දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඉස්ලාම් ආගමට සහ එහි ආගමික නායකයකුට අපහාස කළ බවට චෝදනා එල්ල වී තිබූ සිවරාසා අනෝජන් නම් සෞදි අරාබියේ රැකියාවක නිරතව සිට ඇති ශ්රී ලාංකික තරුණයෙකුට, සෞදි අරාබියේ අල්-අහ්සා (Al-Ahsa) අපරාධ අධිකරණය මඟින් වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබේ. එම මුල් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයකින් පසුව, සෞදි අභියාචනා අධිකරණය විසින් මෙම දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇති බව එම තරුණයාගේ පවුලේ සාමාජිකයන් විසින් අනාවරණය කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ ද දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් විසින් සහ මාධ්යවේදීන් ඇතුළු පිරිස් විසින් සිදුකළ ප්රකාශයන් ලෙස දක්වමින් අසත්ය සහ නොමග යවන සුළු සටහන් රැසක් ද සමාජ මාධ්ය හුවමාරු වී ඇති ආකාරය නිරීක්ෂණය විය. එවැනි සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“සෞදිය කියන්නේ ලංකාව වගේ බහු ආගමික රටක් නොවෙයි. මුස්ලිම් රටකට ගොස් ඉස්ලාම් දහමට අපහාස කිරීම අනුමත කළ නොහැකියි. ඔහුට සුදුසු දඬුවම ලැබිලා තියෙනවා” යනුවෙන් බලශක්ති නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස් මහතා විසින් ඉහත සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්යය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



Facebook | Archived Link Facebook Facebook Facebook
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සිවරාසා අනෝජන් තරුණයා සම්බන්ධයෙන් මෙරට ප්රධාන ධාරාවේ මාධ්ය ඇතුළු සමාජ මාධ්ය ඔස්සේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙන පසුබිමක බලශක්ති නියෝජ්ය අමාත්යවරයා විසින් මෙවැනි ප්රකාශයක් සිදුකර ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ වාර්තා කිරීම සිදුවේ. අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ නියෝජ්ය අමාත්යවරයා විසින් මෙවැනි ප්රකාශයක් සිදුකර ඇති බවට ප්රධාන ධාරාවේ මාධ්යයන් හෝ නිල විශ්වාසනීය මූලාශ්ර ඔස්සේ වාර්තා කර නොමැති බවයි.
Hiru News විසින් පළ කර නොමැත
එසේම ඉහත සටහන Hiru News ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර අප විසින් එවැනි සටහනක් හිරු මාධ්ය ආයතනය විසින් පළ කර තිබේද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ එවැනි සටහනක් හිරු මාධ්ය ආයතනය විසින් පළ කර නොමැති බවයි.
බලශක්ති නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස් මහතා
හුවමාරු වන සමාජ මාධ්ය සටහන අසත්යයක් බව දක්වමින් නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස් මහතාගේ නිල සමාජ මාධ්ය පිටුව හරහා ද සටහනක් පළ කර තිබේ.

අප විසින් මේ සම්බන්ධයෙන් බලශක්ති නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස් මහතාගේ මාධ්ය ලේකම්වරයාගෙන් සිදුකළ විමසීමේදී ඔහු විසින් සඳහන් කළේ, ඉහත ප්රකාශය සම්පූර්ණයෙන්ම අසත්ය බවත් නියෝජ්ය අමාත්යවරයා විසින් එවැනි කිසිදු ආකාරයේ ප්රකාශයක් සිදු කර නොමැති බවත් ය.
Claim 2 : සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“අනෝජන් ගැන සෞදි රජයට ඔත්තු දුන්නේ මුස්ලිම් නම් වලින් පෙනී සිටි බෞද්ධ අන්තවාදීන් – හිටපු අමාත්ය ඔහුගේ මවට පවසයි” යනුවෙන් දක්වමින් සමාජ මාධ්ය සටහනක් හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා ගේ ඡායාරූපයක් සහිතව සමාජ මාධ්ය ඔස්සේ පලකර තිබුණේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා අම්පාර, කල්මුණේ, නාර්පිට්ටිමුනෙයි හි පිහිටි අනෝජන්ගේ නිවසට ගොස් ඔහුගේ පවුලේ පිරිස් හමුවී ඇති බව දක්වමින් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ ද පුවත් වාර්තා කර තිබුණි. එහිදී ඔහු අනෝජන්ගේ මව, සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයන් හමුවී සාකච්ඡා කර තිබේ. රිෂාඩ් බදුයුදීන් මහතා විසින් එහිදී මෙම තරුණයාගේ මව සහ අනෙකුත් පිරිස් අමතමින් සිදුකර තිබෙන ප්රකාශයන්ද මාධ්ය ඔස්සේ වාර්තා කර තිබේ.
ඉහත සටහනෙහි දැක්වෙන ආකාරයේ ප්රකාශයක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. කෙසේ නමුත් අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ බදියුදීන් මහතා විසින් ඉහත සටහනෙහි දැක්වෙන ආකාරයේ ප්රකාශයක් සිදු කර ඇති බවට කිසිදු නිල විශ්වසනීය මාධ්යයක් ඔස්සේ වාර්තා කර නොමැති බවයි. එසේම ඒ මහතා විසින් ඔහුගේ පවුලේ පිරිස් හමු වී සිදුකරන ලද ප්රකාශ තුළද ඉහත ආකාරයේ ප්රකාශයක් හඳුනා ගැනීමට නොමැත.
සෞදි අරාබියේදී අනෝජන්ට මරණ දඬුවම නියම වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් මුහුණ දී සිටින දැඩි මානසික පීඩනය හමුවේ ඔවුන්ට තමන්ගේ සහ මුස්ලිම් ප්රජාවේ සහයෝගය, කණගාටුව සහ සහතිකය පළ කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතා ඔහුගේ නිවස වෙත ගොස් තිබේ. රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම තරුණයාගේ පවුලේ පිරිස් හමුවී සිදු කරන ලද ප්රකාශය පහතින්.
රිෂාඩ් බදියුදීන් මහතා පවුලේ අයට පැවසුවේ කුමක්ද?
තරුණයා බේරාගැනීම සඳහා සෞදි රජයේ සහ ලංකා රජයේ අදාළ බලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් කටයුතු කරන බව ඔහු පවුලේ අයට සහතික විය. ශ්රී ලංකාවේ සියලුම මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් එකම වේදිකාවකට ගෙන විත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ සෞදි අරාබියේ සල්මාන් රජුගෙන් අනෝජන් වෙනුවෙන් විශේෂ මානුෂීය ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බව ප්රකාශ කළේය. මෙම නීතිමය සහ ආගමික පසුබිමක් සහිත අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ මැදිහත්වීම සහ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මනෝ ගනේෂන්, ශානක්යන් රාසමාණික්කම් සහ ගජේන්ද්රකුමාර් පොන්නම්බලම් යන මහත්වරුන් සමඟද තමන් දුරකථනයෙන් සාකච්ඡා කළ බවත්, ජාති, ආගමික භේදයකින් තොරව සියලුම පාර්ශ්වයන් එක්ව අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා පොදුවේ කටයුතු කරන බවත් බදියුදීන් මහතා එහිදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා සමාජ මාධ්ය සටහන් අසත්ය බව තහවුරු කරයි
අප විසින් ඉහත සටහන සම්බන්ධයෙන් රිශාඩ් බදියුදීන් මහතාගේ මාධ්ය අංශයෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඔවුන් විසින් තහවුරු කළේ ඉහත දැක්වෙන ආකාරයේ කිසිදු ප්රකාශයක් රිෂාඩ් බදියුදීන් මහතා විසින් සිදු කර නොමැති බවත් එම සටහන සම්පූර්ණයෙන්ම අසත්ය බවත්ය.
සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමුකර, ඔහුට සමාව ලබාදෙන ලෙස ඉල්ලා, සෞදි අරාබි රජු වෙත ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ ලිපියක් සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ අත්සන් එකතු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන බව දක්වමින් හිටපු අමාත්යය පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබේ.
Claim 3 : සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“අනෝජන් තරුණයා ෆේස්බුක් දාපු දේවල් සවුදියේ ආගමික පොලීසියට ඊමේල් කරන්නේ යුද හමුදා බුද්ධි අංශය විසින්. ඒ තුළින් ඔවුන් උත්සාහ කරන්නේ දෙමළ – මුස්ලිම් ගැටුමක් ආරම්භ කරලා මාලිමා ආණ්ඩුව වට්ටවන්න නැවතත් සිංහල බෞද්ධ පාලනයක් ගේන්නයි හමුදා බුද්ධි අංශය හදන්නේ” යනුවෙන් ගවේෂණාත්මක මාධ්යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් ප්රකාශ කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


Facebook Facebook | Archived Link
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ගවේෂණාත්මක මාධ්යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් ඉහත සටහනෙහි දැක්වෙන ආකාරයේ ආන්දෝලනාත්මක ප්රකාශයක් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ සහ නිල විශ්වාසනීය මූලාශ්රයන් ඔස්සේ වාර්තා කිරීමේ සම්භාවිතාවක් පවතී. ඒ අනුව අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ කිසිදු පිළිගත හැකි නිල මූලාශ්රයක් විසින් අදාළ කරුණ සම්බන්ධයෙන් වාර්තා කර නොමැති බවයි.
එසේම මාධ්යවේදී තරිඳු ජයවර්ධන මහතා සමාජ මාධ්ය වේදිකාවන් ඔස්සේ සක්රීයව අදහස් දැක්වීම්වල නිරත වන බැවින් අප විසින් ඔහුගේ අදහස් දැක්වීම් පරීක්ෂා කරමින් මෙවැනි ප්රකාශයක් සිදුකර තිබේද යන්න විමර්ශනය කළ අතර එහිදී ද පැහැදිලි වූයේ ඔහු විසින් ඉහත ආකාරයේ ප්රකාශයක් සිදුකර නොමැති බවයි.
අනෝජන් සම්බන්ධයෙන් මාධ්යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් ප්රකාශ කර ඇත්තේ මොනවාද ?
කෙසේ නමුත් මාධ්යවේදී තරිඳු ජයවර්ධන මහතා විසින් යූ-ටියුබ් සමාජ මාධ්ය වේදිකාව ඔස්සේ වීඩියෝවක් පල කරමින් සිවරාසා සහ අනෝජන් තරුණයා සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. නමුත් එම සම්පූර්ණ වීඩියෝව තුළද ඉහත ආකාරයේ ප්රකාශයක් ඔහු විසින් සිදු කර නොමැත. එම වීඩියෝව තුළ අනෝජන්ගේ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු විසින් සඳහන් කර ඇත්තේ, විදේශ කටයුතු අමාත්යාංශය සහ රියාද් හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙම නීතිමය ක්රියාවලිය පිළිබඳ අවධානයෙන් සිටිමින් අනෝජන්ගේ අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කරමින් සිටින බව රජය නිවේදනය කර ඇති බවයි.
ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය මුනීර් මුනාවර් මහතාද විශේෂ මැදිහත්වීමක් සිදුකරමින්, අනෝජන්ගේ දඬුවම ලිහිල් කර ඔහු නැවත ලංකාවට ගෙන්නා ගැනීමට රාජ්යතාන්ත්රික සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු ප්රකාශ කර තිබේ. මේ සඳහා ශ්රී ලංකාවේ සහ සෞදි අරාබියේ ප්රධාන මුස්ලිම් ආගමික නායකයන්ගේ සෘජු මැදිහත්වීම ලබා ගැනීමටද පියවර ගනිමින් සිටින බවද ඔහු සඳහන් කරයි.
එම සම්පූර්ණ වීඩියෝව පහතින්.
ගවේෂණාත්මක මාධ්යවේදී තරිඳු ජයවර්ධන මහතා
තරිඳු ජයවර්ධන මහතා විසින් ඉහත සටහන සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් තහවුරු කර ඇත්තේ එම සටහන සම්පූර්ණයෙන්ම අසත්ය බවයි.

අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේ දී ද තරිඳු ජයවර්ධන මහතා විසින් අදාළ සටහන අසත්ය බව තහවුරු කළා.
සිවරාසා අනෝජන්ට මරණ දඬුවම නියම වීමේ සිදුවීම
යාපනයේ සිට කතරගම දක්වා සිදුකළ හින්දු පාද යාත්රාවකදී සුනඛයකු සම්බන්ධ කරගනිමින් සිදුවූ සිදුවීමක් මුල් කරගෙන, සෞදි අරාබියේ රැකියාවක නිරතව සිට ඇති සිවරාසා අනෝජන් නම් ශ්රී ලාංකික තරුණයකු විසින් සමාජ මාධ්ය ඔස්සේ තබන ලද සටහනක් සහ වීඩියෝවක් මඟින් ඉස්ලාම් දහමට සහ එහි ආගමික නායකයෙකුට අපහාස කළ බවට චෝදනා එල්ල වී තිබේ. අනෝජන් පසුව මෙම සටහන ඉවත් කර ප්රසිද්ධියේ සමාව අයදිමින් වීඩියෝවක්ද නිකුත් කර තිබේ. එම වීඩියෝව ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.
මේ සම්බන්ධයෙන් සෞදි අරාබියේ අල්-අහ්සා (Al-Ahsa) අපරාධ අධිකරණය මඟින් ඔහුට වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණි. මුල් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයකින් පසුව, සෞදි අභියාචනා අධිකරණය විසින් මෙම දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ දමා ඇති බව පවුලේ සාමාජිකයන් විසින් අනාවරණය කර ඇත. ඒ සම්බන්ධ මාධ්ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
ශ්රී ලංකා රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ නිවේදන
අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධ වෙමින් මේ සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කිරීමට ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ නීතිඥ කණ්ඩායම මේ වන විට පියවර ගනිමින් සිටියි. අනෝජන්ගේ අධිකරණ ක්රියාවලිය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවට විදේශ කටයුතු අමාත්යංශය විසින්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

නීතිමය පියවරයන්ට අමතරව, සෞදි රජුගෙන් රාජකීය සමාව හෝ දඬුවම ලිහිල් කරවා ගැනීම සඳහා රාජ්යතාන්ත්රික මට්ටමින් සාකච්ඡා කරමින් පවතින බව කැබිනට් ප්රකාශක අමාත්ය නාලින්ද ජයතිස්ස මහතා ද තහවුරු කර ඇත. YouTube
මෙම කරුණ සම්බන්ධයෙන් සහයෝගය ලබාදෙන ලෙස ශ්රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයෙන්, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් (ACJU), ජාතික ෂූරා සභාව සහ ශ්රී ලංකා මුස්ලිම් මාධ්ය සංසදය වෙතින්ද ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව එහි දක්වා තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්.
අම්පාර සහ හැටන් ඇතුළු ප්රදේශ කිහිපයක අනෝජන් නිදහස් කරන ලෙස ඉල්ලා මහජන විරෝධතා ද මේ වන විට සංවිධානය කර තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වී තිබෙන ශ්රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස්, හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්, මාධ්යවේදී තරිඳු ජයවර්ධන යන අයවලුන් විසින් සිදුකර තිබෙන ප්රකාශ ලෙස දක්වමින් හුවමාරු වන ඉහත සමාජ මාධ්ය සටහන් අසත්ය බවයි.
සිවරාසා අනෝජන්ට හිමිවී තිබෙන මරණ දඬුවම ලිහිල් කර ගැනීම සඳහා රජය මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන් විසින්ද රාජ්යතාන්ත්රික මට්ටමින් කටයුතු සිදු කරමින් පවතී.



