනගැනීමේ හැකියාව මහජනතාව වෙත ලබා දී තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, මෙට්‍රො ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ හිමිකරු මෙත්සිරි හේරත් සහ රෝහිණී ගුණසිංහ යන පුද්ගලයන් බවත් ඔවුන් දෙදෙනාගේ නම් වල මුල් අකුරු එකතු කර “මෙට්‍රෝ” යන නම මෙම ආයතනයට තබා ඇති බවත්, මොවුන් දෙදෙනා ප්‍රවාහන ඇමතිවරයාගේ බාල සහෝදරයා සහ ඔහුගේ බිරිඳ වන බවත්, බස් රථවල ලාභයෙන් 60%ක් රජයට ලබාදෙන බවත් දක්වමින් හුවමාරු වන සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය ව්‍යාජ ලෙස නිර්මාණය කළ සටහනක් බවයි. ලංකා මෙට්‍රො සමාගම යනු 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සම්පූර්ණයෙන් රජය සතු පෞද්ගලික සමාගමකි. එහි කොටස් අයිතිය 100%ක් රජය සතුය. ඉහත නම් වල මුල් අකුරු භාවිතයෙන් මෙට්‍රො යන නාමය නිර්මාණය කර ඇති බවට දැක්වීම සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර, මෙට්‍රො යනු ලොව පුරා ප්‍රධාන නගරවල ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන පද්ධති හැඳින්වීමට යොදා ගන්නා පොදු වචනයකි.

    Result Stamp

    Title: මෙට්‍රො බස් සමාගම පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත සමාගමක් ද ?

    Fact Check By: B.P Hansani

    Result: False

    WhatsApp හරහා ලැබෙන වීඩියෝ සහ රූප සත්‍යාපනය කරගැනීමට සහ අපගේ WhatsApp විකාශනයට සම්බන්ධ වීමට නම සහ භාෂාව එවන ලෙස දැනුම් දෙන සටහන
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.