දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ශ්රී ලංකාවේ වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට නොමිලේ පිළිකා පරීක්ෂණ (පියයුරු, ගැබ්ගෙල සහ මුඛ පිළිකා) සිදුකර ගත හැකි මධ්යස්ථානයක් පිළිබඳව සටහනක් සහිත ඡායාරූපයක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්ය ජාලාවල බහුලව සංසරණය වෙමින් පවතී. පිළිකාවන් කල්තියා හඳුනාගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අගය කළ යුතු වුවත්, මෙම සටහන්හි දක්වා ඇති ලිපිනයයේ වර්තමානයේ රෝගීන්ට සේවාවන් ලබාගත හැකිද යන්න පිලිබඳ බොහෝ දෙනා විමසා තිබුණා. මේ පිළිබඳව අප සොයා බැලුවෙමු.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
සමාජ මාධ්ය සටහනන්වල සඳහන් වන්නේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ, අංක 519 දරන ස්ථානයේ පිහිටි “පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්යස්ථානය” (Cancer Prevention and Early Detection Centre – CEDC) වෙත පැමිණ වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට නොමිලේ ශරීර පරීක්ෂාවන් සිදු කරගත හැකි බවයි. එහි දුරකථන අංකය ලෙස +94 11 315 9227 දක්වා තිබුණා.

මෙම සටහන් මහජනතාව දැනුවත් කිරීම සඳහා බහුලව හුවමාරුවී තිබුණේ මෙලෙසින්.



Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
අප විසින් සිදු කරන ලද විමර්ශනයට අනුව, මෙම පෝස්ටුවේ අඩංගු වෛද්ය සේවාවන් පිළිබඳ තොරතුරු සත්ය වුවද, මෙම මධ්යස්ථානය පිහිටි ස්ථානය පිළිබඳ තොරතුරු වත්මන් කාලයට අනුව යාවත්කාලීන වී නොමැති බව දැක ගන්නට ලැබුණා.
ජාතික පිළිකා මර්ධන වැඩසටහන (NCCP) යටතේ පිහිටි නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ (රොටරි සමාජයේ අනුග්රහයෙන්) කලින් පවත්වාගෙන ගිය ප්රධාන පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්යස්ථානය (CEDC) වර්තමානයේ එතැනින් ඉවත් කර තිබේ.
පිළිකා කලින් හඳුනාගැනීමේ ප්රධාන මධ්යස්ථානය දැන් පිහිටා ඇත්තේ කොළඹ ජාතික රෝහලේ (National Hospital of Sri Lanka – NHSL), නව බාහිර රෝගී අංශයේ (New OPD) ගොඩනැගිල්ලේ පළමු මහලේ ය.

සෞඛ්ය අමාත්යාංශය විසින් මෙම මධ්යස්ථානය නවීන පහසුකම් සහිතව 2026 වසරේ, එනම් මේ වසරේ පෙබරවාරි 10 වන දා කොළඹ ජාතික රෝහල් පරිශ්රයේ ස්ථාපිත කර මහජනතාවට විවෘත කරනු ලැබුවා.
සෞඛ්ය අමාත්යාංශය
අප කළ විමසීමේදී සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ මාධ්ය ලේකම්වරයා ද, තහවුරු කළේ, නාරහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි පිළිකා කලින් හඳුනාගැනීමේ සේවාව සපයන ජාතික පිළිකා මර්ධන වැඩසටහනම (NCCP) මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර, එය ජාතික රෝහල් පරිශ්රයට රැගෙන ගොස් ඇති බවයි.
ජාතික පිළිකා මර්ධන වැඩසටහන (NCCP)
NCCP නිල වෙබ් අඩවියේ පිළිකා කලින් හඳුනාගැනීමේ සේවාව (CEDC) ගැන සඳහන් වෙබ් පිටුවේ මෙම කරුණු විමර්ශන වාර්තාව සකසන අවස්ථාව වන විට ත් තවම පැරණි නාරහේන්පිට ලිපිනය හා පැරණි දුරකතන අංක දැක ගන්නට ලැබෙන අතර එය තවම යාවත්කාලීන කර නොමැත. මේ හේතුව නොමඟ යවන සුළු සමාජ මාධ්ය සටහන් නිර්මාණයට ද හේතු වී තිබිය හැක.
ඒ අනුව ඔබ පිළිකා කලින් හඳුනාගැනීමේ සේවාව ලබාගැනීමට යොමු වීමට අදහස් කරන්නේ නම් සම්බන්ධ කරගත යුතු දුරකථන අංක සහ තොරතුරු පහතින්.
- ජාතික පිළිකා මර්ධන වැඩසටහන (NCCP) ප්රධාන කාර්යාලය: +94 11 2368627
- විද්යුත් තැපෑල: [email protected]
- මධ්යස්ථානය පිහිටි ස්ථානය: කොළඹ ජාතික රෝහල (NHSL), නව බාහිර රෝගී අංශ (New OPD) ගොඩනැගිල්ල, පළමු මහල.
- විවෘත වේලාවන්: සතියේ දිනවල (සඳුදා–සිකුරාදා) පෙ.ව. 8:30 – ප.ව. 3:00. රජයේ නිවාඩු දිනවල වසා ඇත.
සමාජ මාධ්ය පළ කිරීම්වල ඇති පැරණි දුරකතන අංකය (+94 11 315 9227) දැන් වලංගු නොවේ.
දිවයින පුරා පිහිටි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්යස්ථාන
කොළඹ ජාතික රෝහලේ පිහිටි ප්රධාන මධ්යස්ථානයට අමතරව, ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලැබෙන පරිදි ප්රාදේශීය සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල(MOH) වලින් ද, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්යස්ථාන ඇති බව ත්, ඒවායින් ද, අවුරු දු 35ට වැඩි පිරිසට පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කරන බව ත්, අප කළ විමසීමේදී ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්රධාන කාර්යාලයෙන් සඳහන් කළා.
ජාතික රෝහලේ පිහිටි මධ්යස්ථානයේ විශේෂත්වය වන්නේ, පැප් පරීක්ෂණයට අමතරව ස්වයං මුඛ පරීක්ෂාව සිදු කරන බව ත්, නාරහෙන්පිට පිහිටි පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්යස්ථාන එම ගොඩනැගිල්ලේ නොමැති බව ත්, ජාතික පිළිකා මර්ධන වැඩසටහන කාර්යාලය පමණක් එහි තිබුණ ද කිසිදු පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂාවක් එහි සිදු නොවන බැවින් එහි නොපැමිණ, කොළඹ ජාතික රෝහලේ ප්රධාන මධ්යස්ථානයට යොමු වන ලෙසයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ.
NCCP නිල වෙබ් අඩවියේ දක්වා ඇති එක් එක් පළාත්හි පිළිකා ප්රතිකාර මධ්යස්ථාන මෙතනින්.
ප්රාදේශීය සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල වලට අමතර පළාත් මට්ටමින් දැනට ක්රියාත්මක වන ප්රධානතම රෝහල් පාදක මධ්යස්ථාන කිහිපයක් පහත දැක්වේ:
- යාපනය: යාපනය ශික්ෂණ රෝහල ආශ්රිතව
- මඩකලපුව: මඩකලපුව ශික්ෂණ රෝහල ආශ්රිතව
- රත්නපුර: රත්නපුර ශික්ෂණ රෝහල ආශ්රිතව
- බදුල්ල: බදුල්ල පළාත් මහ රෝහල ආශ්රිතව
- මාතර / කරාපිටිය: දකුණු පළාත සඳහා
- වවුනියාව සහ හම්බන්තොට: දිස්ත්රික් රෝහල් මට්ටමින්
වෙනත් පරීක්ෂණ සේවා (ළඟම ඇති රෝහලෙන්)
රජයේ සෑම ප්රධාන රෝහලකම (ශික්ෂණ, මහ රෝහල් සහ මූලික රෝහල්) පහත දැක්වෙන විශේෂිත සායන මඟින් ද පිළිකා කලින් හඳුනාගැනීමේ පරීක්ෂණ නොමිලේ සිදු කරගත හැක.
- පියයුරු සායන (Breast Clinics): පියයුරු පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණ සහ මැමෝග්රැෆි (Mammography) පරීක්ෂණ.
- සුවනාරි සායන (Well Woman Clinics): ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීම සඳහා වන පැප් පරීක්ෂණ (Pap Smear / HPV DNA).
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වයස අවුරුදු 35 ට වැඩි අයට නොමිලේ පිළිකා පරීක්ෂණ සිදුකර දීමේ සේවාව තවදුරටත් ක්රියාත්මක වන නමුත්, සමාජ මාධ්ය සටහනේ, සඳහන් කර ඇති ලෙස නාරාහේන්පිට ලිපිනය සහ පැරණි දුරකතන අංක දැන් වලංගු නොවන බවයි.
එබැවින් මෙම නොමිලේ කෙරෙන වෛද්ය පරීක්ෂණ සේවාව ලබාගැනීමට අපේක්ෂා කරන අය නාරාහේන්පිට පැරණි ස්ථානයට නොගොස්, කොළඹ ජාතික රෝහලේ (NHSL), නව බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටි නව සායනය වෙත යා යුතු වේ.
ඊට අමතරව අවුරු දු 35ට වැඩි පිරිසට තම ප්රදේශයේ ප්රාදේශීය සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල(MOH) වලින් ද, පළාත් මට්ටමින් දැනට ක්රියාත්මක වන ප්රධානතම රෝහල් පාදක මධ්යස්ථාන වලින් ද, පිළිකා කලින් හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කරනු ලබයි.



